Photobucket

Sunday, December 16, 2012

කුරානය කට පාඩමින් කියා ලෝකයම ජයගත් අපේ රිස්වාන්

ජීවිතය ගැන මහා බලාපොරොත්තු ඔහුට නැත. ඇත්තේ තම දහම හොඳින් ඉගෙන ගැනීමේ අරමුණ පමණි. ඉතා කෙටි කලකින් ඔහු තම ආගම, ශුද්ධ වූ අල් - කුරානය ඉගෙන ගත්තේ ය. අවසානයේ ඔහු රටවල් අසූ තුනක තරගකරුවන් සමඟ තරග වැද පළමු තැන ලබාගත්තේ ය. එය ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයකු වසර තිස් හතකට පසුව ලැබූ ජයග්‍රහණයකි. සැබවින් ම ඔහු මඩ ගොහොරුවක සුපිපි නෙළුම් මලකි. ආගම් බේදයකින් තොරව රටටම ආඩම්බර විය හැකි රටක් වටින පුතෙකි.

වෛද්‍යවරයෙක් වීම, ගුරුවරයෙක් වීම, විද්‍යාඥයෙක් වීම, හෝ වෙනත් ඉහළ රැකියාවක් කිරීමට කුඩා වියේ සිටම අරමුණු කරගෙන ඉගෙනීම් කටයුතු කරන දරුවෝ බොහෝ වෙති. එහෙත් ආගමික නායකයෙක් වීමට ප්‍රාර්ථනා කරන දරුවන් හමුවන්නේ කලාතුරකිනි. පසුගියදා ලෝකයම ජයගත් අපේ රටේ මුස්ලිම් ජාතික දරුවකු අපට මුණ ගැසිණ.

කුමන ජාතියේ වුව ද ඔහු අප රටට සුවිශේෂි වූ දරුවෙකි.

සවුදි අරාබියේ ශුද්ධ වූ මක්කම නගරයේ රටවල් අසූ තුනක සහභාගිත්වයෙන් පැවැති ශුද්ධ වූ අල්කුරානය කට පාඩමින් කීමේ තරගයේදී වසර තිස් හතකට පසුව ශ්‍රී ලංකාවේ දරුවකු ප්‍රථමස්ථානය හිමිකර ගත්තේ ය. ඔහු කොළඹ ආදුරුප්පු වීදියේ සරංගුවත්තේ පදිංචි මොහොමඩ් රිෆ්ටි මොහොමඩ් රිස්කාන් ය. කොළඹ නගරයේ විවිධ වූ ජනකොටස් ජීවත් වෙති. සරංගුවත්ත ද එවැනි ස්ථානයකි. ඉකුත් දිනෙක අපි එහි ගියෙමු. සරංගුවත්තේ ජනතාව අප රිස්කාන් දරුවාගේ නිවසට කැඳවාගෙන ගියේ ය. රිස්කාන්ගේ කුඩා නිවෙස සරංගුවත්තේ ජනතාවගෙන් පමණක් නොව පිට පළාත්වලින් පැමිණෙන ඥාතීන්ගෙන් හා ප්‍රභූන්ගෙන් පිරීගොසිනි.

“පුතා තරගයෙන් දිනලා ලංකාවට ආවේ දෙළොස්වෙනිදා. එදා පුතාව පිළිගන්න කටුනායක ගුවන් තොටුපළේ රජයෙන් සංවිධානය කළ උත්සවයක් තිබුණා. ඊට පස්සේ මහපල්ලියේ උත්සවයක් තිබුණා. වත්තේ අය ඔක්කෝම එකතු වෙලා පුතාගේ ජයග්‍රහණය සැමරුවා. මට පුතාගේ ජයග්‍රහණය ගැන දැනෙන්නේ පුදුම සතුටක්. එයා පුංචි කාලේ ඉඳලම ආගම කියන්න කැමැතියි. ගෙදර ඉඳලා ඉස්කෝලේ ගියේ පහේ පංතියට විතරයි. ඊට පස්සේ එයාට ඕන වුණා පල්ලියට යන්න. මටවත් මගෙ බිරිඳවත් ඒකට අකමැති වුණේ නැහැ. දරුවන්ගේ දියුණුව තමයි අපේ සතුට. පුතාට හරි ලස්සනට කුරානය කියවන්න පුළුවන්. එයා හරිම ඉක්මනින් ශුද්ධ වූ කුරාණය කියවන්න පුරුදු වුණා. මේ වගේ ජයග්‍රහණයක් අපේ රටට ලැබුණු පළමු අවස්ථාව. අපිට මෙය බොහෝ ම ආඩම්බරයි. අපි නොදන්න අය ඇවිත් පුතාට සුබ පතනවා. දේශපාලනඥයෝ, පොලිසියේ ඉහළ නිලධාරීන් වගේ ම බොහෝ අය අපේ ගෙදර ආවා. රිස්කාන්ගේ පියා වන මොහොමඩ් ජිෆ්රි මොහොමට් රිෂ්ටි පවසන්නේ ය. 

පුංචි කාමර කෑලි දෙකකින් සමන්විත රිස්කාන්ගේ නිවසේ අතුරු සිදුරු නැතිව පැමිණි ඥාතින්ගෙන් අසල්වාසින්ගෙන් පිරී ඇත. අපත් සමඟ කතා කරමින් සිටින අතරතුර ද රිස්කාන් දොර ළඟට ගොස් පැමිණෙන සියලු දෙනා හා කතා බහ කරති. පැමිණෙන සියල්ලෝ ම රිස්කාන් සිප වැලඳ ගෙන ඔහුට සුබපතති.

එක්දහස් නවසිය අනූ අටේ මාර්තු දහවෙනි දින උපන් රිස්කාන් මූලික අධ්‍යාපනය ලැබුවේ නමිද් අල් හුසේනියා මහා විද්‍යාලයේ ය.

මට ආශාවක් තිබුණා පල්ලියට යන්න. අම්මත් තාත්තත් ඒකට අකැමැති වුණේ නැහැ. දැන් මම ඉගෙන ගන්නේ මදි නතුල් ඉල් අරාබි විද්‍යාලයයේ. ඒ කියන්නේ කොළඹ මහ පල්ලියේ. ගෙදරදී වගේ නෙමෙයි එහෙදි හැම දේම කරගන්න වෙන්නේ අපට තනියම. ඒත් මං ඒකට කැමැතියි. මට ඕන ආගම ඉගෙන ගෙන ආගමික නායකයෙක් වෙලා මේ රටේ මිනිසුන්ට උදව් කිරීමට.

සවුදියේ පැවැත්වුණ තරගයට මාත් සමඟ තවත් තුන් දෙනෙක් ගියා. මේ ලබපු ජයග්‍රහණය ගැන මට සතුටුයි.”

රිස්කාන් පැමිණෙන අමුත්තන්ට ආචාර සමාචාර කරන අතරේ ම අපත් සමඟ පැවැසුවේ ය. රිස්කාන් සරංගුවත්තට ආභරණයකි. ඒ සරංගුවත්තේ ජනතාව සිතන අයුරු ය.

අපි අවුරුදු ගණනක් තිස්සේ ජීවත් වෙන්නේ මේ වත්තේ. උපන්නේ මේ වත්තේ. අපේ වත්ත ගැන මිනිස්සු හොඳක් කිව්වේ නැහැ. සරංගුවත්තේ මුස්ලිම් අය විතරක් නෙමෙයි සිංහල දෙමළ අයත් ඉන්නවා. ඒ අය අතරේ විවාහ සිදුවෙලා තියෙනවා.

අපි හැමෝම එකම පවුලක් වගේ ජීවත් වෙන්නේ. අපේ රිස්කාන් ලබපු ජයග්‍රහණය නිසා අද අපේ වත්තට බොහෝ අය එනවා යනවා. එදා අපව හොඳ නෑ කියපු අයත් අද ඇවිත් රිස්කාන්ට ආදරය කරනවා. ආචාර කරනවා. එයාව පිළිගන්නවා. අපිට අද මේ තත්ත්වේ ආවේ රිස්කාන් ලබපු ජයග්‍රහණය නිසයි. ආැත්තටම ඔහු අපිට ආඩම්බරයක්. ඔහු අපිට වටිනා සම්පතක්.

සරංගුවත්තේ සාමාජිකයෙක් එසේ කියද්දී අනෙක් සියල්ලෝ ද ඊට හූ මිටි තබමින් තව තව දෑ ඊට එක් කළහ. එනිසා එය එක් පුද්ගලයකුගේ ප්‍රකාශයක් ලෙස හුවා දැක්වීමට බැරි ය.

වයස් භේදයක් නැත. බාල මහලු කුඩා කවුරුත් පෙළට එකිනෙකා තල්ලු කරමින් රිස්කාන් බැලීමට ගෙවල් පේළි අතරින් එහෙන් මෙහෙන් යමින් රිස්කාන්ගේ නිවසට පැමිණෙති.

නෙළුම් පිපෙන්නේ මඩගොහොරුවේ ය. හිරු කිරණ ලැබ මඩගොඩෙන් පෝෂණය ලබා පිපෙන නෙළුම් සුවඳ ය. එය මඩයේ උපන් වගක්වත් නැත. මිනිසුන් දකින්නේ මඩ ගොහොරුව නොව සුපිපි නෙළුම් මල පමණි. ලෝකයේ ම රටවල් අසූතුනක තරගකරුවන් අතරින් බෞද්ධ රටකින් තරගයට ඉදිරිපත් වී ශුද්ධ වූ අල් - කුරානය කටපාඩමින් කියා ජයග්‍රහණය කළ දා හතර හැවිරිදි රිස්කාන් දරුවා ද සැබවින් ම සුපිපි සුවඳ විහිදන නෙළුමකි. ඔහු සරංගුවත්තට පමණක් නොව රටටම ආඩම්බරයකි.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all