Photobucket

Saturday, March 9, 2013

චාවේස් සැබෑ දේශප්‍රේමී නායකයෙක්

අභාවප්‍රාප්ත වෙනිසියුලානු ජනාධිපති හියුගෝ ‍චාවේස් මහතා සැබෑ දේශප්‍රේමී වෙනිසියුලානු පුත්‍රයකු මෙන් ම රටේ සුබ සිද්ධියට සහ සංවර්ධනයට ඇප කැප වී ක්‍රියා කළ ප්‍රගතිශීලී මතධාරියකු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වෙනිසියුලාවේ වත්මන් වැඩබලන ජනාධිපති නිකලස් මඩුරොස් මොරෝස් මහතා වෙත ශෝක පණිවුඩයක් යොමු කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

දිගු කලක් අසනීපව සිටි වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ ජනාධිපති අතිගරු හියුගෝ චාවේස් ප්‍රියාස් මැතිතුමාගේ අභාවය පිළිබඳ පුවත ඇසීමෙන් මම දැඩි ශෝකයට පත් වූයෙමි. ඔබතුමාටත්, අභාවප්‍රාප්ත ජනාධිපතිතුමාගේ පවුලේ සාමාජිකයන්ටත්, එසේම වෙනිසියුලා රජයට සහ එරට ජනතාවටත් ශ්‍රී ලංකා රජයේත්, ජනතාවගේත් ශෝකය මෙයින් පළ කෙරෙනු ඇත.

අභාවප්‍රාප්ත ජනාධිපති චාවේස් මැතිතුමා ශ්‍රී ලංකාවේ මිත්‍රයකු වූවා පමණක් නොව අප දෙරට අතර මිත්‍රත්වය හා සබඳතා ශක්තිමත් කිරීමෙහිලා විශේෂ උනන්දුවක් දැක්වූ අයෙකු ද විය. එතුමා සමඟ පැවැත් වූ සාකච්ඡාවල දී එතුමා පළ කළ මිත්‍රශීලී අදහස් අදත් මා සිහිපත් කරනුයේ ඉමහත් සුහද හැඟීමෙනි.

මෙම ශෝකජනක අවස්ථාවේ දී ඔබත්, අභාවප්‍රාප්ත චාවේස් මැතිතුමාගේ පවුලේ සාමාජිකයනුත්, වෙනිසියුලානු ජනතාවත් සමඟ අපි සැවොම ශෝකය බෙදා ගනිමු.

දේශයේ නායකයාගේ අභාවය පිළිබඳව මුළු රටම ශෝකවන මෙම අවස්ථාවේ දී සමස්ත ශ්‍රී ලාංකික ජනතාව ද මා සමඟ එක්ව ශෝකය පළ කරන බව යළිදු අවධාරණය කරනු කැමැත්තෙමි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all