Photobucket

Wednesday, September 23, 2015

'බව්වා' බිරුවැයි කළුවිතාරණගෙන් පැමිණිල්ලක්‌


1996 ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රබලම සාමාජිකයකු මෙන්ම වත්මන් ශ්‍රී ලංකා "ඒ" කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු රොමේෂ් කළුවිතාරණට, ජාතික කණ්‌ඩායමේ සහයක පුහුණුකරුවකු ලෙස සිටින පුද්ගලයකු කරන ලද තර්ජනයක්‌ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට පැමිණිල්ලක්‌ ලැබී ඇත.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ පන්දුව විසිකිරීමට මෙන්ම වත්මන් පන්දු රැකීමේ පුහුණුකරු ලෙස "ලේබල්" ගතව සිටින අදාළ තැනැත්තා විසින් රොමේෂ් කළුවිතාරණට මෙසේ තර්ජනය කර ඇති බව වාර්තා වේ.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා "ඒ" කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ට පුහුණුවීමට තණතීරුවක්‌ ලබා ගැනීමට කළ උත්සහයකදී කළුවිතාරණ කියු කතාවක්‌ සම්බන්ධව උරණ වූ අදාළ තැනැත්තා කළුවිතාරණට මරණ තර්ජන කරමින් කෑ කෝ ගසා ඇති අතර එතන සිටි කිහිප දෙනකු ඒ සම්බන්ධව කළුවිතාරණට දැනුම් දී තිබේ. අනතුරුව කළුවිතාරණ ඒ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට පැමිණිලි කර ඇත.

"ක්‍රිකට්‌ ගහපු කෙනෙක්‌ තමයි ක්‍රිකට්‌ ගැන දෙයක්‌ දන්නෙ" යනුවෙන් කළුවිතාරණ විසින් අවිශ්ක ගුණවර්ධනට පවසා ඇතැයි වාර්තා වේ. එහිදී පළමු පෙළ හෝ ක්‍රිකට්‌ ක්‍රීඩා නොකර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පන්දු රැකීමේ පුහුණුවට මෙන්ම පිතිකරණ පුහුණුවටද පන්දුව විසි කරන තැනැත්තා උරණ වී ඇතැයි "දිවයින" කළ සොයා බැලීමකදී අනාවරණය විය. "බව්වා" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මෙම පුද්ගලයා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කාර්යාලයේ සේවය කරන කාන්තාවකටද "චණ්‌ඩි පාට්‌" දමා ඇති බවත් එම කාන්තාවද ඒ සම්බන්ධව පැමිණිලි කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධව පරීක්‍ෂණයක්‌ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ ප්‍රධානීන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ දුෂණ මර්දන ඒකකයට පවරා ඇත. ඒ සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ලක්‍ෂ්මන් ද සිල්වා මහතා පරීක්‍ෂණයක්‌ පවත්වා තිබේ.

අදාළ පරීක්‍ෂණයේදී සිදුවූ දෙය පිළිබඳව සොයා බලා ඇති අතර එම සිදුවීම එතැනින් අහවර කිරීමට නියමිතව ඇතැයි ක්‍රිකට්‌ ආයතන නිලධාරියකුගෙන් වාර්තාවේ. ක්‍රිකට්‌ ක්‍රීඩාවේ විනය රැක ගැනීම සහ ජාතික කණ්‌ඩායමක පන්දුව විසි කිරීමට හෝ ක්‍රිකට්‌ පිළිබඳව හසල දැනුමක්‌ ඇත්තකු පත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධානීන් අසමත්වීම මෙවැනි ගැටුම් නිර්මාණය වීමේ ප්‍රධානතම හේතුව බව තතු දත් උදවිය "දිවයින" ට පැවසීය. 

කෙසේ වෙතත් ක්‍රීඩකයන් සමග ඉතාම සමීපයෙන් කටයතු කරන "බව්වා" නමැත්තාට ඉදිරියටත් එම රාජකාරිය කරගෙන යැමට හැකි වටපිටාවක්‌ අදාළ සිදුවීමෙන් පසුවද සකස්‌වී තිබීම විශේෂත්වයකි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all