Friday, December 7, 2012

සොල්දාදුවකුට දාව උපන් මහා ගණිතඥයා “ජොහැන්නස් කෙප්ලර්”

ජොහැන්නස් කේප්ලර් උපත ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 1571 දෙසැම්බර් මස 23 වැනිදාය. ඒ දකුණු ජර්මනියේ “වීල්” නගරයේදීය. ඔහුගේ පියා සොල්දාදුවෙකි. කෙප්ලර් කුඩා කලදීම වසූරිය නමැති දරුණු රෝගයෙන් පෙළුණේය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු හතරක් පමණ විය. දරුණු වසූරිය රෝගයේ ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ අත් දෙකද කොර වී තිබුණි.

කෙප්ලර් පාසල් යන කාලයේදී ඉගෙනීමට උපන් හපනෙක් විය. ඔහු පන්තියේ සිටි දක්ෂතම ශිෂ්‍යයා විය. ඕනෑම ගැඹුරු සංකල්පයක් වුවද ඉතා ඉක්මනින් තේරුම් ගැනීමේ හැකියාව ඔහු සතු විය. කෙප්ලර්ගේ දෙමාපියන්ගේ බලා‍පොරොත්තුව වූයේ ඔහු දේව ගැතියෙකු වනු දැකීමය. එහෙත් ඔහු දස්කම් දැක්වූයේ විද්‍යා අංශයටය.

ක්‍රිස්තු වර්ෂ 1586 දී තුන්බිංජන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය සඳහා යාමට කෙප්ලර්ට සිදුවිය. ඔහු එහිදී ඉතාමත්ම අඩු වයසින් උපාධිය ලබා ගත්තේය. ඒ වන විට කෙප්ලර් අවුරුදු 20ක් වයසැති හැඩි දැඩි තරුණයෙක් විය. ඔහු දේව ධර්මය ඉගෙන ගත්තද ඔහුගේ සිත විද්‍යා විෂයයන් කෙරෙහි වැඩි ඇල්මක් දැක්වීය. විශේෂයෙන්ම තාරකා විද්‍යාව සහ ගණිතය සඳහා ඔහු ආශා කළේය. ඒ අනුව කෙප්ලර් තව තවත් තමා අකමැති දේව ධර්ම ඉගෙනීමට කාලය නාස්ති නොකළේය. ඔහු දේව ධර්මය ඉගෙනීම නවත්වා තාරකා විද්‍යාව සහ ගණිතය ඉගෙනීමට පටන් ගත්තේය. රාත්‍රී කාලයේදී අහස නිරීක්ෂ-ණය කරමින් ආකාශ වස්තු පිළිබඳව   පර්යේෂණ කළ කෙප්ලර්, දහවල් කාලයේදී ගණිතය පිළිබඳ දැනුම ප්‍රගුණ කළේය. ඒ අනුව තාරකා විද්‍යාවෙහි සහ ගණිතයෙහි ප්‍රවීණයෙකු වීම සඳහා ඔහුට වැඩි කලක් ගත නොවීය. ඒ නිසාම වැඩි කල් යන්නට මත්තෙන් “ග්‍රේස්” විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය තනතුර ඔහුට ලැබුණි.

ක්‍රිස්තු වර්ෂ 1546-1601 කාලය වකවානුව තුළ ජීවත් වූ ටයිකෝ බ්‍රාහේ කෙප්ලර්ගේ ගුරුවරයාය. ඔහුත් සමග එකතු වී වැදගත් නිරීක්ෂණ රාශියකට දායක වීමට කෙප්ලර්ට හැකිවිය. 1601 දී ටයිකෝ බ්‍රාහේ මිය ගිය පසු කෙප්ලර් ඔහුගේ පරික්ෂණාගාරයෙහි අයිතිකරුවා විය. එහිදී ටයිකෝ බ්‍රාහේ විසින් සිදුකළ නිරීක්ෂණවල වාර්තා ඉතා හොඳින් අධ්‍යයනය කිරීමට ඔහුට හැකිවිය. කෙප්ලර් ඔහුගේ බොහොමයක් මත සඳහා එකඟ වුවද, ඔහු සූර්යා හා සෞරග්‍රහ මණ්ඩලයෙහි ග්‍රහලෝකවල පිහිටීම සහ චලනය පිළිබඳව ඉදිරිපත් කර තිබූ මතය හා එකඟ වීමට අකමැති විය. 

කෙප්ලර්ගේ පර්යේෂණවලට අනුව කොපනිකස්ගේ සූර්යය කේන්ද්‍රවාදී මතය සත්‍ය එකක් විය. කොපනිකස් මෙන්ම මොහුද විශ්වාස කළේ සූර්යයා විශ්වයේ මැද පිහිටා ඇති බවයි. එමෙන්ම පෘථිවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝකද සූර්යයා වටා පරිභ්‍රමණය වන බව තරයේ කියා සිටි ඔහු ග්‍රහලොවක සිට සූර්යයාට ඇති දුර සහ එහි පරිභ්‍රමණ කාලය අතර කිසියම් සබඳතාවක් පවතින බව ප්‍රකාශ කළේය. තමා දන්නා ගණිතමය ක්‍රම උපයෝගි කර ගනිමින් ග්‍රහලෝකවලට සූර්යයා වටා එක් පරිභ්‍රමණයක් අවසන් කිරීම  සඳහා ගතවන කාලය දළ වශයෙන් ගණනය කිරීමට කෙප්ලර් සමත් විය. ඔහුට අනුව බුධ ග්‍රහයාට සූර්යයා වටා එක් වටයක් පරිභ්‍රමණය වීමට දින අනූවක කාලයක්ද, සෙනසුරු ග්‍රහලෝකයට ඒ සඳහා අවුරුදු තිහක කාලයක්ද ගතවේ.

ග්‍රහලෝකවලට සූර්යයාගේ සිට ඇති දුර වැඩිවත්ම ඒවායෙහි පරිභ්‍රමණ කාලයද වැඩිවන බව කෙප්ලර්ගේ අදහස විය. තම ගුරුවරයා වූ ටයිකෝ මෙන්ම කෙප්ලර් ද අඟහරුගේ කක්ෂය පිළිබඳව වඩාත් සැලකිල්ලෙන් පසු වූ අයෙකි. වසර ගණනාවක් පුරා අඟහරු කක්ෂය පිළිබඳව අධ්‍යයනය කළ ඔහු ප්‍රථම වරට එය ගණනය කළේය.

ක්‍රිස්තු වර්ෂ 1609 දී කෙප්ලර් විසින් රචනා කරන ලද නව තාරකා විද්‍යාව (New Astronomy) නමැති ග්‍රන්ථය එළිදැක්වීය. තාරකා විද්‍යාව පිළිබඳව ලියවුණු පැරණි ‍පොත පත අතරින් ඉතා වටිනා ග්‍රන්ථයක් වන මෙය ලිවීම සඳහා අවශ්‍ය තොරතුරු ඔහුට ලැබුණේ අඟහරුගේ කක්ෂය පිළිබඳ කරන ලද පර්යේෂණවලින් බව කියවේ. ග්‍රහලෝකවල චලිතය පිළිබඳ කියවෙන නියම දෙකක් ඔහුගේ මෙම ග්‍රන්ථයෙහි සඳහන් කර තිබුණි.

ග්‍රහලෝක සූර්යයා වටා පරිභ්‍රමණය වන්නේ වෘත්තාකාර ගමන් මාර්ගවල නොව ඉලිප්සීය මාර්ගවල වන අතර ඒවා ගමන් කරනුයේ ඒකාකාර ප්‍රවේගයකින් නොවේ යන්න ඉන් පළමුවැන්න වේ. දෙවැන්නට අනුව යම් ග්‍රහලොවක මැද සිට සූර්යයාගේ මැදට අඳින ලද කෙළින් රේඛාවක් සමාන කාලවලදී සමාන වර්ග ප්‍රමාණ දක්වයි. 

නව තාරකා විද්‍යාව ග්‍රන්ථය එළිදක්වා හරියටම අවුරුදු හතකට පසුව කෙප්ලර් විසින් රචිත ඊළඟ ග්‍රන්ථය වන “Harmony of the Worlds” එළිදැක්වීය. එහි ග්‍රහලෝකවල චලිතය පිළිබඳව කියවෙන තවත් නියමයක් ඉදිරිපත් කර තිබුණි. මෙය පසුකලකදී ග්‍රහලෝකවල චලිතය පිළිබඳ කියවෙන කෙප්ලර්ගේ තෙවන නියමය ලෙස ප්‍රසිද්ධියට පත්විය. කිසියම් ග්‍රහලොවක් සූර්යයා වටා පරිභ්‍රමණය වීමට ගන්නා කාලය එම කාලයෙන්ම ගුණ කළ විට ලැබෙන අගය (වර්ගය) සූර්යයාගේ සිට එම ග්‍රහලොවට ඇති මධ්‍යම දුරට අනුපාතික වන බව එම නියමයෙන් කියවේ. සුර්යයාට කිට්ටුවෙන්ම පිහිටා ඇති ග්‍රහලෝකවල වර්ෂයකට වඩා සූර්යයාගෙන් වඩාත් ඈත්ව පිහිටා ඇති ග්‍රහලොවක වර්ෂය දීර්ඝ එකක් බව එහි සරල අදහසයි.

කොපනිකස්ගේ සූර්යය කේන්ද්‍රවාදී විශ්වය පිළිබඳව වඩාත් ගැඹුරින් අධ්‍යයනය කළ මොහු සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳව කළ වැදගත් සොයාගැනීම් රාශියකම පුරෝගාමියා  විය. තාරකා විද්‍යාව සඳහා අනුපමය මෙහෙයක් ඉටු කරමින් පුරා අවුරුදු 59ක කාලයක් ජීවත් වූ මොහු ක්‍රිස්තු වර්ෂ 1630 නොවැම්බර් 15 වැනිදා මරණයට පත්විය.

තරංග කුසුම්සිරි 
ලක්බිම ඇසුරින් පල කරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all