Photobucket

Monday, September 28, 2015

මක්කම ඛේදවාචකය

වර වාර්ෂික මක්කම වන්දනා සමය අවසන් වූයේ මහා ඛේදවාචකයකිනි. තෙරපීමෙන් මිය ගිය සංඛ්‍යාව 717ක් බව තහවුරු කොට තිබේ. එහෙත් සිකුරාදා දිනය වන විටත් සෞදි අරාබි ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබුණේ ඔවුන් තවමත් මළ සිරුරු ගණන් ගනිමින් සිටින බවයි. මක්කම වීදි දිගේ මළ සිරුරු අතුරා තිබූ අතර මිනා හි ප්‍රධාන මාර්ගවල සුදු පැහැ ඇඳුම් සහ පෑගී තැළී ගිය වතුර බෝතල් දහස් ගණන් දක්නට ලැබී තිබේ.

මෙවර හජ්ජි වන්දනා සමය මුස්ලිම් බැතිමතුන්ට එතරම් සුබදායී ‍නොවන බවට ඉඟි ලැබුණේ පසුගිය 11වැනිදා මක්කම දී දොඹකරයක් පෙරළීමෙන් සීයකට අධික පිරිසක් මිය ගිය අවස්ථාවේදී ය. හජ් වන්දනා සමය අවසන් වන මිනා හි යක්ෂයාට ගල් ගැසීමේ අවස්ථාව යනු සාමාන්‍යයෙන් වන්දනාකරුවන් තෙරපීමට ලක් වන ස්ථානයකි. මීට පෙර 2006 වසරේදීද මිනා හිදී තෙරපීමෙන් වන්දනාකරුවන් 364ක් මිය ගිය අතර 1990දී වන්දනාකරුවන් 1426ක් මියගොස් තිබේ.
ඒ අනුව මෙවර ව්‍යසනය වසර විසිපහකට පසුව සිදු වූ දරුණුතම ඛේදවාචකය ලෙසින් ඉතිහාසයට එක් වී තිබේ. මිනා මක්කම සිට කිලෝමීටර් 3ක දුරින් පිහිටා ඇති අතර වන්දනාකරුවන් මිනා වෙත පැමිණෙන්නේ හිමිදිරියාමයේ ය. සිද්ධිය සිදුවූ බ්‍රහස්පතින්දා දිනයේ උදෑසන 9 පමණ වන විට තිබී ඇත්තේ අධික උණුසුමකි.

වාර්තාවන අන්දමට එය සෙල්සියස් අංශක 46කි. මේ හේතුවෙන් වන්දනාකරුවන් දැඩි පීඩාවට සහ නොරිස්සුම්සහගත බවකින් පසුවන්නට ඇතැයි අනුමාන කෙරේ. එසේ වුවද වන්දනාකරුවන් චෝදනා කරන්නේ සෞදි බලධාරීන් වන්දනාකරුවන්ට නිසි පහසුකම් ලබා නොදුන් බවයි.

වන්දනාකරුවන් සිටියදීම පොලීසිය විසින් මාර්ග වසා දැමූ බවට ඇසින් දුටු සාක්ෂීද ලැබී තිබේ. එමෙන්ම මේ හේතුවෙන් වන්දනාකරුවන්ට නිසි පරිදි වන්දනා කටයුතු සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ බවටද සෞදි බලධාරීන් වෙත චෝදනා එල්ල වෙමින් පවතී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all