ලෝක ක්‍රිකට් ක්ෂේත්රයේ සියලු පාර්ශ්වයන් කම්පාවට පත් කරවන දුක්බර
ප්‍රවෘත්තියක් පෙරේදා පැතිර ගියේ ය. එනම්; ලොව අංක එකේ ක්‍රිකට් විස්තර
විචාරකයා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර රෝහලක දී සදහට ම දෑස් පියාගත් බව ය.
මුළු මහත් ලෝකයේ විශාල පිරිසක් ඔහුගේ වචනවලින් ද; ඔහුගේ ඉරියව් වලින් ද
ක්‍රිකට් ක්‍රීඩාවේ රස වින්දෝ ය, ඔහු වනා හී අප කව්රුත් හොඳීන් හඳුනන අඩි
හයමාරක් උසින් යුතු ප්‍රසන්න සිනහවකින් මුව සරසාගත් ටෝනි ග්‍රේග් මහතා ය.
ටෝනි ක්‍රිකට් පිළිබඳ ප්‍රාමාණික ඥානයකින් හෙබි ක්‍රීඩකයෙකි. විස්තර
විචාරකයෙකි. ඉතිහාසය, දේශපාලනය, පුරා විද්‍යාව, භූගෝල ශාස්ත්‍රය වැනි
විෂයයන් ගැන ද ජන මාධ්‍ය ගැන ද ටෝනි සතු දැනුම පුදුමාකාර ය.
කුමක් වුව පිළිකා මාරයා ලොව සුන්දර ම මිනිසුන් සිය ග්‍රහණයට ගැනීම ආරම්භ කර
තිබේ. ටෝනි ග්‍රේග් මිය යන්නේ පෙණහලු ආශ්රිත ව පැතිර ගිය පිළිකාවක් නිසා ය. මේ
ප්‍රවෘත්තිය; එනම් ටෝනි ග්‍රේග් පිළිකා රෝගියකු බව පළමුවරට ප්‍රකාශ වන්නේ
පසුගිය අගෝස්තු මාසයේ ය. එම පුවත ලෝක ක්‍රිකට් ලෝලීන් අතර ශීඝ්‍රයෙන් පැතිර ගිය
අතර සියලු දෙනා ඔහුට සුවය ප්‍රාර්ථනා කළ හ. ශ්‍රී ලංකාවේ දී ද ඔහු ගේ සුවය පතා දේව
පූජා හා බෝධිපූජා පැවැත්විණි. ටෝනි ඒ අතර සැත්කමකට ද මුහුණ දුන්නේ ය. අවසානයේ
ඉරණමට යටත් වන්නට ඔහුට සිදුවිය.
ටෝනි ග්‍රේග් මහතා උපත ලබන්නේ දකුණු අප්‍රිකාවේ දී ය. දකුණු අප්‍රිකාවේ පැවැති
විවිධාර්ථ සහිත සමාජයන් වෙතින් ටෝනි බොහෝ දේ උගත්තේ ය. එබැවින් ඔහු සංස්කෘතික
මිනිසකු බවට පත් වූයේ ය. එහි ම පැවැති විවිධ දේශපාලන ඝට්ටනවලින් ටෝනි සමාජ
ක්‍රියාකාරකම් ගැන බොහෝ දේ උගත්තේ ය. එංගලන්තයට යන ඔහු එහි ක්‍රිකට් කණ්ඩායම
නියෝජනය කරමින් තුන් ඉරියව්වේම දක්ෂකම් දැක්වී ය. ඊළඟට ඔහු එංගලන්ත
කණ්ඩායමේ නායකත්වයට පැමිණ ජයග්‍රහණ රැසක් වාර්තා කළේ ය. ක්‍රිකට්
ක්‍රීඩාවෙන් සමුගත් ටෝනි ජනමාධ්‍ය ඔස්සේ ක්‍රිකට් මවන්නට පටන් ගත්තේ ය.
ටෝනි ග්‍රේග් යනු පරිපූර්ණ මිනිසෙකි. ඔහු රටින් – රටට යමින් එම රටවල
ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් රටාවන් හඳුනා ගත්තේ ය. ක්‍රීඩකයන්ගේ සිතුම් – පැතුම් හා
ආකල්ප වටහා ගත්තේ ය. ඔහු කිසිවිටෙක කිසිවකුට අවමන් කළේ නැත. කිසිදු රටක් පහත්
යැයි කල්පනා කළේ නැත. ඔහුගේ විචාරයෙහි පැවැතියේ සමබර අර්ථ දැක්වීම් ය.
එංගලන්තයට හෝ ඕස්ට්‍රේලියාවට හෝ අමුතු බරක් තබා ක්‍රිකට් විචාරයෙහි යෙදීම
ඔහුගේ සිරිත නොවේ.
මහත්වරුන්ගේ ක්‍රීඩාව හෙවත් ක්‍රිකට් අයිතිවන්නේ සුදු මිනිසුන්ට හෙවත්
ඉංග්රීසිකාරයන්ට පමණ ද? එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි
රටවල් ක්‍රියා කරන්නේ එසේ ය. දකුණු අප්‍රිකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට කළු
ජාතිකයන් ද ඇතුළු කරගනු ලැබූවද; ඔවුන් ද සිතනුයේ ආසියාවේ මිනිසුන්ට ක්‍රිකට්
බැරි බව ය. ආසියාව ක්‍රිකට් සඳහා නුසුදුසු බව ය. මේ නිසා ම ආසියාවේ ක්‍රිකට්
පහත් කොට සැලැකීම ඔවුන්ගේ සිරිත වේ. මේ අතර ආසියාවේ ක්‍රිකට් ඉහළ තලයකට ඔසවා
තැබීමට ද ඒ අතර ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් රටාව විශේෂයෙන් මතුකර දැක්වීමට ද
උත්සුක වූ එක්තරා සුදු මහතෙක් සිටී, ඔහු ටෝනිි ග්‍රේග් ය.
1990 ගණන්වල මෙරට ක්‍රිකට් කණ්ඩායමේ වේගවත් ම ප්‍රහාරකයෝ දෙදෙනා සනත්
ජයසූරිය හා රොමේෂ් කළුවිතාරණ වූහ. ඉංග්‍රීසි ක්‍රීඩකයන්; සනත් ජයසූරිය
ගර්හාවට ලක් කරන ලද්දේ “කළු වඳුරා” යන නාමයෙනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ කුමන
ජයග්‍රහණයක් වුව ඉංග්‍රීසීන්ගේ ගෞරවයට ලක් වූයේ නැත. මේ තත්වය වටහාගත්
ටෝනි ග්‍රේග් තම විස්තර කථනයෙන් පමණක් නොව, උපදේශනයෙන් ද ශ්‍රී ලංකා
කණ්ඩායම ට අප්‍රමාණ සහයෝගයක් දැක්වී ය. ඔහු සනත් ජයසූරිය හැඳින්වූයේ
“මාස්ටර් බ්ලාස්ටර්” යන ගාම්භීර නාමයෙනි. රොමේෂ් කළුවිතාරණ හැඳින්වූයේ “ලිට්ල්
කළු” යන සුන්දර නාමයෙනි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිටියක දී කළුගේ බිරිය දුටු ටෝනි
කියා සිටියේ “ලිට්ල් කළු - සුදුද” තරගය නැරඹීමට පැමිණ සිටින බව ය.
ශ්‍රී ලංකාව ලබාගත් ලෝක කුසලානය පිටුපස සිටි එක් ශක්තිමත් මිනිසෙක් වන්නේ
ටෝනි ග්‍රේග් යැයි විචාරකයෝ සඳහන් කරති. ශ්‍රී ලංකාව ක්‍රිකට් අතින් දුර්වල
විලාසයක හා පසුබෑමක සිටි අවස්ථාවක අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාවට තැනක්
ලබා දෙන්නට ඔහු ක්‍රියා කර තිබේ. ඔහු එසේ ක්‍රියා කරන්නේ ක්‍රිකට් බලවතුන් ශ්‍රී
ලංකාවට මදි පුංචිකම් කරත්දී ය. 1990 සිට 1996 තෙක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල
ශීඝ්‍ර නැග්මට ටෝනි ග්‍රේග්ගේ විචාරයන් සේම ඔහුගේ පෞද්ගලික උපදේශන ද බෙහෙවින්
වැදගත් වූ බව මෙරට ක්‍රිකට් ප්‍රවීණයෝ දනිති. හැබෑවට ම ඔහු ශ්‍රී ලංකාවට ආදරය
කළේ ය. ශ්‍රී ලංකාවේ අන්නාසිවල රසය මෙන් ම දළදා මාලිගාවේ ඇති ඓතිහාසික
වටිනාකම කියන්නට ද ටෝනි දැනගෙන සිටියේ ය.
යුද්ධය පැවැති සමයේ ශ්‍රී ලංකාව හැඳින්වූයේ අසාර්ථක රාජ්‍යයක් ලෙස ය. එය
ක්‍රිකට් ක්‍රීඩාවට ද බෙහෙවින් බලපෑවේ ය. ක්‍රිකට් ලොවේ දැවැන්තයන් ශ්‍රී
ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කළා පමණක් නොව මෙරට කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීම
ප්‍රතික්ෂේප කළ අවස්ථාවන් ද පැවැතිණි. මේ දුර්භාග්‍ය යුගයේ දී ටෝනි ශ්‍රී ලංකාව
වෙනුවෙන් පෙනී සිටියේ ය. ඇතැම් තරග සඳහා මැදිහත් වී ඔහු ද ශ්‍රී ලංකාවට
පැමිණියේ ය. අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය ටෝනි ග්‍රේග් වැනි ජ්‍යෙෂ්ඨ
පුද්ගලයකුට කන් දීම අරුමයක් නො වේ. ශ්‍රී ලංකාව සුන්දර රාජ්‍යයක් ය යන්න ටෝනි
හැමවිටම විශ්වාස කළේ ය.
මෙරට ක්‍රිකට් ක්‍රීඩකයෝ, ක්‍රිකට් බලධාරීහු හා ක්‍රිකට් රසිකයෝ ද ඔහුගේ නික්ම
යෑමෙන් බලවත් කම්පාවට පත් ව සිටිති. ඔහු ශ්‍රී ලංකාවට දැක් වූ ආදරය, අපේ
කණ්ඩායමට දැක්වූ සහයෝග ය පමණක් නොව ඔහුගේ සුන්දර – ආකර්ෂණීය වචන ද මින් පසු
නවතිනු ඇත. ටෝනි ග්‍රේග් තරම් බුද්ධිමත් ලෙස ද ආකාර්ෂණීය ලෙස ද ක්‍රිකට් විස්තර
විචාරයෙහි යෙදෙන තවත් ජනමාධ්‍යකරුවකු අපට හමුවී නැත. එය ලෝකය පුරා
ක්‍රිකට්ලෝලීන් පිළිගනු ලබන සත්‍යයෙකි. එහෙත් ඔහු අද නැත. ටෝනි මියයන විට හැට
හයවන වියේ පසුවිය. ලෝකය කෙතරම් දියුණු අවදියකට පැමිණ සිටිය ද අපි තවම
පිළිකාවට යටත් වෙමු. ටෝනි ග්‍රේග් නම් සුන්දර මනුෂ්‍යයා ද පිළිකාවට යටත් විය.
ක්‍රිකට් ක්‍රීඩාව නිසා අපට බොහෝ දේ ලැබිණි. කීර්තිය, ප්‍රසංශාව, ආර්ථික වාසි ඒ
අතර පවතී. අපේ ක්‍රිකට් පවතින තුරු ම ටෝනි ග්‍රේග් යන නාමය ද අප අතර පවතිනු ඇත.
0 comments:
Post a Comment