Photobucket

Tuesday, September 22, 2015

විපක්ෂයේ වාඩිවන ශ්‍රීලනිපයේ මන්ත්‍රීන් කවුද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාව සම්බන්ධයෙන් මතුවන සාකච්ඡා මෙරට දේශපාලන කරළියේ පමණක් නොව විදේශීයවද දැඩි අවධානයකට ලක්ව තිබේ. මානව හිමිකම් කවුන්සිලයේ කටයුතු සම්බන්ධයෙන් කටයුතු කිරීමට විදේශ කටයුතු ඇමැති මංගල සමරවීරත් අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ඇතුළු තවත් නිලධාරීහු කිහිප දෙනෙක්ද ජිනීවා බලා ගොස් සිටිති. මෙවර නියෝජිත කණ්ඩායම නියෝජිතයින් සීමිත සංඛ්‍යාවකට සීමා කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ කල් ඇතිවම උපදෙස් දී තිබුණේය.

රනිල්ගේ අදහස වී තිබුණේ වැඩි පිරිසක් යැවීම මගින් පරස්පර අදහස් මතුවී ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවය. මානව හිමිකම් කවුන්සිලය සිය වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත එවා තිබුණි. ඒ මානව හිමිකම් කවුන්සිලයේදී ඉදිරිපත් වන වාර්තාවට පිළිතුරු ලබාදීමට අවශ්‍ය පහසුකම් සැපයීම ලෙසිනි. මෙවර මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වූ වාර්තාව මගින් යුද ගැටුම් පැවති සමයේදී සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට දෙමුහුන් උසාවියක් පත් කළ යුතු බවට යෝජනා කර තිබුණේය. 

මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ වාර්තාවේ සඳහන් වූ යෝජනා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයද ප්‍රසාදය පළකර තිබුණේය. යුද ගැටුම්වලට මැදිවූ ජනතාවට යුක්තිය ඉටු කළ හැක්කේ මෙවැනි කොමිසමක් මගින් බව දෙමළ ජාතික සන්ධානයේ අදහස වී තිබේ.

පසුගිය සතියේදී පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු විය. මානව හිමිකම් කවුන්සිලයේ තොරතුරු කැබිනට් මණ්ඩලයට වාර්තා කළේ විදේශ කටයුතු ඇමැති මංගල සමරවීරය.
“ඇමරිකා එක්සත් ජනපදයෙන් අපිට පක්ෂපාතී යෝජනාවක් 24 වැනිදා ගේනවා. ඒක අපිට වාසිදායක යෝජනාවක්. ඒ යෝජනාවෙන් මානව හිමිකම් ගැන පරීක්ෂණ පවත්වන්න වසර දෙකක කාලයක් ලංකාවට දෙනවා. එතකොට ජාත්‍යන්තරය බැලන්ස් වෙනවා” මංගල පැහැදිලි කළේය.

“මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වෙලා තිබෙන වාර්තාවෙන් ලංකාවට කිසිම බලපෑමක් නෑ. මේ වාර්තාවේ කාගේවත් නම් ඇතුළත් කරලා නෑ”රනිල් පැහැදිලි කළේය.

“ජාත්‍යන්තරයේ මතය දැන් වෙනස් වෙලා. ඒකට ප්‍රධානම හේතුව තමයි ඔබතුමා ජනාධිපතිධුරයට පැමිණීම. ගිය ජනාධිපතිවරණයෙන් පස්සේ ජාත්‍යන්තරය තමන්ගේ මතය වෙනස් කරගෙන තිබෙනවා” ඇමැති මහින්ද සමරසිංහද ජිනීවා වාර්තා ගැන පැහැදිලි කිරීමක් කළේය.

කැබිනට් රහස් ගැන ප්‍රතිඥාවක්

මේ සතියේ පැවැත්වුණේ නව ආණ්ඩුවේ දෙවැනි කැබිනට් මණ්ඩල රැස්වීමයි. කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවන කරුණු ප්‍රසිද්ධියේ සාකච්ඡා නොකළ යුතු බව මෛත්‍රීගේ අදහස වී තිබේ. මේ නිසා කැබිනට් මණ්ඩලයේ රහස්‍යභාවය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය පියවර ගත යුතු බව ඔහු තමන්ගේ හිතවතුන් සමග සාකච්ඡා කර තිබුණේය. 

“කැබිනට් මණ්ඩලයේදී අපි සාකච්ඡා කරන කරුණු විවෘතව සාකච්ඡා කරන්න ඕන. ඒක කැබිනට් හමුවේ රහස්‍යභාවය තියෙන්න ඕනෑ. ඒ නිසා කැබිනට් හමුවේ කතා කරන දේවල් මාධ්‍යයට දෙන්න එපා. ලෝකයේ හොඳ රටවල්වල කැබිනට් හමුවේ කතා කරන දේවල් එළියට යන්නේ නැහැ. එළියට දෙන්නෙත් නැහැ. ඕනෑ දෙයක් මෙතන විවේචනය කරන්න ඇමැතිවරුන්ට අයිතියක් තියෙනවා. අපි සාමූහිකව මේ සම්ප්‍රදාය දිගටම ගෙන යමු” මෛත්‍රී යෝජනා කළේය.

“කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවන කරුණු එළිපිට සාකච්ඡා කරන්න ගියොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා කැබිනට් මණ්ඩලයේ කතා කරන දේවල් රහසක් විදියට තියාගන්න හැමෝම වගබලාගන්න ඕන”රනිල්ද මෛත්‍රීගේ ස්ථාවරය අනුමත කළේය.

“කැබ්නට් මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කරනවා කියලා හැමෝම ප්‍රතිඥාවකට අත්සන් තියමු”මෛත්‍රී යෝජනා කළ විට සියල්ලෝම එයට අනුමැතිය දෙමින් එයට අත්සන් කළහ.

ආණ්ඩුව ඇතුළේ සිටින ගෝලයෝ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතියේදී හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙක් සමග සාකච්ඡා කර තිබුණේය. ඒ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව ගැන අවධානය යොමු කිරීමටය. ඒ ගැන කැබිනට් මණ්ඩලයේද කතාබහට ලක්විය. 
“මේ අය කරපු සාකච්ඡාව ගැන මට ආරංචියක් ආවා. මේ නිසා මම හමුදා නායකයන් සමග කතා කළා. ජිනීවා මානව හිමිකම් වාර්තාව ගැන කියමින් ඔවුන් හමුදා නායකයන් සමග කතා කර තිබෙනවා” මෛත්‍රී පැහැදිලි කළේය.

ආණ්ඩුවේ නිලධාරීන් ගැන කැබිනට් මණ්ඩලයේ සිටි ඇමැතිවරුන්ගෙන් වැඩි ප්‍රසාදයක් තිබුණේ නැත. ආණ්ඩුවේ නිලධාරීන් දිගින් දිගටම විවේචනය කරන්න ගත්තේ මුදල් ඇමැති රවි කරුණානායකයි.
“මට විරුද්ධව තිබිච්ච නඩුවේදී නීතිපතිවරයා ඒ චෝදනා වැරදියි කියලාවත් කිව්වේ නැහැ. නමුත් කේ. පී. සහ ඇවන්ඩ් ගාඩ් සිද්ධියේදී නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය ප්‍රශ්න සහගතයි. ඔවුන්ට නඩු දාන්න බැහැ කියලා නීතිපතිම කියලා තිබෙනවානේ” ඔහු පැවසීය. 

“ආණ්ඩුවේ නිලධාරින්ගෙන් සමහරු පසුගිය ආණ්ඩුව කාලයේ පත් කරපු අයමයි. ඒ අය හිටපු පාලකයින්ට ඕන විදියට වැඩ කරනවා. ඒත් යහ පාලනයට අවශ්‍ය විදියට ඔවුන් වැඩ කරන්නේ නෑ” ඇමැතිවරු චෝදනා කළහ.

මේ අතර ජාතික ආණ්ඩුව විවේචනය කළ මන්ත්‍රීවරු ගැනත් පසුගිය සතියේදී අවධානය යොමුව තිබුණි. එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා හා බස්නාහිර පළාත් විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල ජාතික ආණ්ඩුව විවේචනය කරමින් මාධ්‍යයට කළ ප්‍රකාශ ගැන මෛත්‍රී කතා කළේ ඔවුන් සම්බන්ධයෙන් පියවර ගත යුතු බව අගවමිනි.
“මම ඔය කතා කියපු අයට අවවාද කළා. ඔවුන් සම්බන්ධයෙන් ඉදිරියේදී පියවරක් ගන්නවා” රනිල් කීවේය.
“ශ්‍රීලනිපයේ අය කියන්නේ හොඳ ඇමැතිකම් යූ.එන්.පී. එක ගත්තා” කියලා. යූ.එන්.පී. එකේ අය කියන්නේ හොඳ ඇමතිකම් ශ්‍රීලනිපය ගත්තා කියලා. කොහොම වුණත් ජාතික ආණ්ඩුව විවේචනය නොකරන්න අපේ අය තදින් ඉන්න ඕනෑ.” යැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රිලනිපයේ පිරිසක් විපක්ෂයට
මේ අතරේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගිය සඳුදා ලිපියක් ලැබිණි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් ව විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් වන මන්ත්‍රීවරුන්ගෙනි. මන්ත්‍රීවරුන්ගේ නම් සහිතව ලියා තිබූ එම ලිපියේ ඔවුන් විපක්ෂයේ අසුන් ගැනීමට කැමැති බව දන්වා තිබිණි.
ජනාධිපතිවරයා එම මන්ත්‍රී කණ්ඩායමට තමන් හමුවීමට පැමිණෙන්නැයි අඟහරුවාදා සවස 5.00 ට වේලාව වෙන් කර තිබුණේ ඉන් අනතුරුවය. ඒ අනුව විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් වන ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම අඟහරුවාදා දහවල් කොළඹ, කුරුඳුවත්තේ පිහිටි මන්ත්‍රීවරයකුගේ නිවසේදී හමුවූහ. ඒ ජනාධිපතිවරයා හමුවීමට පෙර ඔහු සමග කතාබහ කරන්නේ කුමන කාරණාද යන්න ගැන සාකච්ඡා කිරීම සඳහාය. 

ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, මහින්දානන්ද අලුත්ගමගේ, රංජිත් ද සොයිසා, පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණතුංග, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර ඇතුළු මන්ත්‍රීවරු ඊට එක්ව සිටියහ. 

විපක්ෂයට ගියොත් ආසන සංවිධායක ධුරය අහෝසි වෙනවා යැයි කියන කතාව ගැන මන්ත්‍රීවරු පළමුවෙන්ම කතා කළහ.

“මම නම් විපක්ෂයේ ඉන්නවා. මට සංවිධායකම නැති වුණත් කමක් නෑ.” යැයි ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා කීවේය. 

“ඔව්. මේ ගැන අපි හැමෝගෙම එකඟතාවක් තියෙන්න ඕනෑ. අපිට ජනාධිපතිතුමා එක්ක ඒ ගැන කතා කරන්න පුළුවන්.” මහින්දානන්ද අලුත්ගමගේ  කියා සිටියේය. 

මෙම කතාබහ පැය දෙක තුනක් ඇදී ගිය අතර ජනාධිපතිවරයා හමුවීමට ඔවුන් ජනාධිපති නිල නිවසට ගියේ ඉන් අනතුරුවය.  ජනාධිපති නිල නිවසට යන මන්ත්‍රීවරු වෙනදා සිය වාහනයෙන්ම නිල නිවස ඇතුළටම ගියද එදින ආරක්ෂකයින් ඔවුන් කල් තබාම ගේට්ටුව ළඟ නවතා පයින් යෑමට සැලැස්විය. මන්ත්‍රීවරු සාකච්ඡාවට ගියේ ඒ ගැනද කතා කරමිනි. 

මෙම සාකච්ඡාවට මන්ත්‍රීවරු 24 දෙනෙක් පැමිණ සිටියහ. සවස 5.30ට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාකච්ඡා මේසයට පැමිණියේය. 

“මේ සාකච්ඡාවේ තොරතුරු මාධ්‍යයට යනවා. කරුණාකරලා මාධ්‍යයට මේ තොරතුරු දෙන්න එපා. අපි ඉතා වගකීමෙන් කටයුතු කරන්න ඕනෑ.” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාකච්ඡාව අරඹමින් කියා සිටියේය. ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා අදාළ තොරතුරු එළියට නොයන බවට සහ මන්ත්‍රී කණ්ඩායම ගැන විශ්වාසයෙන් කතා කළේය. 

“සර් අපි කොහොමද විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන්නේ?” යැයි ඩලස් අලහප්පෙරුම ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේය.

ඔහු එසේ අසමින් තවත් කරුණු කිහිපයක් ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළේය. 

“පාර්ලිමේන්තුවේ ආසන 201ක්ම වෙන් කරලා තියෙන්නේ ආණ්ඩු පක්ෂයේ කියලලු. සර් කරුණාකරලා අපට විපක්ෂයේ අසුන් පනවලා දෙන්න” යැයි ඩලස් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. 

“ඔයාලා කලින් කරා වගේ වැඩ මේ පාර කරන්න එපා. ශ්‍රීලනිපය විවේචනය කරන්නත් එපා. ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට ආපු අයට විවේචනත් එපා. එහෙම වෙලා විපක්ෂයේ හිටියට කමක් නෑ. හැබැයි විපක්ෂ නායකකම ඉල්ලන්නත් එපා.” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.

“සර් විපක්ෂයේ ඉඳගෙන ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති ධුරය දරන්න බැරිද? දෙමළ ජාතික සන්ධානයට උතුරේ දිස්ත්‍රික්ක තුනකම කමිටු සභාපතිකම් ලැබිලා. ඔවුන් විපක්ෂයේ.” යැයි මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියේය.

“ඒකට අවසර දෙන්න බැහැ. එක්කෝ ආණ්ඩුවේ. එක්කෝ විපක්ෂයේ.” යැයි ජනාධිපතිවරයා කියා සිටියේය. 
“අපි ජනාධිපතිවරණයේදී සර්ට වැඩ කළේ නෑ. පාර්ලිමේන්තු මැතිවරණයේදී පක්ෂයේ නියෝජිතයා දිනවන්න වැඩ කළා. නමුත් සර් එක්ක අගමැතිතුමා ජාතික ආණ්ඩුවකට එකඟ වුණා. අපිට එහෙම බැහැ. අපිට විපක්ෂයේ ඉන්න ඕනෑ.” ප්‍රසන්න රණතුංග කීවේය.

“ඕයගොල්ලො කැමති වුණත් නැති වුණත් මම තමයි පක්ෂයේ සභාපති. මම කියන දේ කරන්න වෙනවා.” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය. 

මෙතන එක එක පාර්ශ්ව නැතැයි කී ජනාධිපතිවරයා ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය සඳහා කටයුතු කරන්නැයි මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන්නේය. 

“සමහර සංවිධායකවරු ඉන්නේ කලකිරීමෙන්.” යැයි ප්‍රසන්න රණතුංග කීවේය.

“මම ඉදිරියේදී ආසන සංවිධායකවරුත් කැඳවනවා. එතකොට ඒ ගැන කතා කරන්න පුළුවන්.” යැයි ජනාධිපතිවරයා කියා සිටියේය. මෙම සාකච්ඡාව නිමා වූයේ රාත්‍රී 7.00 ට පමණය. අනතුරුව එහි සිටි මන්ත්‍රී කණ්ඩාම නැවතත් කුරුඳුවත්තේ පිහිටි නිවසේ හමුවූහ. එහිදී එක් මන්ත්‍රීවරයෙක් “මට නම් ෂුවර් නෑ ඔය කිව්ව විදියටම වෙයිද කියලා.” යැයි කියා සිටියේය.

රාජිත සිංදු කියයි
මේ අතර සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නැගෙනහිර ටිමෝරයේ පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු සමුළුව පසුගිය 07 වැනිදා ඇමතුවේය. මෙහිදී ඩෙංගු රෝග නිවාරණය ඉදිරි වර්ෂයේ  ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩපිළිවෙළට ඇතුළත් කිරීමට ඇමැතිවරයා කටයුතු කළේය. එමෙන්ම ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර ලබා ගැනීමට ද මෙම සමුළුවේදී ඇමැතිවරයාට හැකි විය. 

“ඡන්ද ප්‍රතිඵල එද්දී මම බලාගෙන හිටියා ඇමැතිතුමා ආපහු සෞඛ්‍ය ඇමැති වෙලා එනකම්.” ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියා කලාපයේ අධ්‍යක්ෂ ජනරාල් පුනාමි සිං කීවාය. 

වසර තිහක අරගලයකින් පසු නැගෙනහිර ටිමෝරයට නිදහස දිනා දුන්  ගරිල්ලා නායක සනාන ගුස්මාවෝ හමුවීමට ඇමැති රාජිත සේනාරත්න පණිවුඩ කිහිපයක්ම තබා තිබිණි. ඔහුගේ බලා‍පොරොත්තුව ඉටු කරමින් සමුළුව අතරවාරයේ පැවැති රාත්‍රී සාදයකට ගුස්මාවෝ ද පැමිණ සිටියේය. 

එහි සාදය අතරතුර රාජිත සේනාරත්න සිංහල ගීතයක් ගායනා කළේය. ඒ “පෘතුගීසි කාරයා - රටවල් අල්ලන්න ශූරයා” ගීතයයි. ටිමෝරයට එහි සම්බන්ධයක් තිබිණි. ඒ පෘතුගීසින් බොහෝ කාලයක් ටිමෝරය අල්ලාගෙන සිටීමයි. “පෘතුගීසි“ වචනයත් “ලිස්බන්” වචනයත් අල්ලා ගත් ගුස්මාවෝ රාජිත සමග ගීතයේ එම වචන කියමින් විනෝද වූයේය.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සඳුදා සවස ඉන්දියාවේ නවදිල්ලිය බලා පිටත් වූයේ සිය පළමු නිල සංචාරය සඳහාය. මෙවැනි නිල සංචාර වෙනදා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සංවිධානය වුවද මෙවර එය අගමැතිවරයාගේ අධීක්ෂණය යටතේ අඩු දූත පිරිසක් එක් කරමින් සංවිධානය වීම විශේෂත්වයකි.

රනිල් ඉන්දියාවට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග එම සංචාරය සඳහා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ‍ලේකම් සමන් ඒකනායක, අතිරේක ‍ලේකම් සමන් අතාවුදහෙට්ටි, ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත්කිරීමට නියමිත ඇසළ වීරකෝන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඔවුන් නවදිල්ලියේ ටාජ් පැලස් හෝටලයේ ලැගුම් ගත් අතර  එම දූත පිරිස හමුවීමට ප්‍රථමයෙන්ම පැමිණියේ ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ්ය.

එහිදී ඇය අග්‍රාමාත්‍යවරයා සමගත් ජිනීවා සිට එහි පැමිණි විදේශ ඇමැති මංගල මහතා සමගත් සාකච්ඡා කළාය. දූත පිරිස ටාජ් පැලස් හෝටලයේ සිටියදී අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමග කතා කළ යුතු යැයි සඳහන් කතාවක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විදේශ අමාත්‍යාංශයෙන් බාරදී තිබිණ.

“මංගලටත් උඩින් වැඩ කරන අය විදේශ අමාත්‍යාංශයේ ඉන්නවා. අමාත්‍යාංශය කියන දේවල් අපි කරන්න ඕන නෑ.” යැයි ඉන්දීය සංචාරය අතරවාරයේ අගමැතිවරයා ශ්‍රී ලංකා දූත පිරිස සමග කියා සිටියේය.

“මට කවුරුත් කතා ලියලා දෙන්න අවශ්‍ය නැහැ. ටෙලි‍පොම්ටර් ඕනත් නැහැ.” යැයි කී රනිල් වික්‍රමසිංහ එම කතාව විසිකර දැමුවේය.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට නවදිල්ලි නුවර හයිද්‍රාබාද් නුවරට ගියහ.

සාකච්ඡාව අතරතුරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කළේ ජිනීවා මානව හිමිකම් සමුළුව ඇතුළු ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පූර්ණ සහාය ලබාදීමට ඉන්දියාව සූදානම් බවය.

අනතුරුව දෙරටේ අග්‍රාමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැති අතර ඉන්පසුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා දූත පිරිසට දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනැමුවේය.

අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි, ඉන්දියාවේ හිටපු අගමැති මන්මෝහන් සිං, ආචාර්ය කරන් සිං සහ රාහුල් ගාන්ධි යන්නන් සමග පැවැති හමුව සිදුවූයේ අඟහරුවාදා සවසය. ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍යවරයා සෝනියා ගාන්ධි ඇතුළු පිරිසට ආරාධනා කළේය. ඔවුහු එම ආරාධනය පිළිගත්හ. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි අතර හමුව පැවැත්වුණේ බදාදා උදෑසන රාෂ්ට්‍රපතිභවන්හිදීය. ඒ අගමැතිවරයා ආපසු දිවයින බලා පැමිණීමට පෙරාතුවය. ඉන්දීය සංචාරයේ ගිවිසගත් කරුණු ඉදිරියටත් අධීක්ෂණය කරමින් පවත්වාගෙන යාම අගමැතිවරයා පවරා ඇත්තේ අමාත්‍ය මලික් සමරවික්‍රමටය.

මේ අතර බ්‍රහස්පතින්දා උදෑසන අගමැතිවරයා සුපුරුදු පරිදි අරලියගහ මන්දිරයට පැමිණියේය. එසේ පැමිණෙන විට මලික්, රවී, කිරිඇල්ල, වජිර ඇතුළු ඇමැතිවරු පිරිසක් එහි රැඳී සිටියහ. ඉන්දියානු සංචාරය ගැන ඇමැතිවරු අගමැතිවරයාට සුබ පැතූහ.

අගමැතිවරයා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් පළවූ ලිපි කිහිපයක් සම්බන්ධයෙන් ද කතා කළේය.

“සමහරු මේවා හොයනවාට කැමති නෑ. හොයන කොට ඒවාට බාධා වෙන්න ලිපි පළ කරනවා.” යැයි අගමැතිවරයා කියා සිටියේය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පවු‍ලේ සාමාජිකයෝ පසුගිය සති අන්තය පාසිකුඩා වෙරළේ විවේකයෙන් ගත කළහ. එහිදී හිටපු ජනාධිපතිවරයා පාසිකුඩා මුහුදු තීරයේ කොරල් නැරඹීමටද එක් වූයේය. හිටපු ජනාධිපතිවරයා පාසිකුඩා පැමිණ ඇති බවට ලැබුණු ආරංචිය අනුව ඔහු නවාතැන් ගෙන සිටි ස්ථානයට මෙන්ම වෙරළට පැමිණි ජනතාව ඔහුගේ සුව දුක් විමසමින් කතාබහ කර තිබිණි.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා සිය ඇමැති ධුරයේ වැඩභාර ගනු ලැබුවේ හිමිදිරියේම අමාත්‍යාංශයට පැමිණය.
ඉකුත් සඳුදා හිමිදිරි පාන්දර එනම් පෙරවරු 6.44ට යෙදුණු සුබ මොහොතින් ඔහු අමාත්‍යාංශයේ වැඩ භාර ගත්තේය.

වසර 2000දී සජිත් සමග එක්සත් ජාතික පක්ෂයෙන් මුල්වරට පාර්ලිමේන්තුවට ගිය ඉන්දික බණ්ඩාරනායක මන්ත්‍රීවරයා එදින සිය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩභාර ගැනීමේ අවස්ථාවටද සජිත් සහභාගී විය.

චන්ද්‍රාණි බණ්ඩාර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය සිය අමාත්‍යංශයේ වැඩ බාරගැනීමේ අවස්ථාවටද සජිත් සහභාගි විය.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මින් ඉදිරියට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය සමග එක්ව කටයුතු කිරීමට යෝජිතය. ඒ පිළිබඳව හැදෑරීමට අමාත්‍යාංශ දෙකෙහි ඉහළ පෙළේ නිලධාරීන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත් කර තිබේ.

පසුගියදා සජිත්ට විශේෂ ඉන්දීය අමුත්තෙකු හමුවූයේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදීය අමුත්තා වූයේ ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ මහ ‍ලේකම් රාම් මාධව්ය. මෙහිදී දෙරට අතර සබඳතා මෙන්ම දෙදෙනා අයත් පක්ෂ දෙක අතර සබඳතා නැංවීම පිළිබඳ සාකච්ඡා පැවැතියේ ඉතා සුහද වාතාවරණයක් යටතේය. මෙම හමුව සංවිධානය කරනු ලැබුවේ ඉන්දියාව සමග ඉහළ සම්බන්ධතා ඇතිව කටයුතු කරන ශ්‍රී ලංකා මහාබෝධි සංවිධානයේ සභාපති බානගල උපතිස්ස හිමියන් විසිනි.

කරුගෙන් හැඟුම්බර කතාවක් 
කථානායක කරු ජයසූරියගේ දේශපාලන ගමනේ දෙවන අදියර 1999දී ආරම්භ කෙරෙන්නේ ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායකයෙකු ලෙසය. 

එම ගමන් මගේ පුරෝගාමීන් ඉකුත් (12) සෙනසුරාදා දින ගම්පහ කාර්යාලයට රැස්වූයේ කථානායක ධුරයට පත් තම නායකයාට ආශිර්වාද කිරීම සඳහාය. මෙහිදී ඉතා හැඟුම්බර කතාවක් කළ කරු ජයසූරිය ‍පෝස්ටර්, කටවුට්, ‍පොලිතීන් නොමැතිව හා ස්ථීර ආසනයක්වත් නොමැතිව දිස්ත්‍රික් සංවිධායකයෙකු ලෙස දේශපාලන ගමන ඇරඹූ තමාව ඉහළටම ඔසවා තැබූ හිතවතුන් හට තම හෘදයාංගම කෘතඥතාවය පළකළේ කිසිදා එම බැඳීම් කඩ නොකරන බවට ප්‍රකාශ කරමිනි. 

පසුගිය 14වනදා පෙරවරුවේ කථානායකවරයා මැල්කම් රංජිත් කදිනල් අගරදගුරුතුමන් බැහැ දුටුවේ අගරදගුරු නිවස්නයේදීය.

ගෞරවනීය, විනයගරුක ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බිහි කිරීමට තමන් කැපවන බව නව කථානායකවරයා අගරදගුරුතුමන් හමුවේ පැහැදිලි කළේය. තමන් බැහැ දැකීමට පැමිණීම අගය කළ අගරදගුරුතුමන් කියා සිටියේ “ඔබතුමන් සෑම අතින්ම කථානායක ධුරයට සුදුසු පරිණත පුද්ගලයෙක්. කොයි දේ පිළිබඳවත් මධ්‍යස්ථව බලන ඔබට දේව ආශීර්වාදය පුද කරනවා” යනුවෙනි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all