Photobucket

Wednesday, September 23, 2015

ඉන්දුනීසියාවේ ළැව් ගිනි කලාපයේ ජන ජීවිතය අඩපණ කරයි

පසුගියදා ඉන්දුනීසියාවේ පැතිර ගිය ළැව් ගිනි හේතුවෙන් ගිනිකොන ආසියාවේ තවත් රටවල් කිහිපයක ද ජන ජීවිතය අඩාළ විය. ඉන්දුනීසියාවේ සුමාත්‍රා සහ බෝර්නියෝ දූපත්වල පැතිර ගිය මේ ළැව් ගිනි හේතුවෙන් වනාන්තර අක්කර දහස් ගණනක් විනාශ විය.

එහෙත් වඩාත් හානිකර වී ඇත්තේ පැතිර ගිය ළැව් ගිනිවලින් නැගුණු දුම් වලාවයි. මේ දැඩි ඝන දුමාරය කොතෙක් වී ද යත් අසල්වැසි මැලේසියාවේ සාමාන්‍ය ජන ජීවිතය එයින් අඩාළ විය.

මැලේසියාවේ අගමැති මැඳුර පිහිටි පුත්‍රජයා නගරයද මේ දුමාරයෙන් වැසී ගිය අතර අගමැති මැඳුරද දුමාරයට මැදි විය. ක්වාලාලම්පූර් නගරයේ පමණක් පාසල් 2000ක් වසා දැමුණූ අතර නගරයේ මාර්ගවල දර්ශනය පවා අපැහැදිලි වූයෙන් මාර්ගවල ගමනාගමනයට ද බාධා ඇති විය.

තවත් අසල්වැසි රටක් වූ සිංගප්පූරුවේ ගුවන් ගමන්වලට බාධා ඇති වූයෙන් ගුවන් ගමන් වාර රාශියක්ම අවලංගු කරන්නට සිදු විය.

මෙලෙස ගිනිකොන ආසියානු කලාපය අඩපණ කර දැමූ ළැව් ගින්න ඇතිවීමට හේතුව ලෙසින් හඳුනාගෙන ඇත්තේ අනවසර කැලෑ එළි‍කිරීම් ය. ඉන්දුනීසියාව යනු තවමත් නොඉඳුල්ව පවතින ස්වාභාවික වැසි වනාන්තරවලින් සමන්විත සුන්දර දේශයකි.

එහෙත් අනවසර කැලෑ එළිකරන්නන්ගෙන් තම වනාන්තර රැක ගැනීමට එරට රජය යොදන බලය අවමය.

ළැව් ගිනි පැතිර යෑමෙන් පසුව ගිනි නිවීම සඳහා විශේෂ ගුවන් යානා කිහිපයක්ම යෙදවීමට ඉන්දුනීසියානු බලධාරීන්ට සිදුවිය. හෙලිකොප්ටර් යානා තුනකින් වතුර බෝම්බ හෙළන ලදී. ගිනි නිවීම් සඳහා යොදා ගත් තවත් විශේෂ ගුවන් යානයක් ලෙස ගුවන් ට්රැක්ටරය විශාල මෙහෙයකට දායක කර ගෙන තිබේ.

මේ ගුවන් ට්රැක්ටරයේ ජලය ලීටර් 3000ක් ගුවනට ගෙන යා හැකිය. ගින්නේ දරුණුකම හේතුවෙන් තවත් ගුවන් ට්රැක්ටරයක් ඔස්ට්‍රේලියාවෙන් වහාම ගෙන්වීමට ද ඉන්දුනීසියානු බලධාරීන් කටයුතු කර තිබිණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all