Photobucket

Monday, February 25, 2013

ඒ කාලේ දුනු හරඹය..

දුණු ඊතල භාවිතයේ ඉතිහාසය වසර දොළොස්‌ දහසක්‌ තරම් ඈතට දිව යයි. ජර්මනිය ආශ්‍රිතව මෙහි ආරම්භය පිළිබඳව කරුණු සඳහන් වුවත් චීනය, කොරියාව, ජපානය, තුර්කිය සහ ඊජිප්තුව ආශ්‍රිත පුරාතන ජනාවාසවලදී හමුදා සහ ආරක්‍ෂාව පිළිබඳ කටයුතුවලදී දුණුවායන් බහුලව උපයෝගි කර බවක්‌ හැඟී යයි. ආසියානු රජ පෙළපත් බලසම්පන්නව වැජඹීමේදී එක්‌ ප්‍රධාන සාධකයක්‌ වූයේ ප්‍රබල එමෙන්ම දක්‍ෂ දුණු හමුදාවන් පවත්වා ගැනීම බව පිළිගැනීමයි. ශ්‍රී ලංකාව පිළිබඳවත් මේ සත්‍යය එලෙසම අදාළ වෙයි. අශ්වාරෝහක දුණු හමුදාවන්ගේ භාවිතයත් සමගම ආසියානු කලාපීය සටන් වඩාත් ව්‍යාප්ත අයුරින් පැවැත්වුණු බවක්‌ පෙනී යයි. වඩාත් ජංගම අයුරින් මෙන්ම දරුණු අයුරකින් තීරණාත්මක සටන් කලාවක්‌ පැවතුණු බව නොරහසකි. එදාට වඩා දැන් දුණු විදීම ක්‍රීඩාවක්‌ ලෙස ලෝක ප්‍රචලිතව පවතී. 

වෙඩි බෙහෙත් භාවිතය සහ තුවක්‌කු පාවිච්චිය නිසා අඩපණ වී නැති වී ගිය දුණු හමුදාවන් අද ඉතිහාසයට තල්ලු වී ඇත. එහෙත් විවිධ රටවල ආදිවාසීන් තවමත් දුණු ඊතල සමගින් ගනුදෙනුව පවත්වා ගනී. එය නාමික වශයෙන් හෝ පාරම්පරික වශයෙන් හෝ වැදගත් බව ප්‍රකට පිළිගැනීමයි. සටන් ආශ්‍රිතව බෙහෙවින් කතාබහට ලක්‌වුවත් පණිවුඩ හුවමාරු කිරීමටත් ක්‍රීඩා කටයුතු වලටත් දුණු ඊතල උපයෝගි කර ගත් බවක්‌ පෙන්නුම් කෙරෙනවා. විශේෂයෙන් ආදරවන්තයන් පිළිබඳ සංස්‌කෘතියේ දුණු ඊතල භූමිකාව මේ වනවිට වාණිජකරණයට හසුවී ලොව පුරා අතිවිශාල ප්‍රතිචාර ලබයි. ග්‍රීක වීර කථා සංස්‌කෘතියේදී පවා දුණු ශිල්පීය දස්‌කම් ඉතා ඉහළින් වර්ණනා කෙරේ. දේව කථා වලදී පවා දුණු ඊතල පිළිබඳව සඳහන් වේ.

වර්තමානයේදී දුණු ශිල්පය ක්‍රීඩා ඉසව්වක්‌ ලෙස නවීකරණය වී ඇත. ඉලක්‌කයට විදීම සහ දඩයම් කිරීම මේ ආකාරයේ ප්‍රධාන අංශ දෙකයි. ඔලිම්පික්‌, පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සහ ආසියානු ක්‍රීඩා උළෙලවලදී කේවල, යුගල සහ කණ්‌ඩායම් වශයෙන් දුණු විදීම් ඉසව් ජනප්‍රිය වී ඇත. දකුණු කොරියාව ලෝක ශූර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ කණ්‌ඩායම් සතු එක්‌ රටක්‌ පමණි. දුණු විදීමේ ක්‍රීඩාව නවීන විද්‍යානුකූල මෙවලම් සහ උපකරණ කට්‌ටල අනුසාරයෙන් ඉදිරියට පැමිණීමත් සමග ශිල්පීය ක්‍රමවේදයේ සහ එම ක්‍රමවේද භාවිතයේ ඉහළ මට්‌ටම් කරා ළගා වීමක්‌ වාර්තා වී ඇත. මානසික ඒකාග්‍රතාව උපයෝගි කරගැනීම දැක ගැනීමට හැකි ක්‍රීඩා ඉසව්වක්‌ වන හෙයින් නරඹන්නන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට හැකිවී තිබේ.

රොබින් හූඩ් හෝ විලියම් ටෙල් පිළිබඳව කථා ඔබත් අසා ඇතැයි සිතමි. එමෙන්ම අර්ජුන සහ රාම පිළිබඳ ඉන්දීය වෘතාන්ත මතක්‌ කර ගැනීමට අවස්‌ථාව මෙයයි. එළිමහන් මෙන්ම ගෘහස්‌ථ තරගාවලි හරහා ක්‍රීඩාවක්‌ ලෙසට මෙම ඉලක්‌කයට දුණු විදීම ජනප්‍රිය වීමත් ව්‍යාප්ත වීමත් සිදුවේ.

තාක්‍ෂණික විප්ලවයේ ප්‍රතිඵලයක්‌ ලෙස දුන්න ඊතලය පමණක්‌ නොව ඉලක්‌කය හා සහභාගි වන්නාගේ හැඩරුව ව්‍යqහය එදා මෙදා තුර විප්ලවීය වෙනසක්‌ පෙන්නුම් කරයි. ඕනෑම වයසකදී ඕනෑම කෙනෙකුට තමාට රිසි සහ හැකි පමණින් සහභාගි විය හැකි ක්‍රීඩා ඉසව්වක්‌ හැටියට දුණු විදීම පිළිගැනෙයි. ලෝක කුසලාන තරගාවලියක ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම අනාබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්‌වන කැපවීම සහ දස්‌කම නැරඹීමට ඔබටත් හැකිනම් මෙම ක්‍රීඩාවේ අසිරිය හදවතට දැනෙනු ඇත.

නමුත් ශ්‍රී ලංකාවේ මෙම ක්‍රීඩාව පවත්වා ගැනීමේ අඩුපාඩු රැසක්‌ පෙන්නුම් කෙරෙයි. ජාතික ඔලිම්පික්‌ කමිටුව දක්‍ෂ පුහුණුකරුවන් ගෙන්වීමට උත්සුක වුවත් ලංකාවේ පවතින යටිතල පහසුකම් ඉතාමත් පහළ මට්‌ටමක පවතින නිසා එවැනි පුහුණුකරුවන්ගේ සේවය මෙරටදී ලබාදීමේ වාසිදායක තත්ත්වයක්‌ බලාපොරොත්තු විය නොහැක. පාසල් පද්ධතියට හඳුන්වා දීමෙන් ග්‍රාමීය මට්‌ටමේ සහජ දක්‍ෂතා ඇති අය හඳුනාගත හැක.

ආරක්‍ෂක සේවා සහ විශ්වවිද්‍යාල මේ පිළිබඳ උනන්දුවක්‌ දැක්‌වීම හොඳ ප්‍රවනතාවකි. පුද්ගලික මට්‌ටමින් විරල ක්‍රීඩා සමාජ හරහා අත්දැකීම් බහුල දක්‍ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතලොස්‌සක්‌ සමගින් ශ්‍රී ලංකාවට මෙම ඉදිරි ගමන යා නොහැකි බව සක්‌ සුදක්‌ සේ පැහැදිලි කරුණකි. උනන්දුව තිබේනම් - ඉලක්‌කය නිවැරදිව දකීනම් - හැකියාව ඇත්නම් - ජය ඔබටයි. නමුත් එය සාක්‌ෂාත් කර ගැනීමට වන ක්‍රියාදාමය මෙරටදී නම් දුෂ්කර බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත.

රජ කාලයේ සිට පැවත එන දුණු ඊතල හරඹය මෙරට ද ආවේණිකය. එහෙත් ක්‍රීඩාවක්‌ ලෙස ශ්‍රී ලංකාව එයට තවමත් ආගන්තුකය. මෙරට ක්‍රීඩා අමාත්‍යංශයද මැදිහත් වී ශ්‍රී ලාංකේය දුණු වීදිමේ ක්‍රීඩාව ඉහළට ගෙන ඒමට හැකි වුවහොත් අද නොලැබෙන පදක්‌කම් හෙට දිනයේදී ලබා ගැනීමට හැකි වනු ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all