Photobucket

Monday, December 10, 2012

අපට දැන් පැනලා ණය දෙනවා!

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනයාට ආර්ථිකය ගැන ඒ හැටි දැනුමක් නැත. ඔවුන්ගේ කල්පනා; පාන් ගෙඩියක් කීය ද? සබන් කැටයක් කීය ද? වැනි “එදා වේල ටුවාර්ස්” න්‍යායට යටත් වේ. ආර්ථික විශේෂඥයන් ද සමස්ත ආර්ථිකය පිළිබඳ ප්‍රබුද්ධ මතයක් දරන බවක් පෙනෙන්ට නැත. ඔවුන්ගේ චින්තනය පක්ෂ දේශපාලනයේ න්‍යාය පත්‍රවලට යටත් වේ. මේ අනුව රටේ ආර්ථිකය ගැනත්; අයවැය යෝජනා ගැනත්; ව්‍යාජ විවේචන හා වැරැදි මත පැතිර ගොස් තිබේ. මෙරට ආර්ථිකය සිහිනයක් බව සමහරු කියති. 2013 අයවැය ලේඛනය ණයවැය ලේඛනයක් බව තවත් සමහරු කියති. මේවා ඇත්ත ද, නැත්ත ද යැයි තීන්දු කළ හැක්කේ පුළුල් විමර්ශනයක් ඔස්සේ ය. එබඳු පුළුල් විමර්ශනයක් සඳහා මේ තීරුව ප්‍රමාණවත් නො වන බැවින්; අපට පෙනෙන හා ඇසෙන ඇත්ත පමණක් ලියා තබමු.

ඇමෙරිකාව හා යුරෝපය බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. එම රටවල ආර්ථිකයේ වර්ධනය ඇණහිට; රැකියා කප්පාදුව හා ජනතා සහන කප්පාදුව ආරම්භ වී ඇත. මේ තත්ත්වයට මුහුණ දීම සඳහා ඇමෙරිකාව හා යුරෝපය ආර්ථික ප්‍රතිසංස්කරණ ආරම්භ කර තිබේ. ඒවා තාවකාලික වේදනාකාරී බවක් ඉසිලුව ද ඉදිරි වසර දෙක තුළ යහපත් ප්‍රතිඵල ඇති කරන බව බටහිර ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. යුරෝපයේ ආර්ථික කඩා වැටීම මෙන් ම ආර්ථික ප්‍රතිසංස්කරණ ද මෙරට ආර්ථිකයට බලපායි. ඉන් මගහැර යෑමේ හැකියාවක් අපට නැත. යුරෝපයේ ආර්ථික කඩාවැටීම පමණක් නො ව; මැද පෙරදිග දේශපාලන ගැටුම් හා ඇමෙරිකන් – ඉරාන අවුලත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි සෘජු ලෙස බලපායි.

ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය ගැන බොහෝ දෙනා කතා කරති. ඒ පිළිබඳ වැටහීමක් ඇති අය සේ ම වැටහීමක් නැති අය ද අත්තනෝමතික විවේචන ඉදිරිපත් කරති. වෙළෙඳ හිඟයක් මතු වන්නේ අපනයන ආදායමට වඩා; ආනයන වියදම් ඉහළ යෑමෙන් ය. ඊට බලපාන ප්‍රධාන සාධකයක් ලෙස බොරතෙල් ආනයනය පෙන්වා දිය හැකි ය. එක අතකින් ලෝක වෙළෙඳ පොළෙහි බොර තෙල් මිල ඉහළ ගියේ ය. තව අතෙකින් ඇමෙරිකාවේ සම්බාධක නිසා ඉරානයෙන් සහන මිලට බොරතෙල් ලබාගැනීම අවුලක් බවට පත් විය. මේ තත්ත්වය තාවකාලික පරාජයක් වන්නට පුළුවන. එහෙත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉන් එල්ල වූ බලපෑම දීර්ඝකාලීන වන්නට පුළුවන. බොරතෙල් ආනයනය සඳහා වසරකට ඇ.ඩො.බි. හයකට අධික මුදලක් වැය කිරීමට ආණ්ඩුවට සිදු වේ.

ඉන්ධන ගැටලුව හා තවත් මූලික ගැටලු කිහිපයක් නිසා වෙළෙඳ හිඟය දිගින් – දිගටම ඉහළ ගියේ ය. වෙළෙඳ හිඟය ඉහළ යෑම නිසා තවත් ආර්ථික අර්බුද ගණනාවක් මතු වේ. රුපියලේ අගය පිළිදබඳ තත්ත්වය, උද්ධමනය ඉහළ යෑම, බදු අයකිරීම් වෙනස්වීම වැනි ප්‍රවණතා ඒ අතර තිබේ. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අපනයන ඉහළ දැමීම ය. ඒ සඳහා විශේෂ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක විය. දැනට ද එම වැඩසටහන් එලෙස ම ක්‍රියාත්මක ය. එහෙත් අනපේක්ෂිත ලෙස ආනයන වියදම් ඉහළ ගොස් තිබේ. ඒ අනුව වෙළෙඳ හිඟය ඉහළ ගොස් ඇත. එය ලෝක බලපෑමක් ලෙස සැලකිය යුතු ය. කුමන ආණ්ඩුවක් බලයේ සිටිය ද ඉන් මගහැර යා නො හැකි ය. අමෙරිකාවට කිවිසුමක් යන විට අපට නියුමෝනියාව හැදෙන්නේ යැයි කතාවක් ඇත්තේ නිකමට නො වේ. අමෙරිකාවේ හා යුරෝපයේ ආර්ථික හා දේශපාලනික බලපෑම සුළුකොට තැකිය නො හැකි ය.

සමහරුන් විවේචන ඉදිරිපත් කරනුයේ රටක සමස්ත ආර්ථිකය හැසිරවීම ගෙදරක මාසික අයවැය ගණන් බැලීමක් ලෙස සලකමින් ය. කොප්පරා මඩුවක් පවත්වාගෙන යෑම, මාළු ලෑල්ලක් විවෘත කිරීම, සිල්ලර කඩයක් ගෙන යෑම මෙන් නොව රටක සමස්ත ආර්ථිකය හැසිරවීම අතිශය සංකීර්ණ ක්‍රියාවලියකි. එහිදී අන්තර්ජාතික ආර්ථික ප්‍රවණතා ගැන සලකා බලන්නට සිදු වේ. රටේ අනාගතය ගැන කල්පනා කරන්නට සිදු වේ. ජනතාවගේ සුබ - සාධනය, තරුණ පරම්පරාවේ අනාගතය, රටේ සම්පත්වල සුරක්ෂිතතාව හා තවත් බොහෝ දේ ගැන ගැඹුරින් සලකා බලමින් සංවර්ධනය ඉදිරියට තල්ලු කිරීම අයවැය ලේඛනයක් මඟින් සිදුවිය යුතු ය. අයවැය ලේඛනය යනු ඉදිරි වසරේ ආර්ථික සැලැසුම ය.

2013 වසර සඳහා වූ අයවැය ලේඛනය වැඩි ඡන්ද එකසිය එකකින් සම්මත වී ඇත. ලබන වසර සඳහා වූ එම අයවැය ලේඛනයේ මූලික අරමුණ දිළිඳුකම පිටුදකිමින් රටේ සංවර්ධනය ඉහළ දැමීම බව කියැ වේ. උද්ධමනය පහත දැමීම, රැකියා සම්පාදනය ඉහළ දැමීම, ජනයාගේ ආදායම් වැඩිකිරීම වැනි යහපත් ආර්ථික ඉලක්ක ගණනාවක් අයවැය ලේඛනයෙහි සංගෘහිත ය. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රාජ්‍යයක් වන බැවින් කෘෂිකාර්මික නිෂ්පාදනයේ වර්ධනය සඳහා වැඩි අවධානයක් යොමු කර තිබේ. ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා කියා සිටියේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය කෘතඥතාව පළ කරන බව ය.

අධිවේගී මාර්ග කුමකටදැ’යි සමහරු අසති. අධිවේගී මාර්ග නිසා ඉඩම් අහිමි වන බවද; ධනවතුනට පමණක් සහන ලැබෙන බව ද තවත් සමහරු කියති. රටේ මහාමාර්ග වල ඇති තදබදය ඔව්හු නො දකිති. අධිවේගී මාර්ග නැති රටවලට ආයෝජකයන් අකැමැත්ත පළ කරන බව ඔව්හු නොදනිති. අලුත් වරායවල්, අලුත් ගුවන්තොටුපොළවල් මුදල් නාස්තියක් ලෙස තවත් අය දකිති. ලෝකයේ දියුණු රටවල් වරායෙන් හා ගුවන් තොටෙන් ලබාගන්නා ආර්ථික ප්‍රතිලාභ ඔව්හු නො දකිති. වත්මන් ආණ්ඩුවේ ආර්ථික දර්ශනය යොමු වී ඇත්තේ දීර්ඝකාලීන - ස්ථාවර ආර්ථිකයක් සඳහා ය.

ශ්‍රී ලංකාව හැඳින්වෙන්නේ මධ්‍යම ආදායම් සහිත රාජ්‍යයක් ලෙස ය. අපට මේ තත්ත්වය ලැබුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ලැබුණු ආර්ථික දියුණුව නිසා ය. යුද්ධයත්, ත්‍රස්තවාදයත් නිසා අසාර්ථක රාජ්‍යයක් ලෙස අපවාදයට ලක්ව සිටි ශ්‍රී ලංකාවට ලෝක බැංකුව ආධාර දුන්නේ නැත. අන්තර්ජාතික මුල්‍ය අරමුදල සංවර්ධන ණය ලබා දුන්නේ ද නැත. ආයෝජකයන් නිකමටවත් අප දෙස බැලුවේ නැත. යුද්ධයට අවශ්‍ය අවි – ආයුධ ලබාගැනීමත් ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක් වී තිබිණි. 

එහෙත් 2009 න් පසු සියල්ල වෙනස් විය. දැන් අපට මධ්‍යම ප්‍රමාණයේ ආදායම් සහිත ආර්ථිකයක් ලෙස ගෞරවයක් ලැබී තිබේ. යුද්ධයෙන් පසු සාර්ථක ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කළ රාජ්‍යයක් ලෙස ද ශ්‍රී ලංකාව සලකනු ලැබේ.

අනාගත දැක්මකින් යුතුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය හසුරවන වත්මන් ආණ්ඩුව එම වැඩපිළිවෙළෙහි තවත් අදියරක් සාර්ථකව ජයගෙන තිබේ. එනම්; 2013 අයවැය ලේඛනය වැඩි ඡන්ද 101 කින් සම්මත කරගැනීම ය.

දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all