Followers

සතියේ හොදම ලිපි

දවසේ හොදම ලිපි


Photobucket
Showing posts with label කතුවැකි. Show all posts
Showing posts with label කතුවැකි. Show all posts

මරණ දඬුවමට පෙර!

Wednesday, September 23, 2015

රට ම මහත් කම්පනයකට පත් කළ අතිශය දරුණු අපරාධයක් වූ කොටදෙණියාව දැරියගේ ඝාතනය, ශ්‍රී ලාංකික ජන සමාජය මුහුණ දී සිටින සැබෑ ඛේදවාචකය යළිත් ඇස් පනාපිට දිගහැරීමකි. ඉකුත් මැයි මාසයේ යාපනයේ කයිට්ස්හි දී සිදු වූ පාසල් සිසුවියගේ ඝාතනය ද මේ බව සිහිපත් කළත් දැන් ඒ සිද්ධිය අමතක ය. ජාති හෝ පළාත් හෝ භේදයක් නැති ව රට පුරා සිදු වන මේ ආකාරයේ අපරාධ මඟින් විදහා දැක්වෙන්නේ දරුණු සමාජීය පිරිහීමකි.

එය දැක දැක අමතක කිරීම ඛේදවාචකයේ කොටසකි. සිද්ධිය ආසන්නයේ ආවේගවාදී ව ඉදිරියට එන පිරිසක් අපරාධකරුවාට උපරිම දඬුවම් ලබා දීම, විශේෂයෙන් ම ඝාතකයා වෙනුවෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම විසඳුම ලෙස දක්වන නමුත් හැම දෙනාට ම, මුළු රටට ම මේ වෙනුවෙන් වගකීමක් හා වග වීමක් ඇතැයි නොසලකා හරිති.

සමාජයේ ආධ්‍යාත්මික සන්සුන් බව ආගමට, සංස්කෘතියට ඇති කරන්නට නොහැකි අවස්ථාවක දී විකල්පය වන්නේ නීතියට යටත් කිරීම යි. මේ පාරවල් දෙක ම අවසානයේ යහපත් සමාජය වෙතට ළඟා වීම පිණිස යි. එබැවින් නීතියේ සිදුරුවලින් රිංගා යන්නට ඉඩ නොතබා අපරාධකරුවාට උපරිම දඬුවම් දීම කොතරම් ශිෂ්ට සම්පන්න සමාජයක වුව ද සිදු විය යුතු යි.

එහෙත් ඝාතකයාට ඝාතනයෙන් පිළිතුරු දෙන මරණ දඬුවම ශිෂ්ට සම්පන්න ජන සමාජයකට අද කොතරම් ගැළපෙනවා ද? ශ්‍රී ලංකාවේ පොදු සංස්කෘතිය ගොඩනැඟුණේ බෞද්ධ මඟපෙන්වීම අනුව බවට දිගින් දිගට ම ප්‍රකාශ වන පසුබිමක ඝාතනයට ඝාතනයෙන් පිළිතුරු දීම තවත් ප්‍රශ්නකාරී වේ.

දිළිඳුකම නිසා සොරකම ද, සොරකම මැඬලීමට ආයුධ යොදාගැනීමට සිදුවීම ද, ආයුධ නිසා ප්‍රාණඝාතය ද සිදු වන බව කියැවෙන ‘චක්කවත්තී සීහනාද’ සූත්‍රයෙන් ප්‍රශ්නයට නියම විසඳුම ලෙස යෝජනා කරන්නේ දිළිඳු බව මැඬලීම මිස දඬුවම නො වේ. බෞද්ධ මඟපෙන්වීම එය යි. එවැනි වටපිටාවක ඝාතකයාට මරණ දඬුවම ඉල්ලා සිටීම ද නියම විසඳුම වෙතට යොමු නොවී, එනම් ප්‍රශ්නයට මුහුණ නොදී ඇඟ බේරාගැනීමකි; වගකීම, වග වීම බාර නොගැනීමකි.

රට මුහුණ දී සිටින ඇත්ත ප්‍රශ්නය නොහොත් ඛේදවාචකය ශ්‍රී ලාංකික ජන සමාජය ශිෂ්ට සම්පන්න භාවයෙන් වෙනත් දිසාවකට ඈත් ව යෑම යි. වසර තිහකට වැඩි කාලයක් රටේ යුද්ධයක් පැවතීම නිසා ම එසේ වී යැයි කීම ද එක්තරා විදියකට ඇඟ බේරාගැනීමකි.

යුද්ධය යනු ප්‍රශ්නය උග්‍ර කළ හේතුවක් පමණි. ඊට එහාට යන ඉතිහාසයක් මේ ඛේදවාචකයට තිබේ. ඝාතනය නමැති අපරාධයට මුල් වන කාරණ විමසා බැලුවොත් තමන් ළඟ ම අනෙකා, අනෙක් ජාතියක අනෙකා, අනෙක් ආගමක අනෙකා නොඉවසීම හේතු වන හැටි පැහැදිලි වනවා ඇත. අනෙකාට ගෞරව නොකිරීම, අනෙකාගේ අයිතිවාසිකම් නොපිළිගැනීම යන කාරණ මේ ඛේදවාචකයේ පදනම ශක්තිමත් කරයි. ඝාතකයාට ඝාතනයෙන් පිළිතුරු දීම හෙවත් ප්‍රශ්නයට විසඳුම ලෙස ඝාතනය ම දැකීම මඟින් සංකේතවත් වන්නේ ද ජන සමාජයේ එකී පිරිහීම ම ය. දිළිඳුකමට විසඳුම් සොයාගෙන ‘අම්මා’ මැදපෙරදිග රැකියාවකට යෑම මේ පිරිහීමට මඟ පෑදූ තවත් කතාවකි.

එක් අතකට එය යුද්ධයටත් වඩා දරුණු කතාවකි. දූදරු, මාපිය, පවුල් සබඳතා දරුණු අගාධයකට වැටීමට පමණක් නො ව, අපරාධවලට මුල පුරන මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වීමට ද පවුල අම්මාගෙන් ඈත් වීම බලපා ඇත. කුඩු මුදලාලිට වෙළෙඳපොළ හැර දුන්නේ මේ බිඳ වැටීම් ය. දරුවාගේ ආරක්ෂාව අහිමි වන්නේ ද මේ සබඳතා බිඳවැටීමත් සමඟ යි. එකී බිඳවැටීම් සමාජය විසින් ම බිහි කරනු ලබන අපරාධකරුවාට සිය සොරකම හෝ අපරාධය හෝ සඳහා දොරගුළු හැරදීමක් ද වේ.

මත්ද්‍රව්‍ය භාවිතයෙන් සමාජයට සිදු වන හානිය මෙන් ඍජු ව නොපෙනුණත් වගකීම, වග වීම යන කොටස අමතක කරන, මුදල් ලාභය ම මුලට ගන්නා වෙළෙඳාමකින් වුව ද සිදු වන්නේ ඒ හානිය ම ය. කොටදෙණියාව දැරියගේ ඝාතනය හා කයිට්ස්හි පාසල් සිසුවියගේ ඝාතනය ජනමාධ්‍ය මඟින් ඉදිරිපත් කළ සදාචාර විරෝධී ආකාරය ‍රටේ පිරිහීම දැකගන්නට හැකි තවත් පැතිකඩකි. අපරාධය චිත්‍රපටයක් මෙන් දිගහැර පෙන්වීම මාධ්‍ය, මාධ්‍ය වෙනුවෙන් මිස මාධ්‍ය ජන සමාජය වෙනුවෙන් නො වේ ය කියා ඔප්පු කරන අවස්ථාවකි. අනෙක් මාධ්‍ය ආයතනයක් අබිබවන්නට හෝ මූල්‍යමය ලාභය වැඩි කරගන්නට සදාචාර සීමාව බිඳින, වගකීමෙන් හා වග වීමෙන් තොර මාධ්‍ය, ජන සමාජයට ද ඒ සීමාව බිඳින්නට අනුබල දෙයි. ඊළඟට බි‍ඳෙන්නේ නීතියේ සීමාව යි.

ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ දී එතැන ම තුන්දහසකට ආසන්න පිරිසක් මිය ගිය බව කියැවුණත් ඒ එක දු මළ සිරුරක් වත් මාධ්‍ය මඟින් නොපෙන්වීම මාධ්‍ය සදාචාරය ආරක්ෂා කළ අවස්ථාවකට හොඳ නිදසුනකි. ඉන්දියාවේ සරසවි සිසුවියක සමූහ දූෂණයට ලක් වූ ඛේදවාචකය වාර්තා කළ එරට මාධ්‍ය අගතියට පත් සිසුවියගේ නම පවා ප්‍රසිද්ධ නොකිරීමට වගබලා ගත් සැටි ද මෙහි දී සිහිපත් කළ යුතු ය. ලජ්ජා විය යුත්තේ ඒ ආදර්ශ පාඩමක් කොට ගැනීමට සිදු වීම ගැන නො ව, අප වැටී සිටින අගාධයේ තරම දකින්නට මැළි වීම ගැන යි.

අපරාධකරුවාට මරණ දඬුවම පනවන්නට පෙර ඒ වෙනුවෙන් පෙරට එන සැම දෙනා ම තමන් පය ගසා සිටින සමාජය ගැන ස්වයං විවේචනයකින් හැරී බැලිය යුතු ම ය. සන්සුන් මනසින් මේ ගැන සිතන්නට මුළු මහත් සමාජය පෙලඹවිය යුතු ය.
Read Post | comments

පෞරුෂය යනු ගොඩනගා ගත හැකි දෙයකි

Friday, March 8, 2013

"පවුල රකින ඇය සුරකිමු" මේ 2013 ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාවයි. සමස්‌ත ශ්‍රී ලාංකික ජනගහනයෙන් 50% ක්‌ ඉක්‌මවූ සංඛ්‍යාවක්‌ කාන්තාවන්ය. 2011 වසරේ මැද වන විට ශ්‍රී ලාංකීය ජනගහනය 20,869,000 ක්‌ බව 2011 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන්ව ඇත. මින් හරි අඩකට වැඩි ප්‍රමාණයක්‌ කානතාවන් වන අතර මින් ක්‍රියාකාරි ජනගහනය මිලියන 8.11 කි. ක්‍රියාකාරි ජනගහනයන් මිලියන 7.89 ක්‌ ශ්‍රම බළකාය වේ. ශ්‍රම බළකාය සමස්‌ත ජනගහනයෙන් 48.2% ක්‌ වේ. ශ්‍රම බළකායෙන් 31.2% ක්‌ 2010 වසරේදී කාන්තාවන් නියෝජනය කළ අතර 2011 වසරේදී එම ප්‍රමාණය 31.8% දක්‌වා වැඩි වී ඇත. ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වූ ආයතනවල සේවා නියුක්‌තිය 299,902 ක්‌ වන අතර මෙම ආයතන වලින් වැඩි ප්‍රමාණයක්‌ ඇඟලුම් ආශ්‍රිත කර්මාන්තයන්ය. ඇඟලුම් කර්මාන්තවල 75% කට වැඩි ප්‍රමාණයක්‌ සේවය කරන්නේ කාන්තාවන්ය. වැවිලි කර්මාන්තය ආශ්‍රිතව වතුකරයේ ජනගහනය මිලියනයක්‌ පමණ වේ. වතු ආශ්‍රිත වැවිලි කර්මාන්තයේ ශ්‍රම බළකායේ බහුතරය කාන්තාවන්ය. විදේශගත ශ්‍රමිකයන් සංඛ්‍යාව මිලියන 1.6 කට ආසන්නය. මින් හරි අඩක්‌ පමණ ගෘහ සේවිකාවන්ය.

පසුගිය යුද සමයේ පිරිමින් වැඩි වශයෙන් යුද්ධ සේවයට එක්‌ වීමත් සමගම සමහර රැකියා සඳහා ප්‍රවේශ වීමේ අවස්‌ථාව කාන්තාවන්ට උදාවිය. මින් ප්‍රධාන වන්නේ භාණ්‌ඩ හා සේවා සැපයුම් අංශයයි. තොරතුරු තාක්‍ෂණ අංශයේ හා පෞද්ගලික අංශයේ ආයතනවල විධායක හා කාර්යාලගත තනතුරුවල නියෑළෙන කාන්තා ශ්‍රමිකයන් සංඛ්‍යාත්මකව ඉහළ යමින් පවතී. විශේෂයෙන් කාන්තාවන් උසස්‌ අධ්‍යාපනයට වැඩි වශයෙන් යොමුවීමද උගත් ශ්‍රමිකයන් වශයෙන් පෞද්ගලික අංශයේ ශිල්පීය මට්‌ටමේ තනතුරු සඳහා යොමුවන ආකාරයද පෙනෙන්නට තිබේ. පුළුල්වන ආර්ථික හා සමාජ පසුතලය තුළ කාන්තාවන්ට වැඩි අවස්‌ථා හිමි වන මෙම නව ප්‍රවණතාවට සමගාමීව සමාජ ආකල්ප ධනාත්මකව වර්ධනය නොවීම නිසා මෙම යුගයේ කාන්තාවන් විවිධ හිංසාවන්ට ලක්‌වන බව පෙනෙන්නට තිබේ. මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව පරිදි පවුලක්‌ රකින්නේ කාන්තාවන්ය. මන්ද පෙරදිග සංස්‌කෘතික වටිනාකම්වලින් පෝෂිත අප රටේ කාන්තාවන්ට පවුලේ වැඩි වගකීම පැවරී ඇති බැවින් පවුලක්‌ සුරකින ඇය අප විසින් ආරක්‍ෂා කළ යුතුය.

කාන්තාවක වශයෙන් නිවස තුළදී, මහමග ගමන් කිරීමේදී හෝ ආයතනයක සේවය කිරීමකදී හෝ පමණක්‌ නොව ජීවන රටාව තුළ ගතකරනු ලබන සෑම අවස්‌ථාවකදීම තම සුරක්‍ෂිතතාව පිළිබඳ අවධානය යොමුකළ යුතුය. තම සුරක්‍ෂිතතාව පිළිබඳ හැඟීම ගිලිහෙන සෑම අවස්‌ථාවක දී ඕනෑම ආකාරයක හිංසනයට ලක්‌වීමේ හැකි වාතාවරණයක්‌ දකින්නට ඇත. කායික හා මානසික වශයෙන් දෙආකාරයටම කාන්තාවන් පීඩනයට පත්වන අන්දම මාධ්‍ය සහ පොලිස්‌ වාර්තා අනුව පෙනේ. 2012 වර්ෂයේ කාන්තාවනට එරෙහි සුළු අපරාධ 6015 ක්‌ ද, බරපතල ගණයේ අපරාධ 965 ක්‌ ද, වාර්තා වී ඇති බව පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයේ වාර්තා අනුව අනාවරණය වී ඇත. මෙයින් විසඳීමේ ප්‍රතිශතය සුළු අපරාධ සම්බන්ධයෙන් 74% ක්‌ ද, බරපතල අපරාධ සම්බන්ධයෙන් 49% ක්‌ ද වේ. මේ අනුව පෙනෙන්නේ අපරාධ ප්‍රමාණය මෙන්ම නොවිස» අපරාධ ප්‍රමාණයද අධික බවය. මෙම හිංසාකාරී තත්ත්වයෙන් මිදී නිදහස්‌ව ජීවත්වීමට තරම් වූ දියුණු සමාජ ලක්‍ෂණ තවමත් ඈතය. එබැවින් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තරම් වූ පෞරුෂත්ව ගුණාංගයන් කාන්තාවන් තුළ වර්ධනය කළ යුතුය.

පෞරුෂත්වය යනු කුමක්‌ දැයි සරලව හඳුනාගත යුතුය. ඕනෑම අයෙකුගේ පෞරුෂත්වය වර්ධනය ආරම්භ වන්නේ මවුකුස පිළිසිඳගත් දා සිටය. එතැන් සිට මව ලබන සියලු ආකාරයේ අත්දැකීම්, මුහුණ දෙන අභියෝගයන් කුස තුළ සිටින දරුවා ග්‍රහණය කරගන්නා බව සමාජ විද්‍යාඥයන්ගේ මතයකි. පවුල තුළ දී ද ආයතනය තුළදී ද මව ලබන පීඩනය කුස තුළ සිටින දරුවාට දැනේ. එබැවින් ගර්භණී කාන්තාවන් ක්‍රියාකළ යුත්තේ ද, අන්‍යයන් ඇය ගැන ක්‍රියා කළ යුත්තේ ද කුස තුළ සිටින දරුවා පිළිබඳ සිතේ තබා ගෙනය. මෙලෙස මවු කුසින් මෙලොව දකින දරුවා මවු ඇකයේ තුරුල් වී මවුකිරි උරාබීමෙන් ලබන සෙනෙහස ද, පියාගේ ආදරය හා පවුලේ අනෙකුත් අයගේ ආදරය මැද, ක්‍රමිකව වර්ධනය වේ. දරුවා උස මහතින් වැඩි වී අධ්‍යාපනය තුළින් සමාජ අවබෝධය ලබාගනී. රූප ලක්‍ෂණ වර්ධනයවී සමාජ ගත වේ. මෙවැනි දරුවකුගේ උස මහත හෝ රූප ස්‌වභාවය පෞරුෂය නොවේ. පවුල තුළ ආදරය හා සෙනෙහස තුළින් ද සමාජ අත්දැකීම් හා ලබන අධ්‍යාපනය තුළින් ක්‍රියාකාරී වන පුද්ගල චරිතය තුළ ඇති "හැසිරීම, ගති ස්‌වභාවය සහ මනසේ ක්‍රියාකාරිත්වය" පෞරුෂත්ව ගුණාංග වශයෙන් හඳුනාගත හැකිය.

ශරීර ශක්‌තියෙන් හොඳින් වර්ධනය වුවද යහපත් පෞරුෂයක්‌ දක්‌නට නොතිබිය හැකිය. පෞරුෂත්වය දෙආකාරය. එනම් යහපත් හා අයහපත් වශයෙනි. එය යහපත් වීමට නම් හොඳ සමාජ ඇසුරක්‌ මැද හොඳ මවකගේ පියකුගේ සෙනෙහස තුළින් යහපත් චරිතයක්‌ ගොඩනඟා ගත යුතුය. අයහපත් පරිසරයක අනාදරය මධ්‍යයේ වැඩෙන දරුවකු තුළින් යහපත් පෞරුෂයන් අපේක්‍ෂා කළ නොහැකිය. පෞරුෂය ගොඩනඟා ගත හැකි දෙයකි. යම් අයකු ලබන අධ්‍යාපනය ඊට ඉවහල් වේ. බෞද්ධයන් වශයෙන් පෞරුෂත්වයෙන් ඉහළම තැනැත්තා ලෙස පිළිගනු ලබන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේය. බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානශීලිත්වය, ඉවසීම, දේශනා විලාසය සහ පුද්ගලයන් දමනය කිරීම සඳහා යොදාගත් උපක්‍රම තුළින් එය මැනවින් පැහැදිලි වේ. යහපත් පෞරුෂයක්‌ ඇති පුද්ගලයකු කලහකාරී නොවේ. ඔහු තුළ පාපී සිතුවිලි, පළිගැනීම් හෝ බද්ධ වෛරයක්‌ දක්‌නට නැත. එසේම ක්‍රමානුකූලව අවබෝධයෙන් කටයුතු කරයි. මේවා කාන්තාවකට පමණක්‌ නොව ඕනෑම අයකු තුළ තිබිය යුතු ලක්‍ෂණයන්ය. එහෙත් මෙය කාන්තාවන් සම්බන්ධයෙන් සුවිශේෂී තත්ත්වයකි.

වැඩිහිටියන් හෝ අන් අය ඔබ ගැන කියන සිතන දේ ඔබගේ පෞරුෂත්වය මැනීමට ඇති උපකරණයකි. පවුල තුළ තරුණියක වශයෙන් ඔබට ඇති තත්ත්වය කුමක්‌ද? ඔබගේ පියා ඉදිරියේ... මව ඉදිරියේ.... පවුලේ අනෙකුත් අය ඉදිරියේ ඔබගේ පෞරුෂත්වය කුමක්‌ද? ඔබ පිළිබඳ ඔවුන් යහපත් අයුරින් සිතනවා නම් ඔබ යහපත් පෞරුෂයක්‌ ගොඩනඟාගෙන ඇත. ඔබ රැකියාව නිම වී නිවසට පැමිණෙනතුරු අම්මා ගෙයි උළුවස්‌සට පිටදී මඟ බලමින් සිටිනවාද? නැතිනම් පියා හෝ සහෝදරයකු ඔබ එන පෙරමඟට පැමිණ ඔබ සමඟ නිවසට එයිද?... ප්‍රමාද වූ විට බියවේද?.... ඒ ඔබ පවුල තුළ ගොඩනඟාගත් පෞරුෂමය වර්ධනීය තත්ත්වයකි. ඔබ මවට පියාට හොරෙන් සදාචාර විරෝධී ලෙස හැසිරේද... මවට පියාට මුහුණදිය නොහැකි ලෙස හැසිරේද?.... ඔබ යම් රැකියාවක නිරත වනවා නම් ඔබට ඔබගේ රැකියාව නිසි පරිදි ඉටු කිරීමට ඔබට ඔබගේ මූලික පවුල තුළ ඇති "තත්ත්වය" ඉතා වැදගත්ය. ඔබ ඔබගේ මූලික පවුල තුළ යහපත් පෞරුෂයක්‌ ගොඩනඟාගෙන ඇත්නම් එය ඔබගේ රැකියාව නිසි පරිදි ඉටු කිරීමට අවශ්‍ය වැදගත් ප්‍රථම සාධකයකි.

තරුණ වියට එළඹෙන තරුණියක්‌ වන ඔබ මුහුණ දෙන මීළඟ වැදගත් සාධකය ඔබගේ විවාහයයි. ආදරය, සෙනෙහස යන මානසික හැඟීම් ඕනෑම පුද්ගලයකු තුළ ස්‌වභාවයෙන්ම ඇතිවන දෙයකි. මෙම හැඟීම් ඔබ විසින් සන්තර්පනය කරගනු ලබන ආකාරය අනුව ඔබගේ මුළු ජීවිත කාලය කෙබඳු ආකාරදැයි තීරණය වේ. ඔබගේ ජීවිතයේ පාර්ශවකරුවකු වීමට ඔබට ආදරය, සෙනෙහස පුදන පුද්ගලයා සමහරවිට සොරකු, වංචාකාරයකු, සල්ලාලයකු හෝ විවාහකයකු විය හැකිය. ඔබ ඔබගේ නිර්මල ආදරය පිදීමට ප්‍රථම ඔහුගේ අනන්‍යතාව, පදිංචි ස්‌ථානය, ලිපිනය, රැකියාව, අධ්‍යාපන මට්‌ටම පිළිබඳ නිශ්චිත තොරතුරු දැනගත යුතුය. රූපයට, කඩවසම් බවට හෝ යාන වාහන වලට රැවටී ඔබ මුළා වුවහොත් සමහරවිට ඔබට ඔබම නැති වී යනු ඇත. ඔබ ඔහුගේ පෞරුෂ ලක්‍ෂණ හඳුනාගත යුතුය. කලහකාරි හෝ හිංසාකාරී ලක්‍ෂණ පවතීදැයි විමසිලිමත් විය යුතුය. කලහකාරී හෝ හිංසාකාරී ලක්‍ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ තව දුරටත් සිතා බැලිය යුතුය. ඔහුට අවශ්‍ය ඔබ සමඟ හුදෙකලා වීමට පමණක්‌ද? නැත්නම් නවාතැන් පොළකට හෝ පාළු නිවසකට යැමට ඔබට බල කරයිද? ඔබගෙන් මානසික බැඳීමකට වඩා කායික ඇසුරක්‌ ඔහු අපේක්‍ෂා කරයිද? ඔබ තේරුම් ගත යුතුය. ඔබට රැකියාවක්‌ කර ඔහුව නඩත්තු කිරීමට සිදුවේද?.... සේවා නියුක්‌ති කාන්තාවක වන ඔබ නිවැරැදිව තීරණය නොකළහොත් ඔබගේ රැකියාව ඔබට අහිමි විය හැකිය. නැතිනම් අවිවාහක ඔබව මවක්‌ කර පෙම්වතා අතුරුදන් වනු ඇත. ඔහුගේ ආදරය ඔබට අහිමි වුවහොත් එය දරාගත හැකි තත්ත්වයක ඔබ සිටීද?.... ඔබ එය තේරුම් ගත යුතුය. ඔබ ගන්නා තීරණය නිවැරදි නම් ඔබ යහපත් පෞරුෂයක්‌ ඇති කාන්තාවකි.

ඔබ විවාහක නම් ඔබගේ වගකීම සුළුපටු නොවේ. රැකියාවට ප්‍රථම ඔබට ඔබගේ ස්‌වාමියා සඳහා යුතුකම් ඉටුකිරීමට සිදු වනු ඇත. නිවස පිරිසිදුව තබා ගැනීමේ සිට සෑම කාර්යයක්‌ම ඔබ සතුය. ඒ සඳහා ඔබ නායකත්වය පවුල තුළ ඉසිලිය යුතුය. නිවසේ කටයුතු සඳහා ස්‌වාමියාගේ සහාය ලබා ගැනීමට ඔබට හැකියාව තිබිය යුතුමය. පවුලේ සියලුම කටයුතු නිවැරදිව හා ඉවසිලිවන්තව ඉටු කරන අතර රැකියාවද නිවැරැදිව හා ඉවසිලිවන්තව කළ යුතුමය. මේ සඳහා නිවසේ කටයුතු නිවැරැදිව කළමනාකරණය කළ යුතුමයි. ඔබගේ පෞරුෂත්ව ගුණාංග ඉස්‌මතු වන්නේ ඔබ රැකියාව හා පවුලේ කටයුතු කළමනාකරණය කරගන්නා ආකාරය අනුවය. ඔබට දරුවන් සිටීනම් හෝ දරුවකු අපේක්‍ෂා කරන්නේනම් පවුලේ කටයුතු හා වගකීම් තව තවත් වැඩිවේ. අපගේ සේවා නියුක්‌ති කාන්තාවන් වඩාත් අපහසුතාවට පත්වන්නේ මෙතැන් සිටය. දරුවන් රැකබලා ගැනීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ අප රටේ ස්‌ථාපිත වී නොමැත, ඔබගේ හෝ ස්‌වාමියාගේ මව පියා හෝ වැඩිහිටියකු සිටීනම් ඔබට පහසුය. නැතිනම් ඔබට දරුවා දිවා සුරැකුම් මධ්‍යස්‌ථානයක තබන්නට සිදු වේ. මෙම තත්ත්වය මත බොහෝ සේවා නියුක්‌ති කාන්තාවන් රැකියා වලින් ඉවත්ව යන අවස්‌ථා පවා දකින්නට ඇත. පවුලේ කටයුතු ද රැකියාවද එකවිට ආරක්‍ෂා කර ගත හැකිනම් එය ඔබගේ ජයග්‍රහණයකි.

ඔබගේ පවුල තුළ ගැටුම් පවතීද? එය ඔබ පසුගාමී බවට ගෙන යන ලක්‍ෂණයකි. ගැටුම් පවතී නම් එම ගැටුම් ඇතිවන හේතුව හඳුනාගෙන එම හේතුව නැතිකර දැමීමෙන් ගැටුම් අවසන් කර ගත යුතුය. බොහෝ විට ස්‌වාමියාගේ බීමත්කම හෝ වෙනත් හේතුවක්‌ මෙයට මුල්වනු ඇත. නැතිනම් ඔබ සිදු කළ වරදක්‌ හෝ ප්‍රමාද දොaෂයක්‌ නිසා ගැටුම් ඇතිවිය හැකිය. පවුල ආරක්‍ෂා කර ගැනීම මූලික කාරණයයි. එහෙත් ඔබ ගැටුම්වලට මුහුණ දී ඇත්නම් එය රැකියාවට නිතැතින්ම බාධාවකි. ගැටුමක්‌ පවතී නම් එය විස¹ ඉදිරියට යැම හොඳ ලක්‍ෂණයකි. පවුල් උපදේශකයකු හෝ වෙනත් සුදුසු අයෙකුගෙන් ඔබ උපදෙස්‌ පැතිය යුතුමය. මේ වනවිට ලංකාවේ දෛනිකව දික්‌කසාද 300 ක්‌ පමණ සිදු වන බවත් මෙම විවාහ ඉතා කෙටි කාලීන බවත් අනාවරණය වී ඇත.

අනියම් සබඳතා බොහෝ පවුල් ආරවුල්වලට මූලික හේතුවයි. කාන්තාවක වශයෙන් ඔබ වරදක්‌ කර ඇත්නම් එය සුළුපටු දෙයක්‌ නොවේ. ඔබ කළ එම වරද ඔබගේ ජීවිත කාලය පුරාම ඔබ පස්‌සෙන් පැමිණෙනු ඇත. ඔබගේ ස්‌වාමියා දුර ප්‍රදේශයක හෝ විදේශගතව රැකියා කරනවා විය හැකිය. ඔබ දෙදෙනාගේම අවශ්‍යතා ඉටුවන පරිදි තීරණ ගැනීම වැදගත්ය. ඔබ රැකියාවෙන් ඉවත් වී ස්‌වාමියා ළඟට ගොස්‌ එහි රැකියාවක්‌ සොයා ගැනීම හෝ ස්‌වාමියා ඉක්‌මනින් පැමිණෙන තෙක්‌ ඔබ ඉවසා සිටිය යුතුමය. ඔබ තාවකාලික හෝ ක්‍ෂණිකව ඇතිවන පෙළඹීමකට ගොදුරක්‌ වුවහොත් එය සැමදා ඔබට පීඩාවක්‌ මිස සතුටක්‌ නොවනු ඇත. ඔබට රහසිගතව යම් දෙයක්‌ සිතේ තබාගත හැකි වුවද ඒ නිසා ඇතිවන මානසික පීඩනය සැමදා ඔබ සමඟය.

අද සමාජය සාරධර්ම පිරිහෙමින් පවතින්නා වූ සමාජයකි. ඔබට උදවු කරන්නට නොව ඔබ බිලිගන්නට සිටින්නන් බොහෝය. සමහර විට ඔබට ඉතා ළබැඳිව උදව් කරන්නා ද ඔබව බිලිගෙන ඇත. සේවානියුක්‌ති කාන්තාවක වශයෙන් ඔබ රටට කරන්නේ ඉමහත් සේවයකි. ඔබ ආරක්‍ෂා විය යුතුය. අද ජංගම දුරකථනය අපට පහසුවක්‌ ගෙන දුන්නද එය මාරකයක්‌ බවටද පත්වී ඇත. ජංගම දුරකථන නිසා ඇති වී ඇති පවුල් ආරවුල්, දික්‌කසාද, අපරාධ විශාලය. එම නිසා ඔබගේ දුරකථන අංකය අත්‍යවශ්‍ය නොවන්නන්ට හා අවිශ්වාස පුද්ගලයන්ට ලබා දීමෙන් ඔබ වැළකිය යුතුය.

ඔබගේ රැකියාව ඔබව ඔසවා තබන්නක්‌ විය යුතුය. රැකියාව ඔබගේ ජීවිතයේම කොටසකි. එය කිසිවිටෙක බාහිර දෙයක්‌ නොවේ. ඔබගේ වගකීම ඔබ නිවැරදිව ඉටුකළ යුතුය. එය ඔබගේ යුතුකමකි. එවිට ආයතනය ඔබට යුතුකම් ඉටුකරනු ඇත. ඔබට ඉලක්‌කයක්‌ තිබිය යුතුය. ඔබ ඒ ඉලක්‌කය කරා යා යුත්තේ කෙටි මගකින් නොවේ. ඔබ නිවැරැදි මඟින්ම යා යුතුය. ඔබ ආයතනයේ අනිකුත් සහෝදර සේවක සේවිකාවන් සමඟ සුහදව කටයුතු කළ යුතුය. ඔවුන්ගේ ඊර්ෂ්‍යාවට ඔබ ලක්‌වුවද ඔබ ඔවුන්ගේ තරහකාරයකු නොවිය යුතුය. ආයතනය තළදී ඔබට යම් පීඩාවක්‌ විය හැකිය. ඒවා මනාව කළමනාකරණය කරගත යුතුව ඇත. යම් අය වැරැදි හා වැරැදි ක්‍රියා සඳහා ඔබව පෙළඹවීමට හැකිය. ඒවාට හසු නොවී චරිතවත්ව ඔබගේ පෞරුෂ ගුණාංග ඔබ පෙන්නුම් කළ යුතුය.

ඔබගේ ඇඳුම් ඉතා පිරිසිදු හා ක්‍රමානුකූල මෙන්ම තැනට සුදුසු පරිදි වීම වැදගත්ය. එහෙත් ඔබගේ ශරීරය වඩා නිරාවරණය වන ඇඳුමක්‌ ඇඳීම සුදුසු නොවන්නේ අප රට පෙරදිග සංස්‌කෘතියේ රටක්‌ වීම නිසාය. ඔබ පෞද්ගලික රථයක හෝ වෙනත් රථයකින් නිවස අසලටම යනවානම් එම ඇඳුම සුදුසු වුවත් ඔබ පොදු ප්‍රවාහන රථයක හෝ ඔබට පා ගමනින් යම් දුරක්‌ යැමට ඇත්නම් ඔබ ඔබගේ ශරීරය හොඳින් වැසෙන ඇඳුමක්‌ ඇඳීම වඩාත් සුදුසුය. අපරාධකරුවා ඔබ ළඟට කැන්දා නොගැනීම ඔබ සතු කාර්යයක්‌ හෙයිනි.

පෞරුෂත්වය යනු හැසිරීම, ගති ලක්‍ෂණ සහ මනසේ ක්‍රියාකාරිත්වය වශයෙන් හඳුන්වා දුන්නෙමු. ඔබ හැසිරිය යුත්තේ ඔබගේ පෞරුෂ ගුණාංග ඉස්‌මතු වන ආකාරයටය. ඔබගේ නිවසේදී, මඟ තොටදී, රැකියා ස්‌ථානයේදී ඔබ හැසිරෙන ආකාරය අභියෝග වලට මුහුණ දෙන ආකාරය, ඔබ සිතන පතන ආකාරය තුළින් ඔබගේ පෞරුෂත්වය පෙන්නුම් කෙරේ. පෞරුෂත්වය ගොඩනඟා ගත හැකි සෙයකි. එයට ඔබ ලබන අධ්‍යාපනය හා අත්දැකීම් ඉවහල් ගරගන්න. සේවා නියුක්‌ති කාන්තාවක වශයෙන් ඔබ නිසි පෞරුෂත්වයෙන් ක්‍රියාකළහොත් ඔබට රට වෙනුවෙන් ඉමහත් සේවයක්‌ සැලසීමට හැකිවනු ඇත.
Read Post | comments

දෙවියන් මිනිසා මැවුවාද? මිනිසා දෙවියන් මැවුවාද?

Thursday, March 7, 2013

’දේවි’ රායි ගේ චිත්‍රපට අතරින් දැඩි හින්දු ලක්ෂණවලින් හෙබියාවු චිත්‍රපටයක් වන අතර හින්දු සිරිත් විරිත් ගැන දැනුමකින් තොරව එය රස විඳීම අසීරු බවත් ප්‍රකාශ වී තිබෙනවා.

චිත්‍රපටයේ කතාව සැකෙවින් මෙහෙමයි. දෙයාමොයි නමැති තරුණ ගැමි කාන්තාව විවාහවී සිටින්නේ උමා ප්‍රසාද් එක්ක. ඔහු තවමත් කල්කටාවේ ඉගෙනුම ලබමින් සිටින්නෙක්. උමා ප්‍රසාද්ගේ පියා කලිකින්කර්. ඔහු සමිර්දාර් පෙළපතට අයත් දැඩි ආගම් භක්තියකින් යුතු කෙනෙක්. තම ලේලියට කාලි මාතාවගේ ආත්ම භාවය ලැබී ඇතැයි ඔහු විශ්වාස කරනවා. ඔහු ඇයට වැඳුම් පිදුම් පවා කරනවා. (ගැහැනියකට දේවතාවියකගේ ආත්ම භාවයක් ලැබිය හැකිය යන විශ්වාසයක් ආදි කාලයේ ඉඳන් ඉන්දීය ජන සමාජයේ තියෙනවා.) බොහෝ ඉන්දීය කාන්තාවන්ගේ නමේ අගට ‘දේවි’ කියා යෙදෙන බව අප දන්නවා. දොයාමොයි ගේ දේවාත්මභාවය දැනගන්නා ගැමියොත් සාධුවරයෝත් ඇය වන්දනාමාන කිරීම සදහා එන්න පටන් ගන්නේ වැළ නොකැඩී. උමා ප්‍රසාද් ගේ සොහොයුරාගේ බිරිය මේ බව දන්වා උමාට ලිපියක් යවනවා. ලේලිය ඉදිරියේ හිඟන්නකුගේ රෝගි මුණුපුරකු සුවපත් වෙනවා. කවුරුත් සලකන්නේ මෙය ප්‍රාතිහාර්යක් වශයෙන්.

උමා ප්‍රසාද් නිවෙසට එනවා. ඔහු පියාගේ අන්ධ භක්තියට දැඩි විරුද්ධත්වය පානවා. තම බිරියව කල්කටාවට එක්කරගෙන යෑමට උමා උත්සාහ ගන්නවා. මේ අතර දෙයාමොයි ද තමා කාලි ආත්ම භාවය ලබා ඇතැයි විශ්වාසය පළ කරනවා. “මම දෙව්දුවක් වුණාම මොකද? ළමයා හොඳ වුණා.” ඇය කියනවා. උමා යළි තනිවම කල්කටාවට යනවා.

චිත්‍රපටයේ වැදගත් අවස්ථාවක් වන්නේ උමා ප්‍රසාද්ගේ සොහොයුරාගේ දරුවා අසනීප වීම. ඔහුව වෛද්‍යවරයකුට නොපෙන්වා දොයාමොයි වෙත යොමු කරවනවා. එහෙත් අවසනාවන්ත අයුරින් දරුවා මිය යනවා. උමා ප්‍රසාද් යළි නිවෙසට එනවා. එහෙත් ප්‍රමාද වැඩියි. දොයාමොයි උන්මත්තක භාවයට පත්ව සිටිනවා.

මේක මිථ්‍යා විශ්වාසයන්ට එරෙහිව රායි හදපු චිත්‍රපටයක්. ඔහුගේ නිර්දය විවේචනය එල්ල වන්නේ හින්දු ආගමේ එන අන්ධ භක්තියට. ‘ඒෂියා මැගසින්’ සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් දෙන සත්‍යජිත් රායි ‘දේවි’ චිත්‍රපටය ගැන මෙහෙම කියලා තියෙනවා.

”අන්ධ විශ්වාසයන්ට ඇලී හිඳීමෙන් ශෝක ජනක සිද්ධි ඇතිවන හැටි ‘දේවි’ චිත්‍රපටයෙන් මා පෙන්නුවා. ගැලවෙන මඟ එයින්ම ඇඟවෙනවා. අන්ධ විශ්වාසයක් ඇතිකරගන්න එපා. ඔබට මේ විදියේ දෙයක් සිද්ධ වෙයි. එය ආගමික චාරිත්‍රවලට කළ අනදරයක් මෙන් පෙනෙන්නට තිබූ හෙයින් රජයත් ඇතැම් විචාරකයනුත් චිත්‍රපටය අවඥා කළා. ඒක මගේ අභිප්‍රාය වුණේ නැහැ.”

මෙම චිත්‍රපටයට පාදක වන්නේ 1860 ගණන්වල ඉන්දීය ජන සමාජය වුණත් චිත්‍රපටයේ අත්දැකීම වර්තමානයටත් අදාළයි. මෙහි කතා රචනය රායිගේ නෙමෙයි. ප්‍රභාත් කුමාර් මුඛර්ජිගේ.

’දේවි’ චිත්‍රපටය ගැන අදහස් දක්වන ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘ඔපු ත්‍රිත්වය’ නොතිබුණේ නම් ‘දේවි’ ඉන්දියාවේ එතෙක් බිහිවූ විශිෂ්ටතම චිත්‍රපටය බව කියන්ට ඉඩ තිබිණැයි කියා සිටිනවා.

කිසියම් ආකාරයකින් සලකලා බැලුවොත් ‘දේවි’ චිත්‍රපටයේත් ලෙස්ටර් ගේ ’රේඛාව‘ චිත්‍රපටයේත් එක්තරා සාම්‍යයක් තිබෙනවා. ඒ දෙකෙන් ම වෙන්නේ මිථ්‍යා විශ්වාසයන්ට පහරදීම. ‘රේඛාව‘ චිත්‍රපටයේත් අන්ධ භක්තිය නිසා රෝගි දරුවකු මියයනවා ඔබට මතක ඇතැයි සිතනවා.

’ලින්ක්’ නම්වූ සඟරාවට ‘බෙංගාලි සිනමාව‘ ගැන ලිපියක් සපයන ප්‍රබෝද් කුමාර් මෛත්‍රා ‘දේවි’ චිත්‍රපටය ගැන මෙහෙම කියනවා.

”’දේවි’ තුළින් ඔහු (රායි) අමුතුම ලෝකයක් ගවේෂණය කරයි. මැනවින් සැකසුණු ලෝකයක් වන එහි බලපවත්වන මිථ්‍යා විශ්වාසයත් ඊට එරෙහිව නැඟී එන නව හර පද්ධතියත් නිරූපණය කරන බලවේගයත් ඉන් ඉදිරිපත් කෙරේ.”

මං හිතන්නේ ඒ අදහස් ඉතා වැදගත්. උමා ප්‍රසාද් වගේ කල්කටාවට ගිහින් අපරදිග මත ඉගෙන ගන්නා තරුණ ශිෂ්‍යයා නියෝජනය කරන්නේ මේ නව හර පද්ධතියයි.

චිත්‍රපටයේ අවසානය හරි අපූරු එකක්. අපි එහිදි කාලි මෑණියන්ගේ මැටි රූපයක් දකිනවා. මෙයින් රායි අදහස් කළේ දෙවියන් විසින් මිනිසා නොව මිනිසා විසින් දෙවියන් මවනු ලැබූ බව ද?
Read Post | comments

ජව නැති දරු පරපුරට වගකියන්නේ කවුද ?

Saturday, March 2, 2013

දරුවන්ට ක්‍රීඩාව අරුමයක්‌ නොවේ. දරුවෙකුට ක්‍රීඩාව අරුමයක්‌ වන්නේ නම්, නුහුරු අත්දැකීමක්‌ වන්නේ නම්, ඒ දරුවා බිහිව වැඩී ඇත්තේ දරුවෙක්‌ නොවැඩිය යුතු තරමේ ගර්හිත කාලකණ්‌ණි පරිසරයකය. දරුවෙකුගේ ජීවිතය එම දරුවාගෙන් උදුරාගත් සාහසික වටපිටාවකය. අපට අපේ නොදරුවන් ගැන යළිත් සිතන්නට බලකරනා බරපතළ කියෑවීමක්‌ පසුගිය සති කිහිපය තුළ අපේ දරුපැටව් අපට ජීවිතවලින් වන්දිගෙවා කියා දුන්හ.

පාසල් ක්‍රීඩා වාරය ඇරඹෙන්නේය. අත්දැකීම් ප්‍රකාරවම පාසල් දරුවෙකුගේ "වසරේ වසන්තය" මේ වකවානුවය. එහෙත් මේ පාසල් ක්‍රිඩා වාරය ඇරඹී ඇත්තේ මරණයේ භීතියද සමගිනි. ක්‍රීඩා ඉසව්වකට එක්‌වීම මාරකයක්‌ සේ සලකන මට්‌ටමට ඒ භීතිය සමහර නිශ්චිත ප්‍රදේශයන්හි පැතිරී තිබේ. නොදරුවෝ නිවාසන්තර මලල ක්‍රීඩාවලට එක්‌වෙති. ක්‍රීඩා කරති. අනතුරුව ක්‍රීඩා පිටිය මත මැරී වැටෙති. එක්‌ සිද්ධියක්‌ වී එහි උණුසුම මැකී යන්නටත් පෙර තවත් සිද්ධියක්‌ වාර්තා වේ. ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ අරණායක උස්‌සාපිටිය රිවිසඳ ජාතික පාසලෙනි. එම විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මීටර් 5000 ධාවන ඉසව්වට සහභාගිවන 19 හැවිරිදි දියණියක්‌ පසුගිය 26 වැනිදා සිය මුලික වටයේ තරගවලට සහභාගි වෙමින් සිටියදී ක්‍රීඩාපිටිය මත ඇදවැටී මිය යන්නීය. රෝහලට ඇතුළත් කරනා විටත් මියගොස්‌ය. මීට මසකට ඉහතදීත් මේ ආකාරයෙන්ම දැරියක්‌ මිය ගියාය. දුර දිවීමේ තරගයකට සහභාගි වු කැළණිය සරසවියේ සිසුවෙක්‌ මීට මාස කීහිපකට පෙර මහපාරෙහි ඇදවැටී මියගොස්‌ තිබිණි.

මේ එකක්‌ වත් අනේ අපොයි කියා දුක හිතා සිතින් අමතක කළ හැකි ආකාරයේ මරණ නොවේ. නියත අනාගත ෙ€දවාචකයක ආරම්භය ප්‍රකාශයට පත්ව තිබෙනා බිහිසුණු ආකාරයය. මීට දශක කීපයකට ඉහතදී පාසල් ක්‍රීඩා පිටියේ මැරී වැටෙන දරුවන් ගැන මේ රට අසා තිබුණේ නැත. සෑම කාලයකම මෙවැනි සිදුවීම් වුවද ඒවා වාර්තා නොවූ බවට වන අදහස්‌ ද තිබේ. එහෙත් මේ අකල් මරණ පිළිබඳව සමාජය මීට ඉහතදී මෙතරම් කම්පනයට පත්වී තිබුණේ නැත. මේ මොහොත වන විට පාසලේදී නිවාසාන්තර ක්‍රීඩා උළෙලකට සහභාගි වන නොදරුවන්ව මුලික වෛද්‍ය පරීක්‌ෂණයකට යොමු කිරීමටත් ක්‍රීඩා අමාත්‍යංශ සමග එක්‌ව ඒකාබද්ධ ජාතික වැඩපිළවෙළක්‌ දියත් කිරීමටත් රජයට සිදුවී තිබේ.

අප මේ කîකාව ගොඩනගන්නට උත්සාහ කරන්නේ දරුවෙක්‌ ක්‍රීඩා කිරීමට පිටියට ඇරලවන්නට බිය වන තැතිගත් සමාජයක සිටය. මේ සමාජයත් රෝගී සමාජයකි. සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව අපේ රටේ ශ්‍රමිකයින්ගෙන් සියයට අසූවක්‌ බෝ නොවන රෝගවලින් පෙළෙන්නෝය. රෝහල් ගත වන අයගෙන් සියයට හැත්තෑවක්‌ බෝ නොවන රෝග නිසා රෝගී වූවෝය. දෛනිකව රෝහල්වල සිදුවන මරණවලින් සියයට හැත්තෑපහක්‌ බෝ නොවන රෝග නිසා සිදුවන්නේය. දියවැඩියාව, හෘදයාබාධ, ආඝාතය, ඇදුම, පිළිකා වැනි මේ බෝ නොවන රෝගවලට මූලික හේතු අතර ප්‍රමුඛ වන්නේ නිසි ව්‍යායාම හා ආහාර පුරුදු නැතිකමය. ක්‍රීඩා කරන්නට ගොස්‌ පිටිය මැද ඇදවැටී මිය යන්නේ මේ සමාජයේ මිනිස්‌සුන්ගේ දරුවන්ය. අප සංස්‌කෘතියෙන් අපට උරුම වූ සෞඛ්‍ය සම්පන්න ජීවිතය අතහැර විලාසිතාවක්‌ ලෙස රෝග වැළඳගත් මිනිසුන්ය.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය අයේෂා ලොකුබාලසූරියට අනුව දැනට අපේ රටේ දරු පරපුරේ සියයට දෙකක්‌ අධිපෝෂණයෙන් යුතුය. නාගරික පරිසරය තුළ මෙම ප්‍රතිශතය සියයට 10 සිට 14 තෙක්‌ දිවෙයි. මේ දරුවෝ දියවැඩියාවට ගොදුරුවීමේ අවදානමකට ලක්‌ව සිටිති. දරුවෙකුටවත් නිසි ව්‍යායාමක්‌ ලැබෙන්නේ නැති, නිසි ආහාරයක්‌ ලැබෙන්නේ නැති මේ කාලකණ්‌ණි තරගයේ නියත ප්‍රතිඵල රටට එක්‌ අංශයකින් ප්‍රකාශ වන්නේ මෙසේය. මෙහි ඇති අතිශයින්ම ශෝකජනක කතාව හෙළිවන්නේ වෛද්‍ය පරීක්‌ෂණ ආයතනය කළ පරීක්‌ෂණයකදීය. අපේ රටේ වයස අවුරුදු 15 හා 18 අතර දරුවන්ගෙන් සියයට අසූනවයකට ඒ දරුවෙකුට දිනකට ලැබිය යුතු ව්‍යායාම ප්‍රමාණය ලැබෙන්නේ නැත. මේ මිනිසෙකුගේ ජීවිතයේ ජවසම්පන්නම කාල සීමාවය. මේ කාලසීමාවේ ව්‍යායාමයකට හුරු නොවන දරුවන්ට ව්‍යායාමය පිළිබඳ සංකල්පයම නුහුරුය. ඔවුන් ක්‍රිඩා පිටියක ඇද වැටී මිය යැම අපේක්‌ෂා කළ යුතුය. මේ රට බාරගන්නට සිටින්නේ දරාගැනීමේ ශක්‌තියක්‌ නැති මේ බෙලහීන අනාගත මිනිසුන්ය.

ප්‍රජා සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳ සංකල්පය මොඩලයක්‌ සේ ප්‍රායෝගික කළ වතුපිටිවල රෝහලේ වෛද්‍ය නිලධාරී පාලිත සමන් ජයකොඩි මේ උද්ගතව ඇති තත්ත්වය සංවාදයට ලක්‌කරන්නේ මෙසේය. ක්‍රීඩාව සෙල්ලමක්‌ නොවේ. එය විනයක්‌ සහිත විද්‍යාවකි. ක්‍රීඩාවකට සූදානම් වීම සඳහා නිශ්චිත පුහුණුවක්‌ මෙන්ම කාලයක්‌ අවශ්‍යය. ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායම අවශ්‍යය. ක්‍රිඩාවේදී වැදගත් වන හෘද වාහිනී පද්ධතිය හා ස්‌වසන පද්ධතිය ඒ සඳහා සූදානම් කිරීම මේ මූලික ප්‍රවේශය හරහා සිදුවන්නේය. එහෙත් බොහෝ විට ක්‍රිඩාව හුරු නොවූ දරුවන් ක්‍රීඩාවට යොමු කරන්නේ මේ මූලික ප්‍රවේශයද රහිතවය. දරුවෙකුගේ සෞඛ්‍ය තත්ත්වය හා ඔහුගේ රෝග ඉතිහාසය පිළිබඳ යම් දැනුමක්‌ මව්පියන්ට සේම නුදුරු අතීතයේ දී පාසලක ගුරුවරුන් සතුවද තිබිණි. පෙළපොත ඉගැන්වීමෙන් එපිට අධ්‍යාපනයක්‌ සම්බන්ධ අදහසක්‌ නැති පාසල් සමාජය තුළ මේ අවබෝධය නැතිවීම අරුමයක්‌ වන්නේ නැත. එමෙන්ම පිට්‌ටනියට බැස සෙල්ලම් කිරීමට සූදානම් නැති දරුවෙකුගේ සංජානනීය රෝග ගැන අවබෝධයක්‌ කවදාවත් කාටවත් ඇතිවන්නේ නැත.

එමෙන්ම මේ මරණ සිදුවන්නේ රජයේ වෛද්‍යවරුන් විසි දහසකට වැඩි පිරිසක්‌ සිටින රටකය. හන්දියක්‌ හන්දියක්‌ ගානේ වෛද්‍යවරුන් බේත් කරමින් සිටිනා රටකය. අතිශය දියුණු වෛද්‍ය විද්‍යාත්මක ශිල්පීය ක්‍රම රහිතව වුවද අඩුම තරමින් මීටර් පන්දහස හෝ දස දහස තරග ඉසව්වලට සහභාගි වන දරුවන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ ඔහුගේ සෞඛ්‍ය ඉතිහාසය අධ්‍යයනය කර තීන්දු කිරීමට වෛද්‍යවරයෙකුට හැකිය. එය නිසැකවම ප්‍රායෝගිකව කළයුතු ප්‍රවේශයක්‌ වන ආකාරය මේ වන විට රට අවබෝධ කරගෙන තිබේ.

ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රාමාණික දැනුමක්‌ සහිත වෛද්‍ය චමින්ද රුවන් තුෂාර අද පාසල් ක්‍රිඩා තරගාවලි පවත්වන ආකාරයේ අවිද්‍යාත්මක අශාස්‌ත්‍රීය ස්‌වරූපයේ බිහිසුණුකම පිළිබඳ සංවාදයක්‌ උපදවයි. ඔහුට අනුව ක්‍රිඩාව අශාස්‌ත්‍රීය විගඩමක්‌ නොවේ. බොහෝවිට ක්‍රීඩාවේ විද්‍යාත්මක යථාර්ථය පාසල්වල ක්‍රීඩා භාර ගුරුවරුන්, ක්‍රීඩා උත්සව සංවිධානය කරනා සංවිධායකයන්, මෙන්ම ක්‍රීඩා පුහුණුකරුවන් ද හඳුනාගෙන නැත.

" ක්‍රීඩාවක්‌ සඳහා පූර්ව සූදානමක්‌ තිබිය යුතුයි. ක්‍රිඩාවට යොදවන දරුවන් ඒ ක්‍රීඩාව සඳහා ශාරීරිකව සූදානම්ද කියන එක මූලික වශයෙන්ම සොයාගත යුතුයි. සරල උදාහරණයක්‌ කියන්නම්. හැම ඉස්‌කෝලෙකම වාගේ ක්‍රිඩා උත්සවයකදි රෝඩ් රේස්‌ එකක්‌ තියනවා. මේක ඉතාම ඉහළ දරාගැනීමේ ශක්‌තියක්‌ සහිත ක්‍රීඩකයන් සඳහා සම්මත ක්‍රීඩාවක්‌. මේ තරග ඉසව්වට සහභාගි වන ක්‍රීඩකයෙක්‌ තමන්ගෙ ප්‍රධාන ආහාරය ගන්න ඕන එයට සහභාගි වන වෙලාවට පැය තුනකට කලින්. තරග ඉසව්වට කලින් විනාඩි 45ක්‌ පමණවත් ශරීර උත්තේජක ව්‍යායාම කළ යුතුයි. ක්‍රීඩාවේදී ශරීරයෙන් ඉවත් වන ලවණ ප්‍රමාණය නැවත ලබාදීමේ ක්‍රමවේදයක්‌ ක්‍රීඩා සංවිධානය තුළම තිබිය යුතුයි. ජලය ලබාදීමේ ක්‍රමවේදයක්‌ තිබිය යුතුයි. මේ සම්බන්ධව අද පුහුණුකරුවන් වැඩි දෙනෙක්‌ පවා දැනුවත් නෑ. ශරීර ස්‌කන්ධය අනුව පැය භාගයෙන් භාගයට ලබා දිය යුතු වතුර ප්‍රමාණ ගැන දන්නෙ නෑ. මේ දැනුවත්භාවය නැතිව දරුවෙක්‌ මෙවැනි තරගකාරී ක්‍රීඩාවකට යොමු කිරීම තුළම අවදානමක්‌ තිබෙනවා. යම් විදිහකින් මේ ලවණ ප්‍රමාණය හෝ ජලය ප්‍රමාණය ලබා ගැනීමේ විශාල වෙනසක්‌ වුනොත් දරුවෙකුගේ හෘද අකරණිය සිදු වී මරණය පවා ඇතිවිය හැකියි. උදේ පාන්දර හයට මහපාරට ඇදල දාල ඉතාම අනාරක්‌ෂිතව රෝඩ් රේස්‌ එකක්‌ දුවන්න පොළඹවන දරුවෙකුට කවදාවත් මේ කියන මූලික විද්‍යාත්මක සූදානම ලැබෙන්නෙ නෑ. මෙවැනි ක්‍රිඩා වලින් දරුවන්ටවත්, ඔවුන්ගේ ක්‍රීඩා අනාගතයටවත් ක්‍රීඩාවටවත් යහපතක්‌ වෙන්නේ නෑ. "

සමස්‌තය වැරදි කොනෙන් ගත්තා සේම අප ජාතියක්‌ ලෙස ක්‍රීඩාව අර්ථකථනය කරගෙන ඇත්තේත් වැරදියටය. අපේ දරුපැටව් ක්‍රීඩා පිටිවල මැරී වැටෙනතුරු අප මේ යථාර්ථය අවබෝධ කරගන්නට සූදානම් වූයේ නැත. දැන්වත් මේ ව්‍යසනය පිළිබඳ ස්‌වයං කථනයක්‌ අප සතුව තිබිය යුතුය.

අපේ නොදරුවන්ද අපේ අසීමාන්තික ජීවිත තරගයේ අරමුණු සහගත ගොදුරුය. ඒ ගොදුරුබිමේ බලවතා තරග කර ජයගනී. එහි අධ්‍යාපනයත් තරගයකි. අධ්‍යාපනය හා බැඳුණු ක්‍රිඩාවත් තරගයකි. තවදුරටත් මේ සමාජයේ දරුවෙකුට දරුවෙකුගේ කෙළි ලොල් ළමා කාලයක්‌ නොවේ. යන්තම් අවුරුදු හත වූ මොහොතේ සිට දරුවාව යොමු කරන්නේ ශාප ලත් ශිෂ්‍යත්ව කොඩිවිනය සඳහා සැකසෙන තරගයටය. නිසි පෝෂණයක්‌ රහිතව, ආදරබරය හැඟීමකින් තොරව, කෙළි සෙල්ලමක්‌ සඳහා වන අවකාශ අසුරා දමා අවසානයේ දරුවෙක්‌ ලෙස දරුවෙකුට හිමිවිය සියලු දේ අහිමි කර ඔහුව ඇද දමනා බිහිසුණු අධ්‍යාපන ව්‍යාපාරය අපට මහා බුද්ධිමත් සමාජයක්‌ නිර්මාණය කර දී නැත. සියලු දේ අධ්‍යාපන විෂය මාලාවකට කැපකිරීමෙන් අනතුරුව ක්‍රීඩාව පිළිබඳ සංකල්පයම ඉවත් කරගත්, ඒ සඳහා හුරුවක්‌ හෝ සූදානමක්‌ නැති සමාජයක්‌ සෞඛ්‍ය සම්පන්න සමාජයක්‌ වන්නේත් නැත. අප අබිමුව ඉන්නේ, ඇත්තේ රෝගී සමාජයකි. එහි ජීවත් වන විඩාපත් දරු පරපුරකි. ඔවුන් හුරු කරන ලද යාන්ත්‍රික අධ්‍යාපන ක්‍රියාවලියෙන් එපිට, යථාර්ථයේ සෞන්දර්යය ඔවුන් විසින් ස්‌පර්ශ කරන්නේ නැත. ඔරොත්තු දීමේ ශක්‌තියක්‌ නැති තරුණ පිරිසකි. ඔවුන් ජීවිතයේ ප්‍රායෝගික ගැඹුර අත් විඳින්නේ නැත.

දැන් අපට ඉතිරි වී ඇත්තේ බෙලහීන ජාතික්‌ පිළිබඳවන සංවේගාත්මක අනාගත සොහොන් ලකුණුය. අපේ සිහින දියකර හරින්නට සිදුවී ඇත්තේ ඒ අනාගතය තුළය.
Read Post | comments

ජංගම දුරකථනවලින් නව යොවුන් ජීවිත සොරකම් කිරීම

Monday, February 25, 2013

පාසල් නිල ඇඳුමින් සැරසී, පොත් බෑගය කරේ එල්ලාගෙන, ජංගම දුරකථනයක් හසුරුවමින් සවස් වරුවේ යන ළමයකු දුටුවොත් ඔබට සිතෙන්නේ මොනවාද?
1. ගෙදර යන්න ප්‍රමාද වුණු නිසා අම්මාට දැනුම් දෙන්න හදනවා ඇති.
2. මේ සති අන්තයේවත් ගමේ එක්කන් යන්න කියා තාත්තාට කියනවා ඇති.
3. විභාගයෙන් සමත් වුණු සතුට රට ඉන්න තාත්තට කියන්න පුළුවන් වෙලාව වෙන්නැති.
4. අමතර පන්තියේ දී නොතේරුණු තැනක් යාළුවාගෙන් අහනව වෙන්න ඇති.
5. පෙම්වතා හෝ පෙම්වතිය පරක්කු ඇයි දැයි බලනවා ඇති.
6. අසභ්‍ය දර්ශන ටික පාරෙදීම බලනවා ඇති.

මේ ඕනෑම පිළිතුරක් නිවැරදි වන්නට පුළුවන්. ඒ ඔබ ජංගම දුරකථනය පිළිබඳ සිතන ආකාරය මෙන් ම එම දරුවා දුරකථනය භාවිත කළ ආකාරය අනුවයි. එහෙත් කිසිම මවක හෝ පියකු අවසන් පිළිතුරු දෙක නිවැරදි කිරීම සඳහා තම දරුවාට ජංගම දුරකථනයක් මිලදී දෙන්නේ නැති බව කිව යුතු නොවේ.

ත්‍රස්තවාදීන් පාසල් අසල බස් රථවල බෝම්බ පිපිරවූ අසූව අනූව දශකවල ගෙදරින් පිට වූ දරුවන් යළි ඒ දෝ හෝයි නොදැන පපුවේ ඇවිළුණු ගින්දරටත් වඩා ගින්දරක් බෝම්බ පුපුරන්නේ නැති අද ආරක්ෂාව පතා දරුවන්ට ලබාදෙන ජංගම දුරකථන නිසා දෙමව්පියන්ගේ හදවත්වල ඇවිලෙන්නට හේතු වෙලා. තරගකාරී සමාජයේ ඇතැම් මවුපිය දූදරු සබඳතා පවත්වා ගන්නේ ජංගම දුරකථනයෙන් වන්නත් පුළුවන්. අධ්‍යාපන චාරිකාවක්, ක්‍රීඩා උත්සවයක් අවසානයේ එදා වගේ පාසල ළඟටම ඇවිත් දරුවන් කැටුව යන මව්පියන් අද අඩුවෙලා. කාලය ශ්‍රමය ඉතිරි කරගන්න ලොක්කො වගේ ම පොඩ්ඩොත් පොදුවේ භාවිත කරන්නේ ජංගම දුරකථනය.

ඒත් පාසල් දරුවන්ට ජංගම දුරකථන තහනම්. පාසලක් කියන්නේ විනයක් සහිතව පාලනය විය යුතු තැනක්. ඒ ගැන දරුවන් මෙන්ම ගුරු දෙගුරුන් අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. එහෙත් මොනයම් හෝ හේතුවකින් දෙමාපියන් කී නිසා හෝ මුරණ්ඩුකම නිසා පාසලේ නීති රීති නොතකා ජංගම දුරකථනයක් ළඟ තබා ගැනීම කෙබඳු වරදක් ද? එවැනි වරදකට අසු වුණු ශිෂ්‍යයකුට හෝ ශිෂ්‍යාවකට දඬුවම් කළ යුත්තේ කෙසේද? දඬුවම පාසල් සිසුන් දරා ගත යුත්තේ කුමන ආකාරයෙන් ද? යම් දුර්වල සිසුවකු දඬුවමක් දරාගත නොහැකිව ගන්නා පියවර මාධ්‍ය මඟින් ප්‍රචාරය කළ යුත්තේ කෙසේද?

මෙවැනි පැන රාශියක් මතු වුණේ පසුගියදා ජංගම දුරකථනයක් සමඟ හසු වූ සිසුවියට විදුහල්පතිනිය දෝෂාරෝපණය කිරීමෙන් පසු වස බී සිය දිවි නසා ගැනීම පිළිබඳ වාර්තා වීමත් සමඟ ය. මීට පෙර ද ජංගම දුරකථන ප්‍රශ්නයක් උඩ සිසුවියක් ගෙල වැල දා ගත්තා.

ඒ පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා පවසන්නේ මෙවැනි අදහසක්.

“ජංගම දුරකථන භාවිතයට සම්බන්ධව ඍජුවම වාර්තා වන දෙවැනි පාසල් ශිෂ්‍ය සියදිවි නසා ගැනීම මෙය විය යුතු යි. පාසල් සිසුවියකට විදුහල්පතිනිය දෝෂාරෝපණය කිරීමේදී මෙය පැති දෙකකින් විග්‍රහ කළ හැකි යි. එකක් නම් රජයේ පාසල්වල ජංගම දුරකථන භාවිතය නීතියෙන් තහනම්. නමුත් අන්තර්ජාතික පාසල්වල එවැනි තහනමක් නැහැ. කෙසේ වුවත් විදුහල්පතිනියගේ අවවාදය කුමන ආකාරයකින් සිදු වුණා ද කියා අප දන්නේ නෑ. විදුහල්පතිවරයකු හැම විටම පාසලක විනය ශික්ෂණය ඇති කිරීමට කටයුතු කළ යුතුයි.

දෙවැන්න ළමයින්ගේ දරා ගැනීමේ ශක්තියයි. අද විභාග ප්‍රතිඵල අනුව උසස් පෙළ, සාමාන්‍ය පෙළ අසමත් වන සංඛ්‍යාව ලක්ෂ 3 ට අධිකයි. ඔවුන් සියලු දෙනා විභාගය අසමත් කියා එය දරාගත නොහැකිව සියදිවි නසා ගතහොත් කුමක් සිදුවෙයි ද? අනෙක අද බොහෝ දුරකථනවලට පරිගණකවලට ඉබේම අසභ්‍ය දේ එනවා. එය සාමාන්‍ය දෙයක්. ඒ වගේ ම සමහර ළමයින් මෙන් ම ගුරුවරුන්, ආචාර්යවරුන් පවා දුරකථනය භාවිත කරන්නේ අන් අයටත් බාධාවන අයුරින්. කිසිදු විනයක් චාරයක් නෑ. එවිට නීති පැනවීමේ වරදක් නැහැ. ඒවාට හිස නමන්නට පුරුදු විය යුතුයි. එසේ නැතිව අපේ පූර්ණ ශක්තිය පෞරුෂය දිය වී යන්නට හැර සිටිය යුතු නෑ.”

පාසලක පැවතිය යුතු විනය පිළිබඳ ඔහුගේ මතයට රුකුල් දෙන්නේ මනෝ වෛද්‍ය විශේෂඥ ඩී.ජේ.වී. හරිස්චන්ද්‍ර මහතායි.

“මෙවැනි සියදිවි නසා ගැනීමකදී පැති රාශියක් තිබෙනවා. යම් විනයානුකූල නීතියක් රීතියක් පිළිබඳ වැඩිහිටි ගුරුවරු ආදීන් කීවොත් එය හිස නමා පාසල් දරුවන් පිළිගත යුතුයි. විදුහල්පතිතුමියගේ වගකීම අනුව පවතින නීතියක් කඩ කිරීමට ඉඩ දීම අන් දරුවන්ටත් වැරදි ආදර්ශයක්. ඒ වගේම විදුහල්පතිවරු, ගුරුවරු අවවාද දඬුවම් ආදිය දීම නවතා දැමුවොත් දරුවන්ට කාගේ පිහිටක් ද? මේ නිසා විදුහල්පතිනිය කළේ හරි දේ, නමුත්
ශෛලාදපී කඨෝරානී
මෘදුනී කුසුමාදතී”
කියා තිබෙනවා.

ඒ කියන්නේ ගලක් මෙන් රළු විය යුතු තැන් ද මලක් මෙන් මෘදු විය යුතු අවස්ථා තිබෙනවා.
විශේෂයෙන් නව යෞවනියකට විශාල ලෙස දඬුවම් කිරීම සුදුසු නෑ. එය ආදරයෙන් කළ යුතුයි.”

වර්තමානයේ දරුවන්ට ආදරයෙන් දඬුවම් කළ යුත්තේ ඇයිද යන්න පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා විග්‍රහ කරන්නේ මෙසේයි.
“අද බොහෝ නිවෙස්වල දරුවන් සංඛ්‍යාව අඩුයි. ඒ නිසා දරුවන් හැදෙන්නේ මල් වගේ. තරවටු නෑ, දඬුවම් නෑ. එහෙම හැදෙන ළමයින්ට විවේචන හුරු පුරුදු නෑ. විශ්වවිද්‍යාලවල පවා නවක වදයටත් විරුද්ධ වන්නේ පුරුදු නැති නිසයි. දරාගත නොහැකි නිසයි. අපේ කාලේ උසස් පෙළ පන්තිවලදී වුණත් දණ ගසාගෙන ඉන්න එක අපට ගානක් නෑ. 

මොකද ගෙදරදීත් අපට දඬුවම් ලැබුණ නිසා. නමුත් මේ සුකොමළ මට සිළුටු දූලා පුතාලා බොළඳ ප්‍රේමය ආදර්ශ කරගත් සංස්කෘතියක් වෙළෙඳ සමාජය මගින් රූපවාහිනී ආදී මාධ්‍ය මඟින් මවා තිබියදී අභ්‍යාසයක් ලෙස ප්‍රේම කරන්න පුරුදු වෙනවා. ගුරු මනස ඊට වඩා වෙනස්. ඒ වුණත් ජංගම දුරකථන භාවිතය සිදුවුණේ පාසලෙන් පිටතදී නම් ඒ පිළිබඳ ළමයාගේ දෙමව්පියන්ට නැති කැක්කුමක් ගුරුවරුන් ගන්නේ ඇයි ද කියන පැනයත් අපට නැඟෙනවා. මොකද මේ වගේ වෙලාවක ළමයාගේ පෞරුෂය වඩවන්න මිස අද කාලේ වේවැල් කෝටු නාරං සියඹලා අතු කියන ක්‍රමයට යන්න බැහැ.”

අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම් අධ්‍යාපන මනෝවිද්‍යා විශේෂඥ ආචාර්ය තිලෝක සුන්දරී කාරියවසම් මහත්මිය ද ඒ අදහසට එකඟ වන්නේ මෙසේ පවසමින්.

“ළමයකුගේ වර්ධන අවස්ථා කීපයක් තිබෙනවා. ඉන් භයානකම අවධිය කියා හඳුන්වන්නේ ඔය දැරි විය සිටි ගැටවර වියයි. මොකද හෝමෝන ක්‍රියාත්මක වන්නේ තමන්ට අවශ්‍ය අයුරින් නොවේ වර්ධනයට අනුවයි. ඒ නිසා ම කුණාටු අවදිය ලෙසත් හඳුන්වන මේ වයසේදී ලැජ්ජාශීලී බව ප්‍රබලව දැනෙනවා.
ඒ නිසා සමහරුන්ගේ චිත්ත ආවේග බුද්ධිය අභිබවා යමින් ප්‍රමතයට(ඉබපඥඵඵ) පත් වෙනවා.

මේ වැනි වයසක දරුවන්ට කතා කළ යුතු ආකාරය, දඬුවමක් දිය යුතු ආකාරය වගේ ම ඔවුන්ගේ ආකල්ප වෙනස් කළ යුතු ආකාරය ගැහැනු පිරිමි භේදයකින් තොරව මනෝ විද්‍යාත්මකව කළ යුතුයි. විශේෂයෙන් විදුහල්පතිවරු ගුරුවරු කියන්නේ දරුවන් පිළිබඳ මනාව තේරුම් ගත යුතු අය මිස අළුගෝසුවන් විය යුතු අය නොවෙයි.

විශේෂයෙන් දරුවන්ට ප්‍රසිද්ධියේ කෑගසා බැණීම වැරදියි. අභ්‍යන්තරික වෙනස්වීම් අනුව ප්‍රේම සම්බන්ධතාවක් වැනි දෙයක් ඇති කරගත්තා වුණත් ළමයා සිතන්නේ කෙසේද, මනස ක්‍රියා කරන්නේ කෙසේද යන්න ගැන අවබෝධයෙන් හා ඒ දරුවාගේ අතීත අත්දැකීම්, ජංගම දුරකථන වැනි සාරවත් ප්‍රබෝධයක් එයට බලපාන්නේ කෙසේද? 

පෙර හැසිරීම යහපත් රටාවකින් පැවතුණ ද, සංවරශීලීව සිටි ළමයකු ද? ඉගෙන ගැනීම කෙසේද? ආදි ගුරුවරුන්ට පුහුණුවීම්වලදී ලබාදෙන මූලධර්මයන් පිළිබඳ අවබෝධයෙන් පොදුවේ ළමයා වැරදි ගණනාවක් කර නැති අයකු නම් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය ළමයා බව මතක තබාගෙන ඔහුගේ හෝ ඇයගේ අභිවෘද්ධිය සලකා වැඩ කළ යුතුයි. මේ සිදුවීමේ දී මට දැනෙන්නේ ළමයාටත් පෙර චිත්ත ආවේග ඇති වී ඇත්තේ විදුහල්පතිනියට කියායි.”

එවැනි චිත්ත ආවේගයක් නිවැරදිව හැසිරවූ විදුහල්පතිවරයකු පිළිබඳ අත්තනායක එම්. හේරත් මහතා මෙසේ පැවසුවා.

“අද කාලේ පාසල්වල උපදේශනය සඳහා සිටින ගුරුවරුන්ට වෙනම පුහුණුවක් ලබාදිය යුතුයි. ඒ ළමයින්ගේ රහස් පතුරුවන්නේ නැතිව රැකගෙන සිටීම පුහුණු කරන්න. ඉතා දැඩි විනයක් ඒ අය අතරත් ඇති කළ යුතුයි. ගුරුවරයකුට ළමයකුගේ ඉරණම වෙනස් කළ හැකි ආකාරය ගැන ප්‍රායෝගික කතාවක් කියන්නම්. මහනුවර විද්‍යාලයක විදුහල්පතිවරයකු ගන්නෝරුව රණබිම පාසලේ විදුහල්පති. පත්වීම ලැබූ දා ප්‍රධාන දේශනාව පැවරුණේ මට. 

ඒ වෙලාවේ මහාමායා බාලිකා විදුහලේ දුවක් බලෙන් ම වේදිකාවට නැඟ ඒ විදුහල්පති ගැන කතාවක් පවත්වා කීවා “මේ ගුරු අප්පච්චිට මා ලියූ ලියුමක් හසු වුණා. ඒ ලියුම කුණු කූඩෙට දාලා මට හොඳින් ඉගෙන ගන්න දුව කියා විතරක් කීවා. එදා මට කිසිම දඬුවමක් කළේ නෑ. නමුත් මම ඒ ප්‍රේම සම්බන්ධය නතර කර විභාගය ඉහළින් ම සමත් වී අද වෛද්‍ය විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙන ගන්නවා. මම කවදාහරි වෛද්‍යවරියක් වෙලා ගුරු අප්පච්චිට බැරි කාලෙක බෙහෙත් කරනවා” කියලා.

ඒ නිසා ගුරු භූමිකාවට අලුතින් පාඨමාලා එක්කළ යුතුයි, දඩබ්බර පිරිමි, ගැහැනු දරුවන් පරිපාලනය කරන්නේ කෙසේද කියා. දුරකථන භාවිතය විනය විරෝධී වුණත් එය භාවිත නොකිරීම අද තාක්ෂණ විරෝධී ක්‍රියාවක්. 

ඒ නිසා මේ පරම්පරා වෙනස හඳුනාගත යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැරදි කරුවන් සෙවීමට කොමිසමක් පත් කළා සේ මෙවැනි වැරදි සොයා බැලීමට කොමිසමක් පත් කළ යුතුයි. අප කම්පනයට පත්විය යුත්තේ මේ දරුවන්ගේ ජීවිත ගැනයි.”
ඒ පිළිබඳ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා ද මෙවැනි අදහසක් දැක්වූවා.

“ලෝකේ වෙනස් වෙද්දී අපට එකතැන ඉන්න බැහැ. මේ වැනි සියදිවි නසා ගැනීම්වලට වැඩිහිටි ලෝකය වගකිව යුතුයි. අනෙක හැම රජයක් ම පහසුවෙන් ම දිය හැකි රැකියාව ලෙස ගුරු වෘත්තිය සලකනවා. නමුත් ගුරු සේවය තමයි ඉතාම අපහසු සේවය. එයට දක්ෂ, කැමති, පුහුණු අය යොදා ගත යුතුයි. උපාධිධාරීන් පමණක් ගුරු වෘත්තියට යෙදීම නිවැරදි නැහැ. උපාධිය නොමැතිව හෝ අනෙක් අදාළ සුදුසුකම් සහිත අය ගුරු වෘත්තියට ලැදි අය ඒ සඳහා බඳවා ගත යුතුයි. අද අපේ රටේ වුවත් නිර්මාණශීලී ප්‍රඥාවන්ත ගුරුවරුන් රාශියක් සිටිනවා. ඒ අතර සහතික ලබා ගැනීම සඳහා පුහුණුව ලද අයත් කීප දෙනකු සිටිනවා.

අපේ රටේ විශාල ම ගැටලුව කෙනකුගේ ආත්මය විනාශ වන පරිදි කතා කිරීමයි. ඇතුළාන්තයේ ඇති ප්‍රශ්නය සොයා බලා පෞද්ගලිකව උපදෙස් දීමයි ඉතා වටින්නේ. අද දේශපාලන වේදිකාවල මාධ්‍ය සාකච්ඡාවල වගේ ම ශිෂ්‍ය නායකයින් ද පුරුදු වී තිබෙන්නේ අනුන් තලා පෙළා කතා කිරීමටයි. එය ශිෂ්ට සමාජයකට ඔබින්නේ නැහැ.

අනෙක සමාජයේ කාමුකත්වය, ප්‍රචණ්ඩත්වය අපට මෙන් ම මුහුකුරා නොගිය අපරිනත දරුවකුට දරාගන්න බැරි වී තිබෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇතැම් විෂයයන් වන සෞන්දර්යය, සාහිත්‍යය, ක්‍රීඩා ආදිය සියලු ළමයින්ගේ ජීවිතවලට කිඳා බැස නැහැ. එවැනි විෂයයන් නැතිව දරුවකුගේ අධ්‍යාපනය, ජීවන අත්දැකීම් සම්පූර්ණ වන්නේ නැහැ. 

ලිංගික අධ්‍යාපනය නොමැතිවීමත් අපට ලොකු පාඩුවක්. වෙන රටවල එය හය, හත පන්ති වලදීම ලබා දෙනවා. ශරීරය, හැඟීම්, ආරක්ෂාවීම පිළිබඳ ඉන් අවබෝධයක් ලැබෙනවා. අනෙක නිර්දේශ පත්‍රවලට අනුව දරාගත නොහැකි පාඩම් කන්දක් විභාග කේන්ද්‍රියවම උගන්වනවා හැර විචාරශීලී, විමර්ශනශීලී, නිර්මාණශීලී ලෙස සිතන්න ජීවත්වීමේ කලාව, ශිල්පය විෂයයන් තුළම උගන්වන්න ඒ ඔස්සේ වංචනිකයන්ගෙන් කපටින්ගෙන් ගැලවෙන්න ප්‍රශ්නයක් දරා ගන්න පෞරුෂය දරුවන්ට කියා දෙන්නේ නෑ. මෙය අධ්‍යාපන සංස්කෘතියේ විශාල ගැටලුවක්. කොහොම වුණත් අපට මේ දරුවාගේ ජීවිතය ගැන කනගාටුයි.

ශිෂ්‍යාවගේ මෙලොව ජීවිතය ගැන මෙන් ම පරලොව ජීවිතය ගැන ද කනගාටුවන ඩී.ජේ.වී. හරිස්චන්ද්‍ර මහතා මෙවැනි අදහසක් දැක්වූවා.

“ශිෂ්‍යාවගේ පැත්තෙන් බලද්දී තමන්ට ඇති වූ ප්‍රශ්නයකට උරණ වෙලා මේ තීරණය ගත්තේ ඇයට ජීවිත දර්ශනයක් මනුෂ්‍ය ජීවිතය පිළිබඳ වටිනාකමක් නැති නිසයි. 

චිත්ත වේග තියුණු වූ පමණින් කටයුතු නොකර මව්පිය වැඩිහිටි අය සමඟ හෝ වෛද්‍යවරයකුගේ උපදෙස් හෝ සුමිත්‍රයෝ වැනි ආයතනයක් සමඟ හෝ කතා කිරීමට ඇයට අවස්ථාව තිබුණා. 

ප්‍රශ්නයක් නිරාකරණය කර ගැනීම වෙනුවට එයින් පලා යෑම නිවට කමක්. මොකද ජීවිතයේ මීට වඩා ප්‍රශ්න පැන නඟින ඒවාට මුහුණ දෙන අය ඉන්නවා. ඇයගේ නොමේරූකමයි මින් ප්‍රදර්ශනය වන්නේ.

ඒ වගේ ම සියදිවි නසා ගැනීම සෑම ආගමකමත් අනුවම පවක්. කර්මය, විපාක, පුනර්භවය, අටලෝදහම ගැන යම් හෝ දැනීමක් ඇත්නම් අම්මට තාත්තට යහළු මිත්‍රාදීන්ට දුකක් දී ගුරුවරුන්ට නින්දා කර මෙසේ කටයුතු කිරීමත් පවක් බව තේරුම් ගත යුතුයි. මෙවැනි අයගේ චුත ප්‍රතිසන්ධිය ලබන්නේ ඉතාම නරක විදිහට. මොකද මෙවැනි තීරණයක් ගන්නේ ද්වේශය හා මෝහය නිසයි. මේ භවයේ ප්‍රශ්නවලින් එසේ පැන යනවිට ඊළඟ භවයේ ඊට වඩා ප්‍රශ්න එන නිසා ප්‍රපාතයටම වැටෙනවාට වඩා මේ භවයේදීම ඒවා දරාගැනීම සුබයි.

අනෙක ජංගම දුරකථනය, පිරිගණනය, ‘බක - මුහුණු පොත’ නිසා තම යෞවනයන් මෙන් ම වැඩිහිටියන් අමාරුවේ වැටුණු අවස්ථා, පවුල් කඩාකප්පල් කරගත් අවස්ථා ඕන තරම් ගෙන දක්වන්න පුළුවන. 

ඇතැම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේවායින් ලබන පහත් රසය නිසා ප්‍රබල මානසික කම්පනයට පත්වූ අවස්ථා අප දැක තිබෙනවා. මේ වයසේදී හොඳට පාඩම් කරන කෙනකුට මෙවැනි කාමුක හැඟීම් ඇති වනවා අඩුයි. සිග්මන් ෆ්‍රොයිඩ් කියන්නේ උත්කර්ශනය ලෙස යටි සිතේ කාමුක හැඟීම් පිට කිරීමට ක්‍රීඩාව, කලාව අධ්‍යාපනය හා ධර්මයෙහි හැසිරීම උපකාර වන බවයි. 

තාක්ෂණය නැතිව බැරි යුගයක අප ජීවත්වනවා නම් සාරධර්ම ද එලෙසම දියුණු කළ යුතුයි. දියුණු තාක්ෂණයෙන් ගැටලුවක් ඇතිවන්නේ නැහැ. අද බොහෝ අයට සාරධර්ම පිළිබඳ හැඟීමක් නැහැ. ඒ වගේ ම මෙවැනි දේ ප්‍රචාරයේදී සිය දිවි නසාගත් අය වීරයකු කළ යුතු නැහැ. සමහර නොමේරූ මනස්වලට අනුකාරක සියදිවි හානි කරගැනීම් ඇති වන්න ප්‍රචාරක මාධ්‍ය ප්‍රබල සාධකයක් වනවා.”

මෙවැනි ප්‍රවෘත්ති ප්‍රචාරයේදී මාධ්‍යවල වගකීම ගැන ඔහුගේ අදහස ගැන අප විමසුවේ ශ්‍රී ලංකා ජාතික රූපවාහිනියේ සභාපති මොහාන් සමරනායක මහතාගෙන්.

“අප ජීවත්වන සමාජයේ සන්නිවේදන මෙවලම් ව්‍යාප්තිය නිසා තොරතුරු වසන් කරන්න බැහැ. නමුත් පුවත් විකෘති ලෙස සමාජගත වීමෙන් වඩා විශාල අනර්ථයක් වන්න පුළුවන්. විපත්, මානව ඛේදවාචක ආදිය ජනමාධ්‍යවලින් ප්‍රචාරය කිරීම වරදක් නොවෙයි. එහෙත් දැඩි තරගය නිසා මාධ්‍ය පෙළඹී තිබෙනවා පවුල් ආරවුල්, ස්ත්‍රී දූෂණ ආදිය වෙළෙඳ භාණ්ඩ බවට පත් කරගන්න. මෙය බාල උපක්‍රමයක් ඇතැම් නාළිකාවල ඒවා සතුටින් ප්‍රකාශ කිරීම ජීවිතවල වටිනාකම පිළිබඳ ගෞරවය හෑල්ලු කිරීමක්. පිටරටවල මුහුණු පොතෙන් ගැටවරයින් පොලඹවා සිය දිවි නසා ගැනීම විලාසිතාවක් වෙලා. ජනමාධ්‍ය තම සාක්කු පුරවා ගන්න මිනිසුන්ගේ දුක අළෙවි කිරීම පහත් ක්‍රියාවක්. ඒවාට අනර්ථකාරී ප්‍රචාරයක් ලැබීමත් ගැටවර වියේ සිත් ව්‍යාකූල කරන්නට හේතුවනවා.

කෙසේ වුවත් මෙවැනි ප්‍රවෘත්ති වසන් කිරීමෙන් පළක් නෑ. අනවශ්‍ය ප්‍රචාරය හා පෙලඹවීම වැළැක්වීමේ ක්‍රම දෙකක් මා දකිනවා. එකක් මාධ්‍ය හා මාධ්‍යකරුවන් ස්වයං නියාමනයක් ඇති කරගැනීම. එසේ නොමැති නම් ආයතනික නියාමනයක් ඒ කියන්නේ ආගමික, අධ්‍යාපනික ආදී වූ ආයතනවලින් හඳුන්වා දිය යුතුයි. මා නම් වැඩිපුර කැමැත්ත දක්වන්නේ මාධ්‍යකරුවන් විසින් ම ඇති කර ගන්නා ස්වයං නියාමනයකටයි.”

පුවත්පතක් ලෙස අපට කළ හැක්කේ අදහස් ඉදිරිපත් කිරීම පමණි. ඒවා ක්‍රියාත්මක කළ යුත්තේ ඔබය. මඟ හොඳට තිබේ නම් යන්න දෑසත් පෙනේ නම් කිම බැදිවල යන්නේ?
Read Post | comments

සයිබර් ප්‍රහාර ගැන ‘සර්ට්’ විමසිල්ලෙන්

Sunday, February 17, 2013

අඩවියක් යැයි කිව්වහම ඉස්සර නම් අපට මතක් වෙන්නේ දෙවි දේවතාවන්ට වෙන් වූ විශේෂ ප්‍රදේශයන් පිළිබඳ ව ය. හැබැයි දැන් වෙබ් අඩවි ගෝලීයකරණය වූ ලෝකය තුළ දේව අඩවි තරම් ම වැදගත් වී, බලවත් වී තිබේ. ඒ ඒ පුද්ගලයන්ට, ආයතනයන්ට අයත් ඔවුන්ගේ තොරතුරු අන්තර්ජාලය හරහා සපයා ගැනීමට හැකි අවකාශය අපි සරලව වෙබ් අඩවිය යැයි කියයි. 

ඊට හේතුව ඒවායේ පළවන තොරතුරු වෙනස් කිරීම තුළින් ලෝක ජන මතය ප්‍රබල ලෙස වෙනස් කිරීමටත්, එයින් ආණ්ඩු පෙරළීමටත්, ආර්ථිකයන් කඩා වැට්ටවීමටත් ආගමික, වාර්ගික, යුදගිනි ඇවිලවීමටත් කිසිදා ලිහිය නොහැකි වූ නූල් බෝල සේ සංකීර්ණ ගැටලු නිර්මාණය කිරීමට හැකි වීම නිසයි.

ප්‍රහාර කිව්වහම ඉස්සර මතක් වෙන්නේ කඩු පොලු දුනු ඊතල සහ ඊටත් පසුව නම් අත් තුවක්කු, මැෂින් තුවක්කු, මෝටාර්, ෂෙල් වෙඩි ආදියයි. එහෙත් අද සයිබර් ප්‍රහාර ඒ සියල්ලට වැඩිය දරුණුය.

වෙබ් අඩවි තුළට සයිබර් ප්‍රහාර එල්ල වූ විට අර කලින් කියූ තත්ත්වයන් නිර්මාණය වේ. මේවා ද අන්තර්ජාතික වශයෙන් රට රටවල් අතර මෙන්ම දේශීය වශයෙන් ආයතනික තත්ත්වයන් වශයෙන් ද ඇතිවන තත්ත්වයක් බවට පත්වී ඇත.

මේ අනුව වෙබ් අඩවිවල විස්තර වෙනස් කිරීම්, වෙබ් අඩවි අකර්මණ්‍ය කිරීම, සම්පූර්ණයෙන්ම සාවද්‍ය තොරතුරු, සාවද්‍ය පින්තූර ඇතුළත් කරන අවස්ථා ඇත.

කතාකිරීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ම ආරක්ෂා කර ඇති අපි වැනි රටවල ඒ නිදහස ද වෙබ් අඩවි තුළින් වැරදි ආකාරයට ප්‍රයෝජනයට ගන්නා අවස්ථා බහුලව දැකිය හැක.
මේ තුළින් පුද්ගල චරිතවලට මඩ ගැසීම ඉතාමත් දරුණු ලෙස දැකිය හැකි අතර, වඩාත් ම භයානක වන්නේ ජාතීන් වශයෙන් සහ ආගම් වශයෙන් ඇතිවන සත්‍යයෙන් තොර ප්‍රචාර තුළින් නිර්මාණය විය හැකි අවාසනාවන්ත තත්ත්වයන්ය. 

ඒවා පිළිබඳ ඉතාමත් සැලකිල්ලෙන් සිටීම සෑම කරුණක්ම තාර බැර හැර භාරගැනීම මේ නිසාම කාගේත් වගකීම වී ඇත්තේ ය.

තොරතුරු තාක්ෂණය භාර අමාත්‍යාංශය ලෙස අප මේ පිළිබඳව තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය වැඩි කිරීමට දක්වන උත්සාහය මෙන්ම උනන්දුව සේම නොදෙවැනි අවධානයකින් නිතිපතා කටයුතුª කරයි. අප අමාත්‍යාංශය යටතේ ඇති තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයට අනුබද්ධ වූ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය නොහොත් ‘සර්ට්’ ආයතනය මෙහිදී ප්‍රධාන ආරක්ෂකයා ලෙස කටයුතු කරයි. 

ඕනෑම පුද්ගලයකු, ආයතනයක් හෝ සමාජයකට මෙවැනි ගැටලුවක් මතු වන්නේ නම් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය උපදෙස් දීමටත්, සංකීර්ණ විෂයක් වූ පරිගණක වැරැදිකරුවන් නීතිය හමුවට පැමිණවීමට අවශ්‍ය සහාය ලබාදීමටත් “ශ්‍රී ලංකා සර්ට්” හැම විටම සුදානමින් සිටී.

තොරතුරු තාක්ෂණය පිළිබඳ අපේ පනත සකස් වී ඇත්තේ 2007 අංක 24 දරන පනතින් වන අතර, එය තවමත් සංශෝධනය වී නැත. 

නමුත් මෙය අද ලෝකය ඉතාම ශීඝ්‍රයෙන් වෙනස්කම්වලට භාජනය වන විෂයක් ලෙස සැලකිය හැකි තොරතුරු තාක්ෂණයේ නවතම තත්ත්වයනට මෙන්ම වැරදි කරන්නන් නීතියට හසුකරගන්ට මෙම පනතේ ඇති නීති රීති යාවත්කාලීන කළ යුතු කාලය එළඹ ඇත. ඒ සඳහා ද මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශයේ ද පූර්ණ සහයෝගය ඇතිව අපි සූදානම් වෙමින් සිටිමු. එය ජාතික ආරක්ෂාවට මෙන්ම පුද්ගලික ආරක්ෂාව සඳහා අදටත් වඩා හෙට දවසට වැදගත් වනු ඇත. ඊට හේතුව හෙට දවස හැම පුරවැසියෙක්ම වෙබ් අඩවි භාවිතා කරන දවසක් බවට පත්විය හැකි වීමයි.
Read Post | comments

‍පොළොවට ආ පළමු පියාඹන පීරිසිය

Sunday, January 13, 2013

කෙනත් ආනෝල්ඩ් නම් ඇමෙරිකානු ජාතිකයා නම් දැරූ දක්ෂ ගුවන්  නියමුවෙකි. ඔහු වොෂින්ටනයේ පිහිටි “කැස්කේට්” නම් උස් කඳු ප්‍රදේශය හරහා නිතර නිතර තම පෞද්ගලික ගුවන් යානයෙන් ගමන් කළේය. ක්‍රිස්තු වර්ෂ 1947 ජුනි මස 24 වන දින සවස දෙකට පමණ ඔහු කැස්කේට් කඳු ප්‍රදේශය බලා තම ගුවන් යානය පැදවූයේ අතුරුදන් වූ ගුවන් යානයක් සෙවීමේ බලා‍පොරොත්තුවෙනි.

වොෂින්ටනයේ “චෙලනීස්” ගුවන් තොටු‍පොළින්  ගමන් අරඹා පුරා පැයක් ඉක්ම යන්නට මත්තෙන් කැස්කේට් කඳු ප්‍රදේශයට  පැමිණීමට  ඔහුට  හැකි විය. යකීමා නගරයට තරමක්  ආසන්නයේම පිහිටා ඇති  මෙම කඳු ප්‍රදේශය  අතිශය සුන්දර දසුනකි. වලාකුළුවලින් තොර පැහැදිලි  කාලගුණයක් එදින තිබූ හෙයින් එකී සුන්දරත්වයේ උපරිමය විඳ ගැනීමට ආනෝල්ඩ්ට හැකි විය. ගුවන් යානයෙහි වූ කවුළු තුළින් හිමෙන් වැසී ගිය කැස්කේට් කඳු වැටියේ සුන්දරත්වය නරඹමින් ඉදිරියට ගිය ඔහු කඳු වැටියට ආසන්නවත්ම දුටු දෙයින් විශ්මයට පත්විය.

මීට පෙර කිසි දිනෙක දුටු අමුතුම ආකාරයේ යානා රාශියක් තමා දෙසට ඇදී එනු ඔහු දුටුවේය. දෑස් නිලංකාර වී යන තරමට දීප්තිමත් වූ ආලෝක දහරා නිකුත් කළ මෙම යානාවලින් කිසිදු දුමාරයක් හෝ ශබ්දයක් පිට නොවීය. පැයට සැතපුම්  දසදහසකට වඩා වැඩි වේගයෙන් ගමන් කළ මේවා දකුණ දෙස සිට ඊශාන දෙසට විහිදුනු  කඳු වැටිය අයිනෙන් පාවී ගියේය.  තම ගුවන් යානයේ සිට අඩි 2500ත් 10,000ත් අතර සාපේක්ෂ  දුරකින් පිහිටා තිබූ මෙවැනි යානාවක් මීට පෙර කිසිදු දිනෙක ආනෝල්ඩ් විසින් දැක නොතිබූ අතර එතරම් වේගයෙන්  ගමන් කිරීමට  හැකි යානාවක් තැනීමට  තරම් එකල තිබූ තාක්ෂණය ප්‍රබල නොවීය.

දුටු අත්භූත දර්ශනයෙන් පුදුමයටත් භීතියටත් පත් ආනෝල්ඩ් තමා පැමිණි  කාර්යයද අමතක කර දමා නැවතත් ගුවන් තොටු‍පොළට පැමිණ ඒ පිළිබඳව විස්තරය එක්සත් ජනපද ගුවන් හමුදාව වෙත සැල කළේය. “මම මීට කලින් කිසිම දවසක ඒ වගේ ගුවන් යානා දැකලා නෑ. ඇත්තටම ඒවා ගමන් කළේ ජලය මත ලිස්සා  යන පීරිසියක් වගේ. ත්‍රිකෝණාකාරව ඉතා වේගයෙන් ගමන් කළා. දුමක් වත්, ශබ්දයක් වත් පිට වුණේ නෑ. වරින් වර පිහිටීම වෙනස් කරමින් ගමන්  කළ යානා නවයක් විතර එතන  තිබුණා. ඒවා හිරු එළිය වැටීම නිසා කැඩපතක් මෙන් දිලිසුණා. යානයේ පහළ කොටසින් නිකුත් කළ දීප්තිමත් ආලෝකයෙන් මගේ දෑස් නිලංකාර වී ගියා.” ආනෝල්ඩ් විසින් ගුවන් හමුදාව වෙත කළ පැමිණිල්‍ලේ එසේ සඳහන් විය. ඔහුගේ  මෙම ප්‍රකාශ පසු දින පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය ලෙස පළ විය. පාඨකයා පුදුමයටත්, භීතියටත් පත්වන අයුරින් සකස් කර තිබූ මෙම පුවත්පත් වාර්තා මගින් ආනෝල්ඩ්   දුටු පියාසරන වස්තු  “පියාඹන පීරිසි” ලෙසින් කරලියට රැගෙන ආවේය. එහෙත් ඔහු තමා  දුටු ආශ්චර්යමත් සිද්ධිය පිළිබඳව  තොරතුරු  පැවැසූ විට සමහර ජනමාධ්‍යයන් එය විශ්වාස කළ නොහැක්කක් සේ සලකා අතහැර දැමුවද, එකල ඇමෙරිකාවේ පැවති “ඔනිටඩ් පේ‍රස් ඉන්ටර්නැෂනල් සහ ෆේට්” නැමති ජනප්‍රිය සඟරා මගින් මෙකී සිද්ධිය අපූරුවට විග්‍රහ කර තිබුණි. එයින් සිදු වූයේ එකී සඟරාවල අලෙවිය කෝටි ගණනින් ඉහළ යාමය. ඉන් පසුව විටින් විට අහසේ දර්ශනය වන අත්භූත වස්තූන් සඳහා “පියාඹන පීරිසි” යන නිර්වචනය භාවිත විය. ඒවා  පිළිබඳව තොරතුරු පළ වී ඇති වාර්තා කියවීමට මිනිසුන් තුළ කුතුහලයක් ඇති වූයේ ඉන් අනතුරුවය. මේ නිසා කලක් ගත වත්ම කෙනත් ආනෝල්ඩ්ට විවිධ ගුවන් විදුලි නාලිකාවලින් සම්මුඛ සාකච්ඡා සඳහා ආරාධනා ලැබුනු අතර පසුව ඔහු තමා දුටු සිද්ධිය පිළිබඳව තොරතුරු  ඇතුළත් කර  “The Coming of the saucers” නමින්  ග්‍රන්ථයක් එළි දැක්වීය.

කෙනත් ආනෝල්ඩ් විසින් සුන්දර සන්ධ්‍යාවේදී දුටු ඒ ආශ්චර්යමත් සිද්ධියත් සමගම එවැනි තවත් දර්ශන කිහිපයක්ම දුටු බවට තොරතුරු විවිධ ප්‍රදේශවලින් වාර්තා වන්නට විය. ඒ සමගින්  ඇමෙරිකානු ගුවන් හමුදාවේ මෙන්ම සාමාන්‍ය  ජනයාගේද අවධානය  ඒ දෙසට යොමු විය. ඒ අනුව ඔවුන් මෙම යානා පිළිබඳව  සොයා බැලීමට යුහුසුලු  විය. එකල ඇමෙරිකානු  ඔහායෝ විශ්ව විද්‍යාලයේ තාරකා  භෞතික  විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයකු වූ ජේ. ඇලන්  හයිනෙක් මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ “පීරිසි” ව්‍යාපෘතිය මගින් ආනෝල්ඩ් දුටු අබිරහස් යානා  පිළිබඳව විද්‍යාත්මක  ගවේශනයන් සිදු කරන ලදී. එහෙත් ඒවා මොනවාදැයි යන්න හරියාකාරව දැන ගැනීමට ඒ කිසිවෙකුටත් නොහැකි විය.

පියාඹන පීරිසියක් දුටු ප්‍රථම අවස්ථාව ලෙස ආනෝල්ඩ්ගේ සිදුවීම සැලකුවද, ඊට පෙරද කිහිප වතාවක්ම එවැනි සිද්ධීන් වාර්තා වී තිබේ. එහෙත් ඒවා ආනෝල්ඩ්ගේ සිදුවීම තරම් ප්‍රසිද්ධ නොවූ හෙයින් කිසිවෙකුත් ඒ පිළිබඳව  අවධානය යොමු නොකළේය. මේ අතරින් පළමු සිද්ධිය වාර්තා වන්නේ ආනෝල්ඩ්  පියාඹන  පීරිසි දැකීමෙන් දින දහයකට පෙරය. නමින් රිචඩ් රැන්කින් වන ඔහු වෘත්තියෙන් ගුවන් නියමුවෙකි. 1947 ජුනි මස 14 වන දින පෙරවරුවේ   තම පෞද්ගලික  අවශ්‍යතාවයක් සඳහා චිකාගෝ නගරයේ සිට ලොස් ඇන්ජලීස් දක්වා ගුවනින් ගමන් කිරීමට ඔහුට සිදුවිය. ගමනේ හරි අඩක් පමණ ගෙවා දමන අවස්ථාවේ අමුතුම ආකාරයේ අත්දැකීමකට ඔහු මුහුණ දී තිබේ. තමා කිසි දිනෙක නොදුටු විරූ ගුවන් යානා රාශියක්   වාතයේ පාවෙනු දුටුවේය.  එකිනෙක අතර සමාන දුර පරතරයක් පවත්වා ගනිමින් ත්‍රිකෝණාකාරව ගමන් කළ මේවා පැයට සැතපුම්  560 ක පමණ වේගයෙන් ගමන් කර ඇත. රැන්කින්ගේ ගණනය  කිරීම්වලට අනුව එහි එක් යානයක විශ්කම්භය අඟල් 35ක් පමණ විය.

මෙය පෘථිවි වැසියෙකු විසින් දුටු ප්‍රථම පියාඹන පීරිසිය  ලෙස සැලකුණද, රැන්කින්ගේ නිහඬතාවය එකී සිද්ධියෙහි ජනප්‍රියතාවය  අඩු වීමට හේතු විය. එහෙත් එය කුමන අයුරකින්  හෝ ජනතාව අතරට පැමිණියේ නම් එදා ආනෝල්ඩ් විසින් පියාඹන පීරිසි වෙත භාවිත කළ නාමය කෙලෙසකවත් භාවිතයට නොඑන්නට ඉඩ තිබුණි.

කෙනත් ආනෝල්ඩ් පියාඹන පීරිසි දැකීමට දින තුනකට පෙර බෝට්ටු නියමුවකු වන හැරල්ඩ් ඩැල් මහතා සහ ඔහුගේ  පිරිස විසින් මෙවැනිම තවත් දර්ශනයක් දැක තිබේ. ඔවුන්ගේ  සාක්ෂිවලට අනුව සිද්ධිය මෙසේය. 1947 ජුනි 21 වන දින කුඩා බෝට්ටුවක ගමන් කරමින් සිටියදී මීට පෙර දැක නොතිබූ අමුතුම ආකාරයේ යානා රාශියක් ඉහළ අහසේ සැරිසරනු දැක තිබේ.  හරියටම උළුඳු වඩයක හැඩය ගත් මේවා බෝට්ටුවේ සිට අඩි 2000 ක් පමණ ඉහළින්  ගමන් කළ අතර පැහැදිලිව හඳුනා ගත හැකි යානා හයක් එහි විය. එහෙත් ඔවුන් මේ පිළිබඳව  වැඩි සැලකිල්ලක් නොදැක්වීය. ඒ ඒවා කාලගුණ බැලූන් විශේෂයක් බව තීරණය කළ හෙයිනි. නමුත් නිමේෂයකින් සිදු වූයේ ඔවුන් විශ්මයට පත් කරන්නකි. බෝට්ටුවේ සිට  අඩි තුන්සියයක් පමණ ඈතින්  පිහිටා තිබූ යානා අතරින් එක් යානයක් කිසියම්  දෝෂයකට ලක්විය. ඒ ක්ෂණයෙන්ම  අන් සියලුම යානා ඒ වටා පිහිටියේ  හරියටම වළල්ලක් ආකාරයෙනි.  සුළු වේලාවක් ඒ අයුරින්ම ස්ථානගත වී තිබූ එක වරම විශාල හඬක් නගමින් සාගරය මතට පතිත වී තිබේ.

දෑස් අදහාගත නොහැකි මෙම දර්ශනයෙන් පුදුමයටත් භීතියටත් පත් හැරල්ඩ් ඇතුළු පිරිස හැකි උපරිම වේගයෙන් බෝට්ටුව වෙරළ දෙසට පැදවීය. එහෙත් ඔවුනට ගමන් කළ හැකි වූයේ යාරයකටත් වඩා අඩු ප්‍රමාණයකි. දෝසයට ලක් වූයේ  යැයි සැක කළ  යානය එක් වරම ඇළුමිනියම් වැනි වාෂ්පයක් නිකුත් කළේය.  ඒවා ඇඟ වැටීම නිසා හැරල්ඩ්  මහතාගේ පුත්‍රයාගේ  අත පිළිස්සී ගියේය. එමෙන්ම ඔවුන්ගේ  සුරතල්  බලු පැටවාද මිය ගියේය.  මින් තව තවත්  භීතියට පත් ඔවුන් බෝට්ටුවේ තිබූ රේඩියෝව මගින් පණිවුඩයක් ලබා දීමට  උත්සාහ දැරුවද, රේඩියෝ  පද්ධතිය ක්‍රියා විරහිත  වී තිබූ බැවින් එය අසාර්ථක විය. මේ නිසා හැකි උපරිම  වේගයෙන් බෝට්ටුව වෙරළ දෙසට පැදවීමට ඔවුහු කටයුතු කළහ.
Read Post | comments

එංගලන්තයෙන් මතු වූ ඇංග්ලෝ සැක්සන් නිධානයේ ආශ්චර්යය

Friday, January 4, 2013

මීට තෙවසරකට ඉහතදී බ්‍රිතාන්‍යයේ ස්ට්‍රැට්ෆර්ඩ්ෂයර් ප්‍රදේශයෙන් ඇංග්ලෝ සැක්සන්වරුන්ට අයත් අති විශාල නිධානයක් සොයාගනු ලැබුයේ එංගලන්තය පුරා කතා බහට ලක්වූ උණුසුම් මාතෘකාවක් බවට එය පත් කරමිනි. එම සිදුවීමෙන් තුන් අවුරුද්දක් ගතවීමෙන් අනතුරුව පසුගියදා යළිත් වරක් ස්ට්‍රැට්ෆෝඩ්ෂයර්හි හැමර්විච් ප්‍රදේශයෙන් යළිත් වරක් එබඳුම ආකාරයේ අද්විතීය ගණයේ නිධානයක් සොයා ගැනීමට හැකිවීම නිසා බ්‍රිතාන්‍ය යළිත් වරක් විස්මයෙන් කැළැඹී සිටියි.

රාජාලියෙකුගේ හැඩයෙන් යුතු වස්තුවක්ද රන්මුවා ශීර්ෂකයකින් කොටසක්ද ඇතුළුව රන් හා රිදී වස්තූන්ගේ කොටස් අනූවක එකතුවකින් මෙම නිධානය සමන්විතය. මෙකී ඇතැම් කොටසක් ප්‍රමාණයෙන් කෙතරම් ක්ෂුද්‍ර යැයි කියතොත් ඒවායේ කැබැල්ලක බර ග්‍රෑම් එකකට නොවැඩි බැව් කියැවේ. කෙසේ වුවද මේවායේ පැරණිකම කෙතරම් ඈත අතීතයකට දිවයන්නේද යන්න මතෛක් අනාවරණය වී නොමැත.

2009 වසරේදී ලිච්ෆීල්ඩ් අසල පිහිටි හෙක්ටයාර් පහක වපසරියකින් යුතු කුඹුරකින් රන්, රිදී, හා තඹ මිශ්‍ර ලෝහ ඇසුරින් නිමවන ලද කුඩා වස්තූන් තුන්දහස් නවසියකින් යුතු නිධානයක් සොයා ගනු ලැබුණේ එය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබිමට සමත් වෙමිනි. ලෝහ අනාවරක උපකරණයක් භාවිතා කරමින් සිටි පුද්ගලයෙකු විසින් පළමුවරට හඳුනා ගනු ලැබූ මෙම ඇංග්ලෝ සැක්සන් නිධානයට අලුතෙන්ම සොයා ගන්නා ලද රන්, රිදී තොගයේ යම් සම්බන්ධකමක් ඇත්ද යන්න මතෛක් හෙළිවී නොමැති අතර බොස්වර්ත් හා හේස්ටිංස් යුද බිම්වල පුරාවිද්‍යාත්මක හැදෑරීම්වල නිරතවූ පුරාවිදුවන්්  කණ්ඩායමක් විසින් ලිච්ෆීල්ඩ් අසල වූ මෙකී ඓතිහාසික කුඹුර යළිත් වරක් පරීක්ෂාවට ලක් නොකරන්නට ඒද වැළලී යාමට හොඳ හැටි ඉඩ තිබිණ.

බ්‍රිතා්‍යයෙන් සොයාගනු ලැබු දැවැන්තම ඇංග්ලෝ සැක්සන් රත්‍රන් හා රිදී නිධානයේ කිලෝ පහකට අධික රත්‍රන්ද කිලෝ 1.5 ඉක්මවූ බරකින් යුතු රිදී තොගයක්ද කුඩා රතු කැට දහස් ගණනාවක්ද වූ බව කියැවේ. මර්ෂියා රාජධානිය පැවැති ක්‍රි.ව. හත්වන හා අටවන සියවස්වලට අයත් බවට දළවශයෙන් නිගමනය කෙරුණු මෙම පළමු රන් රිදී තොගය ලෝකයේ එතෙක් මතෛක් සොයා ගනු ලැබූ විශාලතම ඇන්ග්ලෝ සැක්සන් රන් හා රිදී එකතුව වන නිසා ස්ට්‍රැට්ෆෝර්ඩ්ෂයර් නිධානයේ ගැබ්වූ වටිනාකමත් වැදගත්කමත් අමුතුවෙන් කිව යුතු නොවේ. බ්‍රිතාන්‍ය කෞතුකාගාර විශේෂඥයින් විසින් බ්‍රිතාන්‍ය පවුම් මිලියන 3.3ක් ලෙස වටිනාකම තක්සේරු කළ මෙම නිධානය මතෛක් ලෝකයේ කොතැනක හෝ සොයාගනු ලැබූ වටිනාකමින් අධිකම නිධානයද වෙයි.

බිෂොප්වරයෙකු විසින් උරයේ පැළඳි කුරුසියක්ද, නවන ලද විශාල කුරුසියක්ද, ශිරස්කඩක කොටසක්ද ඇතුළු නා නා විධ රන්, රිදී, විසිතුරු අංගවලින් යුතු වූ ස්ට්‍රැට්ෆෝඩ්ෂයර් නිධානයේම කොටසක් බවට මෙකී මෑතකදී හමුවූ රන් රිදී තොගයද ඔප්පු වුවහොත් එම සොයා ගැනීමේ වැදගත්කම මතෛකැයි කියා කිව නොහැකිවනු ඇත.
Read Post | comments

ටෝනි ග්‍රේග් නිහඬ වෙයි!

Monday, December 31, 2012

ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්වයන් කම්පාවට පත් කරවන දුක්බර ප්‍රවෘත්තියක් පෙරේදා පැතිර ගියේ ය. එනම්; ලොව අංක එකේ ක්‍රිකට් විස්තර විචාරකයා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර රෝහලක දී සදහට ම දෑස් පියාගත් බව ය. මුළු මහත් ලෝකයේ විශාල පිරිසක් ඔහුගේ වචනවලින් ද; ඔහුගේ ඉරියව් වලින් ද ක්‍රිකට් ක්‍රීඩාවේ රස වින්දෝ ය, ඔහු වනා හී අප කව්රුත් හොඳීන් හඳුනන අඩි හයමාරක් උසින් යුතු ප්‍රසන්න සිනහවකින් මුව සරසාගත් ටෝනි ග්‍රේග් මහතා ය. ටෝනි ක්‍රිකට් පිළිබඳ ප්‍රාමාණික ඥානයකින් හෙබි ක්‍රීඩකයෙකි. විස්තර විචාරකයෙකි. ඉතිහාසය, දේශපාලනය, පුරා විද්‍යාව, භූගෝල ශාස්ත්‍රය වැනි විෂයයන් ගැන ද ජන මාධ්‍ය ගැන ද ටෝනි සතු දැනුම පුදුමාකාර ය.
කුමක් වුව පිළිකා මාරයා ලොව සුන්දර ම මිනිසුන් සිය ග්‍රහණයට ගැනීම ආරම්භ කර තිබේ. ටෝනි ග්‍රේග් මිය යන්නේ පෙණහලු ආශ්‍රිත ව පැතිර ගිය පිළිකාවක් නිසා ය. මේ ප්‍රවෘත්තිය; එනම් ටෝනි ග්‍රේග් පිළිකා රෝගියකු බව පළමුවරට ප්‍රකාශ වන්නේ පසුගිය අගෝස්තු මාසයේ ය. එම පුවත ලෝක ක්‍රිකට් ලෝලීන් අතර ශීඝ්‍රයෙන් පැතිර ගිය අතර සියලු දෙනා ඔහුට සුවය ප්‍රාර්ථනා කළ හ. ශ්‍රී ලංකාවේ දී ද ඔහු ගේ සුවය පතා දේව පූජා හා බෝධිපූජා පැවැත්විණි. ටෝනි ඒ අතර සැත්කමකට ද මුහුණ දුන්නේ ය. අවසානයේ ඉරණමට යටත් වන්නට ඔහුට සිදුවිය.

ටෝනි ග්‍රේග් මහතා උපත ලබන්නේ දකුණු අප්‍රිකාවේ දී ය. දකුණු අප්‍රිකාවේ පැවැති විවිධාර්ථ සහිත සමාජයන් වෙතින් ටෝනි බොහෝ දේ උගත්තේ ය. එබැවින් ඔහු සංස්කෘතික මිනිසකු බවට පත් වූයේ ය. එහි ම පැවැති විවිධ දේශපාලන ඝට්ටනවලින් ටෝනි සමාජ ක්‍රියාකාරකම් ගැන බොහෝ දේ උගත්තේ ය. එංගලන්තයට යන ඔහු එහි ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් තුන් ඉරියව්වේම දක්ෂකම් දැක්වී ය. ඊළඟට ඔහු එංගලන්ත කණ්ඩායමේ නායකත්වයට පැමිණ ජයග්‍රහණ රැසක් වාර්තා කළේ ය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ටෝනි ජනමාධ්‍ය ඔස්සේ ක්‍රිකට් මවන්නට පටන් ගත්තේ ය.

ටෝනි ග්‍රේග් යනු පරිපූර්ණ මිනිසෙකි. ඔහු රටින් – රටට යමින් එම රටවල ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් රටාවන් හඳුනා ගත්තේ ය. ක්‍රීඩකයන්ගේ සිතුම් – පැතුම් හා ආකල්ප වටහා ගත්තේ ය. ඔහු කිසිවිටෙක කිසිවකුට අවමන් කළේ නැත. කිසිදු රටක් පහත් යැයි කල්පනා කළේ නැත. ඔහුගේ විචාරයෙහි පැවැතියේ සමබර අර්ථ දැක්වීම් ය. එංගලන්තයට හෝ ඕස්ට්‍රේලියාවට හෝ අමුතු බරක් තබා ක්‍රිකට් විචාරයෙහි යෙදීම ඔහුගේ සිරිත නොවේ.

මහත්වරුන්ගේ ක්‍රීඩාව හෙවත් ක්‍රිකට් අයිතිවන්නේ සුදු මිනිසුන්ට හෙවත් ඉංග්‍රීසිකාරයන්ට පමණ ද? එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් ක්‍රියා කරන්නේ එසේ ය. දකුණු අප්‍රිකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට කළු ජාතිකයන් ද ඇතුළු කරගනු ලැබූවද; ඔවුන් ද සිතනුයේ ආසියාවේ මිනිසුන්ට ක්‍රිකට් බැරි බව ය. ආසියාව ක්‍රිකට් සඳහා නුසුදුසු බව ය. මේ නිසා ම ආසියාවේ ක්‍රිකට් පහත් කොට සැලැකීම ඔවුන්ගේ සිරිත වේ. මේ අතර ආසියාවේ ක්‍රිකට් ඉහළ තලයකට ඔසවා තැබීමට ද ඒ අතර ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් රටාව විශේෂයෙන් මතුකර දැක්වීමට ද උත්සුක වූ එක්තරා සුදු මහතෙක් සිටී, ඔහු ටෝනිි ග්‍රේග් ය.

1990 ගණන්වල මෙරට ක්‍රිකට් කණ්ඩායමේ වේගවත් ම ප්‍රහාරකයෝ දෙදෙනා සනත් ජයසූරිය හා රොමේෂ් කළුවිතාරණ වූහ. ඉංග්‍රීසි ක්‍රීඩකයන්; සනත් ජයසූරිය ගර්හාවට ලක් කරන ලද්දේ “කළු වඳුරා” යන නාමයෙනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ කුමන ජයග්‍රහණයක් වුව ඉංග්‍රීසීන්ගේ ගෞරවයට ලක් වූයේ නැත. මේ තත්වය වටහාගත් ටෝනි ග්‍රේග් තම විස්තර කථනයෙන් පමණක් නොව, උපදේශනයෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම ට අප්‍රමාණ සහයෝගයක් දැක්වී ය. ඔහු සනත් ජයසූරිය හැඳින්වූයේ “මාස්ටර් බ්ලාස්ටර්” යන ගාම්භීර නාමයෙනි. රොමේෂ් කළුවිතාරණ හැඳින්වූයේ “ලිට්ල් කළු” යන සුන්දර නාමයෙනි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිටියක දී කළුගේ බිරිය දුටු ටෝනි කියා සිටියේ “ලිට්ල් කළු - සුදුද” තරගය නැරඹීමට පැමිණ සිටින බව ය.

ශ්‍රී ලංකාව ලබාගත් ලෝක කුසලානය පිටුපස සිටි එක් ශක්තිමත් මිනිසෙක් වන්නේ ටෝනි ග්‍රේග් යැයි විචාරකයෝ සඳහන් කරති. ශ්‍රී ලංකාව ක්‍රිකට් අතින් දුර්වල විලාසයක හා පසුබෑමක සිටි අවස්ථාවක අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාවට තැනක් ලබා දෙන්නට ඔහු ක්‍රියා කර තිබේ. ඔහු එසේ ක්‍රියා කරන්නේ ක්‍රිකට් බලවතුන් ශ්‍රී ලංකාවට මදි පුංචිකම් කරත්දී ය. 1990 සිට 1996 තෙක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල ශීඝ්‍ර නැග්මට ටෝනි ග්‍රේග්ගේ විචාරයන් සේම ඔහුගේ පෞද්ගලික උපදේශන ද බෙහෙවින් වැදගත් වූ බව මෙරට ක්‍රිකට් ප්‍රවීණයෝ දනිති. හැබෑවට ම ඔහු ශ්‍රී ලංකාවට ආදරය කළේ ය. ශ්‍රී ලංකාවේ අන්නාසිවල රසය මෙන් ම දළදා මාලිගාවේ ඇති ඓතිහාසික වටිනාකම කියන්නට ද ටෝනි දැනගෙන සිටියේ ය.

යුද්ධය පැවැති සමයේ ශ්‍රී ලංකාව හැඳින්වූයේ අසාර්ථක රාජ්‍යයක් ලෙස ය. එය ක්‍රිකට් ක්‍රීඩාවට ද බෙහෙවින් බලපෑවේ ය. ක්‍රිකට් ලොවේ දැවැන්තයන් ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කළා පමණක් නොව මෙරට කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවන් ද පැවැතිණි. මේ දුර්භාග්‍ය යුගයේ දී ටෝනි ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියේ ය. ඇතැම් තරග සඳහා මැදිහත් වී ඔහු ද ශ්‍රී ලංකාවට පැමිණියේ ය. අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය ටෝනි ග්‍රේග් වැනි ජ්‍යෙෂ්ඨ පුද්ගලයකුට කන් දීම අරුමයක් නො වේ. ශ්‍රී ලංකාව සුන්දර රාජ්‍යයක් ය යන්න ටෝනි හැමවිටම විශ්වාස කළේ ය.

මෙරට ක්‍රිකට් ක්‍රීඩකයෝ, ක්‍රිකට් බලධාරීහු හා ක්‍රිකට් රසිකයෝ ද ඔහුගේ නික්ම යෑමෙන් බලවත් කම්පාවට පත් ව සිටිති. ඔහු ශ්‍රී ලංකාවට දැක් වූ ආදරය, අපේ කණ්ඩායමට දැක්වූ සහයෝග ය පමණක් නොව ඔහුගේ සුන්දර – ආකර්ෂණීය වචන ද මින් පසු නවතිනු ඇත. ටෝනි ග්‍රේග් තරම් බුද්ධිමත් ලෙස ද ආකාර්ෂණීය ලෙස ද ක්‍රිකට් විස්තර විචාරයෙහි යෙදෙන තවත් ජනමාධ්‍යකරුවකු අපට හමුවී නැත. එය ලෝකය පුරා ක්‍රිකට්ලෝලීන් පිළිගනු ලබන සත්‍යයෙකි. එහෙත් ඔහු අද නැත. ටෝනි මියයන විට හැට හයවන වියේ පසුවිය. ලෝකය කෙතරම් දියුණු අවදියකට පැමිණ සිටිය ද අපි තවම පිළිකාවට යටත් වෙමු. ටෝනි ග්‍රේග් නම් සුන්දර මනුෂ්‍යයා ද පිළිකාවට යටත් විය.

ක්‍රිකට් ක්‍රීඩාව නිසා අපට බොහෝ දේ ලැබිණි. කීර්තිය, ප්‍රසංශාව, ආර්ථික වාසි ඒ අතර පවතී. අපේ ක්‍රිකට් පවතින තුරු ම ටෝනි ග්‍රේග් යන නාමය ද අප අතර පවතිනු ඇත.
Read Post | comments

කුරානය කට පාඩමින් කියා ලෝකයම ජයගත් අපේ රිස්වාන්

Sunday, December 16, 2012

ජීවිතය ගැන මහා බලාපොරොත්තු ඔහුට නැත. ඇත්තේ තම දහම හොඳින් ඉගෙන ගැනීමේ අරමුණ පමණි. ඉතා කෙටි කලකින් ඔහු තම ආගම, ශුද්ධ වූ අල් - කුරානය ඉගෙන ගත්තේ ය. අවසානයේ ඔහු රටවල් අසූ තුනක තරගකරුවන් සමඟ තරග වැද පළමු තැන ලබාගත්තේ ය. එය ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයකු වසර තිස් හතකට පසුව ලැබූ ජයග්‍රහණයකි. සැබවින් ම ඔහු මඩ ගොහොරුවක සුපිපි නෙළුම් මලකි. ආගම් බේදයකින් තොරව රටටම ආඩම්බර විය හැකි රටක් වටින පුතෙකි.

වෛද්‍යවරයෙක් වීම, ගුරුවරයෙක් වීම, විද්‍යාඥයෙක් වීම, හෝ වෙනත් ඉහළ රැකියාවක් කිරීමට කුඩා වියේ සිටම අරමුණු කරගෙන ඉගෙනීම් කටයුතු කරන දරුවෝ බොහෝ වෙති. එහෙත් ආගමික නායකයෙක් වීමට ප්‍රාර්ථනා කරන දරුවන් හමුවන්නේ කලාතුරකිනි. පසුගියදා ලෝකයම ජයගත් අපේ රටේ මුස්ලිම් ජාතික දරුවකු අපට මුණ ගැසිණ.

කුමන ජාතියේ වුව ද ඔහු අප රටට සුවිශේෂි වූ දරුවෙකි.

සවුදි අරාබියේ ශුද්ධ වූ මක්කම නගරයේ රටවල් අසූ තුනක සහභාගිත්වයෙන් පැවැති ශුද්ධ වූ අල්කුරානය කට පාඩමින් කීමේ තරගයේදී වසර තිස් හතකට පසුව ශ්‍රී ලංකාවේ දරුවකු ප්‍රථමස්ථානය හිමිකර ගත්තේ ය. ඔහු කොළඹ ආදුරුප්පු වීදියේ සරංගුවත්තේ පදිංචි මොහොමඩ් රිෆ්ටි මොහොමඩ් රිස්කාන් ය. කොළඹ නගරයේ විවිධ වූ ජනකොටස් ජීවත් වෙති. සරංගුවත්ත ද එවැනි ස්ථානයකි. ඉකුත් දිනෙක අපි එහි ගියෙමු. සරංගුවත්තේ ජනතාව අප රිස්කාන් දරුවාගේ නිවසට කැඳවාගෙන ගියේ ය. රිස්කාන්ගේ කුඩා නිවෙස සරංගුවත්තේ ජනතාවගෙන් පමණක් නොව පිට පළාත්වලින් පැමිණෙන ඥාතීන්ගෙන් හා ප්‍රභූන්ගෙන් පිරීගොසිනි.

“පුතා තරගයෙන් දිනලා ලංකාවට ආවේ දෙළොස්වෙනිදා. එදා පුතාව පිළිගන්න කටුනායක ගුවන් තොටුපළේ රජයෙන් සංවිධානය කළ උත්සවයක් තිබුණා. ඊට පස්සේ මහපල්ලියේ උත්සවයක් තිබුණා. වත්තේ අය ඔක්කෝම එකතු වෙලා පුතාගේ ජයග්‍රහණය සැමරුවා. මට පුතාගේ ජයග්‍රහණය ගැන දැනෙන්නේ පුදුම සතුටක්. එයා පුංචි කාලේ ඉඳලම ආගම කියන්න කැමැතියි. ගෙදර ඉඳලා ඉස්කෝලේ ගියේ පහේ පංතියට විතරයි. ඊට පස්සේ එයාට ඕන වුණා පල්ලියට යන්න. මටවත් මගෙ බිරිඳවත් ඒකට අකමැති වුණේ නැහැ. දරුවන්ගේ දියුණුව තමයි අපේ සතුට. පුතාට හරි ලස්සනට කුරානය කියවන්න පුළුවන්. එයා හරිම ඉක්මනින් ශුද්ධ වූ කුරාණය කියවන්න පුරුදු වුණා. මේ වගේ ජයග්‍රහණයක් අපේ රටට ලැබුණු පළමු අවස්ථාව. අපිට මෙය බොහෝ ම ආඩම්බරයි. අපි නොදන්න අය ඇවිත් පුතාට සුබ පතනවා. දේශපාලනඥයෝ, පොලිසියේ ඉහළ නිලධාරීන් වගේ ම බොහෝ අය අපේ ගෙදර ආවා. රිස්කාන්ගේ පියා වන මොහොමඩ් ජිෆ්රි මොහොමට් රිෂ්ටි පවසන්නේ ය. 

පුංචි කාමර කෑලි දෙකකින් සමන්විත රිස්කාන්ගේ නිවසේ අතුරු සිදුරු නැතිව පැමිණි ඥාතින්ගෙන් අසල්වාසින්ගෙන් පිරී ඇත. අපත් සමඟ කතා කරමින් සිටින අතරතුර ද රිස්කාන් දොර ළඟට ගොස් පැමිණෙන සියලු දෙනා හා කතා බහ කරති. පැමිණෙන සියල්ලෝ ම රිස්කාන් සිප වැලඳ ගෙන ඔහුට සුබපතති.

එක්දහස් නවසිය අනූ අටේ මාර්තු දහවෙනි දින උපන් රිස්කාන් මූලික අධ්‍යාපනය ලැබුවේ නමිද් අල් හුසේනියා මහා විද්‍යාලයේ ය.

මට ආශාවක් තිබුණා පල්ලියට යන්න. අම්මත් තාත්තත් ඒකට අකැමැති වුණේ නැහැ. දැන් මම ඉගෙන ගන්නේ මදි නතුල් ඉල් අරාබි විද්‍යාලයයේ. ඒ කියන්නේ කොළඹ මහ පල්ලියේ. ගෙදරදී වගේ නෙමෙයි එහෙදි හැම දේම කරගන්න වෙන්නේ අපට තනියම. ඒත් මං ඒකට කැමැතියි. මට ඕන ආගම ඉගෙන ගෙන ආගමික නායකයෙක් වෙලා මේ රටේ මිනිසුන්ට උදව් කිරීමට.

සවුදියේ පැවැත්වුණ තරගයට මාත් සමඟ තවත් තුන් දෙනෙක් ගියා. මේ ලබපු ජයග්‍රහණය ගැන මට සතුටුයි.”

රිස්කාන් පැමිණෙන අමුත්තන්ට ආචාර සමාචාර කරන අතරේ ම අපත් සමඟ පැවැසුවේ ය. රිස්කාන් සරංගුවත්තට ආභරණයකි. ඒ සරංගුවත්තේ ජනතාව සිතන අයුරු ය.

අපි අවුරුදු ගණනක් තිස්සේ ජීවත් වෙන්නේ මේ වත්තේ. උපන්නේ මේ වත්තේ. අපේ වත්ත ගැන මිනිස්සු හොඳක් කිව්වේ නැහැ. සරංගුවත්තේ මුස්ලිම් අය විතරක් නෙමෙයි සිංහල දෙමළ අයත් ඉන්නවා. ඒ අය අතරේ විවාහ සිදුවෙලා තියෙනවා.

අපි හැමෝම එකම පවුලක් වගේ ජීවත් වෙන්නේ. අපේ රිස්කාන් ලබපු ජයග්‍රහණය නිසා අද අපේ වත්තට බොහෝ අය එනවා යනවා. එදා අපව හොඳ නෑ කියපු අයත් අද ඇවිත් රිස්කාන්ට ආදරය කරනවා. ආචාර කරනවා. එයාව පිළිගන්නවා. අපිට අද මේ තත්ත්වේ ආවේ රිස්කාන් ලබපු ජයග්‍රහණය නිසයි. ආැත්තටම ඔහු අපිට ආඩම්බරයක්. ඔහු අපිට වටිනා සම්පතක්.

සරංගුවත්තේ සාමාජිකයෙක් එසේ කියද්දී අනෙක් සියල්ලෝ ද ඊට හූ මිටි තබමින් තව තව දෑ ඊට එක් කළහ. එනිසා එය එක් පුද්ගලයකුගේ ප්‍රකාශයක් ලෙස හුවා දැක්වීමට බැරි ය.

වයස් භේදයක් නැත. බාල මහලු කුඩා කවුරුත් පෙළට එකිනෙකා තල්ලු කරමින් රිස්කාන් බැලීමට ගෙවල් පේළි අතරින් එහෙන් මෙහෙන් යමින් රිස්කාන්ගේ නිවසට පැමිණෙති.

නෙළුම් පිපෙන්නේ මඩගොහොරුවේ ය. හිරු කිරණ ලැබ මඩගොඩෙන් පෝෂණය ලබා පිපෙන නෙළුම් සුවඳ ය. එය මඩයේ උපන් වගක්වත් නැත. මිනිසුන් දකින්නේ මඩ ගොහොරුව නොව සුපිපි නෙළුම් මල පමණි. ලෝකයේ ම රටවල් අසූතුනක තරගකරුවන් අතරින් බෞද්ධ රටකින් තරගයට ඉදිරිපත් වී ශුද්ධ වූ අල් - කුරානය කටපාඩමින් කියා ජයග්‍රහණය කළ දා හතර හැවිරිදි රිස්කාන් දරුවා ද සැබවින් ම සුපිපි සුවඳ විහිදන නෙළුමකි. ඔහු සරංගුවත්තට පමණක් නොව රටටම ආඩම්බරයකි.

Read Post | comments

අපට දැන් පැනලා ණය දෙනවා!

Monday, December 10, 2012

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනයාට ආර්ථිකය ගැන ඒ හැටි දැනුමක් නැත. ඔවුන්ගේ කල්පනා; පාන් ගෙඩියක් කීය ද? සබන් කැටයක් කීය ද? වැනි “එදා වේල ටුවාර්ස්” න්‍යායට යටත් වේ. ආර්ථික විශේෂඥයන් ද සමස්ත ආර්ථිකය පිළිබඳ ප්‍රබුද්ධ මතයක් දරන බවක් පෙනෙන්ට නැත. ඔවුන්ගේ චින්තනය පක්ෂ දේශපාලනයේ න්‍යාය පත්‍රවලට යටත් වේ. මේ අනුව රටේ ආර්ථිකය ගැනත්; අයවැය යෝජනා ගැනත්; ව්‍යාජ විවේචන හා වැරැදි මත පැතිර ගොස් තිබේ. මෙරට ආර්ථිකය සිහිනයක් බව සමහරු කියති. 2013 අයවැය ලේඛනය ණයවැය ලේඛනයක් බව තවත් සමහරු කියති. මේවා ඇත්ත ද, නැත්ත ද යැයි තීන්දු කළ හැක්කේ පුළුල් විමර්ශනයක් ඔස්සේ ය. එබඳු පුළුල් විමර්ශනයක් සඳහා මේ තීරුව ප්‍රමාණවත් නො වන බැවින්; අපට පෙනෙන හා ඇසෙන ඇත්ත පමණක් ලියා තබමු.

ඇමෙරිකාව හා යුරෝපය බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. එම රටවල ආර්ථිකයේ වර්ධනය ඇණහිට; රැකියා කප්පාදුව හා ජනතා සහන කප්පාදුව ආරම්භ වී ඇත. මේ තත්ත්වයට මුහුණ දීම සඳහා ඇමෙරිකාව හා යුරෝපය ආර්ථික ප්‍රතිසංස්කරණ ආරම්භ කර තිබේ. ඒවා තාවකාලික වේදනාකාරී බවක් ඉසිලුව ද ඉදිරි වසර දෙක තුළ යහපත් ප්‍රතිඵල ඇති කරන බව බටහිර ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. යුරෝපයේ ආර්ථික කඩා වැටීම මෙන් ම ආර්ථික ප්‍රතිසංස්කරණ ද මෙරට ආර්ථිකයට බලපායි. ඉන් මගහැර යෑමේ හැකියාවක් අපට නැත. යුරෝපයේ ආර්ථික කඩාවැටීම පමණක් නො ව; මැද පෙරදිග දේශපාලන ගැටුම් හා ඇමෙරිකන් – ඉරාන අවුලත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි සෘජු ලෙස බලපායි.

ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය ගැන බොහෝ දෙනා කතා කරති. ඒ පිළිබඳ වැටහීමක් ඇති අය සේ ම වැටහීමක් නැති අය ද අත්තනෝමතික විවේචන ඉදිරිපත් කරති. වෙළෙඳ හිඟයක් මතු වන්නේ අපනයන ආදායමට වඩා; ආනයන වියදම් ඉහළ යෑමෙන් ය. ඊට බලපාන ප්‍රධාන සාධකයක් ලෙස බොරතෙල් ආනයනය පෙන්වා දිය හැකි ය. එක අතකින් ලෝක වෙළෙඳ පොළෙහි බොර තෙල් මිල ඉහළ ගියේ ය. තව අතෙකින් ඇමෙරිකාවේ සම්බාධක නිසා ඉරානයෙන් සහන මිලට බොරතෙල් ලබාගැනීම අවුලක් බවට පත් විය. මේ තත්ත්වය තාවකාලික පරාජයක් වන්නට පුළුවන. එහෙත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉන් එල්ල වූ බලපෑම දීර්ඝකාලීන වන්නට පුළුවන. බොරතෙල් ආනයනය සඳහා වසරකට ඇ.ඩො.බි. හයකට අධික මුදලක් වැය කිරීමට ආණ්ඩුවට සිදු වේ.

ඉන්ධන ගැටලුව හා තවත් මූලික ගැටලු කිහිපයක් නිසා වෙළෙඳ හිඟය දිගින් – දිගටම ඉහළ ගියේ ය. වෙළෙඳ හිඟය ඉහළ යෑම නිසා තවත් ආර්ථික අර්බුද ගණනාවක් මතු වේ. රුපියලේ අගය පිළිදබඳ තත්ත්වය, උද්ධමනය ඉහළ යෑම, බදු අයකිරීම් වෙනස්වීම වැනි ප්‍රවණතා ඒ අතර තිබේ. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අපනයන ඉහළ දැමීම ය. ඒ සඳහා විශේෂ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක විය. දැනට ද එම වැඩසටහන් එලෙස ම ක්‍රියාත්මක ය. එහෙත් අනපේක්ෂිත ලෙස ආනයන වියදම් ඉහළ ගොස් තිබේ. ඒ අනුව වෙළෙඳ හිඟය ඉහළ ගොස් ඇත. එය ලෝක බලපෑමක් ලෙස සැලකිය යුතු ය. කුමන ආණ්ඩුවක් බලයේ සිටිය ද ඉන් මගහැර යා නො හැකි ය. අමෙරිකාවට කිවිසුමක් යන විට අපට නියුමෝනියාව හැදෙන්නේ යැයි කතාවක් ඇත්තේ නිකමට නො වේ. අමෙරිකාවේ හා යුරෝපයේ ආර්ථික හා දේශපාලනික බලපෑම සුළුකොට තැකිය නො හැකි ය.

සමහරුන් විවේචන ඉදිරිපත් කරනුයේ රටක සමස්ත ආර්ථිකය හැසිරවීම ගෙදරක මාසික අයවැය ගණන් බැලීමක් ලෙස සලකමින් ය. කොප්පරා මඩුවක් පවත්වාගෙන යෑම, මාළු ලෑල්ලක් විවෘත කිරීම, සිල්ලර කඩයක් ගෙන යෑම මෙන් නොව රටක සමස්ත ආර්ථිකය හැසිරවීම අතිශය සංකීර්ණ ක්‍රියාවලියකි. එහිදී අන්තර්ජාතික ආර්ථික ප්‍රවණතා ගැන සලකා බලන්නට සිදු වේ. රටේ අනාගතය ගැන කල්පනා කරන්නට සිදු වේ. ජනතාවගේ සුබ - සාධනය, තරුණ පරම්පරාවේ අනාගතය, රටේ සම්පත්වල සුරක්ෂිතතාව හා තවත් බොහෝ දේ ගැන ගැඹුරින් සලකා බලමින් සංවර්ධනය ඉදිරියට තල්ලු කිරීම අයවැය ලේඛනයක් මඟින් සිදුවිය යුතු ය. අයවැය ලේඛනය යනු ඉදිරි වසරේ ආර්ථික සැලැසුම ය.

2013 වසර සඳහා වූ අයවැය ලේඛනය වැඩි ඡන්ද එකසිය එකකින් සම්මත වී ඇත. ලබන වසර සඳහා වූ එම අයවැය ලේඛනයේ මූලික අරමුණ දිළිඳුකම පිටුදකිමින් රටේ සංවර්ධනය ඉහළ දැමීම බව කියැ වේ. උද්ධමනය පහත දැමීම, රැකියා සම්පාදනය ඉහළ දැමීම, ජනයාගේ ආදායම් වැඩිකිරීම වැනි යහපත් ආර්ථික ඉලක්ක ගණනාවක් අයවැය ලේඛනයෙහි සංගෘහිත ය. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රාජ්‍යයක් වන බැවින් කෘෂිකාර්මික නිෂ්පාදනයේ වර්ධනය සඳහා වැඩි අවධානයක් යොමු කර තිබේ. ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා කියා සිටියේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය කෘතඥතාව පළ කරන බව ය.

අධිවේගී මාර්ග කුමකටදැ’යි සමහරු අසති. අධිවේගී මාර්ග නිසා ඉඩම් අහිමි වන බවද; ධනවතුනට පමණක් සහන ලැබෙන බව ද තවත් සමහරු කියති. රටේ මහාමාර්ග වල ඇති තදබදය ඔව්හු නො දකිති. අධිවේගී මාර්ග නැති රටවලට ආයෝජකයන් අකැමැත්ත පළ කරන බව ඔව්හු නොදනිති. අලුත් වරායවල්, අලුත් ගුවන්තොටුපොළවල් මුදල් නාස්තියක් ලෙස තවත් අය දකිති. ලෝකයේ දියුණු රටවල් වරායෙන් හා ගුවන් තොටෙන් ලබාගන්නා ආර්ථික ප්‍රතිලාභ ඔව්හු නො දකිති. වත්මන් ආණ්ඩුවේ ආර්ථික දර්ශනය යොමු වී ඇත්තේ දීර්ඝකාලීන - ස්ථාවර ආර්ථිකයක් සඳහා ය.

ශ්‍රී ලංකාව හැඳින්වෙන්නේ මධ්‍යම ආදායම් සහිත රාජ්‍යයක් ලෙස ය. අපට මේ තත්ත්වය ලැබුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ලැබුණු ආර්ථික දියුණුව නිසා ය. යුද්ධයත්, ත්‍රස්තවාදයත් නිසා අසාර්ථක රාජ්‍යයක් ලෙස අපවාදයට ලක්ව සිටි ශ්‍රී ලංකාවට ලෝක බැංකුව ආධාර දුන්නේ නැත. අන්තර්ජාතික මුල්‍ය අරමුදල සංවර්ධන ණය ලබා දුන්නේ ද නැත. ආයෝජකයන් නිකමටවත් අප දෙස බැලුවේ නැත. යුද්ධයට අවශ්‍ය අවි – ආයුධ ලබාගැනීමත් ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක් වී තිබිණි. 

එහෙත් 2009 න් පසු සියල්ල වෙනස් විය. දැන් අපට මධ්‍යම ප්‍රමාණයේ ආදායම් සහිත ආර්ථිකයක් ලෙස ගෞරවයක් ලැබී තිබේ. යුද්ධයෙන් පසු සාර්ථක ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කළ රාජ්‍යයක් ලෙස ද ශ්‍රී ලංකාව සලකනු ලැබේ.

අනාගත දැක්මකින් යුතුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය හසුරවන වත්මන් ආණ්ඩුව එම වැඩපිළිවෙළෙහි තවත් අදියරක් සාර්ථකව ජයගෙන තිබේ. එනම්; 2013 අයවැය ලේඛනය වැඩි ඡන්ද 101 කින් සම්මත කරගැනීම ය.

දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Read Post | comments

මැගිලින් අක්කා හා උසාවිය!

Friday, December 7, 2012

පිටිගල මැගිලින් අක්කාට ඉඩම් නඩුවක් යෙදී තිබිණි. ඇය එම නඩුවේ චූදිතයෙකි. චෝදනාව වූයේ ඇගේ සින්නක්කර ඉඩමක් මැදින් වූ අඩි පාරක් හිටිහැටියේ වසා දැමීම ය. පාර වසා දැමීම නිසා යාබද නිවාස හතරකට පිවිසිය හැකි කෙටි මාර්ගය අහෝසි වී ගියේ ය. වසර දහයකට වැඩි කාලයක් තිස්සේ පැවැති ප්‍රවේශ මාර්ගයක් වසා දැමීම ගැන මැගිලින් අක්කාට එරෙහි ව නඩු පවරා තිබිණි. නඩුවේ වාසිය පැමිණිලි පාර්ශ්වය දෙසට බර වෙමින් පැවැතිණි. තුන්වන නඩු වාරයේ දී දිසා අධිකරණයට ගිය මැගිලින් අක්කා “මට නඩුකාරයා විශ්වාස නෑ!” යැයි කියා උසාවියෙන් පිට වී ගියා ය.

ඉහතින් දක්වන ලද්දේ අපගේ උපකල්පනයෙකි. එහෙත් එය සිදුවිය හැකි දෙයක් ද? සිදුවිය යුතු දෙයක් ද? මෙය කුමන හෝ උසාවියක සැබෑවට ම සිදුවූයේ නම්; මැගිලින් අක්කා අල්ලා කූඩු කරනු ඇත. උසාවියට හෙවත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත මැගිලින් අක්කාට එරෙහි ව තවත් නඩුවක් පැවරෙනු ඇත. ඇතැම් විට මැගිලින් අක්කාට මොළේ අමාරුවක් තිබේදැ” යි පරීක්‍ෂා කිරීම සඳහා මානසික වෛද්‍යවරයකු වෙත ද යවනු ඇත. අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියට ඇති ගෞරවනීය තත්ත්වය ආරක්‍ෂා වන්නේ නීතිය පසිඳලන ස්ථානය ශුද්ධ වූ වේදිකාවක් ලෙස භාවිත කිරීමෙන් ය. නීතිය විහිළුවට ලක් කිරීමේ අයිතියක් කිසිවකුට නැත.

බුලත් විට කමින් කයිවාරු ගසමින් උසාවිය තුළ රැඳෙන්නට පුළුවන්කමක් නැත. අමුඩයක් ඇඳගෙන උසාවියට ඇතුළු වන්නට පුළුවන්කමක් ද නැත. උසාවිය තුළ දී කුඩා දරුවකු හඬන්නට පටන් ගතහොත් දරුවාගේ අයිතිකරුවනට දඩ කන්නට සිදු වනු ඇත. උසාවිය අසලින් ගමන් කරන වාහන වුව “හෝන්” හැඬවීමෙන් වැළකිය යුතුය. මේ අතර නඩුකාරයාට අපහාස වන අයුරින් කිසිවකුට කතා කළ නො හැකි ය. රත්නපුර පළාතේ නඩුකාරයකුගේ මෝටර් රථය බැටරියේ දුර්වලතාවක් නිසා අතරමඟ නැවැතිණි. එය හඳුනාගත් පිරිසක් වාහනය තල්ලු කොට එය පණගැන්වීමට උදව් කළහ. 

එදින ම ඔවුනට එරෙහි ව නඩු පැවැරිණි. චෝදනාව විනිශ්චයකාරයකුට බලපෑමක් කිරීම ය. පාර්ලිමේන්තුව විසින් පත් කරනු ලබන තේරීම් කාරක සභාවක් යනු උසාවියටත් වඩා බල සහිත ස්ථානයක් බව අපගේ වැටහීම ය. එසේ නම්; එබඳු තේරීම් කාරක සභාවක් මඟහැර යෑමේ අයිතියක් කිසිවකුට තිබේ ද? එබඳු ආයතනයකට අපහාස කිරීමේ හෝ එබඳු ආයතනයක් සැකයට භාජනය කිරීමේ හෝ අයිතියක් කිසිවකුට තිබේ ද? අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අතින් සිදු වී ඇත්තේ ඊට සමාන ක්‍රියාවලියක් නො වේ ද? බණ්ඩාරනායක මහත්මිය තේරීම් කාරක සභාව මඟහැර ගොස් ඇත්තේ එම සභාව ගැන තමන්ට විශ්වාසයක් නැතැ’ යි පවසමින් හා චෝදනාවලට පිළිතුරු නො දෙමින් ය. මේ සිදුවීම යුක්ති සහගත කළ හැක්කේ කුමන නීතියකට අනුව ද?

අපට පෙනෙන ලෙස නම්; අගවිනිසුරුවරිය නීතිය අතට ගෙන හිතුවක්කාර ලෙස හැසිරී ඇත. ඇය ශ්‍රී ලංකාවේ හතරවන පුරවැසියා ලෙස සලකනු ලැබේ. ඇයට තබා ශ්‍රී ලංකාවේ පළමුවන පුරවැසියා වන ජනාධිපතිවරයාට වත් නීතියට ඉහළින් යා නො හැකි ය. නීතිය අතට ගෙන හිතුවක්කාර අන්දමින් හැසිරිය නො හැකි ය. රටේ ඕනෑම පුරවැසියකු නීතියට යටත්ය. මැගිලින් අක්කා, ශිරාණි බණ්ඩාරනායක, මහින්ද රාජපක්‍ෂ කියා වෙනසක් තිබිය නො හැකි ය. කිසිවකුට එරෙහි ව චෝදනා ඇතොත්; ඒවා විභාග කළ යුතු ය. වරදකරුවකු නම්; දඬුවම් විඳිය යුතුය. මැගිලින් අක්කාට එක ලෙසකත්, ශිරාණි බණ්ඩාරනායකට තවත් ලෙසකත්, මහින්ද රාජපක්‍ෂට වෙනත් විදියකත් සැලකිය යුතු නීතියක් ඇතැ’ යි අප විශ්වාස කරන්නේ නැත.
අගවිනිසුරුවරියට එරෙහි ව බරපතළ ගණයේ චෝදනා දාහතරක් එල්ල වී තිබේ. මේ චෝදනා සම්බන්ධ පැමිණිලි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූයේ මහජන නියෝජිතයන් 117 කගේ අස්සනින් යුතුව ය. පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් තේරීම් කාරක සභාවක් පත් කරන ලද්දේ එම චෝදනා විභාග කිරීම සඳහා ය. එම තේරීම් කාරක සභාව පත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති නෛතික ප්‍රතිපාදනවලට අනුව ය. එබඳු තත්ත්වයක් යටතේ තේරීම් කාරක සභාව මඟහැර යෑම හැඳින්විය හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ලෙස ය යන්න අපගේ පිළිගැනීම ය. අගවිනිසුරු පදවියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකි බලයක් ඇතැ’ යි අප විශ්වාස කරන්නේ නැත.

අප වෙත වාර්තා වී ඇති අන්දමට නම්; අග්‍රවිනිශ්චයකාරතුමිය තමන්ට එරෙහි ව නැඟී ඇති කිසිදු චෝදනාවකට නිසි පිළිතුරු සපයා නැත. මේ මහත්මිය සිදු කර ඇත්තේ කල්මැරීම යැයි කිව හැකි ය. ආරංචි මාර්ග හෙළි කරනුයේ තේරීම් කාරක සභාව ඉහත විමර්ශනය මසකින් අවසන් කිරීමට සැලැසුම් කර තිබූ බව ය. එහෙත් අගවිනිසුරුවරියගේ ක්‍රියා පිළිවෙතට අනුව විමර්ශනය දිග් ගැස්සෙන්නට පටන්ගෙන තිබේ. තුන්වන විමර්ශන අවස්ථාවේ දී තේරීම් කාරක සභාවේ නියෝගය වී ඇත්තේ් අගවිනිසුරුවරිය මුල් චෝදනා දෙකට වත්; එදින පිළිතුරු සැපැයිය යුතු බව ය. අගවිනිසුරුවරිය හා ඇගේ නීතිඥ කණ්ඩායම විමර්ශනය මඟහැර ගොස් ඇත්තේ එම නියෝගයෙන් පසුව යැයි ද කියනු ලැබේ.

නාටකයක් ලෙස පෙළගැස්වී ඇති මේ සිදුවීම් දෙස බලන කෙනකුට අගවිනිසුරුවරිය සිය චෝදනාවලින් පලා යන්නට උත්සාහ දරන්නේ දැ’ යි සැකයක් මතුවීමට පුළුවන. ඊට හේතු තුනක් අපට පෙනී යයි. එක; කල්මැරීම ය. දෙක; කිසිදු චෝදනාවකට නිසි පිළිතුරු නො සැපයීම ය. තුන; තේරීම් කාරක සභාව සැකයට භාජනය කොට එය මඟහැර යෑම ය. නිර්දෝෂී පුද්ගලයා චෝදනාවලට බිය වන්නේ නැත. නිර්දෝෂී පුද්ගලයා කළ යුත්තේ චෝදනාවලට පිළිතුරු සපයා තම අවංකභාවය හා නිරවද්‍යතාව ප්‍රත්‍යක්‍ෂයෙන් තහවුරු කිරීම ය. මෙහි දී එවැන්නක් සිදු වී නැති බව පැහැදිලි ය. ඒ වෙනුවට ප්‍රශ්නය තව - තවත් අවුල් කරන බවක් ද පෙනෙන්නට තිබේ.

ලෝකයේ බොහෝ රටවල මෙබඳු දේ සිදු වී තිබේ. ඉහළ තනතුරු දරන වැදගත් පුද්ගලයෝ තමන්ගේ වැරැදි වටහාගෙන සිය තනතුරුවලින් ඉල්ලා අස්වෙති. එංගලන්තයේ, අමෙරිකාවේ, ඉන්දියාවේ ඉහළ තනතුරු දැරූ අය සේ ම දේශපාලකයෝ ද ඊට ආදර්ශ ලෙස ගත යුත්තෝ ය. තමන්ගේ වැරැදි වටහා ගැනීමත්; ඒවා අවංක ව පිළිගැනීමත් වැදගත් හා ශිෂ්ට සම්පන්න මිනිසුන්ගේ සිරිත ය. එබඳු චාරිත්‍ර නැති අයට ඕනෑ දෙයක් කළ හැකි ය. එහෙත් ඒ වරදට දඬුවම් ලැබෙන තුරු ය.

දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Read Post | comments

බාලිකා මායා රෝගය වසංගතයක් වනතුරුබලා ඉඳිමුද?

ගම්‍පොළ ජිනරාජ බාලිකාවන් විසින් ලංකාවට පමණක් නොව ආසියාවටම අලුත් රෝගයක් හඳුන්වාදී තිබේ. උතුරේ යුද්ධය කාලයේ මැරෙන අයගේ සංඛ්‍යා ‍ලේඛන දිනපතා ඉදිරිපත් කළා සේම රෝහල් ගතවන බාලිකාවන් ගැන අපේ මධ්‍ය සංඛ්‍ය ‍ලේඛන ඉදිරිපත්  කරමින් තිබේ. රෝහල් ගත වන බාලිකාවන් ගැන අපේ මාධ්‍ය සංඛ්‍යා ‍ලේඛන දිනපතා ඉදිරිපත් කරමින් තිබේ.   කාර්යාලවල පාරෙ තොටේ, ත්‍රීවීල් පාක්වල සක්මන් මළුවල හැමතැනම කතාබහට මාතෘකාවක් ලැබි තිබේ.” ගෑනු ළමයින්ට කැසිල්ල, “කියා බාලිකාවන් අවඥාවට විහිළුවට ලක් කර හාස්‍ය රසය විඳගන්නට ද සමහර පිරිමින්ට අවස්ථාවක් ලැබි තිබේ. පර්යේෂණ විමර්ශන මාධ්‍ය සාකච්ඡාද පැවැත්වේ. මෙය මානසික රෝගයක් යැයි ඇතැම් වෛද්‍යවරු කියති. එහෙම වෙන්න පුළුවන්ද? මානසික රෝග එහෙමත් හැදෙනවද? සිය ගණනකට එකවර? අසන්නෝ ප්‍රශ්න කරති. මෙය මානසික රෝගයක් බව සමාජයට ඒත්තු ගන්වන්නට වෛද්‍යවරුන්ටද තවමත් හැකියාවක් ලැබි නැත. මේ නිසා මෙය දේවකෝපයක් යැයි කියන අය ද සිටිති. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරුවනට දේවාල කපුවනට පේන කියන්නන්ට” “කල්ල මරේ” ‍පොටක් පෑදෙමින් තිබේ.”

මෙය මානසික රෝගයක් බව කියන වෛද්‍යවරුන් ඒ ගැන ප්‍රමාණවත් සාක්ෂ්‍ය ඉදිරිපත් නොකරන්නේ ඇයි? ඔවුන් ඒ සඳහා සාක්ෂ්‍ය ඉදිරිපත් කළා නම් මාධ්‍යවලින් ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රචාරයක් නොදෙන්නේ ඇයි? දරුවන්ගේ සාමාන්‍ය ජනයාගේ භයානක රසයට ඇති ලොල් බවෙන් උපරිම ලාභ ලබමින් සිත් බියට පත් කරවන ටෙලිනාට්‍ය, ගුවන් විදුලි වැඩසටහන් දහව‍ලේ ද රාත්‍රියේ ද ප්‍රචාරය කරන පත්තර පිටු ගණන් අද්භූත කතාවලින් පුරවා බඩ වඩා ගන්නා මාධ්‍ය කරුවන් මේ රෝගය ගැන මනෝවෛද්‍ය විග්‍රහයන් පළ කිරීමට උනන්දු නොවන්නේ ඇයි? ව්‍යසනය එයයි. විද්‍යාත්මක විග්‍රහයකට පස්ස හරවන විද්‍යානුකූල සාක්ෂ්‍ය මගින් තහවුරු කර ගැනීමට නුහුරු නුපුරුදු සමාජයක මෙවැනි වසංගතයන්් ව්‍යාප්ත වීමට පවතින අධිවේගී මාර්ග ඇතැම් ජනමාධ්‍ය බව කනගාටුවෙන් නමුත් කිව යුතුය.
 
කැසිල්ල හිස්ටීරියාවක්ද? මාස් හිස්ටීරියා (Mass Hysteria) වෙන්න පුළුවන්ද?
Mass Hysteria  Mass sociognic illness වගේ නම්වලින් හඳුන්වන රෝගවල  මූලික ස්වරූපය වන්නේ එක් අයකුට ඇතිවන රෝගී තත්ත්වයක් දැක බියට පත්වන අනෙක් අයටත් එම රෝගී තත්ත්වයම හෝ ඊට ආසන්න රෝගී තත්ත්වයක් ඇති වීමයි. මුලින්ම රෝගී වුණ තැනැත්තා හෝ කීප දෙනෙක් භෞතික හේතුවක් මත අසනීප වන නමුත් සෙසු අය රෝගී වන්නේ එම රෝගය දැක බියට පත්වීමෙනි.
බාලිකා මාස් හිස්ටීරියාවේ රජත ජයන්තිය ලංකාවේදී

බාලිකා මාස් හිස්ටීරියා රෝගය ගැන මුලින්ම වාර්තාවන්නේ 1962එනම් මීට වසර පනහකට පෙර ටැන්සානියාවෙනි. ටැන්සානියා බාලිකා පාසලක එක් පන්තියක සිසුවියකට ගුරුතුමියක උගන්වමින් සිටියදී සිනා පහළ විය. ඇය සිනාසුනාය. ඉල කැඩෙන තුරු සිනාසුනාය. ඇයගේ සිනහව නවත්වා ගත නොහැකි විය. ඒ දෙස බලා සිටි තවත් සිසුවියකට ද නවත්වා ගත නොහැකි සිනාවක් ඇති විය.

ඉන් පසුව එම පාසල සිනා සාගරයක් විය. ළමයින්ගේ සිනහව ගුරුවරුනට  දෙමාපියනට ඇඬෙන කාරණයක් වූයේ සිනා රෝගය ව්‍යාප්ත වන්නට පටන් ගත් නිසාය.

සිනා රෝගය: දින 16ක් තුළ පාස‍ලේ බාලිකාවන් 159 දෙනෙකු සිනා රෝගයට ගොදුරු වීම නිසා 1962 මාර්තු 18 දින එම පාසල වසා දැමීමට සිදු විය. එහෙත් වෙනත් බාලිකා පාසල්වලට ද රෝගය ව්‍යාප්ත වී අප්‍රේල් මැයි, ජූනි, මාසවල තවත් බාලිකාවන් 275 දෙනෙකු සිනා රෝගයට ගොදුරු විය.

රෝගයට ගොදුරු වූයේ 12-18 අතර බාලිකාවන් පමණකි. ගුරුවර-ගුරුවරියන් කිසිවෙකුට වැළඳුනේ නැත.
එංගලන්ත බාලිකාවන්ගේ ළතෝනි රෝගය: 1965දී එංගලන්තයේ බාලිකා පාසලක සිසුවියන් කීප දෙනෙක් දත්මිටි කමින් මහහ¾ඩින් විලාප දෙන්නට ගත්තා. අපිරිසිදු වාතශ්‍රය නිසා කීප දෙනෙකුට මේ රෝගී ලක්ෂණ ඇති වුවද පසුව මානසික බලපෑමෙන් 80 කට වැඩි පිරිසක් රෝගී වූහ.

1970 මැ‍ලේසියාවේ පාසල් බාලිකාවන් ද  හිස්ටීරියා  තත්ත්වයකින් පීඩා විඳි බව වාර්තා වේ. 1983දී පලස්තීනයේ බටහිර ඉවුරේ සිසුවියන් ද 943 දෙනෙකු මෙලෙස රෝගී වූ බව වාර්තා වෙයි.

ගම්‍පොළ ජිනරාජ කැසීමේ රෝගය පෘතුගාලයෙන්;
ජිනරාජයෙන් ආරම්භ වී රට පුරා පැතිර යන කැසීමේ රෝගයට සමාන රෝගයක් 2006 වර්ෂයේ පෘතුගාලයෙන් වාර්තා විය. ඇඟ කැසීම,පලු දැමීම ක්ලාන්තය යන රෝග ලක්ෂණ පෙන්වන සිසුවියන් එක් පාසලකින් වාර්තා වූ අතර පසුව තවත් පාසල් 18කට ව්‍යාප්ත විය. රෝගී වූ සංඛ්‍යාව 300 කට අධිකයි.

බෘෘනායි බාලිකාවෝ කෝලම් නටති
2008දී බෘෘනායි රාජ්‍යයේ බාලිකා පාසල්වල අමුතුම රෝගයක් ව්‍යාප්ත විය. විකාර නැටුම්, හඬා වැටීම්, වෙවුලන අය නිසා පාසල් කෝලම් මඩු බවට පත්විය. එය තවත් ආකාරයක මාස් හිස්ටීරියාවකි.

මාස් හිස්ටීරියා ඇමෙරිකාවටත්,
2007 දී ඇමෙරිකාවේ මෙක්සිකෝවෙන් උණ ඔක්කාරය, ඇවිදීමේ අපහසුව යන රෝග ලක්ෂණ සහිත හිස්ටීරියාවට ගොදුරු වූ සිසුවියන් ගැන වාර්තා වේ. 2011 හා 2012 වර්ෂවලද ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ උසස් පාසල්වල බාලිකාවන් මෙම රෝගයට ගොදුරු විය. කර්මාන්තශාලාවල වැඩ කරන තරුණියන්ටත් මෙවර එම රෝගය වැළඳීම විශේෂත්වයක් වූ අතර වයස 35ක් පමණ කාන්තාවක් ද ඒ අතර විය.

දුවන රෝගය නිසා ගුරුවරු ද දුවති
1962 දී ටැන්සානියාවේ ඇති වූ මාස් හිස්ටීරියා තත්ත්වයට නිසි ප්‍රතිකර්ම නොකළ  බැවින් දැන් එම රෝගය ටැන්සානියානු බාලිකාවකට ‍පොදු රෝගී තත්ත්වයක් බවට පත්ව ඇත. වරින් වර හිස ඔසවා සැඟවෙයි. 2008දී ඇතිවූ තත්ත්වයකදී එක් පාසලක බාලිකාවන් පිස්සුවෙන් මෙන් පාසල පුරා දිවීමට පටන් ගෙන ඇත. මතෛක් ගුරුවරුනට මෙවැනි රෝග නොවැළඳුනද ගුරුවරුන් ද දුවන්නට වූයේ දුවන ළමයින් අල්ලා ගැනීමටය.

ගම්‍පොළ ජිනරාජ කැසීමේ රෝග නිධානය
ජිනරාජ බාලිකාවේ සිසුවියන් මුල් වරට රෝගී වූයේ නොවැම්බර් 12 වනදාය. එදින සිසුවියන් 17 දෙනකු රෝගී වී තිබේ. රෝගී සිසුවියන් ඉගෙන ගත් පන්තිය හුනුදුවිලි සහිත වූ නිසා පන්තිය සෝදා පිරිසිදු කර තිබේ. විද්‍යාලය අසලින් ගලා යන කුණු ඇළ හා පාසල අවට පහත් බිම් ගොඩ කිරීමට යෙදූ කුණු ගොඩවල් නිසා අපිරිසිදු වාතාශ්‍රය නිසා ළමුන් එක් අයකු හෝ කීප දෙනෙකු අසනීප වන්නට ඇත. පසු දින දීපවාලි නිවාඩුව විය. බදාදා යළි සිසුවියන් අසනීප වන්නට පටන් ගත්තේ භෞතික හේතුවක් නිසා නොවන බව මාස් හිස්ටීරියා ඉතිහාසය කියවීමෙන් පමණක් වුවද වටහා ගැනීම අපහසු නැත.

මෙම රෝගය භෞතික හේතුවක් නිසා නොවන බවට පහත සාධකයද සාක්ෂ්‍ය දරනු ඇත.
1. පාස‍ලේදී පමණක් වැළඳීම
2. පාසල් අසල නිවාසවල ළමයින් කුඩා දරුවන්ට එය බල නොපෑම
3. එකකට එකක් ආසන්න පාසල්වලද නොව දිවයින පුරා තැනින් තැන රෝගය මතුවීම
4. පාසල් කාලයෙන් පසු ළමයින් විශාල වශයෙන් ටියුෂන් පන්ති යන නමුත් ඒවායේදී ළමයින් අසනීප නොවීම. (ගම්‍පොළ ජිනරාජ විද්‍යාලයට ආසන්නව පෞද්ගලික පන්ති පැවැත්වෙන ස්ථාන ගණනාවක් ඇති නමුදු බදාදා දින හෝ පසු දිනයක වුව එම ආයතනවල ළමුන් අසනීප වුණේ නැත)
5. රෝග බෝවීමට හොඳටම ඉඩ සලසන පාසල් ළමුන් ප්‍රවාහනය කරන රථවලදී ළමුන් මෙම රෝගයට ගොදුරු නොවීම

මෙවැනි නිරීක්ෂණ පර්යේෂකයන්ට තවත් ලබා ගත හැක. සති දෙකක් ගත වුවද රෝගය ගැන නිශ්චිත අදහසක් නැති අපේ ආයතනවල අය මාස් හිස්ටීරියා ගැන ජාත්‍යන්තර අත්දැකීම් හැදෑරිය යුතුය. එය ආසියාවට අලුත්ය. එහෙත් යුරෝපයට අප්‍රිකානු රටවලට වසර පනහක් පරණය. මතෛක් කලකට අප වෙත එන්නට නොහැකි තත්ත්වයකින් දැන් අප පීඩා විඳින්නේ සමාජයේ සිදු වූ කුමන වෙනස්කම් නිසාද? හිස්ටීරියා ‍පෝබියා තත්ත්වයන්වල අනාගත ප්‍රතිඵලය කුමක් වේද? පාසල්වල ළමයින් භීතියකට පත්වන්නේ නම් පෞද්ගලික පන්ති, ජාත්‍යන්තර පාසල්වල මතෛක් එම තත්ත්වය නැත්තේ මන්ද? කායික හානි ක්ෂණිකව පිටතට පෙනෙයි. මානසික හානි නොපෙනෙයි. පෙනෙතත් ඒ මානසික හානි කායිකව බලපාන විටකදීය. ළමා මනසට හානි කිරීම කායික ළමා අපචාරවලට වඩා බිහිසුණුය. එහෙත් ඒ ගැන හිතන්නේ සොයන්නේ බලන්නේ කවුරුද?

මාස් හිස්ටීරියා හා මාස් මීඩියා  
මාස් හිස්ටීරියා පාලනය කළ හැක්කේ මනෝ උපදේශන වැඩසටහන් හා දැනුවත් කිරීම් මගින් පමණි. අවාසනාවකට මෙන් ලංකාවේ ආකල්ප අනුව මනෝ උපදේශනය පිස්සන් සඳහා පමණක් අවශ්‍ය වූවක් ලෙස සැලකෙයි. නිය‍පොත්තෙන් කැඩිය හැකිව තිබූ දෙයක් ‍පොරොවකින්වත් කැපිය නොහැකි සේ අතු ඉතිලා වැඩෙන්නේ අපේ පසුගාමී ආකල්ප නිසාය. මෙයට නිසි ප්‍රතිකර්ම නොකළහොත් මේ තත්ත්වය තවත් වර්ධනය වනු ඇත. සාමාන්‍ය පෙළ විභාග දක්වා මෙය පැවතුණහොත් විභාග දිනවවල වේගයෙන් ව්‍යාප්ත වීම තුළින් ජාතික මට්ටමේ ව්‍යසනයක් බවට පත් විය හැක. විභාග පැවැත්වෙන්නේ පාසල් නිවාඩු කාලය තුළ බැවින් අධ්‍යාපන අමාත්‍යංශයට, සෞඛ්‍ය අමාත්‍යංශයට ළමා කාර්යංශයට කළ හැකි වැඩ කොටස සීමා සහිත වනු ඇත. එවිට සිදුවනුයේ දෙමාපියන් පිළිසරණ පතා යකැදුරන් කපුවන් වෙත යාමයි. රතුවැස්ස, කැසීමේ රෝගය දෙසැම්බර් අග සිදුවනවා යැයි (අමනෝඥ තක්කඩියන්) කියන ලෝක විනාශයේ පෙර නිමිති බව කියමින් රට බිය වද්දන්නට ගුප්ත ජාවාරම්කරුවන් දැනටමත් පටන් ගෙන ඇති බැවින් ඔවුනට උඩගෙඩි නොදී ප්‍රගතිශීලී මාස් මීඩියාවල අයවත් මාස් හිස්ටීරියා ගැන සමාජය දැනුවත් කිරීමේ ජාතික වගකීම දැරිය යුතුය.

එච්.ජී. දයාසිසිර - ශ්‍රී ලංකා නිදහස් චින්තකයන්ගේ එකමුතුව 
ලක්බිම ඇසුරින් පලකරන ලදී.

Read Post | comments
 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all