Sunday, December 2, 2012

මහින්දාගමනය හා බැඳුණු හෙළ පුනරුදය

2600ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අර්ථාන්විතව සමරන බෞද්ධයන් වන අප විසින් අවබෝධ කර ගත යුතු තවත් වැදගත් සංසිද්ධියක්‌ ලෙස මහින්දාගමනය හා බැඳුන ලක්‌දිව පුනරුදය පිළිබඳ අවබෝධය ලබා ගැනීම අතිශය වැදගත්ය. පොසොන් සඳින් ලක්‌දිව ඒකාලෝක වී ලක්‌වාසීන් ගේ සිත් සතන් ධර්ම ඥනයෙන් සමෘද්ධිමත් කිරීමට අවැසි වටපිටාවක්‌ මහින්දාගමනයෙන් උරුම වූ බව අතිශයෝක්‌තියක්‌ නොවේ. මෙවන් පින් බිමක උපත ලැබීම ද අප ලද භාග්‍යයකි.
මහින්දාගමනයට පළමුව ලක්‌දිව ස්‌ථිර වූ ශාසනයක්‌ නොපැවැති බැවින් බුදුසමය ස්‌ථිර ආගමක්‌ වශයෙන් ක්‍රියාකාරී වූයේ නැත. ඓතිහාසික තොරතුරුවලින් හෙළිවන්නේ ප්‍රාග් බෞද්ධ සමාජය තුළ දිව්‍ය, මනුෂ්‍ය, නාග, යක්‍ෂ යන විවිධ ගෝත්‍රිකයන් වාසය කළ බවත් බ්‍රාහ්මන ආගම, ශිව ආගම, ජෛන ආගම, පරිබ්‍රාජක ආගම මෙන්ම දෙවියන් ඇදහීම, ගස, ගල්, පර්වත, චෛත්‍යය, නැකැත් තරු ඇදහීම ඒ ඒ සමාජයන් අනුව ඒ ඒ පුද්ගලයන් අනුව, ක්‍රියාකාරී වූ බවයි. ඇදහීම් ක්‍රම තවදුරටත් ව්‍යාප්ත වීම් වශයෙන් අව් වැසි, සුළං ගිනි දේවත්වයෙන් සැළකූ අතර ඒ ඒ කර්මාන්තවලට අරක්‌ගත් විවිධාකාර දෙවිවරුන් පිළිබඳවද විශ්වාසයක්‌ පැවති බව පෙනේ. වංශ කතා ගත තොරතුරු පිරික්‌සා බලන විට ප්‍රාග් බෞද්ධ යුගයෙහි ලක්‌දිව බුදු දහම අදහන්නවුන්ද සිටි බව පෙනී යයි. එම තත්ත්වය උදා වීමට හේතුවු කරුණු අතර බුදුරදුන් තෙවරක්‌ම ලක්‌දිවට වැඩම කරලීම, ඉන්දියාවේ සිට වෙළෙඳුන්, සංචාරකයන් වරින් වර පැමිණීමත්, විජය රජතුමා සමග පැමිණි පිරිසට ශාක්‍ය වංශිකයන් වැඩි සංඛ්‍යාවක්‌ ඇතුළත් වීමත් ප්‍රධාන තැනක්‌ ගනී. ගිරිහඬු සෑය පිළිබඳ කතා පුවතින් හා තිරියාය සෙල් ලිපියෙන්ද ඒ බව තහවුරු වෙයි.

තෙවැනි ධර්ම සංගායනයෙන් පසු ලක්‌දිව ධර්ම ප්‍රචාරය සඳහා පැමිණි පිරිසට කිසිදු බාධාවකින් තොරව තම අරමුණ සාර්ථකව ඉටුකරලීමට හැකි වූයේත් බුදුරදුන් ජීවමාන කාලයේ පටන්ම මෙහි ව්‍යාප්තව පැවැති බුදු දහමේ අරුණාලෝකය නිසාමය. ශ්‍රී ලංකා සංස්‌කෘතිය බුදු සමයෙන් පෝෂණය වීමේ ආරම්භය බුදුරදුන්ගේ ලංකා ගමනයෙහි සිට සම්බන්ධ වූවකි. උන්වහන්සේගේ ලංකා ගමනයෙන් එම පෝෂණයෙහි මූල බීජයන් රෝපණයවූ නමුදු එය සරුවට වර්ධනය වී අතුපතර විහිදී මල් ඵල ලැබදෙන්නා වූ තත්ත්වයට පත්වූයේ දෙවන පෑතිස්‌ස රාජ්‍ය සමයෙහි මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන ධර්ම දූත පිරිස පැමිණීමත් සමගය.

තුන්වන ධර්ම සංගායනාවෙන් පසුව අශෝක අධිරාජ්‍යයා බුදු දහමේ පණිවිඩය ලෝකයේ ව්‍යාප්ත කිරීමෙහි යෙදුණේය. එකල ලක්‌දිව රජ කළ තිස්‌ස රජු සමග කලක සිට නොදුටු මිත්‍රත්වයකින් බැඳී සිටි අශෝක රජතුමා විශේෂ වරප්‍රසාද වශයෙන් සිය පුත් මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන රාජකීය ධර්මදූත පිරිස ලක්‌දිවට එවීය. එම දූත පිරිසට මිහිඳු හිමි සමග ඊට්‌ඨ§ය, උත්තිය, සම්බල, භද්දසාල, අභිඥලාභී සුමන සාමණේරයන් හා පණ්‌ඩුක උපාසක තුමා ද යන සත් දෙනා අයත් විය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වැන්නෙහි පොසොන් මස පුරපසළොස්‌වක පෝදා දඹදිව වේදිස ගිරි නුවරින් පිටත්ව ලක්‌දිව මිහින්තලා පර්වතයට පැමිණියහ.

මෙදින ලක්‌දිව නැකත් කෙළි දිනයකි. මෙදින මුව දඩයමේ ගිය දෙවනපෑතිස්‌ රජතුමා මිස්‌සක පව්වේදී හතළිස්‌ දහසක පිරිස සමග තිසරණ සරණයට පත්වීම සිදුවූයේ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ චුල්ලහFථිපදොපම සූත්‍රය ඇසීමෙනි. මෙම සූත්‍ර දේශනාව සිදුකිරීමට පෙර මිහිඳු හිමියන් විසින් ලක්‌ රජතුමා හට ගැඹුරු බුදු දහම වටහා ගැනීමට තරම් බුද්ධියක්‌ ඇත්දැයි දැනගැනීම සඳහා අඹ පැනය හා නෑ පැනය යන ප්‍රශ්න දෙක විචාළේ සංවාදාත්මක ස්‌වරූපයෙනි. මිහිඳු හිමියන් විසින් සිරිලක ප්‍රථම දේශනාව ලෙස තෝරාගනු ලැබුවේ මඡ්Cධිම නිකායේ මූල පණ්‌ණාසකයට අයත් තුන්වන ඕපම්ම වග්ගයේ හත්වන සූත්‍ර දේශනාව වන චුල්ලහFථිපදෝපම සූත්‍රයයි. මෙසේ වීමට හේතු කාරණා කිහිපයක්‌ පෙන්වා දීමට හැකිය. ආගන්තුක දහමක්‌ දෙවන පෑතිස්‌ රජු ඇතුළු රටවැසියනට කියා දීමට පෙර දහමේ ස්‌වභාවය එය දරන්නෝ කවරාකාරයෙන් ද ආදී වශයෙන් අවබෝධය ලක්‌ ජනයාට ලබාදී එතුළින් මිහිඳු හිමියන් විසින් රැගෙන ආ දහම වුවද භාරගත යුතු හෝ භාරගත නොගතයුතු බව තීරණය කිරීමට අවස්‌ථාව සලසා දීම ඒ අතර ප්‍රධානය.

ලංකා ගමනයෙන් දෙවන දින දෙවන පෑතිස්‌ රජුගේ මාළිගයේදී දහවල දානය වළ¹ අවසානයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් වන පේතවFථු දේශනයද අනතුරුව විමාන වFථු දේශනාව ද සිදුකරනු ලැබුවේ අකුසලය පලදීම සහ කුසලය පළ දීම සිදුවන ආකාරය පිළිබඳව අවබෝධය ලබා දෙමින් දානය කුසලයක්‌ බවත් එහි අනුසස්‌ දැක්‌වීම සඳහා කුසලයේ විපාක සුවදායක අයුරු පෙන්වා දෙමින් අකුසලයෙහි විපාක දුක්‌ඛ සහගත කටුක විපාක බව දක්‌වමින් ජනයා කුසලයට නැඹුරු කරලීම සඳහාය. දෙවන දිනම සවස්‌ යාමයේදී රාජකීය ඇතුහලේදී තෙවන මිහිඳු දේශනාව වන සූත්‍ර පිටකයේ මඡ්Cධිම නිකායේ උපරිපණ්‌ණාසකයට අයත් දේවදූත නම් වූ සූත්‍ර දේශනාව සිදුකර ඇති අතර මෙහි අන්තර්ගත වන්නේ කාය සුචරිතයේ වචී සුචරිතයෙහි හා මනෝ සුචරිතයෙහි යෙදෙන පුද්ගලයා මරණින් මතු සුගතිගාමී වන බවත් කාය දුච්චරිතයේ "වචී දුච්චරිතයෙහි හා මනෝ දුච්චරිතයෙහි යෙදෙන පුද්ගලයා මරණින් මතු දුගතිගාමී වන බවත් එහිදී සුගතියට පත් වන්නා සැප විඳින බවත් දුගතියට පත් වන්නා දුක්‌ විඳින බවත්ය. මෙම දේශනාවද ඉතා වැදගත් පසුබිමක්‌ සකස්‌ කරනු ලබන්නේ පුද්ගලයාට තම ජීවිත කාලයේදී තම ඇවතුම් පැවතුම් සකස්‌ කර ගැනීමට මංපෙත් විවර කරවීමට සමත් වන නිසාය.

හත්වන මිහිඳු දේශනාව වශයෙන් දේශනා කරනු ලැබුවේ අංගුත්තර නිකායේ දහනම වන ආසිවිස වග්ගයේ පළමු සූත්‍රයයි. මෙහිදී ආසිවිසෝපම සූත්‍රයෙන් ලක්‌ ජනයාට මිහිඳු හිමියන් විසින් බුදුසමයේ අනුපූර්ව ශික්‍ෂා, අනුපූර්ව කිරියා, ආනුපූර්ව ප්‍රතිපදාව පහදා දීම සිදුකර ඇත. අට වන මිහිඳු දේශනය වන්නේ රජෝවාද සූත්‍රයයි. මෙම සූත්‍රය මිහිඳු හිමියන් දේශනා කරනු ලැබුවේ දෙවන පෑතිස්‌ රජ ඇතුළු පාලක පිරිසටය. රටේ පාලකයා ධාර්මික වූ කලී ජනයා ද නායකයා අනුව යමින් ධාර්මික වන අතර පාලකයා අධාර්මික වන විට ජනයා ද අධාර්මික වන බව ඉන් රට නිසරු වන බවත් දක්‌වන අතර එනිසාවෙන් පාලකයා නිරතුරුවම ධාර්මික අයෙකු ලෙසින් කටයුතු කළ යුතු බව පෙන්වා දෙයි.

මේ අයුරින් ක්‍රම ක්‍රමයෙන් ලක්‌වැසියනට ධර්මාවබෝධය ලබාදීම මෙන්ම තම ජීවිත හැඩගස්‌සවා ගැනීමට මංපෙත් විවර කර දෙමින් ජාතික, ආගමික, දේශපාලනික, ආර්ථික, සමාජයීය, අධ්‍යාපනික, සංස්‌කෘතික වශයෙන් වූ සෑම ක්‍ෂේත්‍රයකම වර්ධනයට මහින්දාගමනය පුරෝගාමී විය. මහින්දාගමනයට පෙර යම් යම් ආගමික කටයුතු පැවැති බව වංශකතා සාක්‍ෂි දරන නමුදු එකදු ආගමක්‌ වත් තහවුරු වී නොතිබුණි. මහින්දාගමනයෙන් පසු බුදු දහම මුල් බැස ගැනීම නිසා ගමක්‌ පාසා බෞද්ධ විහාරාරාම ඉදි විය. අහස සිඹින මහා දා ගැබ් ඉදිවිය. මෙනිසාම ලෝකයේ විශාලතම ගඩොල් නිර්මාණය මේ උතුම් පින් බිම තුළ ඉදිවිය. සිත් පිත් නැති කලු ගල් කුලකට මෙත් කරුණා ගුණ පෙවූයේ මහින්දාගමනයෙන් ලත් මානව සන්තාන ගත සන්හිඳියාව නිසාවෙනි. එසේම මිනිසුන්ගේ සිතුම් පැතුම්, සිතුවිලි, සිරිත් විරිත්, ගුණධර්ම, කලා ශිල්ප, ආගමික විශ්වාස ආදියෙහි විශාල වෙනස්‌කම් ඇති වෙමින් බුදු දහමින් පෝෂණය වූ සංස්‌කෘතියක්‌ බිහි විය. සිංහල සංස්‌කෘතිය ද බෞද්ධ සංස්‌කෘතියම වෙමින් බුදු දහමින් පෝෂණය වන්නට විය.

මහින්දාගමනය හා බැඳුණු රාජ්‍යත්වය පිළිබඳ විමසීමේදී පෙර ලක්‌දිව රාජාභිෂේක උත්සව පැවැත්වූයේ ඉතා චාම් සරල ක්‍රමයකටය. ධර්මාශෝක රජතුමාගේ උපදෙස්‌ හා ක්‍රමානුකූල රාජාභිෂේකයකට අවශ්‍ය කකුධ භාණ්‌ඩ තෑගි වශයෙන් ලැබුණ පසු දේවානම්පියතිස්‌ස රජතුමා ද මෞර්යය රාජවංශ ක්‍රමයට දෙවැනි රාජාභිෂේක උත්සවයක්‌ පැවැත්වූවේය. බෞද්ධකමත් රාජ්‍යත්වයත් ඒකාබද්ධ වෙමින් බෞද්ධකම රටේ රජකම වැනි උසස්‌ම තත්ත්වය ලබා ගැනීමේ අනිවාර්ය සුදුසුකම විය. එළාර වැනි ද්‍රවිඩ රජුන් පවා බුදුදහමට පුද සත්කාර කරනු ලැබුවේ මේ නිසාවෙනි. දසරාජ ධර්ම, සතර සංග්‍රහ වස්‌තු, දස පුණ්‍ය ක්‍රියා යන බෞද්ධ ඉගැන්වීම් රජතුමා විසින් පිළිපැදිය යුතු මාර්ගය විය. පාලන ප්‍රතිපත්තිය වූයේ දඬුවමින් තොරව හා අවි ආයුධවලින් තොරව පාලනය කිරීමයි. දාඨා ධාතුව, පාත්‍ර ධාතුව මෙරටට ගෙන ආ පටන් ආරක්‍ෂා වූයේ රජතුමා භාරයේය. උතුම් වස්‌ත්‍ර දෙක යම් කෙනෙකුට අයත් නම් ලක්‌ රජය ඔහු සතුය යන විශ්වාසය තහවුරු විය.

බෞද්ධ සමාජය හා බැඳුණු ආර්ථික පසුබිම හා සැලකීමේදී බෞද්ධ සමාජයේ ගොවිතැන උසස්‌ ලෙස සලකුණු ලැබීය. එය දැහැමි රැකියාවක්‌ විය. "මඩ සෝදා ගත් ගොවියා රජකමට වුව අගී" යන පිරුළ ඇති වූයේද කෘෂිකර්මාන්තයේ උසස්‌කම සැලකීමෙනි. එනිසාම ලෝකයේ අද්විතීය වාරි තාක්‍ෂණත් මෙරටෙහි නිර්මාණය විය. එසේම මහින්දාගමනයෙන් අප ලද තවත් වටිනා දායාදයක්‌ ලෙස අධ්‍යාපනික පසුබිම පෙන්වා දිය හැකිය. ප්‍රාග් බෞද්ධ යුගයෙහි අක්‍ෂරවලින් ලියන ලද යමක්‌ සොයා ගැනීම අපහසුය.

ලක්‌දිවට බුදු සමය ලැබීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් බ්‍රාහ්මි අක්‍ෂර මාලාව සහිතව සකස්‌ වූ අක්‍ෂර හෝඩියක්‌ අපට ලැබුණේ යෑයි සිතිය හැක. පාලි භාෂාව හා වෙනත් භාරතීය භාෂාවන්ගේ සම්මිශ්‍රණය නිසා සිංහල භාෂාව පෝෂණය වූයේ යෑයි උගතුන්ගේ පිළිගැනීමයි. බුත්සරණ, දහම් සරණ, සඟ සරණ, සිංහල බෝධි වංශය දළදා සිරිත, පන්සිය පනස්‌ ජාතක පොත, මුවදෙව්දාවත, සස¹වත, ගුත්තිලය ආදී ගද්‍ය පද්‍යා සාහිත්‍ය කෘති සමූහය නිසා සිංහල සාහිත්‍ය දියුණුවෙන් දියුණුවට පත් වූයේ බුදු සමයෙන් ලත් පෝෂණය නිසාමය. එසේම එදා පාලි අට්‌ඨ කතා සම්පාදනය සඳහා ලක්‌දිවට වැඩම කළ බුද්ධඝෝෂ හිමියන්ට මහෝපකාරී වූ හෙළ අටුවාවන්ද සම්පාදනය වී තිබුණේ මිහිඳු මහ රහතන් වහන්සේ වෙතින් යයි ඇතැමුන්ගේ පිළිගැනීමයි.

සමාජීය වශයෙන්ද මහා ප්‍රබෝධයක්‌ ඇති කරලමින් ලක්‌දිව සමාජ පසුබිම කෙරෙහිද මහින්දාගමනයෙහි බලපෑම සිදුවිය. පන්සිල් සමාදන් වී කටයුතු ඇරඹීමත් පෝදා අටසිල් සමාදන් වීමත් ජාතික සිරිතක්‌ විය. පොහෝදා සියලු ව්‍යාපාර නතර කළ යුතු විය. සතර පෝය ප්‍රසිද්ධ නිවාඩු දින විය. සිංහලයන් අතර බෞද්ධ සංඥනාම ව්‍යවහාර කරන්නට පටන් ගත්තේ ද මහින්දාගමනයේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි.

ලක්‌වැසියා තුළ පරිත්‍යාගශීලී බව, ආගන්තුක සත්කාරය, පරෝපකාරය, ඉවසීම, තැන්පත්කම, කරුණාව, මෛත්‍රිය, පිනට ලැදි බව ආදී ගුණ ධර්ම බල පවත්වන්නට වූයේ මිහිඳු හිමියන්ගේ පැමිණීමෙන් බුදුදහමේ ආභාෂය ලැබීම නිසාය. ලාංකිකයන්ගේ සිත් සතන් තුළ මානුෂීය හැඟීම් සනිටුහන් කරලීමට අවැසි වටපිටාවක්‌ බුදුදහමේ ආභාෂයෙන් ලැබී ඇති බව වර්තමාන තත්ත්වය අනුව අතිශයෝක්‌තියක්‌ නොවන බව අපට හැඟී යන්නකි.

ලක්‌වැසියාගේ විනෝද ජීවිතයේ ද මහත් විපර්යාසයක්‌ ඇති වූයේ ද මහින්දාගමනයෙන් ඇතිවූ බෞද්ධ ප්‍රබෝධයේ මහිමයෙනි. භාතිකාභය වැනි රජවරු නැටුම්, ගැයුම්, වැයුම් ද ආගමික උත්සව සඳහා යොදා ගත්හ. වෙසක්‌ උත්සවය ජාතික බෞද්ධ උත්සවයක්‌ විය. දුටුගැමුණු රජතුමා වසරක්‌ පාසා වෙසක්‌ උත්සවය පැවැත්වීය. එසේම පොසොන් උත්සවය, කඨ§න පූජෝත්සවය වැනි උත්සව තුළින් බෞද්ධ සිත්සතන් තුළ බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරලීමට අවැසි වටපිටාවක්‌ නිර්මාණය වීම මහින්දාගමනය තුළින් ලද දායාදයකි.

මිහිඳු මහා රහතන් වහන්සේ ලක්‌දිවට පැමිණ මිහිඳු දේශනා තුළින් ක්‍රමයෙන් ක්‍රමානුකූලව සකස්‌ කරන ලද මේ තම්බපණ්‌ණි දීපය ස්‌වයංපෝෂිත අර්ථ ක්‍රමයකට උරුමකම් කියූ දැහැමි රටක්‌ විය. මිනිසත්කම උතුරා හැලුනි. මහින්දාගමනය තුළින් අපි ලද දායාද පෙරටු කොට ගෙන වර්තමාන සමාජය තුළ පොසොන් උදාව මහත් උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබන්නේ බෞද්ධ සිත් සතන් තුළ ශ්‍රද්ධා මහිමය වඩවමිනි. මහින්දාගමනයෙන් පුනරුදයට පත්වූ වර්තමාන සමාජ, ආගමික, සංස්‌කෘතික සමාජ පසුබිම තුළ ජීවත් වන අප විසින් සුපිරිසිදු ඇවතුම් පැවතුම් ඇති කොට ගෙන තම ජීවිත සකස්‌ කොටගෙන තිබෙන්නේ ද යන්න නැවත නැවතත් සිතා බැලිය යුතුව ඇත. එසේම අප ලද නිර්මල වූ බුදු දහම මතු පරපුරට උරුමකර දීමට පිළිවෙතින් පෙළ ගැසිය යුතු කාලය ද උදාවී ඇත. "යෝ ධම්මං පස්‌සති සෝ මං පස්‌සති" යන බුදු වදනට අනුව යමෙකු මේ පොසොන් සමයේ මිහිඳු මා හිමි ගුණ සමරන්නට සිතන්නේ නම් පිළිවෙත් පෙරටු කොට එය සිදුකළ යුතුමය. එවිට මිහිඳු ගුණයෙන් මේ මිහිතලයම නිවී සැනසෙනු නොඅනුමානය.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා
ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්‌පී යූඑස්‌පී පීඑස්‌සී
එක්‌සත් ජනපද තානාපති හා එක්‌සත් ජාතින්ගේ
ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත
නිව්යෝක්‌ - එක්‌සත් ජනපදය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all