Sunday, December 2, 2012

ත්‍රීකෝණ ගත සංස්‌කෘතියේ අපාගත වන අපාරධ!

ආයාසයෙන් බලා හිඳිමු. මේ පිළිකුල් සහගත වේදනාව තවත් කොතෙක්‌ දරාගෙන සිටිය යුතුදැයි වටහාගත හැකි නොවේ. ජාතියක විලිලඡ්ජාව පිළිබඳව අවම අනුමිතීන් සම්බන්ධයෙන්වත් අබමල් රේණුවක තැකීමක්‌ මේ හිඟන්නන්ට වෙත්දැයි අපට වැටහෙන්නේ නැත.

පොළොන්නරුව ඓතිහාසික පූජා භූමියේ ප්‍රධාන ප්‍රවේශය, පුරා දෙවසරකට ආසන්න කාලයක්‌ තිස්‌සේ වසා දමා තිබේ. ප්‍රවේශය වසා දැමෙන්නේ ජනාධිපති වරයාගේ නිර්දේශය පිට ඓතිහාසික පොළොන්නරු පුදබිම තුළ, ප්‍රධාන ප්‍රවේශයේ සිට පිටවීම දක්‌වා දිවෙන කිලෝමීටර තුනක්‌ පමණ වූ ප්‍රධාන අභ්‍යන්තර මාර්ගය සංචාරකයින්ට ගමන්කළ හැකි ආකාරයේ පහසුවක්‌ සහිතව සකස්‌ කිරීම සඳහාය. කොන්ත්‍රාත්තුව නිම කිරීමට යෝජිත කාලය දින 180 ක්‌ විය. පසුගිය අවුරුද්දේ එනම් 2011 නොවැම්බර් මස දී මේ නවීකරණ කටයුතු නිමාකර ජනාධිපතිවරයා අතින්ම එය විවෘත කිරීමට සැලසුම් වී තිබිණි. 

 කෙසේ වෙතත් මේ ලියන මොහොත දක්‌වා මධ්‍යම සංස්‌කෘතික අරමුදල අවුරුදු දෙකක්‌ තිස්‌සේ පූජා භූමියේ පාරට ගල් අල්ලයි. වැඩ කටයුතු නිමාවෙන දවසක්‌ නැත. සමහර තැනෙක පාරේ දැවැන්ත කාණුය. ගල් ගොඩවල්ය. මෙටල් තොගය. ඓතිහාසික පූජා භූමියකට නොව කොළඹ ආමර්වීදියට නුදුරු "ගල් වලට" ගියා සේය. යන එන මං නොදත් සුද්දෝ නන්නත්තාරේ ඇවිදිති. දැන් අප අභිමුව තිබෙන්නේ රටේ ජනාධිපතිවරායාගේ නිර්දේශවලටවත් වලංගු නැති මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ කොටළුවන්ගේ වැඩබැරිකමේ ඛේදවාචකයෙහි ස්‌වරූපයය.

පිළිසකර කිරීමේ මුල් අවස්‌ථාව

පොළොන්නරුව පූජා භූමියේ අභ්‍යන්තර මාර්ගය පිළිසකර කිරීම සඳහා මුල්ම යෝජනාව ඉදිරිපත් කරන්නේ රටේ ජනාධිපතිවරයාය. ඔහු විසින් එම යෝජනාව ඉදිරිපත් කරන්නේ 2011 වසරේ මුල් කාර්තුවේ පොලොන්නරුවේ පැවති දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටු රැස්‌වීමේදීය. එවකට මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ අධ්‍යක්‌ෂ ජනරාල්ව සිටි මහාචාර්ය නිමල් සිල්වා විසින් පූජා භූමියේ පෞරාණික භූ දර්ශනය රක්‌ෂා කරගත හැකි ආකාරයේ සැලසුමක්‌ සහිතව මාර්ගයට කොන්ක්‍රීට්‌ ගල් වෙනුවට සවිමත් ගඩොල් ආස්‌තරණයක්‌ ඇතිරීමට නිර්දේශ කළේය. එවැනි ආදර්ශයක්‌ මීට පෙර අපේ රටේ නොවුනි. දැවැන්ත බස්‌රථ ගමන් කරනා මාර්ගයකට ඇතිරීම සඳහා ගඩොලක්‌ නිර්මාණය කරගැනීම විශේෂයෙන් කළ යුතු වූයේය. එහෙත් මේ ප්‍රමිතිය පිළිබඳ එකෙකුවත් උනන්දු වූයේ නැත.
 අනතුරුව මධ්‍යම සංස්‌කෘතික අරමුදල විසින් පාරට වයර්කට්‌ ගඩොල් ඇල්ලීම එක්‌තරා පුද්ගලික ආයතනයක්‌ වෙත 2011.05.12 වැනි දින ටෙන්ඩරය පැවරුවේය. 2011.05.29 දින කොන්ත්‍රාත්කරුවා වැඩ ආරම්භ කළේය. දින 180 ක කාලසීමාවක්‌ තුළ කිලෝමීටරයක්‌ දුරට ගඩොල් ඇතිරීම කර නිමකළ යුතු විනි. කොන්ත්‍රාත්කරුවා ගඩොල් අල්ලන්ට පටන් ගත්තේය. බස්‌ රථයක්‌ යනවා තබා පයින් යනවිටත් ඒ ගඩොල් කැඩුනේය. මේ ගඩොල් එක්‌ලක්‌ෂ හැට එක්‌ දහස්‌ පන්සියයක්‌ අතුරන විට ඇස්‌ මට්‌ටමින්ම පළුදු වූ ගඩොල් පනස්‌ දහස්‌ තුන්දහස්‌ අටසිය තිස්‌ තුනක්‌ හඳුනා ගැණුනි. ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය පමණක්‌ නොව දිසාපතිවරයා ඇතුළු පරිපාලන ක්‌ෂේත්‍රත් මේ මරි වැඩේ නවත්වා මුදල් කාබාසිනියා වීම වලක්‌වන මෙන් මධ්‍යම සංස්‌කෘතික අරමුදලට යෝජනා කළේය. මේ අතර දිගින් දිගටම අසාර්ථක වූ කොන්ත්‍රාත්කරුවා සිය කටයුත්ත අතරමග අත්හැර දැම්මේය. වගකීම් රහිතව කොන්ත්‍රාත්තුව අත්හැරීම, ප්‍රමිතියකින් තොර ගඩොල් අල්ලා ආයතනයට පාඩුවක්‌ සිදු කිරීම, පූජා භූමිය තුළ සියලු දෛනික කටයුතු අවුල් වීම නිසා ඇතිවී තිබෙනා තත්වය, සමාලෝචනය කළ මහාචාර්ය නිමල් සිල්වාගේ මූලිකත්වයෙන් රැස්‌වූ ටෙන්ඩර් මණ්‌ඩලය 2011.12.20 දින මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ ටෙන්ඩර් මණ්‌ඩල තීරණ අංක 17850 යටතේ මේ කොන්ත්‍රාත්කරුවාගේ ටෙන්ඩරය අවලංගු කළේය.

කොන්ක්‍රීට්‌ ගල් ඇතිරීම

අවසානයේදී ඇතිරූ ලක්‌ෂ ගණනක්‌ ගඩොල් ගලවා දැමිණි. මිලියන ගණනක මුදලක්‌ නිස්‌කාරණයේ නාස්‌ති වූයේය. ප්‍රධාන පාරට ගඩොල් වර්ණය ගැන්වූ කොන්ක්‍රීAට්‌ ගල් අල්ලන්නත් තීන්දු කෙරිණි. කොන්ක්‍රීට්‌ ගල්වල ප්‍රමිතිය ටෙන්ඩර් මණ්‌ඩලය විසින් දැක්‌වීය. එය වර්ග මිලි මීටරයකට නිවුටන් 40 ක්‌ සේ නිර්දේශ කෙරිණි. රටෙන්ම එල්ලවන දෝෂාරෝපණ වලින් මිදී මාර්ගය හැකි ඉක්‌මනින් වගකීම් සහිතව නිම කරන්නට මෙම ව්‍යාපෘතිය සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධ කරගන්නට අවසානයේ තීන්දු කෙරිණි. ඒ අනුව පිටවීමේ ගේට්‌ටුවේ සිට කිලෝමීටර දෙකක දුරක්‌ මාර්ග සංවර්ධන අධිකාරියට කොන්ක්‍රීට්‌ ගල් ඇතිරීම සඳහා පැවරීමට තීරණය විය. මීටර 4.5 පළලට කිලෝමීටර දෙකක්‌ අනුමත ප්‍රමිතීන්ට අනුව පාර සැකසීමට ඔවුන් ඉදිරිපත් කළ ඇස්‌තමේන්තුගත මුදල රුපියල් මිලියන 55 ක්‌ වූයේය. මාර්ග සංවර්ධන අධිකාරිය වෙත 2012.03.16 දින මධ්‍යම සංස්‌කෘතික අරමුදල විසින් ටෙන්ඩරය ප්‍රදානය කළේය.

මේ අතර පාර මීටර 6.2 දක්‌වා පළල් කිරීමට යෝජනා වූයේය. ඒ ස`දහා යළි ඇස්‌තමේන්තු සකසා ඉදිරිපත් කරන්නට නිර්දේශ වූයේය. අනුමත ප්‍රමිතියට අනුව බොරළු දමා පාර පිරවීම, බෝක්‌කු හා දෙපස කාණු පළල් කිරීම ඇතුළු නව පාරක්‌ නිර්මාණය කිරීමක්‌ වැනි වූ නව ව්‍යාපෘතියට එක්‌ කිලෝමීටරයක්‌ වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය ඉදිරිපත් කළ ඇස්‌තමේන්තුව රුපියල් මිලියන හැත්තෑවක්‌ විය. ඉන් තව ආයතනයට එක්‌ කරනා සියයට විස්‌සක එකතුව ඉවත්කර කිලෝමීටරයක්‌ වෙනුවෙන් රුපියල් මිලියන 55 වැයවන නව ඇස්‌තමේන්තුව ඔවුහු මධ්‍යම සංස්‌කෘතික අරමුදලට ඉදිරිපත් කළහ.

එහෙත් සංශෝධිත මිල ගණන් සහිත නව ඇස්‌තමේන්තුව 2012.06.25 දින රැස්‌වූ මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ ටෙන්ඩර් මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම මිල ගණන් වලට එකඟ විය නොහැකි බවට තීන්දු විය. අත්තිකාරමක්‌ සේ ගෙවා ඇති මිලියන 5 හැරුණුවිට ඔවුන් මෙතෙක්‌ කළ රුපියල් මිලියන විස්‌සකට වැඩ වලට අදාල ගෙවීම්ද සිදු නොවීය.

මෙම ටෙන්ඩර් මණ්‌ඩල තීන්දු වලදී ගත් අනෙක්‌ වැදගත් තීන්දුව වූයේ කලින් මාර්ගයට ගඩොල් අල්ලා ටෙන්ඩරයත් අවලංගුකර ඉවත්කර දැමූ කොන්ත්‍රාත් කරුවා කොන්ක්‍රීට්‌ ගල් ආස්‌තරණය සඳහා ඉදිරිපත් කළ ටෙන්ඩරයත් නොපිළිගැනීමය. මේ ව්‍යාපෘතිය පිළිබඳව යළි මිල ගණන් කැඳවා සුදුසු පරිදි කටයුතු කිරීම ස`දහාත් වර්ග මිලි මීටරයට නිවුටන් 40 ක ප්‍රමිතියක්‌ සහිත ගල් පාරට ඇල්ලීම සඳහා කටයුතු කිරීමටත් තීන්දු කර ඒ සඳහා උපදෙස්‌ ලබා දීමට, අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයා කළමණාකාර අධ්‍යක්‌ෂ ධූරය දරන සංස්‌කෘතික ත්‍රිකෝණයේ කොම්පැණිය වන සංස්‌කෘතික සංරක්‌ෂණ හා ඉදිකිරීම් සමාගමට පැවරිණි.

අවසානයේදී අරමුදල විසින් තම කොම්පැණියේ උපදෙස්‌ පිට කිලෝමීටරයක්‌ සඳහා මිලියන 38ක මුදලකට ගල් ආස්‌තරණය කිරීම පුද්ගලික සමාගමකට පැවරුවේය. විශේෂත්වය වන්නේ මේ මිල ගණන් ඉදිරිපත් වන්නේ වගකීම් රහිතව කොන්ත්‍රාත්තුව හැර යැම හා ප්‍රමිතියකින් තොරව වැඩ කිරීම පිළිබඳ චෝදනා ලැබ මුලින් කොන්ත්‍රාත්තුව අවලංගු කර, 2012.06.25 දින

රැස්‌වූ ටෙන්ඩර් මණ්‌ඩලය විසින් දෙවනුවත් ප්‍රතික්‌ෂේප කළ කොන්ත්‍රාත්කරුවා වීමය. ඔහුටම ප්‍රධාන පිවිසුමේ සිට කිලෝමීටරයක දුරක්‌ කොන්ක්‍රීට්‌ ගල් ඇතිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ලබා දීමට මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ කොම්පැණිය මැදිහත් වීමය. කොන්ත්‍රාත්කරුවා වෙනුවෙන් ත්‍රිකෝණයේ භූමිකාව

වැදගත්ම කතාව කියන්නට ඇත්තේ මෙතැන් සිටය. දැන් මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ අධ්‍යක්‌ෂ ජනරාල්වරයාම සභාපතිත්වය දරනා ටෙන්ඩර් මණ්‌ඩලය විසින් දෙවරක්‌ම ප්‍රතික්‌ෂේප කරන ලද කොන්ත්‍රාත්කරුවා ප්‍රධාන ප්‍රවේශයේ වැඩ කරයි. ඔහු මුලින්ම කරනු ලැබුවේ කොන්ක්‍රීට්‌ ගල් ලක්‌ෂයක්‌ වැඩබිමට ගෙන ඒමය. ඒ කිසිදු පරීක්‌ෂාවකින් තොරවය. එම ගල් පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරියේ පර්යේෂණ හා සංවර්ධන අංශය යටතේ රත්මලානේ පිහිටුවා ඇති පර්යේෂණාගාරයෙන් තත්ව පරීක්‌ෂණ වාර්තාවක්‌ කැඳවිණි. ඒ එකම ගලක්‌වත් අපේක්‌ෂිත පරිසාධන මට්‌ටමින් අඩක්‌වත් සපුරා නැති ප්‍රමිතියෙන් තොර ප්‍රතික්‌ෂේප කළයුතු මට්‌ටමේ ඒවා බව තහවුරු විය. ගල් තොගය ප්‍රතික්‌ෂේප විණි.

අනතුරුව එම ගල් වෙනුවට වෙනත් ගල් තොගයක්‌ ඔහු විසින් රැගෙන ආවේය. ප්‍රමිතිය පිළිබඳ සහතිකයක්‌ නැති එම ගල් මීටර අසූවක්‌ දුරට ඇතිරුවේය. වැදගත්ම කාරණාව වන්නේ මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ සමහර නිලධාරීන් විසින්ම මේ ගල් ගැන තත්ව පරීක්‌ෂණ වාර්තාවක්‌ කැඳවීම වැලැක්‌වීමය. එහෙත් වැඩබිම් බාර නිලධාරීහු එම පරීක්‌ෂණය කළහ. එම ගල්ද අර්ල ප්‍රමිතියෙන් අඩක්‌වත් සපුරා තිබුණේ නැත. ( එම වාර්තාව මේ සමග පළවේ). දැන් කළ යුතුව තිබුණේ එක්‌කෝ මෙම කොන්ත්‍රාත්කරුවා මාරු කිරීමය. නොඑසේනම් රටේ උත්තම උරුම බිම් පෙත් ඇසුරෙහි අපාගත වන ජාවාරම් නොකර මෙම අඩු ප්‍රමිතියක්‌ සහිත ගල් ගලවා ඉවත්කර වැඩේ වැඩක්‌ විදිහට කරවීමය. එහෙත් සිදුවූයේ විලිලඡ්ජා නැති කටයුත්තකි. මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ අධ්‍යක්‌ෂ ජනරාල්වරයා, තමන් විසින්ම සභාපතිත්වය හොබවන ටෙන්ඩර් මණ්‌ඩලයෙන් දෙවරක්‌ ප්‍රතික්‌ෂේප වූ කොන්ත්‍රාත් කරුවෙක්‌ විසින්, තමන් විසින්ම ටෙන්ඩර් මණ්‌ඩලයෙදී අනුමත කළ ප්‍රමිතියට වඩා අඩක්‌ අඩු ප්‍රමිතියක්‌ සහිත ගල්, රටේ ජනාධිපතිවරයාගේ නිර්දේශ ප්‍රකාරව කරනා ව්‍යාපෘතියකදී භාවිත කිරීමට ඉඩ හැර ඒ සඳහා ගෙවීම් අනුමත කිරීමය. රාජ්‍ය මූල්‍ය නීතිවල සකලවිධ සදාචාරයන් උල්ලංඝනය වී තිබුණේ ඒ ආකාරයටය. මේ වනවිට එම බාල ගල් 75 000 ඇල්ලීම වෙනුවෙන් රුපියල් ලක්‌ෂ අසූ හයක මුදලක්‌ මධ්‍යම සංස්‌කෘතික අරමුදල කොන්ත්‍රාත්කරුවාට ගෙවා තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ කතාව

මේ කතාව කියන්නේ අප නොව, මාර්ග සංවර්ධන අධිකාරියේ පොලොන්නරුවේ ප්‍රධාන මාර්ග ඉංජිනේරු ඒ. එම්.යූ අරම්පොලය.

"මේ කටයුත්තට මා මැදිහත් වන්නෙ මගේ අධ්‍යක්‌ෂ ජනරාල් හරහා. මේ ව්‍යාපෘතිය වෙනුවෙන් සියලුම සම්බන්ධීකරණ කටයුතු සිද්ධවන්නේ මගේ නඩත්තු කළමනාකරණ හා ඉදිකිරීම් අධ්‍යක්‌ෂ වරයා අතින්.. මුලින්ම මේක අවබෝධ කරගත යුතුයි. අපි රාජ්‍ය ආයතනයක්‌. අපට එක්‌ එක්‌කෙනාගෙ කැමැත්ත අනුව ඇස්‌තමේන්තු හදන්න බෑ. අප රාජ්‍ය ආයතනයක්‌ විදිහට වැඩ කරන ප්‍රමිතියක්‌ තියනවා. ඒ සඳහා මාර්ගෝපදේශනයක්‌ තියනවා. ඒවා නිර්මාණය වෙන්නෙ ලෝක සම්මත ප්‍රමිතීන්ට අනුවයි."

"ගල් විහාරෙ පාරට අපි ඇස්‌තමේන්තුව ඉදිරිපත් කළේ ඒ ප්‍රමිතියට. මේ පාරෙ පළල තිබුණෙ මීටර හතරයි දශම පහයි. මුල්ම ඇස්‌තමේන්තුව හැදුවෙ ඒ පළලට. ඒක කිලෝ මීටර දෙකක්‌ ස`දහා මිලියන පනස්‌ පහක්‌ උනා. ඒත් පසුව පාර මීටර 6.2 පළල් වෙන්න ඕන කියලා කිව්වා. අපි ග්‍රෙවල් අතුරලා සම්මත ප්‍රමිතියට සම්පීඩනය කරලා පාර පළල් කළා. ඒ බොරළු ඉතා නිවැරදි ප්‍රමිතියේ ඒවා. සම්පීඩනය කරපු බොරළු මතුපිට උඩ අඟල් අටක ඒබීසී එකක්‌ දැම්මා. නියම ප්‍රමිතියට සම්පීඩනය කළා. ඒ උඩින් තාර ලේයර් එකක්‌ දැම්මා. එහෙම කළේ පාදමට වතුර යන්නෙ නැතිව සීල් කරන්න. ඒ තාර ඇතිරුම මත වැලි අතුරනයක්‌ දාලා ඒ උඩයි කොන්ක්‍රීට්‌ ගල් අතුරන්න සැලසුම් කළේ. මීට අමතරව කාණු පළල් කළා. පැති බැමි දැම්මා. වර්ග මිලි මීටරයට නිව්ටන් හතලිහට වඩා වැඩි ප්‍රමිතියෙ ගල් වල මිල ගණන් පමණක්‌ ඉදිරිපත් කළා. ඒ ප්‍රමිතියට වැඩ කරන්න දෙවන ඇස්‌තමේන්තුව හැදුවාම ඇත්තටම ඒක කිලෝ මීටරයකට මිලියන 70 ක්‌ උනා.

ඇස්‌තමේන්තුවක්‌ හදනකොට අපි ඒකට සියයට විස්‌සක්‌ අපේ ආයතනයේ ලාභය සේ එකතු කරනවා. රටේ වැඩක්‌ ලෙස කල්පනා කරලා අප ඒ සියයට විස්‌ස අඩු කළා. මෙතන අන්තිමට ඉතිරි උනේ අප පින් තකා රටට කරන වැඩක්‌. මිල වැඩිවුනේ මේ ඉහළ ප්‍රමිතිය නිසා. අප කළ කටයුත්ත ගැන අපට අභියෝග කරන්න කරන්න කෙනෙක්‌ නෑ. ඒක ඒතරම් ඉහළ ප්‍රමිතියක්‌ සහිත වැඩක්‌. සසඳන්න ඕන ඒ ප්‍රමිතියයි.

සියල්ල පැහැදිලිය. ඇත්තටම අපව කම්පනයට පත් කරන්නේ ලාදුරු රෝගියෙකුටත් එපිටට ගිය, මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ මහත්වරුන්ගේ අසංවේදී කමය. මන්දබුද්ධික කමත් ඉක්‌මවා යන නොතේරුම් කමය. බාගෙන කන්නට අවස්‌ථාවක්‌ නිර්මාණය වනවිට ලෝකයක්‌ තමන් දෙස බලාගෙන සිටිනවා යෑයි අමතක කර ඉහගෙන කන්නට දඟලනා විලිලඡ්ජා නැති කමය. ඒ විලිලඡ්ජා නැතිකම සියල්ලටම වඩා විසාලය.

ජානක ලියනආරච්චි
දිවයින ඇසුරින් පලකරන ලදී.
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all