Photobucket

Monday, September 28, 2015

පාකිස්තානුවෝ වි:20 න් ඉහළ නගිති

පකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ හරාරේ නුවරදී  (27 දා) පැවැති පළමු තරගයෙන් ලකුණු 13 ක ජයක් ලැබූ පකිස්තානය ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමට සමත් විය.

මේ වසරේදී පකිස්තානය සහභාගි වූ හය වැනි විස්සයි විස්ස තරගය මෙය වූ අතර එහිදී පිට පිටම ජයගත් පස්වැනි තරගය මෙය වේ. වසර ආරම්භයේදී විස්සයි විස්ස ශ්‍රේණියේ හය වැනි ස්ථානයේ සිටි පකිස්තානුවන් මෙම ජයග‍්‍රාහී රැුල්ලත් සමග ප‍්‍රසාද ලකුණු 121 ක් ලබා තිබේ. පකිස්තානුවන් අදාළ ශ්‍රේණියේ දෙවැනි වන්නේ ප‍්‍රසාද ලකුණු 126 ක් ලබා සිටින ශ‍්‍රී ලංකාවට පමණි.

පසුගිය අපේ‍්‍රල් මාසයේ බංග්ලාදේශයේදී කඩුලූ හතක පරාජයක් ලැබූ පකිස්තානුවන් අනතුරුව සිම්බාබ්වේට එරෙහිව තරග දෙකක් සහ ශී‍්‍ර ලංකාවට එරෙහිව තරග දෙකක් ජය ගනිමින්, සිම්බාබ්වේ බලා පිටත් වූයේ කලගුණ සැලකීමේ තරගාවලියකට සහභාගි වීම සඳහාය.

කිසිම රටක ජාතික කණ්ඩායමක් පකිස්තානයේ තරග නොකිරීමට තීරණය කර තිබියදී සිම්බාබ්වේ කණ්ඩායම ඉකුත් මැයි මස පකිස්තානයට ගොස් එක්දින තරගාවලියකට සහ විස්සයි විස්ස තරගාවලියකට සහභාගි විය. එම තරගාවලියට සිම්බාබ්වේ පැමිණීම හේතුවෙන් පකිස්තානුවන් මෙම සංචාරයට සහභාගි වීමට එකගත්වය පළ කර තිබුණි.

පකිස්තාන් නායක සහිඞ් අෆ්රීඩි කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තද ඔවුන්ට ලබාගත හැකිවූයේ කඩුලූ අටක් අහිමිව ලකුණු 136 ක් පමණි.

විස්සයි විස්ස තරගයකදී පකිස්තානයට එරෙහිව කිසිදු ජයග‍්‍රහණයක් නොලද සිම්බාබ්වේ පිතිකරුවන්ට ජයග‍්‍රහණය සඳහා අවසන් පන්දු 25 දී කඩුලූ තුනක් අතැතිව ලකුණු 47 ක් ලබා ගැනීමට තිබුණි. එහිදී ඔවුන්ට ලබාගත හැකිවූයේ කඩුලූ 2 ක් දැවී යන විට ලකුණු 33 ක් පමණි. සිම්බාබ්වේ කණ්ඩායමේ ජයග‍්‍රාහී සිහිනය බොඳ කර දැමූ 26 හැවිරිදි වමත් දග පන්දු යවන්නා වූ ඉමාඞ් වසීම් ලකුණු 11 කට කඩුලූ 4 ක් බිද දැමුවේය. දුවද්දී දවා ගැනීම් දෙකකට දායක වූ ඉමාඞ් අභියෝගයකින් තොරවම තරගයේ වීරයා සම්මානයට පාත‍්‍ර විය.

සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුලූ පහ ලකුණු 66 කට දැවී යද්දී ඉන් කඩුලූ හතරකම අයිතිකරුවා වූ ඉමාඞ් වසීම් පකිස්තානු විස්සයි විස්ස කි‍්‍රකට් ඉතිහාසයේ හයවැනි හොඳම පන්දු යැවීම සටහන් කළේය. කෙසේ වෙතත් ඉමාඞ් මෙම තරගයට සහභාගි වීමට පෙර සහභාගි වූ විස්සයි විස්ස තරග තුනකදී ලබා තිබුණේ කඩුල්ලක් පමණි.

පකිස්තානු ඉනිමේ පළමු කඩුලූ තුන ලකුණු 29 දී දැවී ගියද පළමුව දැවී ගිය  පිතිකරුවා වූ අහමඞ් ෂෙශාඞ් මිනිත්තු 20 කදී මුහුණ දුන් පන්දු 19 න් හතරේ පහර තුනක් සමග ලකුණු 17 ක් ලබා ගත්තේය.

අංක හතර පිතිකරු ලෙස පැමිණි ෂොයිබ් මලික් පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර දෙකක් සමග කණ්ඩායමේ වැඩිම ලකුණු (35) ලාභියා ලෙස පස්වැනි කඩුල්ලට පිටියෙන් ඉවත් වන විට පකිස්තානු ලකුණු පුවරුව පන්දු  ඕවර 14.2 කදී ලකුණු 87 ක් ලෙස සටහන් විය.

පකිස්තානුවන්ගේ කඩුලූ රකින්නා වූ මොහොමඞ් රිස්වාන් අංක හය පිතිකරු ලෙස පැමිණ පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 33 ක් ලබා ගනිද්දී අංක හත පිතිකරුවා වූ ඉමාඞ් වසීම් පන්දු 12 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 19 ක් ලබා නොගන්නට තරගයේ තීරණය වෙනස් කිරීමට සිම්බාවේ පිතිකරුවන්ට හැකියාවක් තිබුණි.

පකිස්තාන් නායක සහිඞ් අෆ්රීඩි අංක අට පිතිකරු ලෙස පැමිණියද ඔහුට ලබාගත හැකිවූයේ ලකුණු දෙකක් පමණි. පන්දු යැවීමේදීද අසාර්ථක වූ අෆ්රීඩි යවන ලද පන්දු  ඕවර තුනේදී ලකුණු 23 ක් ලබා ගැනීමට සිම්බාබ්වේ පිතිකරුවෝ සමත් වූහ.

පකිස්තාන් පන්දු යවන්නන්ට සටනක් දුන් ආරම්භක පිතිකරු හැමිල්ටන් මස්කඞ්සා පන්දු 25 කදී හතරේ පහර දෙකක් සමග ලකුණු අතරට පැමිණෙමින් සිටියදී සිව්වැනි කඩුල්ලට පිටියෙන් ඉවත් විය. ඉන්පසු සිම්බාබ්වේ ලකුණු පුවරවට කැපී පෙනෙන දායකත්වය සැපයූ නායක එල්ටන් චිගුම්බුරා පන්දු 28 කදී හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සමග කණ්ඩායමේ වැඩිම ලකුණු (31) ලාභියා වෙමින් තමාගේ පිල ජයග‍්‍රහණය පෙනෙන නොපෙනන තරම් දුරකට ගෙන ආවේය.

චිගම්බුරා අවසන් පන්දු  ඕවරයේ පළමු පන්දුවෙන් දැවී යාමට පෙර සිම්බාබවේට ජයග‍්‍රහණය සඳහා අවසන් පන්දු හයෙන් ලකුණු 16 ක් ලබා ගත යුතුව තිබුණි. එහිදී චිගුම්බුරා නව වැනි කඩුල්ල ලෙස 20 වැනි පන්දු  ඕවරයේ පළමු පන්දුවටම දුවද්දී දැවී ගියේය.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගය ලබන 29 වැනිදා හරාරේ නුවරදී පැවැත්වේ.

පකිස්තානය පන්දු  ඕවර 20 කදී කඩුලූ 8ට ලකුණු 136 යි.
(අහමඞ් ශේෂාඞ් 17, ෂොයිබ් මලික් 35, උමාර් අක්මාල් 14, මොහොමඞ් රිස්වාන් නොදැවී 33, ඉමාඞ් වසීම් 19, චමූ චිබාබා 18/3 යි)

සිම්බාබ්වේ පන්දු  ඕවර 20 කදී කඩුලූ 9ට ලකුණු 123 යි.
(හැමිල්ටන් මස්කඞ්ෂා 25, සීන් විලියම්ස් 14. එල්ටන් චිගම්බුරා 31, ඉමාඞ් වසීම් 11/4 යි)
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all