Photobucket

Monday, February 25, 2013

ජංගම දුරකථනවලින් නව යොවුන් ජීවිත සොරකම් කිරීම

පාසල් නිල ඇඳුමින් සැරසී, පොත් බෑගය කරේ එල්ලාගෙන, ජංගම දුරකථනයක් හසුරුවමින් සවස් වරුවේ යන ළමයකු දුටුවොත් ඔබට සිතෙන්නේ මොනවාද?
1. ගෙදර යන්න ප්‍රමාද වුණු නිසා අම්මාට දැනුම් දෙන්න හදනවා ඇති.
2. මේ සති අන්තයේවත් ගමේ එක්කන් යන්න කියා තාත්තාට කියනවා ඇති.
3. විභාගයෙන් සමත් වුණු සතුට රට ඉන්න තාත්තට කියන්න පුළුවන් වෙලාව වෙන්නැති.
4. අමතර පන්තියේ දී නොතේරුණු තැනක් යාළුවාගෙන් අහනව වෙන්න ඇති.
5. පෙම්වතා හෝ පෙම්වතිය පරක්කු ඇයි දැයි බලනවා ඇති.
6. අසභ්‍ය දර්ශන ටික පාරෙදීම බලනවා ඇති.

මේ ඕනෑම පිළිතුරක් නිවැරදි වන්නට පුළුවන්. ඒ ඔබ ජංගම දුරකථනය පිළිබඳ සිතන ආකාරය මෙන් ම එම දරුවා දුරකථනය භාවිත කළ ආකාරය අනුවයි. එහෙත් කිසිම මවක හෝ පියකු අවසන් පිළිතුරු දෙක නිවැරදි කිරීම සඳහා තම දරුවාට ජංගම දුරකථනයක් මිලදී දෙන්නේ නැති බව කිව යුතු නොවේ.

ත්‍රස්තවාදීන් පාසල් අසල බස් රථවල බෝම්බ පිපිරවූ අසූව අනූව දශකවල ගෙදරින් පිට වූ දරුවන් යළි ඒ දෝ හෝයි නොදැන පපුවේ ඇවිළුණු ගින්දරටත් වඩා ගින්දරක් බෝම්බ පුපුරන්නේ නැති අද ආරක්ෂාව පතා දරුවන්ට ලබාදෙන ජංගම දුරකථන නිසා දෙමව්පියන්ගේ හදවත්වල ඇවිලෙන්නට හේතු වෙලා. තරගකාරී සමාජයේ ඇතැම් මවුපිය දූදරු සබඳතා පවත්වා ගන්නේ ජංගම දුරකථනයෙන් වන්නත් පුළුවන්. අධ්‍යාපන චාරිකාවක්, ක්‍රීඩා උත්සවයක් අවසානයේ එදා වගේ පාසල ළඟටම ඇවිත් දරුවන් කැටුව යන මව්පියන් අද අඩුවෙලා. කාලය ශ්‍රමය ඉතිරි කරගන්න ලොක්කො වගේ ම පොඩ්ඩොත් පොදුවේ භාවිත කරන්නේ ජංගම දුරකථනය.

ඒත් පාසල් දරුවන්ට ජංගම දුරකථන තහනම්. පාසලක් කියන්නේ විනයක් සහිතව පාලනය විය යුතු තැනක්. ඒ ගැන දරුවන් මෙන්ම ගුරු දෙගුරුන් අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. එහෙත් මොනයම් හෝ හේතුවකින් දෙමාපියන් කී නිසා හෝ මුරණ්ඩුකම නිසා පාසලේ නීති රීති නොතකා ජංගම දුරකථනයක් ළඟ තබා ගැනීම කෙබඳු වරදක් ද? එවැනි වරදකට අසු වුණු ශිෂ්‍යයකුට හෝ ශිෂ්‍යාවකට දඬුවම් කළ යුත්තේ කෙසේද? දඬුවම පාසල් සිසුන් දරා ගත යුත්තේ කුමන ආකාරයෙන් ද? යම් දුර්වල සිසුවකු දඬුවමක් දරාගත නොහැකිව ගන්නා පියවර මාධ්‍ය මඟින් ප්‍රචාරය කළ යුත්තේ කෙසේද?

මෙවැනි පැන රාශියක් මතු වුණේ පසුගියදා ජංගම දුරකථනයක් සමඟ හසු වූ සිසුවියට විදුහල්පතිනිය දෝෂාරෝපණය කිරීමෙන් පසු වස බී සිය දිවි නසා ගැනීම පිළිබඳ වාර්තා වීමත් සමඟ ය. මීට පෙර ද ජංගම දුරකථන ප්‍රශ්නයක් උඩ සිසුවියක් ගෙල වැල දා ගත්තා.

ඒ පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා පවසන්නේ මෙවැනි අදහසක්.

“ජංගම දුරකථන භාවිතයට සම්බන්ධව ඍජුවම වාර්තා වන දෙවැනි පාසල් ශිෂ්‍ය සියදිවි නසා ගැනීම මෙය විය යුතු යි. පාසල් සිසුවියකට විදුහල්පතිනිය දෝෂාරෝපණය කිරීමේදී මෙය පැති දෙකකින් විග්‍රහ කළ හැකි යි. එකක් නම් රජයේ පාසල්වල ජංගම දුරකථන භාවිතය නීතියෙන් තහනම්. නමුත් අන්තර්ජාතික පාසල්වල එවැනි තහනමක් නැහැ. කෙසේ වුවත් විදුහල්පතිනියගේ අවවාදය කුමන ආකාරයකින් සිදු වුණා ද කියා අප දන්නේ නෑ. විදුහල්පතිවරයකු හැම විටම පාසලක විනය ශික්ෂණය ඇති කිරීමට කටයුතු කළ යුතුයි.

දෙවැන්න ළමයින්ගේ දරා ගැනීමේ ශක්තියයි. අද විභාග ප්‍රතිඵල අනුව උසස් පෙළ, සාමාන්‍ය පෙළ අසමත් වන සංඛ්‍යාව ලක්ෂ 3 ට අධිකයි. ඔවුන් සියලු දෙනා විභාගය අසමත් කියා එය දරාගත නොහැකිව සියදිවි නසා ගතහොත් කුමක් සිදුවෙයි ද? අනෙක අද බොහෝ දුරකථනවලට පරිගණකවලට ඉබේම අසභ්‍ය දේ එනවා. එය සාමාන්‍ය දෙයක්. ඒ වගේ ම සමහර ළමයින් මෙන් ම ගුරුවරුන්, ආචාර්යවරුන් පවා දුරකථනය භාවිත කරන්නේ අන් අයටත් බාධාවන අයුරින්. කිසිදු විනයක් චාරයක් නෑ. එවිට නීති පැනවීමේ වරදක් නැහැ. ඒවාට හිස නමන්නට පුරුදු විය යුතුයි. එසේ නැතිව අපේ පූර්ණ ශක්තිය පෞරුෂය දිය වී යන්නට හැර සිටිය යුතු නෑ.”

පාසලක පැවතිය යුතු විනය පිළිබඳ ඔහුගේ මතයට රුකුල් දෙන්නේ මනෝ වෛද්‍ය විශේෂඥ ඩී.ජේ.වී. හරිස්චන්ද්‍ර මහතායි.

“මෙවැනි සියදිවි නසා ගැනීමකදී පැති රාශියක් තිබෙනවා. යම් විනයානුකූල නීතියක් රීතියක් පිළිබඳ වැඩිහිටි ගුරුවරු ආදීන් කීවොත් එය හිස නමා පාසල් දරුවන් පිළිගත යුතුයි. විදුහල්පතිතුමියගේ වගකීම අනුව පවතින නීතියක් කඩ කිරීමට ඉඩ දීම අන් දරුවන්ටත් වැරදි ආදර්ශයක්. ඒ වගේම විදුහල්පතිවරු, ගුරුවරු අවවාද දඬුවම් ආදිය දීම නවතා දැමුවොත් දරුවන්ට කාගේ පිහිටක් ද? මේ නිසා විදුහල්පතිනිය කළේ හරි දේ, නමුත්
ශෛලාදපී කඨෝරානී
මෘදුනී කුසුමාදතී”
කියා තිබෙනවා.

ඒ කියන්නේ ගලක් මෙන් රළු විය යුතු තැන් ද මලක් මෙන් මෘදු විය යුතු අවස්ථා තිබෙනවා.
විශේෂයෙන් නව යෞවනියකට විශාල ලෙස දඬුවම් කිරීම සුදුසු නෑ. එය ආදරයෙන් කළ යුතුයි.”

වර්තමානයේ දරුවන්ට ආදරයෙන් දඬුවම් කළ යුත්තේ ඇයිද යන්න පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා විග්‍රහ කරන්නේ මෙසේයි.
“අද බොහෝ නිවෙස්වල දරුවන් සංඛ්‍යාව අඩුයි. ඒ නිසා දරුවන් හැදෙන්නේ මල් වගේ. තරවටු නෑ, දඬුවම් නෑ. එහෙම හැදෙන ළමයින්ට විවේචන හුරු පුරුදු නෑ. විශ්වවිද්‍යාලවල පවා නවක වදයටත් විරුද්ධ වන්නේ පුරුදු නැති නිසයි. දරාගත නොහැකි නිසයි. අපේ කාලේ උසස් පෙළ පන්තිවලදී වුණත් දණ ගසාගෙන ඉන්න එක අපට ගානක් නෑ. 

මොකද ගෙදරදීත් අපට දඬුවම් ලැබුණ නිසා. නමුත් මේ සුකොමළ මට සිළුටු දූලා පුතාලා බොළඳ ප්‍රේමය ආදර්ශ කරගත් සංස්කෘතියක් වෙළෙඳ සමාජය මගින් රූපවාහිනී ආදී මාධ්‍ය මඟින් මවා තිබියදී අභ්‍යාසයක් ලෙස ප්‍රේම කරන්න පුරුදු වෙනවා. ගුරු මනස ඊට වඩා වෙනස්. ඒ වුණත් ජංගම දුරකථන භාවිතය සිදුවුණේ පාසලෙන් පිටතදී නම් ඒ පිළිබඳ ළමයාගේ දෙමව්පියන්ට නැති කැක්කුමක් ගුරුවරුන් ගන්නේ ඇයි ද කියන පැනයත් අපට නැඟෙනවා. මොකද මේ වගේ වෙලාවක ළමයාගේ පෞරුෂය වඩවන්න මිස අද කාලේ වේවැල් කෝටු නාරං සියඹලා අතු කියන ක්‍රමයට යන්න බැහැ.”

අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම් අධ්‍යාපන මනෝවිද්‍යා විශේෂඥ ආචාර්ය තිලෝක සුන්දරී කාරියවසම් මහත්මිය ද ඒ අදහසට එකඟ වන්නේ මෙසේ පවසමින්.

“ළමයකුගේ වර්ධන අවස්ථා කීපයක් තිබෙනවා. ඉන් භයානකම අවධිය කියා හඳුන්වන්නේ ඔය දැරි විය සිටි ගැටවර වියයි. මොකද හෝමෝන ක්‍රියාත්මක වන්නේ තමන්ට අවශ්‍ය අයුරින් නොවේ වර්ධනයට අනුවයි. ඒ නිසා ම කුණාටු අවදිය ලෙසත් හඳුන්වන මේ වයසේදී ලැජ්ජාශීලී බව ප්‍රබලව දැනෙනවා.
ඒ නිසා සමහරුන්ගේ චිත්ත ආවේග බුද්ධිය අභිබවා යමින් ප්‍රමතයට(ඉබපඥඵඵ) පත් වෙනවා.

මේ වැනි වයසක දරුවන්ට කතා කළ යුතු ආකාරය, දඬුවමක් දිය යුතු ආකාරය වගේ ම ඔවුන්ගේ ආකල්ප වෙනස් කළ යුතු ආකාරය ගැහැනු පිරිමි භේදයකින් තොරව මනෝ විද්‍යාත්මකව කළ යුතුයි. විශේෂයෙන් විදුහල්පතිවරු ගුරුවරු කියන්නේ දරුවන් පිළිබඳ මනාව තේරුම් ගත යුතු අය මිස අළුගෝසුවන් විය යුතු අය නොවෙයි.

විශේෂයෙන් දරුවන්ට ප්‍රසිද්ධියේ කෑගසා බැණීම වැරදියි. අභ්‍යන්තරික වෙනස්වීම් අනුව ප්‍රේම සම්බන්ධතාවක් වැනි දෙයක් ඇති කරගත්තා වුණත් ළමයා සිතන්නේ කෙසේද, මනස ක්‍රියා කරන්නේ කෙසේද යන්න ගැන අවබෝධයෙන් හා ඒ දරුවාගේ අතීත අත්දැකීම්, ජංගම දුරකථන වැනි සාරවත් ප්‍රබෝධයක් එයට බලපාන්නේ කෙසේද? 

පෙර හැසිරීම යහපත් රටාවකින් පැවතුණ ද, සංවරශීලීව සිටි ළමයකු ද? ඉගෙන ගැනීම කෙසේද? ආදි ගුරුවරුන්ට පුහුණුවීම්වලදී ලබාදෙන මූලධර්මයන් පිළිබඳ අවබෝධයෙන් පොදුවේ ළමයා වැරදි ගණනාවක් කර නැති අයකු නම් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය ළමයා බව මතක තබාගෙන ඔහුගේ හෝ ඇයගේ අභිවෘද්ධිය සලකා වැඩ කළ යුතුයි. මේ සිදුවීමේ දී මට දැනෙන්නේ ළමයාටත් පෙර චිත්ත ආවේග ඇති වී ඇත්තේ විදුහල්පතිනියට කියායි.”

එවැනි චිත්ත ආවේගයක් නිවැරදිව හැසිරවූ විදුහල්පතිවරයකු පිළිබඳ අත්තනායක එම්. හේරත් මහතා මෙසේ පැවසුවා.

“අද කාලේ පාසල්වල උපදේශනය සඳහා සිටින ගුරුවරුන්ට වෙනම පුහුණුවක් ලබාදිය යුතුයි. ඒ ළමයින්ගේ රහස් පතුරුවන්නේ නැතිව රැකගෙන සිටීම පුහුණු කරන්න. ඉතා දැඩි විනයක් ඒ අය අතරත් ඇති කළ යුතුයි. ගුරුවරයකුට ළමයකුගේ ඉරණම වෙනස් කළ හැකි ආකාරය ගැන ප්‍රායෝගික කතාවක් කියන්නම්. මහනුවර විද්‍යාලයක විදුහල්පතිවරයකු ගන්නෝරුව රණබිම පාසලේ විදුහල්පති. පත්වීම ලැබූ දා ප්‍රධාන දේශනාව පැවරුණේ මට. 

ඒ වෙලාවේ මහාමායා බාලිකා විදුහලේ දුවක් බලෙන් ම වේදිකාවට නැඟ ඒ විදුහල්පති ගැන කතාවක් පවත්වා කීවා “මේ ගුරු අප්පච්චිට මා ලියූ ලියුමක් හසු වුණා. ඒ ලියුම කුණු කූඩෙට දාලා මට හොඳින් ඉගෙන ගන්න දුව කියා විතරක් කීවා. එදා මට කිසිම දඬුවමක් කළේ නෑ. නමුත් මම ඒ ප්‍රේම සම්බන්ධය නතර කර විභාගය ඉහළින් ම සමත් වී අද වෛද්‍ය විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙන ගන්නවා. මම කවදාහරි වෛද්‍යවරියක් වෙලා ගුරු අප්පච්චිට බැරි කාලෙක බෙහෙත් කරනවා” කියලා.

ඒ නිසා ගුරු භූමිකාවට අලුතින් පාඨමාලා එක්කළ යුතුයි, දඩබ්බර පිරිමි, ගැහැනු දරුවන් පරිපාලනය කරන්නේ කෙසේද කියා. දුරකථන භාවිතය විනය විරෝධී වුණත් එය භාවිත නොකිරීම අද තාක්ෂණ විරෝධී ක්‍රියාවක්. 

ඒ නිසා මේ පරම්පරා වෙනස හඳුනාගත යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැරදි කරුවන් සෙවීමට කොමිසමක් පත් කළා සේ මෙවැනි වැරදි සොයා බැලීමට කොමිසමක් පත් කළ යුතුයි. අප කම්පනයට පත්විය යුත්තේ මේ දරුවන්ගේ ජීවිත ගැනයි.”
ඒ පිළිබඳ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා ද මෙවැනි අදහසක් දැක්වූවා.

“ලෝකේ වෙනස් වෙද්දී අපට එකතැන ඉන්න බැහැ. මේ වැනි සියදිවි නසා ගැනීම්වලට වැඩිහිටි ලෝකය වගකිව යුතුයි. අනෙක හැම රජයක් ම පහසුවෙන් ම දිය හැකි රැකියාව ලෙස ගුරු වෘත්තිය සලකනවා. නමුත් ගුරු සේවය තමයි ඉතාම අපහසු සේවය. එයට දක්ෂ, කැමති, පුහුණු අය යොදා ගත යුතුයි. උපාධිධාරීන් පමණක් ගුරු වෘත්තියට යෙදීම නිවැරදි නැහැ. උපාධිය නොමැතිව හෝ අනෙක් අදාළ සුදුසුකම් සහිත අය ගුරු වෘත්තියට ලැදි අය ඒ සඳහා බඳවා ගත යුතුයි. අද අපේ රටේ වුවත් නිර්මාණශීලී ප්‍රඥාවන්ත ගුරුවරුන් රාශියක් සිටිනවා. ඒ අතර සහතික ලබා ගැනීම සඳහා පුහුණුව ලද අයත් කීප දෙනකු සිටිනවා.

අපේ රටේ විශාල ම ගැටලුව කෙනකුගේ ආත්මය විනාශ වන පරිදි කතා කිරීමයි. ඇතුළාන්තයේ ඇති ප්‍රශ්නය සොයා බලා පෞද්ගලිකව උපදෙස් දීමයි ඉතා වටින්නේ. අද දේශපාලන වේදිකාවල මාධ්‍ය සාකච්ඡාවල වගේ ම ශිෂ්‍ය නායකයින් ද පුරුදු වී තිබෙන්නේ අනුන් තලා පෙළා කතා කිරීමටයි. එය ශිෂ්ට සමාජයකට ඔබින්නේ නැහැ.

අනෙක සමාජයේ කාමුකත්වය, ප්‍රචණ්ඩත්වය අපට මෙන් ම මුහුකුරා නොගිය අපරිනත දරුවකුට දරාගන්න බැරි වී තිබෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇතැම් විෂයයන් වන සෞන්දර්යය, සාහිත්‍යය, ක්‍රීඩා ආදිය සියලු ළමයින්ගේ ජීවිතවලට කිඳා බැස නැහැ. එවැනි විෂයයන් නැතිව දරුවකුගේ අධ්‍යාපනය, ජීවන අත්දැකීම් සම්පූර්ණ වන්නේ නැහැ. 

ලිංගික අධ්‍යාපනය නොමැතිවීමත් අපට ලොකු පාඩුවක්. වෙන රටවල එය හය, හත පන්ති වලදීම ලබා දෙනවා. ශරීරය, හැඟීම්, ආරක්ෂාවීම පිළිබඳ ඉන් අවබෝධයක් ලැබෙනවා. අනෙක නිර්දේශ පත්‍රවලට අනුව දරාගත නොහැකි පාඩම් කන්දක් විභාග කේන්ද්‍රියවම උගන්වනවා හැර විචාරශීලී, විමර්ශනශීලී, නිර්මාණශීලී ලෙස සිතන්න ජීවත්වීමේ කලාව, ශිල්පය විෂයයන් තුළම උගන්වන්න ඒ ඔස්සේ වංචනිකයන්ගෙන් කපටින්ගෙන් ගැලවෙන්න ප්‍රශ්නයක් දරා ගන්න පෞරුෂය දරුවන්ට කියා දෙන්නේ නෑ. මෙය අධ්‍යාපන සංස්කෘතියේ විශාල ගැටලුවක්. කොහොම වුණත් අපට මේ දරුවාගේ ජීවිතය ගැන කනගාටුයි.

ශිෂ්‍යාවගේ මෙලොව ජීවිතය ගැන මෙන් ම පරලොව ජීවිතය ගැන ද කනගාටුවන ඩී.ජේ.වී. හරිස්චන්ද්‍ර මහතා මෙවැනි අදහසක් දැක්වූවා.

“ශිෂ්‍යාවගේ පැත්තෙන් බලද්දී තමන්ට ඇති වූ ප්‍රශ්නයකට උරණ වෙලා මේ තීරණය ගත්තේ ඇයට ජීවිත දර්ශනයක් මනුෂ්‍ය ජීවිතය පිළිබඳ වටිනාකමක් නැති නිසයි. 

චිත්ත වේග තියුණු වූ පමණින් කටයුතු නොකර මව්පිය වැඩිහිටි අය සමඟ හෝ වෛද්‍යවරයකුගේ උපදෙස් හෝ සුමිත්‍රයෝ වැනි ආයතනයක් සමඟ හෝ කතා කිරීමට ඇයට අවස්ථාව තිබුණා. 

ප්‍රශ්නයක් නිරාකරණය කර ගැනීම වෙනුවට එයින් පලා යෑම නිවට කමක්. මොකද ජීවිතයේ මීට වඩා ප්‍රශ්න පැන නඟින ඒවාට මුහුණ දෙන අය ඉන්නවා. ඇයගේ නොමේරූකමයි මින් ප්‍රදර්ශනය වන්නේ.

ඒ වගේ ම සියදිවි නසා ගැනීම සෑම ආගමකමත් අනුවම පවක්. කර්මය, විපාක, පුනර්භවය, අටලෝදහම ගැන යම් හෝ දැනීමක් ඇත්නම් අම්මට තාත්තට යහළු මිත්‍රාදීන්ට දුකක් දී ගුරුවරුන්ට නින්දා කර මෙසේ කටයුතු කිරීමත් පවක් බව තේරුම් ගත යුතුයි. මෙවැනි අයගේ චුත ප්‍රතිසන්ධිය ලබන්නේ ඉතාම නරක විදිහට. මොකද මෙවැනි තීරණයක් ගන්නේ ද්වේශය හා මෝහය නිසයි. මේ භවයේ ප්‍රශ්නවලින් එසේ පැන යනවිට ඊළඟ භවයේ ඊට වඩා ප්‍රශ්න එන නිසා ප්‍රපාතයටම වැටෙනවාට වඩා මේ භවයේදීම ඒවා දරාගැනීම සුබයි.

අනෙක ජංගම දුරකථනය, පිරිගණනය, ‘බක - මුහුණු පොත’ නිසා තම යෞවනයන් මෙන් ම වැඩිහිටියන් අමාරුවේ වැටුණු අවස්ථා, පවුල් කඩාකප්පල් කරගත් අවස්ථා ඕන තරම් ගෙන දක්වන්න පුළුවන. 

ඇතැම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේවායින් ලබන පහත් රසය නිසා ප්‍රබල මානසික කම්පනයට පත්වූ අවස්ථා අප දැක තිබෙනවා. මේ වයසේදී හොඳට පාඩම් කරන කෙනකුට මෙවැනි කාමුක හැඟීම් ඇති වනවා අඩුයි. සිග්මන් ෆ්‍රොයිඩ් කියන්නේ උත්කර්ශනය ලෙස යටි සිතේ කාමුක හැඟීම් පිට කිරීමට ක්‍රීඩාව, කලාව අධ්‍යාපනය හා ධර්මයෙහි හැසිරීම උපකාර වන බවයි. 

තාක්ෂණය නැතිව බැරි යුගයක අප ජීවත්වනවා නම් සාරධර්ම ද එලෙසම දියුණු කළ යුතුයි. දියුණු තාක්ෂණයෙන් ගැටලුවක් ඇතිවන්නේ නැහැ. අද බොහෝ අයට සාරධර්ම පිළිබඳ හැඟීමක් නැහැ. ඒ වගේ ම මෙවැනි දේ ප්‍රචාරයේදී සිය දිවි නසාගත් අය වීරයකු කළ යුතු නැහැ. සමහර නොමේරූ මනස්වලට අනුකාරක සියදිවි හානි කරගැනීම් ඇති වන්න ප්‍රචාරක මාධ්‍ය ප්‍රබල සාධකයක් වනවා.”

මෙවැනි ප්‍රවෘත්ති ප්‍රචාරයේදී මාධ්‍යවල වගකීම ගැන ඔහුගේ අදහස ගැන අප විමසුවේ ශ්‍රී ලංකා ජාතික රූපවාහිනියේ සභාපති මොහාන් සමරනායක මහතාගෙන්.

“අප ජීවත්වන සමාජයේ සන්නිවේදන මෙවලම් ව්‍යාප්තිය නිසා තොරතුරු වසන් කරන්න බැහැ. නමුත් පුවත් විකෘති ලෙස සමාජගත වීමෙන් වඩා විශාල අනර්ථයක් වන්න පුළුවන්. විපත්, මානව ඛේදවාචක ආදිය ජනමාධ්‍යවලින් ප්‍රචාරය කිරීම වරදක් නොවෙයි. එහෙත් දැඩි තරගය නිසා මාධ්‍ය පෙළඹී තිබෙනවා පවුල් ආරවුල්, ස්ත්‍රී දූෂණ ආදිය වෙළෙඳ භාණ්ඩ බවට පත් කරගන්න. මෙය බාල උපක්‍රමයක් ඇතැම් නාළිකාවල ඒවා සතුටින් ප්‍රකාශ කිරීම ජීවිතවල වටිනාකම පිළිබඳ ගෞරවය හෑල්ලු කිරීමක්. පිටරටවල මුහුණු පොතෙන් ගැටවරයින් පොලඹවා සිය දිවි නසා ගැනීම විලාසිතාවක් වෙලා. ජනමාධ්‍ය තම සාක්කු පුරවා ගන්න මිනිසුන්ගේ දුක අළෙවි කිරීම පහත් ක්‍රියාවක්. ඒවාට අනර්ථකාරී ප්‍රචාරයක් ලැබීමත් ගැටවර වියේ සිත් ව්‍යාකූල කරන්නට හේතුවනවා.

කෙසේ වුවත් මෙවැනි ප්‍රවෘත්ති වසන් කිරීමෙන් පළක් නෑ. අනවශ්‍ය ප්‍රචාරය හා පෙලඹවීම වැළැක්වීමේ ක්‍රම දෙකක් මා දකිනවා. එකක් මාධ්‍ය හා මාධ්‍යකරුවන් ස්වයං නියාමනයක් ඇති කරගැනීම. එසේ නොමැති නම් ආයතනික නියාමනයක් ඒ කියන්නේ ආගමික, අධ්‍යාපනික ආදී වූ ආයතනවලින් හඳුන්වා දිය යුතුයි. මා නම් වැඩිපුර කැමැත්ත දක්වන්නේ මාධ්‍යකරුවන් විසින් ම ඇති කර ගන්නා ස්වයං නියාමනයකටයි.”

පුවත්පතක් ලෙස අපට කළ හැක්කේ අදහස් ඉදිරිපත් කිරීම පමණි. ඒවා ක්‍රියාත්මක කළ යුත්තේ ඔබය. මඟ හොඳට තිබේ නම් යන්න දෑසත් පෙනේ නම් කිම බැදිවල යන්නේ?
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all