පිටිගල මැගිලින් අක්කාට ඉඩම් නඩුවක් යෙදී තිබිණි. ඇය එම නඩුවේ චූදිතයෙකි.
චෝදනාව වූයේ ඇගේ සින්නක්කර ඉඩමක් මැදින් වූ අඩි පාරක් හිටිහැටියේ වසා දැමීම ය.
පාර වසා දැමීම නිසා යාබද නිවාස හතරකට පිවිසිය හැකි කෙටි මාර්ගය අහෝසි වී ගියේ ය.
වසර දහයකට වැඩි කාලයක් තිස්සේ පැවැති ප්‍රවේශ මාර්ගයක් වසා දැමීම ගැන මැගිලින්
අක්කාට එරෙහි ව නඩු පවරා තිබිණි. නඩුවේ වාසිය පැමිණිලි පාර්ශ්වය දෙසට බර වෙමින්
පැවැතිණි. තුන්වන නඩු වාරයේ දී දිසා අධිකරණයට ගිය මැගිලින් අක්කා “මට
නඩුකාරයා විශ්වාස නෑ!” යැයි කියා උසාවියෙන් පිට වී ගියා ය.
ඉහතින් දක්වන ලද්දේ අපගේ උපකල්පනයෙකි. එහෙත් එය සිදුවිය හැකි දෙයක් ද?
සිදුවිය යුතු දෙයක් ද? මෙය කුමන හෝ උසාවියක සැබෑවට ම සිදුවූයේ නම්; මැගිලින්
අක්කා අල්ලා කූඩු කරනු ඇත. උසාවියට හෙවත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත
මැගිලින් අක්කාට එරෙහි ව තවත් නඩුවක් පැවරෙනු ඇත.
ඇතැම් විට මැගිලින් අක්කාට මොළේ අමාරුවක් තිබේදැ” යි පරීක්‍ෂා කිරීම සඳහා
මානසික වෛද්‍යවරයකු වෙත ද යවනු ඇත. අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියට ඇති
ගෞරවනීය තත්ත්වය ආරක්‍ෂා වන්නේ නීතිය පසිඳලන ස්ථානය ශුද්ධ වූ වේදිකාවක් ලෙස
භාවිත කිරීමෙන් ය. නීතිය විහිළුවට ලක් කිරීමේ අයිතියක් කිසිවකුට නැත.
බුලත් විට කමින් කයිවාරු ගසමින් උසාවිය තුළ රැඳෙන්නට පුළුවන්කමක් නැත.
අමුඩයක් ඇඳගෙන උසාවියට ඇතුළු වන්නට පුළුවන්කමක් ද නැත. උසාවිය තුළ දී කුඩා
දරුවකු හඬන්නට පටන් ගතහොත් දරුවාගේ අයිතිකරුවනට දඩ කන්නට සිදු වනු ඇත.
උසාවිය අසලින් ගමන් කරන වාහන වුව “හෝන්” හැඬවීමෙන් වැළකිය යුතුය. මේ අතර
නඩුකාරයාට අපහාස වන අයුරින් කිසිවකුට කතා කළ නො හැකි ය. රත්නපුර පළාතේ
නඩුකාරයකුගේ මෝටර් රථය බැටරියේ දුර්වලතාවක් නිසා අතරමඟ නැවැතිණි. එය
හඳුනාගත් පිරිසක් වාහනය තල්ලු කොට එය පණගැන්වීමට උදව් කළහ.
එදින ම ඔවුනට එරෙහි ව නඩු පැවැරිණි. චෝදනාව විනිශ්චයකාරයකුට බලපෑමක්
කිරීම ය. පාර්ලිමේන්තුව විසින් පත් කරනු ලබන තේරීම් කාරක සභාවක් යනු
උසාවියටත් වඩා බල සහිත ස්ථානයක් බව අපගේ වැටහීම ය. එසේ නම්; එබඳු තේරීම් කාරක
සභාවක් මඟහැර යෑමේ අයිතියක් කිසිවකුට තිබේ ද? එබඳු ආයතනයකට අපහාස කිරීමේ
හෝ එබඳු ආයතනයක් සැකයට භාජනය කිරීමේ හෝ අයිතියක් කිසිවකුට තිබේ ද?
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අතින් සිදු වී ඇත්තේ ඊට සමාන
ක්‍රියාවලියක් නො වේ ද? බණ්ඩාරනායක මහත්මිය තේරීම් කාරක සභාව මඟහැර ගොස්
ඇත්තේ එම සභාව ගැන තමන්ට විශ්වාසයක් නැතැ’ යි පවසමින් හා චෝදනාවලට පිළිතුරු
නො දෙමින් ය. මේ සිදුවීම යුක්ති සහගත කළ හැක්කේ කුමන නීතියකට අනුව ද?
අපට පෙනෙන ලෙස නම්; අගවිනිසුරුවරිය නීතිය අතට ගෙන හිතුවක්කාර ලෙස හැසිරී
ඇත. ඇය ශ්‍රී ලංකාවේ හතරවන පුරවැසියා ලෙස සලකනු ලැබේ. ඇයට තබා ශ්‍රී ලංකාවේ
පළමුවන පුරවැසියා වන ජනාධිපතිවරයාට වත් නීතියට ඉහළින් යා නො හැකි ය.
නීතිය අතට ගෙන හිතුවක්කාර අන්දමින් හැසිරිය නො හැකි ය. රටේ ඕනෑම පුරවැසියකු
නීතියට යටත්ය. මැගිලින් අක්කා, ශිරාණි බණ්ඩාරනායක, මහින්ද රාජපක්‍ෂ කියා
වෙනසක් තිබිය නො හැකි ය. කිසිවකුට එරෙහි ව චෝදනා ඇතොත්; ඒවා විභාග කළ යුතු ය.
වරදකරුවකු නම්; දඬුවම් විඳිය යුතුය. මැගිලින් අක්කාට එක ලෙසකත්, ශිරාණි
බණ්ඩාරනායකට තවත් ලෙසකත්, මහින්ද රාජපක්‍ෂට වෙනත් විදියකත් සැලකිය යුතු
නීතියක් ඇතැ’ යි අප විශ්වාස කරන්නේ නැත.
අගවිනිසුරුවරියට එරෙහි ව බරපතළ ගණයේ චෝදනා දාහතරක් එල්ල වී තිබේ. මේ
චෝදනා සම්බන්ධ පැමිණිලි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූයේ මහජන
නියෝජිතයන් 117 කගේ අස්සනින් යුතුව ය. පාර්ලිමේන්තුවේ කථානායකවරයා
විසින් තේරීම් කාරක සභාවක් පත් කරන ලද්දේ එම චෝදනා විභාග කිරීම සඳහා ය. එම තේරීම්
කාරක සභාව පත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති නෛතික ප්‍රතිපාදනවලට
අනුව ය. එබඳු තත්ත්වයක් යටතේ තේරීම් කාරක සභාව මඟහැර යෑම හැඳින්විය හැක්කේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ලෙස ය යන්න අපගේ පිළිගැනීම ය.
අගවිනිසුරු පදවියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකි බලයක් ඇතැ’ යි
අප විශ්වාස කරන්නේ නැත.
අප වෙත වාර්තා වී ඇති අන්දමට නම්; අග්‍රවිනිශ්චයකාරතුමිය තමන්ට එරෙහි ව
නැඟී ඇති කිසිදු චෝදනාවකට නිසි පිළිතුරු සපයා නැත. මේ මහත්මිය සිදු කර ඇත්තේ
කල්මැරීම යැයි කිව හැකි ය. ආරංචි මාර්ග හෙළි කරනුයේ තේරීම් කාරක සභාව ඉහත
විමර්ශනය මසකින් අවසන් කිරීමට සැලැසුම් කර තිබූ බව ය. එහෙත්
අගවිනිසුරුවරියගේ ක්‍රියා පිළිවෙතට අනුව විමර්ශනය දිග් ගැස්සෙන්නට
පටන්ගෙන තිබේ. තුන්වන විමර්ශන අවස්ථාවේ දී තේරීම් කාරක සභාවේ නියෝගය වී ඇත්තේ්
අගවිනිසුරුවරිය මුල් චෝදනා දෙකට වත්; එදින පිළිතුරු සැපැයිය යුතු බව ය.
අගවිනිසුරුවරිය හා ඇගේ නීතිඥ කණ්ඩායම විමර්ශනය මඟහැර ගොස් ඇත්තේ එම
නියෝගයෙන් පසුව යැයි ද කියනු ලැබේ.
නාටකයක් ලෙස පෙළගැස්වී ඇති මේ සිදුවීම් දෙස බලන කෙනකුට අගවිනිසුරුවරිය
සිය චෝදනාවලින් පලා යන්නට උත්සාහ දරන්නේ දැ’ යි සැකයක් මතුවීමට පුළුවන. ඊට
හේතු තුනක් අපට පෙනී යයි. එක; කල්මැරීම ය. දෙක; කිසිදු චෝදනාවකට නිසි පිළිතුරු
නො සැපයීම ය. තුන; තේරීම් කාරක සභාව සැකයට භාජනය කොට එය මඟහැර යෑම ය. නිර්දෝෂී
පුද්ගලයා චෝදනාවලට බිය වන්නේ නැත. නිර්දෝෂී පුද්ගලයා කළ යුත්තේ චෝදනාවලට
පිළිතුරු සපයා තම අවංකභාවය හා නිරවද්‍යතාව ප්‍රත්‍යක්‍ෂයෙන් තහවුරු කිරීම
ය. මෙහි දී එවැන්නක් සිදු වී නැති බව පැහැදිලි ය. ඒ වෙනුවට ප්‍රශ්නය තව - තවත්
අවුල් කරන බවක් ද පෙනෙන්නට තිබේ.
ලෝකයේ බොහෝ රටවල මෙබඳු දේ සිදු වී තිබේ. ඉහළ තනතුරු දරන වැදගත් පුද්ගලයෝ තමන්ගේ
වැරැදි වටහාගෙන සිය තනතුරුවලින් ඉල්ලා අස්වෙති. එංගලන්තයේ, අමෙරිකාවේ,
ඉන්දියාවේ ඉහළ තනතුරු දැරූ අය සේ ම දේශපාලකයෝ ද ඊට ආදර්ශ ලෙස ගත යුත්තෝ ය.
තමන්ගේ වැරැදි වටහා ගැනීමත්; ඒවා අවංක ව පිළිගැනීමත් වැදගත් හා ශිෂ්ට සම්පන්න
මිනිසුන්ගේ සිරිත ය. එබඳු චාරිත්‍ර නැති අයට ඕනෑ දෙයක් කළ හැකි ය. එහෙත් ඒ වරදට
දඬුවම් ලැබෙන තුරු ය.
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment