Photobucket

Tuesday, September 22, 2015

යාල ජාතික උද්‍යානයේ සංචාරක සේවා විධිමත් කෙරේ


යාල ජාතික වනෝද්‍යානයේ වන සතුන්ගේ සංරක්‍ෂණ තත්ත්වය ඉහළ නැංවීම හා සංචාරක පහසුකම් ක්‍රමවත් කිරීමේ අරමුණෙන් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සංචාරක සේවා කළමනාකරණ සැලැස්‌මක්‌ ක්‍රියාවට නැංවීමට කටයුතු කර ඇත. එම සැලසුම වාර්තාවක්‌ ලෙස සකස්‌ කර ඇති අතර සියලු පාර්ශ්වයන්ගේ දැනගැනීම පිණිස එකී වාර්තාව වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව මාධ්‍ය වෙතද නිකුත් කර තිබේ. පහත දැක්‌වෙන්නේ එම වාර්තාවේ සඳහන් කරුණුය.

රුහුණු (යාල) ජාතික උද්‍යානයේ සංචාරක සේවා කළමනාකරණ කටයුතු විධිමත් කිරීම වර්ෂ 1900 දී වනජීවී රක්‌ෂිතයක්‌ බවට පත් වූ යාල වනසත්ව හා වෘක්‌ෂලතා ආරක්‍ෂක ආඥපනත යටතේ 1938 වසරේදී රුහුණු ජාතික උද්‍යානය ලෙස ප්‍රකාශයට පත් වූයේ යාල රක්‌ෂිතය ආශ්‍රිතව සිදු කෙරෙන වනජීවී සංරක්‍ෂණ සහ සංචාරක කටයුතු වඩාත් විධිමත් කිරීමේ අරමුණ ඇතිවය. මේ වන විට දේශීය හා විදේශීය සංචාරකයින් අතර අතිශය ජනප්‍රිය වනජීවී රක්‌ෂිතයක්‌ බවට යාල පත්වී ඇත.

පවතින සාමකාමී වාතාවරණය තුළ මෑත කාලයේ රුහුණු ජාතික උද්‍යානය වෙත පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ප්‍රමාණාත්මකව සිදුවූ සීඝ්‍ර වර්ධනයට සමගාමීව, උද්‍යානයේ ස්‌වභාවික පරිසරය හා වනජීවීන්ගේ පැවැත්ම කෙරෙහි සංචාරක ක්‍රියාකාරකම්වල බලපෑමද ඉහළ යාමක්‌ නිරීක්‍ෂණය කරන ලදී. ඒ අනුව එම බලපෑම අවම කර ගැනීමේ පරමාර්ථය ඇතිව උග්‍ර නියං සමය තුළදී උද්‍යානය මාසයක කාලයක්‌ වසා තැබීම උද්‍යානය තුළ දුරකථන භාවිතය සීමා කිරීම සඳහා දුරකථන සංඥ කුලුණ අක්‍රීය කිරීම වැනි ක්‍රමවේදයන් භාවිතා කිරීම සිදුවිය.

වනජීවී සංරක්‍ෂණය සම්බන්ධයෙන් ඉකුත්ව ගිය දිනයන් තුළදී වැඩි වශයෙන් කථා බහට ලක්‌ වූ යාල ජාතික උද්‍යානයේ අංක 01 කොටස තුළදී වාහනයක ගැටී මිය ගිය කොටියා (2015.08.28 වන දින) පිළිබඳව වන මූලික පරීක්‍ෂණ කටයුතු වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන අතර එම සිදුවීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කර ඇත.

වන ජීවීන්ගේ ස්‌වභාවික පැවැත්ම කෙරෙහි සංචාරක ක්‍රියාකාරකම්වල බලපෑම තවදුරටත් සීමා කර ගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයක්‌ හඳුනා ගැනීමටත්, හඳුනාගන්නා ලද රුහුණු ජාතික උද්‍යානයේ සංචාරක කර්මාන්තය ආශ්‍රිත ගැටලු හා එම ගැටලු කළමනාකරණය කර ගැනීමට යෝජිත කළමනාකරණ ක්‍රමවේදයක්‌ සකස්‌ කිරීමටත් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

යාල ජාතික උද්‍යානය නැරැඹීම සඳහා පැමිණෙන සංචාරකයන්ගේ සීඝ්‍ර වර්ධනය හමුවේ මෙම වනජීවී රක්‌ෂිතය කළමනාකරණයේදී වනජීවී නිලධාරීන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු, සංචාරකයන් රැගෙන පැමිණෙන ජීප් රථ රියදුරන් විසින් සිදු කරනු ලබන වැරදි වළක්‌වා ගැනීමට සහ සංචාරක කණ්‌ඩායම සමග ගමන් ගන්නා මාර්ගෝපදේශකයන් දැනුවත් කිරීම සඳහා උපදෙස්‌වලින්ද සමන්විතව ක්‍රියාත්මක කළ යුතු උද්‍යාන නීති ලැයිස්‌තුවක්‌ සම්පාදනය කිරීමට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ අනුව පියවර ගෙන ඇත.

* රුහුණු ජාතික උද්‍යානය තුළ සංචාරක කටයුතු වැඩිදුරටත් විධිමත් කිරීම

(1) ජීප් රථ රියදුරන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා උද්‍යාන නීති රීති පිළිබඳව අවධානය යොමු කිරීම.

(2) වාහන කිහිපයකට හෝ එක්‌ මාර්ගෝපදේශකවරයෙකු ලබා දිය හැකි වන පරිදි මාර්ගෝපදේශකයන් සංඛ්‍යාව වැඩි කිරීම.

(3) කිරින්ද සිට පලටුපාන දක්‌වා මාර්ගය කාපට්‌ අතුරා වැඩිදියුණු කිරීමෙන් පසු නිතර සිදුවන වන සතුන් වාහනවල ගැටී මිය යාම පාලනය කර ගැනීමට වේග බාධක ඇති කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දීම හා වේග සීමා පනවා රථවාහන පොලිස්‌ නිලධාරීන් යෙදවීමට පොලිස්‌ දෙපාර්තමේන්තුවට දැන්වීම, එමෙන්ම මෙම මාර්ගයේ පොලිස්‌ මුර සංචාර වාර ගණන වැඩිකිරීම.

(4) උද්‍යානයේ නීතිරීති පිළිබඳව දැන්වීම් පුවරු යොදා සංචාරකයන්, ජීප් රථ රියදුරන් මාර්ගෝපදේශකයන් හා අනෙකුත් අදාළ පාර්ශ්වයන් දැනුවත් කිරීම.

(5) උද්‍යානය තුළ සෑම මාර්ගයකම මීටර් 300 ක පරතරයෙන් යුතුව වේග බාධක යෙදීම හා වංගුවකදී දුරසීමාව නොසලකා වේග බාධක යෙදීම.

(6) සෑම රියදුරෙකු වෙතම වලංගු රියදුරු බලපත්‍රයක්‌ තිබිය යුතුවන අතර වාහනය පහත දැක්‌වෙන අවශ්‍යතා සපුරා නිසි ධාවන තත්ත්වයේ පැවතිය යුතුය. (ලියාපදිංචි ජීප් රථ රියදුරන්ද ඇතුළුව)

I. නිසි ලියාපදිංචිය, වලංගු වාර්ෂික බලපත්‍රය හා රක්‌ෂණ ආවරණය ලබා තිබීම.

II. ධාවනයේදී අධික ශබ්දයක්‌ ඇති නොවන පරිදි එංජිම හා බඳ යහපත් තත්ත්වයෙන් පැවතිය යුතුය.

III. වාහනවලින් ඉන්ධන දහනයේදී පිටවන දුම මධ්‍යම පරිසර අධිකාරිය විසින් නියම කරන ලද ප්‍රමිතියට වඩා ඉහළ මට්‌ටමක විය යුතුය.

IV. වාහනයේ වහළය සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබිය යුතු අතර අනවශ්‍ය විදුලි පහන් හෝ අධි ආලෝක උපකරණ ආදිය සවි කර නොතිබිය යුතුය.

V. නොගෙවුණු ටයර් සහ අමතර රෝදයක්‌ තිබිය යුතු=ය. වාහනයේ රෝද හතරම එකවර බල ගැන්විය හැකි (4 ඌ) වනසේ සමන්විත විය යුතු අතරම වාහනයේ අළුත්වැඩියා උපකරණද රැගෙන යා යුතුය.

VI. උද්‍යානයට පැමිණෙන සංචාරකයන් සඳහා පනවා ඇති උද්‍යාන නීති ඒ ආකාරයෙන්ම පිළිපැදිය යුතුය.

VII. ස්‌වභාවික පරිසරයට ගැලපෙන තදපැහැති වර්ණයෙන් යුතු වාහන සංචාරකයින් ගෙන යාම සඳහා යොදාගත යුතු වන අතර කොටියන් වැනි විලෝපීය සතුන්ගේ රූප වාහන බඳෙහි ප්‍රදර්ශනය නොකළ යුතුය.එමෙන්ම උද්‍යානය තුළදී සංචාරකයන්ගේ හැසිරීම නිවැරදිව පවත්වා ගනිමින් ස්‌වභාවික පරිසරයට හා වනජීවීන්ට සිදුවන අනිසි බලපෑම අවම කිරීම සඳහා උද්‍යාන නීති රීති හඳුන්වා දීමටද නියමිතය. වාහන රියදුරන්ගේ හා මාර්ගෝපදේශකයන්ගේ කටයුතු විධිමත් කිරීම සඳහා ද කොන්දේසි පැනවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන අතර රුහුණු ජාතික උද්‍යානය වෙත නිරන්තරයෙන් සංචාරකයන් රැගෙන එන කුලී වාහන සුදුසු කොන්දේසි යටතේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ගැනීමටද නියමිතය.

දෛනිකව පැමිණෙන සහ සංචාරක නිවාසවල නේවාසික ලැගුම් ගන්නා සංචාරකයන් සඳහා උද්‍යාන නීති.

* උද්‍යානය තුළ සංචාරකයන් සඳහා වෙන්කර ඇති නියමිත ස්‌ථානවලදී හැර, වෙනත් ස්‌ථානවලදී වාහනයෙන් පිටතට නොබැසිය යුතුය.

* පිටතින් රැගෙන එන ආහාර කිසි විටෙක වන සතුන්ට ලබා දීම නොකළ යුතුය. උද්‍යානය තුළට මත්පැන් රැගෙන යැම හෝ මත් පැන් පානය කිරීම නොකළ යුතුය. වනසතුන්ට බාධා වන පරිදි ශබ්ද නැගීම, සංගීත භාණ්‌ඩ වාදනය, වාහන නලා ශබ්ද කිරීම හෝ වෙනත් යම් ක්‍රියාවක්‌ සිදු නොකළ යුතුය.

* පෙ. ව. 6.00 සිට පස්‌වරු 6.00 දක්‌වා කාලය තුළ හැර ඉන් බැහැරව උද්‍යානය තුළ රැඳී නොසිටිය යුතු අතර නියමිත වේලාවට උද්‍යානයෙන් පිටවීමට හැකිවන පරිදි පස්‌වරු 5.00 ට උද්‍යානය තුළ රැදී සිටින ස්‌ථානයෙන් ආපසු පැමිණීමට පිටත් විය යුතුය.

* උද්‍යානය තුළ රාජකාරියෙහි යෙදී සිටින වනජීවී නිලධාරියෙකු හෝ වෙනත් සේවකයෙකුගේ රාජකාරියට බාධාවන කිසිවක්‌ සිදු නොකළ යුතු වන අතර මාර්ගෝපදේශකවරයාගේ උපදෙස්‌ සෑම විටකම පිළිපැදිය යුතුය. මාර්ගෝපදේශකවරයාට තම රාජකාරිය නිසි පරිදි ඉටු කිරීමට හැකිවන පරිදි වාහනයේ සුදුසු ආසනයක්‌ වෙන්කර දිය යුතුය.

* උද්‍යානය තුළදී වාහන සඳහා නියමිත වේග සීමාව (පැ. කි. මී. 25) ඉක්‌මවා ධාවනය නොකළ යුතු වන අතර සාමාන්‍ය මාර්ග නීතිරීතිවලට අනුකූලව කටයුතු කළ යුතු වේ. එක්‌ පසෙකට පමණක්‌ වාහන ධාවනය කිරීමට නියමිත මාර්ගවල විරුද්ධ දෙසට වාහන ධාවනය නොකළ යුතුය. නියමිත මාර්ගවල හැර ඉන් බැහැරව වාහන ධාවනය නොකළ යුතුය.

* සංචාරකයන්ට බිමට බැසීමට අවසරදී ඇති ස්‌ථානවල නියමිත සීමාව තුළ රැඳී සිටිය යුතු වන අතර ගිනි දැල්වීම, ගස්‌වල අකුරු කෙටීම, හෝ වෙනත් යම් ස්‌වභාවික පරිසරයට හානි සිදුවන ක්‍රියාවක්‌ සිදු නොකළ යුතුය.

* ලබාගෙන ඇති උද්‍යාන පිවිසුම් බලපත්‍රයට අදාළ කොටස තුළ රැඳීසිටිය යුතුය. උද්‍යානයේ අනෙක්‌ කොටස්‌ තුළට අනවසරයෙන් ඇතුල් නොවිය යුතුය.

* කිසිදු සත්ව හෝ ශාක කොටසක්‌ හෝ ස්‌වභාවික පරිසරයෙන් ඉවත් කරගන්නා වෙනත් කිසිදු ද්‍රව්‍යයක්‌ උද්‍යානය තුළින් ඉවතට ගෙනයාමට උත්සාහ නොකළ යුතුය. අධික ශබ්දය නගන, නිසි ධාවන තත්ත්වයේ නොපවතින අබලන් වාහන කිසිවිටෙකත් උද්‍යානය තුළ සංචාරය සඳහා යොදා නොගත යුතුය.

* උද්‍යානය තුළ මාර්ගවල අනෙකුත් වාහන ගමනාගමනයට බාධාවන පරිදි වාහනය ධාවනය කිරීම හෝ නවතා තැබීම සිදු නොකළ යුතුය. උද්‍යානය තුළ වනසතුන්ගේ සංචරණයට බාධාවන පරිදි වාහන නවතා තැබීම, සතුන් ආසන්නයට වාහනය ධාවනය කිරීම හෝ වෙනත් යම් ක්‍රියාවක්‌ සිදු නොකළ යුතුය. සෑම වාහනයකම නියමිත ආසන සංඛ්‍යාව අනුව පමණක්‌ සංචාරකයන් ගමන් කළ යුතුවන අතර උද්‍යානය තුළදී කිසිවිටෙකත් ආසනයෙන් බැහැරව වහලය මත නැගීම, බඳෙයි එල්ලී සිටීම ආදිය නොකළ යුතුය.

* කණ්‌ඩායමට ඇතුලත් සෑම සංචාරකයෙකු සඳහාම අදාළ බලපත්‍ර ගාස්‌තු හා අනෙකුත් ගාස්‌තු ගෙවා බලපත්‍රය ලබාගෙන උද්‍යානය තුළ රැදී සිටින කාලය තුළ බලපත්‍ර කොන්දේසි හා උද්‍යාන නීතිරීති වලට අනුකූලව කටයුතු කළ යුතුය. වනසත්ව හා වෘක්‌ෂලතා ආරක්‍ෂක ආඥ පනතේ නීතිමය ප්‍රතිපාදන උල්ලංඝනය වන වෙනත් කිසිදු ක්‍රියාවක්‌ උද්‍යානය තුළදී සිදු නොකළ යුතුය.

යාල ජාතික උද්‍යානය තුළ සංචාරක කටයුතු නිසි පරිදි කළමනාකරණය කර ගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත උද්‍යාන නීති මාලාවට අමතරව සංචාරකයන්ගේ පහසුව සඳහා සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීම යටතේ පලටුපාන ප්‍රවේශපත් නිකුතුව කාර්යක්‍ෂම කිරීම, සංචාරකයන් සඳහා විවේකීව ආහාරපානාදිය ලබා ගත හැකි ආපනශාලා පහසුකම් පානීය ජල පහසුකම් වැසිකිලි පහසුකම් වැඩි දියුණු කිරීම, වනජීවී තොරතුරු මධ්‍යස්‌ථානය වැඩි දියුණු කිරීම වනජීවී ග්‍රන්ථ, ප්‍රකාශන, විස්‌තර පත්‍රිකා, අත්කම් නිර්මාණයන් මිලදී ගැනීමට පහසුකම් සලසා දීම ආදී වූ සංවර්ධන ක්‍රියාවලින් රාශියක්‌ම යාල ආශ්‍රිතව සිදු කිරීමට නියමිතව ඇත. එසේම පනවා ඇති නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන සංචාරකයන් සහ ජීප් රථ රියදුරන්ට එදිරිව වනසත්ව හා වෘක්‌ෂලතා ආරක්‍ෂක ආඥ පනත යටතේ නිසි ක්‍රියා මාර්ගයන් ගැනීමට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ගයන් ගන්නා බවද වැඩිදුරටත් දන්වා සිටිමි.

එච්. ඩී. රත්නායක
අධ්‍යක්‍ෂ ජනරාල්
වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all