Followers

සතියේ හොදම ලිපි

දවසේ හොදම ලිපි


Photobucket
Showing posts with label විදෙස් පුවත්. Show all posts
Showing posts with label විදෙස් පුවත්. Show all posts

මක්කම ඛේදවාචකය

Monday, September 28, 2015

වර වාර්ෂික මක්කම වන්දනා සමය අවසන් වූයේ මහා ඛේදවාචකයකිනි. තෙරපීමෙන් මිය ගිය සංඛ්‍යාව 717ක් බව තහවුරු කොට තිබේ. එහෙත් සිකුරාදා දිනය වන විටත් සෞදි අරාබි ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබුණේ ඔවුන් තවමත් මළ සිරුරු ගණන් ගනිමින් සිටින බවයි. මක්කම වීදි දිගේ මළ සිරුරු අතුරා තිබූ අතර මිනා හි ප්‍රධාන මාර්ගවල සුදු පැහැ ඇඳුම් සහ පෑගී තැළී ගිය වතුර බෝතල් දහස් ගණන් දක්නට ලැබී තිබේ.

මෙවර හජ්ජි වන්දනා සමය මුස්ලිම් බැතිමතුන්ට එතරම් සුබදායී ‍නොවන බවට ඉඟි ලැබුණේ පසුගිය 11වැනිදා මක්කම දී දොඹකරයක් පෙරළීමෙන් සීයකට අධික පිරිසක් මිය ගිය අවස්ථාවේදී ය. හජ් වන්දනා සමය අවසන් වන මිනා හි යක්ෂයාට ගල් ගැසීමේ අවස්ථාව යනු සාමාන්‍යයෙන් වන්දනාකරුවන් තෙරපීමට ලක් වන ස්ථානයකි. මීට පෙර 2006 වසරේදීද මිනා හිදී තෙරපීමෙන් වන්දනාකරුවන් 364ක් මිය ගිය අතර 1990දී වන්දනාකරුවන් 1426ක් මියගොස් තිබේ.
ඒ අනුව මෙවර ව්‍යසනය වසර විසිපහකට පසුව සිදු වූ දරුණුතම ඛේදවාචකය ලෙසින් ඉතිහාසයට එක් වී තිබේ. මිනා මක්කම සිට කිලෝමීටර් 3ක දුරින් පිහිටා ඇති අතර වන්දනාකරුවන් මිනා වෙත පැමිණෙන්නේ හිමිදිරියාමයේ ය. සිද්ධිය සිදුවූ බ්‍රහස්පතින්දා දිනයේ උදෑසන 9 පමණ වන විට තිබී ඇත්තේ අධික උණුසුමකි.

වාර්තාවන අන්දමට එය සෙල්සියස් අංශක 46කි. මේ හේතුවෙන් වන්දනාකරුවන් දැඩි පීඩාවට සහ නොරිස්සුම්සහගත බවකින් පසුවන්නට ඇතැයි අනුමාන කෙරේ. එසේ වුවද වන්දනාකරුවන් චෝදනා කරන්නේ සෞදි බලධාරීන් වන්දනාකරුවන්ට නිසි පහසුකම් ලබා නොදුන් බවයි.

වන්දනාකරුවන් සිටියදීම පොලීසිය විසින් මාර්ග වසා දැමූ බවට ඇසින් දුටු සාක්ෂීද ලැබී තිබේ. එමෙන්ම මේ හේතුවෙන් වන්දනාකරුවන්ට නිසි පරිදි වන්දනා කටයුතු සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ බවටද සෞදි බලධාරීන් වෙත චෝදනා එල්ල වෙමින් පවතී.
Read Post | comments

ඉන්දුනීසියාවේ ළැව් ගිනි කලාපයේ ජන ජීවිතය අඩපණ කරයි

Wednesday, September 23, 2015

පසුගියදා ඉන්දුනීසියාවේ පැතිර ගිය ළැව් ගිනි හේතුවෙන් ගිනිකොන ආසියාවේ තවත් රටවල් කිහිපයක ද ජන ජීවිතය අඩාළ විය. ඉන්දුනීසියාවේ සුමාත්‍රා සහ බෝර්නියෝ දූපත්වල පැතිර ගිය මේ ළැව් ගිනි හේතුවෙන් වනාන්තර අක්කර දහස් ගණනක් විනාශ විය.

එහෙත් වඩාත් හානිකර වී ඇත්තේ පැතිර ගිය ළැව් ගිනිවලින් නැගුණු දුම් වලාවයි. මේ දැඩි ඝන දුමාරය කොතෙක් වී ද යත් අසල්වැසි මැලේසියාවේ සාමාන්‍ය ජන ජීවිතය එයින් අඩාළ විය.

මැලේසියාවේ අගමැති මැඳුර පිහිටි පුත්‍රජයා නගරයද මේ දුමාරයෙන් වැසී ගිය අතර අගමැති මැඳුරද දුමාරයට මැදි විය. ක්වාලාලම්පූර් නගරයේ පමණක් පාසල් 2000ක් වසා දැමුණූ අතර නගරයේ මාර්ගවල දර්ශනය පවා අපැහැදිලි වූයෙන් මාර්ගවල ගමනාගමනයට ද බාධා ඇති විය.

තවත් අසල්වැසි රටක් වූ සිංගප්පූරුවේ ගුවන් ගමන්වලට බාධා ඇති වූයෙන් ගුවන් ගමන් වාර රාශියක්ම අවලංගු කරන්නට සිදු විය.

මෙලෙස ගිනිකොන ආසියානු කලාපය අඩපණ කර දැමූ ළැව් ගින්න ඇතිවීමට හේතුව ලෙසින් හඳුනාගෙන ඇත්තේ අනවසර කැලෑ එළි‍කිරීම් ය. ඉන්දුනීසියාව යනු තවමත් නොඉඳුල්ව පවතින ස්වාභාවික වැසි වනාන්තරවලින් සමන්විත සුන්දර දේශයකි.

එහෙත් අනවසර කැලෑ එළිකරන්නන්ගෙන් තම වනාන්තර රැක ගැනීමට එරට රජය යොදන බලය අවමය.

ළැව් ගිනි පැතිර යෑමෙන් පසුව ගිනි නිවීම සඳහා විශේෂ ගුවන් යානා කිහිපයක්ම යෙදවීමට ඉන්දුනීසියානු බලධාරීන්ට සිදුවිය. හෙලිකොප්ටර් යානා තුනකින් වතුර බෝම්බ හෙළන ලදී. ගිනි නිවීම් සඳහා යොදා ගත් තවත් විශේෂ ගුවන් යානයක් ලෙස ගුවන් ට්රැක්ටරය විශාල මෙහෙයකට දායක කර ගෙන තිබේ.

මේ ගුවන් ට්රැක්ටරයේ ජලය ලීටර් 3000ක් ගුවනට ගෙන යා හැකිය. ගින්නේ දරුණුකම හේතුවෙන් තවත් ගුවන් ට්රැක්ටරයක් ඔස්ට්‍රේලියාවෙන් වහාම ගෙන්වීමට ද ඉන්දුනීසියානු බලධාරීන් කටයුතු කර තිබිණි.
Read Post | comments

බුර්කිනා පැසෝ අගමැතිට නිදහස

Tuesday, September 22, 2015

අත්අඩංගුවේ පසුවූ බටහිර අප්‍රිකානු, බුර්කිනා පැසෝ රාජ්‍යයේ අගමැති අයිසැක් සීඩා (Isaac Zida) නිදහස් කර ඇතැයි විදෙස් වාර්තා පවසයි.

එරට යුද හමුදා ප්‍රධානී ජෙනරාල් පින්ග්‍රේනොමා සාග්‍රේ විසින් ඒ බව තහවුරු කර තිබේ.

ඉකුත් සතියේ දියත් කළ කුමන්ත්‍රණයකින් පසු ජනාධිපති ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු අත් අඩංගුවට ගන්නා ලදී.

මේ අතර නිවාස අඩස්සියේ තබා සිටි අන්තර්කාල ජනාධිපති මයිකල් කෆාන්ඩො නිදහස ලබා ඇති බව ද සදහන්.

කුමන්ත්‍රණයේ නායක, ජෙනරාල් ගිල්බර්ට් දිඑන්දරේ ප්‍රකාශයක් කරමින් තමන් පාලන බලය සිවිල් රජය වෙත බාර දෙන බව පවසමින් ජනතාවගෙන් සමාව ඇයද සිටියේය.

එහෙත් එසේ කරනු ලබන්නේ නයිජීරියාවේදී අද, රැස්වෙන බටහිර අප්‍රිකානු නායකයන්, ‘බුර්කිනා පැසෝ’ කුමන්ත්‍රණය සැලසුම් කළ පුද්ගලයන්ට සමාව ලබා දීම ඇතුළත් ගිවිසුමක් අනුමත කළ හොත් පමණක් බවත් ඔහු ප්‍රකාශ කළේය.


Read Post | comments

ලන්ඩනයේ දම්පල් සමරුව

ශ්‍රිමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 151 වැනි  ජන්ම සංවත්සරය සහ ලන්ඩන් බෞද්ධ විහාරයට වසර 89 ක් පිරිම නිමිත්තෙන් පින්කම් මාලාවක් පසුගිය සති අන්තයේදී ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි.
ලන්ඩන් බෞද්ධ විහාරස්ථානාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාර දායකාරකාදීන්ගේ පුර්ණ සහභාගිත්ග්වයෙන් පැවැත්වුණ වැඩසටහන් සඳහා ධර්මපාලතුමන් බටහිරට බුදුදහම හඳුන්වාදීමෙන් සිදුවූ සේවාව පිළිබඳ සාකච්ජා කෙරෙන දේශනයක්, පරිත්‍රාණ ධර්ම දේශනයක් සහ දානමය පින්කමක් ඇතුළත් විය. 

දම්පල් සමරු දේශනය පවත්වන ලද්දේ ලන්ඩන් නුවර ශාන්ත මේරි විශ්ව විද්‍යාලයේ දර්ශනවාදය පිළිබඳ මහාචාර්ය ජෙෆ්රි හන්ට් විසිනි.

බ්‍රිතාන්‍ය මිෂනාරි පාසලකින් අධ්‍යාපනය ලැබූ ඩේවිඩ් හේවාවිතාරණ ක්‍රිස්තියානි ආගම පිළිබඳ පුළුල් අවබෝධයක් තිබු දක්ෂ තරුණයෙකි. ඔහුට පරණ ඇස්තමේන්තුව ඇතුළු සම්පුර්ණ බයිබලය කටපාඩමින් කීමට තරම් හැකියාවක් තිබුණි. ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හැසිරවීමට ඔහුට හැකිවිය. එමෙන්ම එවකට සිටි බහුශ්‍රැත බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් බුදුදහම පිළිබඳ දැනගත හැකි සියලුම දේ සම්බන්ධයෙන් ද මේ තරුණයාට ඉගෙන ගැනීමට හැකිවිය.

තරුණ වයසේදීම බුදුදහම සහ කිතු දහම පිළිබඳව තර්කානුකුලව කරුණු ඉදිරිපත් කිරීම සඳහා අසීමිත දැනුම් සම්භාරයක් ඔහු සතුව තිබුණි. බටහිර රටවල මෙන්ම ජපානය වැනි ආසියානු රටවලද නිර්මල බුදුදහම හඳුන්වාදීම සඳහාත් ඉන්දියවේ පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන යළි ස්ථාපිත කරවීම සඳහාත්  අනගාරික ධර්මපාල තරුණ වයසේ සිට ක්‍රියා කළ අන්දම විශ්මයජනකය බව මහාචාර්ය හන්ට් පැවසුවේය.

ලන්ඩන් බෞද්ධ විහාරවාසී කළුගමුවේ කස්සප හිමියන් විසින් ගිලම්පස බුද්ධ පුජාව පවත්වනු ලැබිය. පිරිත් දේශනය සඳහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථාන බොහෝ ගණනක මහා සංඝ රත්නය විසිනමකට වඩා වැඩමකර සිටියහ.  

පිරිත් පුරනු ලැබුවේ නොටින්හැම් ශාන්ති විහාරාධිපති විචිත්‍ර පරිත්ථාන භාණක තෙල්දෙනියායේ අමිත  හිමියන් විසිනි.

පසුදින පිංකම සඳහා වැඩම කළ මහා සංඝ රත්නය උදෙසා හිල් දානය පුජා කරනු ලැබිය.

දැනට වසට 89කට පෙර නිර්මල බුදු දහමේ චිරස්ථිතිය උදෙසා දුරදක්නා නුවනින් යුතුව සිතා බලා අද වනවිට යුරෝපයේ ප්‍රමුඛ ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්ව ඇති ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය ස්ථාපිත කළ අනගාරික ධර්මපාල තුමන්ගේ 151 වෙනි ජන්මදින පිංකම උත්කර්ෂවත් අන්දමට සිදුකිරීම සඳහා නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාටම සීලවිමල හිමියෝ පුණ්‍යානුමෝදනා කළහ.








Read Post | comments

ජග්මෝහන් දල්මියා දිවියෙන් සමුගනී

Monday, September 21, 2015

ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වූ ජග්මෝහන් දල්මියා මහතා ඊයේ (20 වැනිදා) අභාවප‍්‍රාප්ත විය. මිය යන විට 75 වැනි වියේ පසුවූ දල්මියා මහතා කොල්කටා නුවර පෞද්ගලික රෝහලකදී අවසන් හුස්ම හෙළීය.

ඉන්දීය කි‍්‍රකට් කී‍්‍රඩාව ලෝකයේ ඉහළම තැනකට ඔසවා තබමින්, එහි මූල්‍ය ශක්තිමත්භාවය මනාව වර්ධනය කළ දල්මියා මහතා පසුගිය බ‍්‍රහස්පතින්දා හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතකරන ලදි. පසුව ඔහුගේ තත්ත්වය සුව අතට හැරෙමින් තිබූ නමුත් ඊයේ දෙවැනි වරට ඇතිවූ හෘදයාබාධයකින් හෙතෙම අවසන් හුස්ම හෙළීය.

වර්ෂ 1987 දී මෙන්ම 1996 දීත් කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලිය දකුණු ආසියානු කලාපයට ගෙන ඒමේ පුරෝගාමියකු වූ දල්මියා මහතා 1997 දී අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ සභාපතිවරයා වශයෙන්ද තේරී පත්විය.

”පසුගිය ජූනි මාසයේදී මට ඔහු හමුවුණා. ඒත් ඒ අවසාන වතාවට යයි මට නිකමට වත් හිතුණේ නෑ...ඔහුගේ පවුලේ අයටත් හිත මිතුරන්ටත් මගේ හෘදයංගම කණගාටු ප‍්‍රකාශ කරනවා”

”ඔහුගෙන් ලැබුණු සහයෝගය මට හැමදාමත් ආශිර්වාදයක් වුණා. කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් මහත් වෙහෙසී කටයුතු කළ ඔහු පරිපාලන නිලධාරියෙක් වශයෙනුත් අති විශිෂ්ටයි” යයි ලෝකයේ විශිෂ්ටතම කි‍්‍රකට් කී‍්‍රඩකයකු වූ සචින් තෙන්ඩුල්කාර් ට්විටර් පණිවුඩයක් තබා තිබිණ.
Read Post | comments

කෙන්යාවේ අගමැති ඔඩිංගාගේ ජනපති සිහිනය බොඳවෙන හැඩ

Monday, March 11, 2013

කෙන්යාවේ ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම දැනට සිදුවන අතරවාරයේදි අගමැති රයිලා ඔඩිංගා ගේ ආධාරකරුවන් ඡන්ද දූෂණ සිදුවි ඇති බවට චෝදනා එල්ල කරයි. මෙම චෝදනා කෙන්යාවේ මැතිවරණ කොමිසම විසින් වහාම ප්‍රතික්ෂේප කර තිබේ.

දින තුනක කාලයක් තිස්සේ ඡන්දවලින් අඩක් පමණ ගණන් කර ඇති අතර ඔඩිංගාට මිලියන 2.6ක් ඡන්ද ලැබි ඇති අතර ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වු නියෝජ්‍ය අගමැති උරු කෙන්යාටා ඡන්ද මිලියන 3. 1ක් දිනා ගැනීමට සමත්ව සිටී.

මීට වසර පහකට පෙර මැතිවරණයේ දී මාරාන්තික ප්‍රචණ්ඩත්වයක් දියත් කරන ලදී. මෙවර ඡන්ද ගණන් කරන අතරවාරයේදීත් උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත වී තිබේ. මේ හේතුවෙන් ඡන්ද ගණන් කිරීම අත්හිටු විය යුතු බවට බලපෑම් එල්ල වී ඇත.

තියුණු තරගයක් වූ මේ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් කිරිමට ලබන සඳුදා දක්වා කල් ඇතත් ඊයේ අවසන් ප්‍රථිඵල නිකුත් කිරීමට නියමිත විය. මිලියන 14.3ක් වූ ඡන්දදායකයන් අතුරෙන් 70 % ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. 

එරට ව්‍යවස්ථාව අනුව යම් අපේක්ෂකයකුට එකහෙළා ඡන්දය ජයග්‍රහණය කිරිමට නම් 50 %කට වැඩි ඡන්ද බහුතරයක් මෙන්ම ප්‍රාන්ත 47 ඡන්දවලින් සැම ප්‍රාන්තයකින් ම 25 % කට වැඩි ඡන්දයක් ලබාගත යුතු වේ.
Read Post | comments

සුකී යළි වැඩට

Sunday, March 10, 2013

දිගු කාලයක් නිහඬව සිටි මියන්මාරයේ විපක්ෂ නායිකා අවුන් සාන් සුකී සිය පක්ෂයේ මුල්ම පක්ෂ සම්මෙලනය ඊයේ පැවැත් වීමට කටයුතු කර තිබේ. 

දිගු කලක් දේශපාලන ක්ෂේත්‍රයෙන් ඉවතට තල්ලු කර සිටි මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමෘතිය ලෙස සලකන අවුන් සාන් සුකි අනාගත අභියෝගවලට මුහුණ දිමට සූදානම් වෙයි.

ප්‍රජාතන්ත්‍රවාදි ජාතික ලීගයේ ප්‍රතිශෝධනයක් සිදුකෙරනු ඇති මෙම සම්මන්ත්‍රණය දින තුනක් පුරා පැවැත්වේ. 

ඊට 850කට අධික නියෝජිත පිරිසක් සහභාගි වීමට නියමිතව සිටියහ. අර්බුදකාරි අතීතයකින් අනතුරුව එම පක්ෂයේ පැවැත්වෙන ඉතාම උත්කර්ශවත් හමුවක් ලෙස මෙය සැලකේ.

වසර 2011 දක්වා සුකී ගේ පක්ෂය ජුන්ටා පාලකයන්ගේ යකඩ සපත්තුවට පෑගී ගියේය. වසර 2015 දී මියන්මාරයේ පැවැත් වීමට නියමිත මැතිවරණයෙන් අවුන් සාන් සුකී ගේ පක්ෂය ජයග්‍රහණය කරණු ඇතැයි අනාවැකි පළ වේ.
Read Post | comments

ඔබාමා මැදපෙරදිග සංචාරයකට සැරසේ

මේ මස අග භාගයේ දි ජනාධිපති ඔබාමා මැද පෙරදිග සංචාරයක නියැළීමට නියමිතය. දෙවන වරට ජනාධිපති ධූරයට පත්විමෙන් අනතුරුව ඔබාමා ගේ ප්‍රථම නිල විදෙස් සංචාරය මෙය වනු ඇත. මෙම සංචාරයේ න්‍යාය පත්‍රයේ මැදපෙරදිග සාම ව්‍යායාමය කෙරේ විශේෂ අවධානයක් යොමු නොවනු ඇතැයි ඔබාමා කියයි.

මෙම සංචාරයට සූදානම් වීමක් වශයෙන් ජනාධිපති ඔබාමා ධවල මන්දිරයේ දි අමෙරිකා යුදෙව් නායකයන් මුණ ගැසුණේය. මෙම චාරිකාවේ දි ඊශ්‍රායලය සහ පලස්තීනය අතර අඩාල වු සාම වෑයම යළි කරලියට ගෙන ඒමට උත්සාහයක් දරනු ඇති බවට ආරංචි පැතිර ගොස් තිබිණි.

ජනාධිපති ඔබාමාගේ මුල් ධුර කාල සිමාව තුළ දැරූ මෙවැනි උත්සහායක් ව්‍යර්ථ විය. කෙසේවෙතත් මේ සඳහා සුදුසු රාමුවක් සලසා දීමට තමන් කටයුතු කරන බවට මෙම රැස්විමෙදි ඔහු පවසා ඇත. 

ඔබාමාගේ මුල් ධුර කාල සිමාවේදී යම් තරමකට පළුදු වී ඇති ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ සබඳතා ශක්තිමත් කරගැනිමටත්, ඉරානය සහ සිරියාව සම්බන්ධයෙන් පැන නැඟී ඇති අර්බුද විසඳා ගැනීමටත් මෙම සංචාරය අතරවාරයේදී ජනාධිපති ඔබාමා කටයුතු කරනු ඇතැයි ද අමෙරිකා බලධාරීහු පවසති.

මෙම සංචාරය අතරවාරයේ ඔබාමා ගාසා හි බටහිර තිරයේදී පලස්තින ජනාධිපති අබ්බාස් ඇතුළු නායකයන් ද හමුවිමටත් ජොර්දායට යාමටත් නියමිතය.
.
Read Post | comments

චාවේස් දේහය සංරක්ෂණයට

මිලියන සංඛ්‍යාත වෙනිසියුලා ජාතිකයන්ගේ සෝ සුසුම් මධ්‍යයේ ජනාධිපති චාවේස් ගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය ඊයේ පැවැත්විණි. ඔහුගේ මෘතදේහය ලෙනින්ගේ මෘතදේහය මෙන් එම්බාම් කර විදුරු පෙට්ටියක බහා හමුදා ඇකඩමි කෞතුකාගාරයේ තැන්පත් කරන බව උප ජනාධිපති නිකලස් මඩූරෝ පවසයි.

තවද චාවේස්ගේ දේහයට දහස් සංඛ්‍යාත මහජනතාවට ගෞරව කිරීමට තවදුරටත් ඉඩ සැලසීමට රාජ්‍ය ගෞරව සහිත අවමංගල්‍ය උත්සවයෙන් පසුව තව සතියක කාලයක් ලබා දී තිබේ.

උත්තුංග හමුදා ප්‍රධානියෙක්ගේ ඇඳුමෙන් සරසි සිටින චාවේස් ගේ දේහයට දැනටමත් කෘතවේදි මිලියන දෙකකට වැඩි පිරිසක් ගෞරව දක්වා ඇති අතර, බෝහෝ අයට එම අවස්ථාව ලබා ගැනීමට රාත්‍රිය පුරා පෝළිමේ සිටීමට සිදුව ඇත. 

ජනාධිපති චාවේස්ගේ අභාවයත් සමඟ දින 30ක් ඇතුළත පැවැත්වෙනු ඇති මැතිවරණයෙන් උප ජනාධිපති මඩූරෝ වෙනිසියුලා ජනපති පදවියට පත්වනු ඇතැයි විශ්වාස කෙරේ.
Read Post | comments

අමෙරිකාවට ගහන්නත් අපට හැකියාව තියෙනවා උ. කොරියා නායක

Saturday, March 9, 2013

උතුරු කොරියාව විසින් පෙබරවාරි මාසයේ දි සිදු කළ න්‍යෂ්ටික පරීක්ෂණයට විරෝධය දැක්වීමක් වශයෙන් එරටට එරෙහිව ජගත් සංවිධානය විසින් 24 වෙනි වරටත් සම්බාධක පනවයි. 

එය ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් ඇතුළත දී දකුණු කොරියාව ආක්‍රමණය කිරීමට එරෙහි ගිවිසුම අත්හිටුවන බවත් එරටට එරෙහි දැඩි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන බවත් උතුරු කොරියාව ප්‍රකාශ කර තිබේ.

මේ හේතුවෙන් කොරියා අර්ධදීපයේ දැඩි උණුසුම්කාරි තත්ත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ. උතුරු කොරියාව අමෙරිකාවට න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කරන බවටත් පෙරේදා වහසි බස් කියා තිබේ. 

උතුරු කොරියාව මෙන්ම දකුණු කොරියාවත් ලබන සතියේ දි ඉහළ පෙළේ හමුදා අභ්‍යාස පැවැත් වීමට දැනටමත් සැලසුම් කර තිබේ. ආක්‍රමණශීලී නොවන බවට දෙරට ගිවිසුමකට එළැඹුණේ 1991 දි යි. දෙරට අතර දුරකථන සබඳතා විසන්ධි කරන බවට ද උතුරු කොරියාව අනතුරු අඟවා තිබේ.

සාමාජිකයන් 15 දෙනකුගෙන් සමන්විත ජගත් ආරක්ෂක කවුන්සලය විසින් පනවා ඇති මෙම සම්බාධක හේතුවෙන් උතුරු කොරියාව ජගත් සංවිධාන අසාදු ලේඛනයට ද ඇතුළත් කර තිබේ. නව සම්බාධක උතුරු කොරියාවට දැඩි බලපෑමක් සිදුකරනු ඇතැයි පවසන ජගත් සංවිධාන අමෙරිකා තානාපතිනි සූසන් රයිස් එරට තවදුරටත් හුදකලා බවට පත්වනු ඇතැයි ද ප්‍රකාශ කරන්නීය. 

මෙම සම්බාධක ක්‍රියාත්මක කිරීමට චීනය ද පූර්ණ සහාය ලබාදිම විශේෂත්වයකි. ප්‍රකෝපකාරී ක්‍රියාවක් කළහොත් පුර්ණ සටනකට අවතීර්ණ වන බවට උතුරු කොරියා නායක කිම් ජොං - යුන් පෙරේදා අනතුරු ඇඟවීය.
Read Post | comments

චාවේස් සැබෑ දේශප්‍රේමී නායකයෙක්

අභාවප්‍රාප්ත වෙනිසියුලානු ජනාධිපති හියුගෝ ‍චාවේස් මහතා සැබෑ දේශප්‍රේමී වෙනිසියුලානු පුත්‍රයකු මෙන් ම රටේ සුබ සිද්ධියට සහ සංවර්ධනයට ඇප කැප වී ක්‍රියා කළ ප්‍රගතිශීලී මතධාරියකු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වෙනිසියුලාවේ වත්මන් වැඩබලන ජනාධිපති නිකලස් මඩුරොස් මොරෝස් මහතා වෙත ශෝක පණිවුඩයක් යොමු කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

දිගු කලක් අසනීපව සිටි වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ ජනාධිපති අතිගරු හියුගෝ චාවේස් ප්‍රියාස් මැතිතුමාගේ අභාවය පිළිබඳ පුවත ඇසීමෙන් මම දැඩි ශෝකයට පත් වූයෙමි. ඔබතුමාටත්, අභාවප්‍රාප්ත ජනාධිපතිතුමාගේ පවුලේ සාමාජිකයන්ටත්, එසේම වෙනිසියුලා රජයට සහ එරට ජනතාවටත් ශ්‍රී ලංකා රජයේත්, ජනතාවගේත් ශෝකය මෙයින් පළ කෙරෙනු ඇත.

අභාවප්‍රාප්ත ජනාධිපති චාවේස් මැතිතුමා ශ්‍රී ලංකාවේ මිත්‍රයකු වූවා පමණක් නොව අප දෙරට අතර මිත්‍රත්වය හා සබඳතා ශක්තිමත් කිරීමෙහිලා විශේෂ උනන්දුවක් දැක්වූ අයෙකු ද විය. එතුමා සමඟ පැවැත් වූ සාකච්ඡාවල දී එතුමා පළ කළ මිත්‍රශීලී අදහස් අදත් මා සිහිපත් කරනුයේ ඉමහත් සුහද හැඟීමෙනි.

මෙම ශෝකජනක අවස්ථාවේ දී ඔබත්, අභාවප්‍රාප්ත චාවේස් මැතිතුමාගේ පවුලේ සාමාජිකයනුත්, වෙනිසියුලානු ජනතාවත් සමඟ අපි සැවොම ශෝකය බෙදා ගනිමු.

දේශයේ නායකයාගේ අභාවය පිළිබඳව මුළු රටම ශෝකවන මෙම අවස්ථාවේ දී සමස්ත ශ්‍රී ලාංකික ජනතාව ද මා සමඟ එක්ව ශෝකය පළ කරන බව යළිදු අවධාරණය කරනු කැමැත්තෙමි.
Read Post | comments

ඉන්දියාවේ මිලියන ගණනක් දරුණු නියඟයෙන් පීඩාවට

Friday, March 8, 2013

දසක 4කට වැඩි කාලයකට පසු බටහිර ඉන්දියාවේ ඇතිව තිබෙන දරුණුම නියඟයෙන් මිලියන ගණන් ජනතාවක් පීඩාවට පත්ව ඇති අතර ජල හිඟය උත්සන්න කිරීමෙහි ලා නිලධාරින්ගේ අකාර්යක්ෂමතාව හා දූෂණය ඉවහල් වී ඇතැයි විචාරකයෝ‍ දෝෂාරෝපණය කරති.

මුම්බායි අගනුවරට අයත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මධ්‍ය කොටස් 1972 පැවැති දරුණුම නියඟයටත් වැඩි උග්‍ර තත්ත්වයකට මුහුණ දී ඇතැයි ප්‍රාන්ත මහ ඇමැති ප්‍රිතිවිරාජ් චාවන් පවසා ඇත.

"වාර්තාගත ඉතිහාසයේ මෙතරම් ජලාශ සිඳී ගිය අවස්ථාවක් දක්නට නැති අතර දිනක් පාසා ඒවා‍යේ ජලමට්ටම පහත බසිනවා "යැයි ඔහු කීවේ පිටපිට දෙවැනි වතාවකට ද මෝසම් වැස්ස නොලැබීම ගැන ‍චෝදනා කරමිනි. එහෙත් සෙස්සන් අසාර්ථක රාජ්‍ය ප්‍රතිපත්තිය ඊට වගකිව යුතු බව පවසා තිබේ.

පවත්නා තත්ත්වය යටතේ නියඟයට ගොදුරුවූවන්ට අවශ්‍ය ජලය සැපයීමට බවුසර් 2000ක් පමණ යොදාගෙන ඇති අතර ඒවාට දිනපතා විශාල දුරක් තරණය කිරීමට සිදුව තිබෙන බවත් පශු සම්පත රැකගැනීම සඳහා ගව කඳවුරු සිය ගණනක් පිහිටුවා ඇති බවත් චාවන් වැඩිදුරටත් පවසා තිබේ.

ගම්මාන දහසක පමණ ප්‍රමාණයක මිලියන ගණන් ජනතාව මේ නියඟයට ගොදුරුව ඇති අතර බොහෝදෙනකුට කර්මාන්තශාලා වසා දැමීමෙන් ජීවනෝපාය ද අහිමිව තිබේ. මේ අනුව උද්ගතව ඇත්තේ සාගත තත්ත්වයක් බව ප්‍රකාශිතය. සමහර තැනක ජල හිඟය නිසා රෝහල් පවා වැසී ‍ගොස් ඇත.
Read Post | comments

චාවේස් පිළිකා මාරයාට පරදී

පිළිකා සැත්කම් හතරකට භාජනය වී බොහෝ කලයක් ජීවිතයත් මරණයත් අතර සටන් වදිමින් සිටි වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් අඟහරුවාදා මිය ගිය බව එරට රජය නිවේදනය කරයි.

ඔහු මිය යන අවස්ථාව වන විට සිය ගණන් ජනයා කැරකස්හි රෝහල අවට රොක්වී චාවේස් අප සියල්ලන් ම ඔබගේ යනුවෙන් හඬ නඟමින් හැඬූ කඳුළින් පසුවු බව වාර්තා වේ . ශෝකබරිත චාවේස් හිතවාදීන් චාවේස් ගේ විප්ලවය ඉදිරිය ගෙන යන බව සඳහන් පුවරු සහ වෙනිසියුලා ජාතික ධජ අතැතිව සිය ශෝකය පළ කළ බව සඳහන්වේ. 

අපගේ පීතෘ භූමියට ආදරය කිරිමට ඉගැන් වූ ජනාධිපති චාවේස් ශාරීරිකව මිය ගියත් ඔහු සදාදරණීය ලෙස තම හද පතුලේ සදාකාලිකව රැඳී සිටිනු ඇතැයි ජනතාව පවසයි. වෙනිසියුලාවේ හොඳම ජනාධිපතිවරයා චාවේස් බව ඔවුහු එකහෙළා ප්‍රකාශ කරති. 

විදේශීය රාජ්‍ය නායකයන් සහභාගි වන නිල අවමංගල්‍ය යාඥා මෙහෙය සිකුරාදා පැවැත් වීමට නියමිතය. එතෙක් ඔහුගේ දේහය මිලිටරි ඇකඩමියේ තැන්පත් කර තැබෙනු ඇත. මේ අතර කැරකස් නගරයේ චාවේස්ට එරෙහිව සතියක් පුරා සත්‍යග්‍රහයක් කරමින් සිටි විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් චාවේස් හිතවාදීන් විසින් පහර දි පළවා හැර තිබේ. වෙනිසියුලා ව්‍යවස්ථාව අනුව එරට ජනාධිපතිවරයා මිය ගියහොත් දින 30 ක් ඇතුළත ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුය . 

ජනාධිපති චාවේස් විශේෂයෙන්ම එරට දුගී දුප්පත් ජනතාවට කරන ලද සේවය අගයමින් ජගත් සංවිධාන මහ ලේකම් ඇතුළු රාජ්‍ය නායකයන් විසින් එවන ලද පණිවුඩ ගලා එන බව සඳහන්ය.
Read Post | comments

මදුරෙයි මිහින් ලංකාකාර්යාලයට ප්‍රහාරයක්‌

Thursday, March 7, 2013

ඉන්දියාවේ තමිල්නාඩුවේ මදුරෙයිහි පිහිටි මිහින් ලංකා ගුවන් සේවා කාර්යාලයට (6 වැනිදා) උදැසන කඩා වැදුණු එල්ටීටීඊ හිතවාදීන් පිරිසක්‌ එහි දේපළවලට බරපතළ හානි සිදුකර ඇතැයි වාර්තාවේ. කොටි ලාංඡන සහිත කළු පැහැති ටී ෂර්ට්‌ ඇඳගත් ආයුධ සන්නද්ධ පුද්ගලයන් 6 දෙනකු මදුරෙයි මිහින් ලංකා කාර්යාලයට කඩා වැදී ඇති බවත් එහි උඩු මහලේ තිබූ පරිගණක 4 ක්‌ සහ දුරකථන කිහිපයක්‌ කඩා දැමීමෙන් අනතුරුව ගොඩනැඟිල්ලේ වීදුරු ද කඩා බිඳ දමා ඇතැයි මිහින් ලංකා ගුවන් සේවයේ ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධානියෙක්‌  පැවැසීය.

කාර්යාලයේ විදුලි සැපයුම් පද්ධතියට ද මෙම පිරිස බරපතළ ලෙස හානි සිදුකර තිබෙන බව එම ප්‍රකාශකයා පැවැසීය.

මිහින් ලංකා ගොඩනැඟිල්ල ඉදිරිපිට කොටි හිතවාදීන් තිහකට ආසන්න පිරිසක්‌ කෑ ගසමින් සිට ඇතැයි හෙතෙම පැවැසීය.

මෙම ප්‍රහාරය හේතුවෙන් කිසිවෙකුට හානි සිදුවී නැති නමුත් දේපළවලට සිදුව ඇති පාඩුව රුපියල් ලක්‍ෂ 25 ඉක්‌මවා ඇතැයි ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

සිද්ධියට සම්බන්ධ යෑයි සැකපිට පුද්ගලයන් 30 දෙනෙකු ඊයේ සවස මදුරෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය පිළිබඳ මදුරෙයි පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
Read Post | comments

චාවේස්‌ සමුගනී

වෙනිසියුලානු ජනපති හියුගෝ චාවේස්‌ගේ අභාවයෙන් පසු එරට රජය දින හතක ශෝක කාලයක්‌ ප්‍රකාශයට පත්කර ඇත. 58 හැවිරිදි වෙනිසියුලානු නායකයා (අඟහරුවාදා) මරණයට පත් වූයේ පුරා වසර 2 ක්‌ තිස්‌සේ පිළිකා රෝගයෙන් පීඩා විඳීමෙන් අනතුරුවය.

වසර 14 ක්‌ වෙනිසියුලාව පාලනය කළ චාවේස්‌ මුලින්ම ජනපති පදවියට පත් වූයේ 1998 දෙසැම්බර් 06 වැනිදා ය.

2002 වසරේදී චාවේස්‌ට එරෙහිව කුමන්ත්‍රණයක්‌ සිදු වුවද එය මැඬපවත්වා බලය රැක ගැනීමට හෙතෙම සමත් විය.

වයස 44 දී එරට ජනාධිපති පදවියට පත් වූ හෙතෙම එම ධුරයට පත් වූ ලාබාලම පුද්ගලයායි.

තමාට පිළිකාවක්‌ වැළඳී ඇති බව චාවේස්‌ වෙනිසියුලානු ජනතාවට දැනුම් දුන්නේ 2011 දී ය. මව්බිමට විරුද්ධ පිරිස්‌ තමාට වස දී ඇති බව චාවේස්‌ ප්‍රකාශ කර සිටියේය. කෙසේ නමුත් ඇමරිකාව මේ චෝදනාව ප්‍රතික්‍ෂේප කර සිටියේ මෙය විහිළු කථාවක්‌ බව පවසමිනි.

චාවෙස්‌ ජනපතිගේ අභාවය දැන ගැනීමෙන් පසු එරට අගනුවරට එක්‌ වූ වැසියෝ හඬා වැටෙන්නට වූහ. 39 හැවිරිදි යමිලියා බැරිගොස්‌ ප්‍රකාශ කළේ තමාට මේ ශෝකය දරාගත නොහැකි බවයි.

හියුගෝ චාවේස්‌ගේ අවසන් කටයුතු ලබන සිකුරාදා සිදු කිරීමට නියමිතය.

එමෙන්ම නව ජනාධිපති තේරීමේ ඡන්දය දින 30 කින් සිදු කරන බව එරට රජය දැනුම් දුන්නේය.

දෙවතාවක්‌ විවාහ වූ චාවේස්‌ සිව්දරු පියෙකි.
Read Post | comments

උ/කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලිම ජගත් ආරක්ෂක කවුන්සලය හෙළා දකී

උතුරු කොරියාව පසුගිය මාසයේ දි සිදු කළ න්‍යෂ්ටික ආයුධ පරීක්ෂණයට එරෙහිව සම්බාධක පැනවිය යුතු බවට ඇමෙරිකාව සහ සගයන් බලකර සිටීම පිළිබඳව සාකච්ඡා කිරිමට ජගත් ආරක්ෂක මණ්ඩලය ඊයේ රැස්විමට නියමිත විය.

ජාත්‍යන්තරයේ හුදකලා වි සිටින උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනවීමට ඇමෙරිකාව සහ චීනය නව එකඟතාවකට පැමිණ ඇතැයි සඳහන්. ජගත් සංවිධාන ඇමෙරිකන් තානාපති සූසන් රයිස් ජගත් සංවිධාන චීන තානාපති ලී බඕඩොං සමඟ කෙටුම්පත් යෝජනාව අවසන්වරට පිළියෙළ කරමින් සිටින බව රුසියන් තානාපති විටලි චුර්කින් වාර්තා කරයි.

උතුරු කොරියාව සිය තුන්වන න්‍යෂ්ටික අත්හදා බැලිම සිදුකර පැයක් ඇතුළත රැස්වූ 15දෙනෙක්ගෙන් සමන්විත ජගත් ආරක්ෂක කවුන්සලය එය ප්‍රබල ප්‍රකෝපකාරී ක්‍රියාවක් බව තරයේ හෙළා දැක ඇත. උතුරු කොරියාව පවසන්නේ මෙම න්‍යෂ්ටික පර්යේෂණය සිදු කළේ ඇමෙරිකාවේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව බවයි.
.
Read Post | comments

පාකිස්තාන අගමැති රාජා පර්වේස් පළමුවරට ඉන්දියාවේ සංචාරයක

පාකිස්තාන අගමැති රාජා පර්වේස් අෂ්රොෆ් මේ සතියේදී පළමුවරට ඉන්දියාවේ සංචාරයක නිරත වනු ඇතැයි නවදිල්ලි නිලධාරින් ඊයේ ප්‍රකාශකර තිබේ. මේ අනුව ඔහු ඉස්ලාමීය පල්ලියක් වෙත එක් දින වන්දනා ගමනක යෙදෙනු ඇතැයි සඳහන්ව තිබේ.

"පාකිස්තාන අගමැතිවරයා සෙනසුරාදා ඉන්දියාවට පැමිණෙනවා. මෙය පෞද්ගලික සංචාරයක්. ඔහුගේ පවුලේ අය හා සෙසු නිලධාරින් ඔහු සමග පැමිණීමට නියමිත"යැයි මේ නිලධාරින් වැඩිදුරටත් පවසා තිබේ. මේ සංචාරයේදී ඔහු ඉන්දීය දේශපාලන නායකයින් කිසිවකු හමුනොවනු ඇත. 

එය සැබවින්ම ආගමික හා අධ්‍යාත්මික සංචාරයක් පමණක් වනු ඇත. නවදිල්ලියෙන් කිලෝමීටර 400 ක් දුරින් පිහිටි අජ්මර් ෂාරිෆ් හි හස්රාත් කවජා ගාරිබ් නවාස් පල්ලියේදී අෂ්රෆ් ඇතුළු පවුලේ අය යාඥා මෙහෙයකට එක් වනු ඇතැයි පැවසී තිබේ. 

ඉකුත් අප්‍රේල් මස පාකිස් තාන ජනාධිපති අසිෆ් අලි සර්දාරි මේ හා සමාන වන්දනා ගමනක යෙදෙමින් ඉන්දියාවට පැමිණි අතර එහිදී ඉන්දීයඅගමැති මන්මෝහන් සිං සමග දිවා භෝජනයකට ද එක්ව තිබිණ.
Read Post | comments

ප්‍රචණ්ඩ ක්‍රියාවලට ගොදුරු වී බංග්ලාදේශයේ 81ක් මිය යති

Wednesday, March 6, 2013

බංග්ලාදේශයේ ජමිට් ඉස්ලාම් පක්ෂ නායකයන් යුද අපරාධවලට වරදකරුවන් බව තීන්දුවීමත් සමඟ ඇතිවූ ප්‍රචණ්ඩත්ව රැල්ලෙන් මේ වනවිට 81 දෙනකුට ජිවිත අහිමිව තිබෙන අතර පෙරේදා විරෝධතා කරුවන් එල්ල කළ පෙට්‍රෝල් බෝම්බයක් ඉන්දීය ජනාධිපති රැඳී සිටි හෝටලය අබියස පුපුරාගොස් තිබේ.

ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි නැවතී සිටි සොනාගාඕන් පෑන් පැසිෆික් හෝටලය අබියස පුපුරා ගිය මේ බෝම්බයෙන් කිසිවකුටත් හානියක් සිදුව නැති බව පොලිසිය හා හෝටල් සේවකයන් විසින් ප්‍රකාශ කර තිබේ. සුළු පිපිරීමක් ලෙස මුකර්ජිගේ කාර්යාලයෙන් හඳුන්වන ලද මේ බෝම්බය ගමන් කරමින් තිබුණු වාහනයකින් විසිකරන ලද්දක් යැයි අනුමාන කරන බව පොලීසිය කියා ඇත. 

බංග්ලාදේශ යුද අපරාධ අධිකරණයක් මගින් ජමාට් ඉස්ලාම් පක්ෂ නායකයින් යුද අපරාධ සිදුකර ඇති බව තහවුරු කරමින් ඔවුන්ට දඬුවම් නියම කිරීමෙන්ජනවාරි 21 දා ආරම්භ කළ ප්‍රචණ්ඩ රැල්ල නිසා පෙරේදා තවත් සිවුදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබිණ. මෙතෙක් උද්ඝෝෂණවලදී ජීවිතක්ෂයට පත්ව ඇති 81 දෙනාගෙන් 65 දෙනකුම මියගොස් ඇත්තේඉකුත් බ්‍රහස්පතින්දා ජමාට් ඉස්ලාම් පක්ෂ උපසභාපති ඩෙලිවර් ‍හුසේන් සයිදි එල්ලා මරා දැමීමට නියම කිරීමෙන් පසුය.

1971 බංග්ලාදේශ නිදහස් සටනේදී පාකිස්තාන හමුදා හා පාකිස්තාන හිතවාදින් සමග එක්ව අපරාධ කළ බවට ජමාට් ඉ ඉස්ලාම් පක්ෂයට එරෙහිව නැගී ඇති චෝදනා මත යුද අපරාධ අධිකරණයක් මගින් විමර්ශනයන් සිදුකෙරෙමින් පවති. පැන නැගී ඇති විරෝධතා රැල්ල එරට ආර්ථිකයටද අහිතකර ලෙස බලපා ඇතැයි පැවසේ. ජමාට් පක්ෂය ඉකුත් ඉරිදා පටන් දෙදින මහ වැඩ වර්ජනයක් කැඳවා තිබුනු අතර පෙරේදා දිනයේද පාසල් කාර්යාල කඩසාප්පු සියල්ල වැසී ගොස් තිබී ඇත. මහා මාර්ග පාළුවට ගොස් තිබුණු බවද පැවසේ.

උතුරු බොග්රා දිස්ත්‍රික්කයේ ජමාට් ආධා කරුවන් 10000 ක් පමණ පොලු මුගුරු කැති හා ගෘහස්ත නිෂ්පාදිත බෝම්බවලින් සන්නද්ධව ‍ පොලිස් ස්ථාන12 කට පමණ පහරදී ඉන් 4 කට හා රජයේ කාර්යාල 2 කට ගිනතබා ඇතැයි පොලීසිය කීවේය. එක් දිස්ත්‍රික්කයකදී උද්ඝෝෂකයන් විසින් පහරදීමෙන්පොලිස් භටයකු මියගොස් තිබේ. ප්‍රහාරකයින් පැය දෙකක පමණ කාලයක් පොලිසි වටකොට සිටීම නිසා වෙඩිතැබීම හැර අන් විකල්පයක් නොවූ බව පොලිසිය කියා තිබේ. ජමාට් පක්ෂය පවසන්නේ මේ යුද අපරාධ නඩු විභාගය යුක්තිය පසිඳිලීමක් නොව තරහ මරහ පිරිමසාගැන්මක් බවය.
මේ අතර මරණයට නියමව ඇති සයිදි ගේ මුහුණ සඳමත දැක්වෙන බවත් එය ඔහුගේ අහිංසකත්වය තහවුරුකරන්නක් බවත් පැවසෙන දූෂමාණ ආරංචියක්පැතිර යාමත් සමග එය ගම්මුන් පොලිසියට එරෙහිව උසිගැන්වීමට යොදාගෙන ඇතැයි පැවසේ.
Read Post | comments

චාවේස් යළිත් දරුණු ආසාදනයකට ගොදුරු වෙලා

පිළිකා රෝගයෙන් පෙළෙන වෙනිසියුලා ජනාධිපති හියුගෝචාවේස් ඒ සඳහා රස චිකිත්සා ප්‍රතිකාර ලබමින් සිටියදී දරුණු ආසාදනයකට ගොදුරුව ඇති බවත් ඉන් ඔහු‍ හුස්ම ගැනීමේ බරපළ අපහසුතාවකින් පෙළෙන බවත් පෙරේදා එරට රජය ප්‍රකාශ කළේය.

මේ ප්‍රකාශය නිකුත්ව ඇත්තේ 58 හැවිරිදි චාවේස් ප්‍රතිකාර සඳහා දෙමසක් තිස්සේ කියුබාවේ ප්‍රතිකාර ලැබිමෙන් පසු ආපසු පැමිණ කැරකස් හි හමුදා රෝහලකට ඇතුළත් ව සිටියදීය. කියුබාවේදී ඔහු ඉකුත් ජූනිමාසයෙන් පසු සිදුකළ සිවුවැනි පිළිකා සැත්කමටද මුහුණ දී තිබිණ. 

ඔහු ට ප්‍රබල රස චිකිත්සා ප්‍රතිකාර ලබාදෙන අතර පවත්නා ආසාදනය හා ස්වසන අපහසුතාව සඳහාද ප්‍රතිකාර ලබාදෙන බව එරට ප්‍රවෘත්ති ඇමැති එමෙස්ටෝ විලේගස් රෝහලේ සිට නිකුත්කළ නි‍වේදනයකින් පවසා ඇත. ඉකුත් ජනවාරියේ සිටම ඔහු මේ ස්වසන ආසාදනයෙන්ද පෙළෙමින් සිටින අතර එය දැන් උත්සන්න වී ඇතැයි පැවසේ.

චාවේස් කියුබාවේ දී ප්‍රතිකාර ලැබීමෙන් පසු යළි සි‍ය රට පැමිණියේ ඉකුත් 18 වනදාය. ඔහු දැනි තෙමසක් තිස්සේ ප්‍රසිද්ධියේ කථාවක් පවත්වා නැත. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන රජය වරින්වර එකිනෙකට පටහැනි ප්‍රකාශ නිකුත් කරයි. මේනිසා ඔහු ගැන සත්‍ය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සියගණන් පිරිස් ඉකුත් ඉරිදා විදි බැස තිබුණේ විපක්ෂයේ මෙහෙයවීම මතය..
Read Post | comments

පලස්තීන රැඳවියන් දෙදෙනකු උපවාසය නිම කරයි

Tuesday, March 5, 2013

කිසිදු නඩු වාරයකට ඉදිරිපත් කිරීමකින් තොරව ඊශ්‍රායලයේ සිරගත කොට තැබූ පලස්තීන ජාතිකයන් දෙදෙනකු ඉකුත් බදාදා පැවැති හමුදා නඩු විභාගයකින් පසුව සිය උපවාසය නිම කරන ලද බව කියැවේ. “ටාරික් කුආඩන්”  හා “ජෆාර් එසඩින්” මෙලෙස උපවාසය නිම කරන ලද නමුදු තවත් සිරකරුවන් දෙදෙනකු උපවාසයේ නිරතවෙමින් රෝහල්ගතව සිටින බව කියැවේ. 
 
එක්සත් ජාතීන් හා යුරෝපා සංවිධානයද උපවාසකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සිය අවධානය යොමු කොට ඇති අතර ඔවුන්ට සහාය දක්වනු වස් පලස්තීනුවන්ද උද්ඝෝෂණ සිදු කර ඇත.
Read Post | comments
 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all