Photobucket

Friday, March 8, 2013

පෞරුෂය යනු ගොඩනගා ගත හැකි දෙයකි

"පවුල රකින ඇය සුරකිමු" මේ 2013 ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාවයි. සමස්‌ත ශ්‍රී ලාංකික ජනගහනයෙන් 50% ක්‌ ඉක්‌මවූ සංඛ්‍යාවක්‌ කාන්තාවන්ය. 2011 වසරේ මැද වන විට ශ්‍රී ලාංකීය ජනගහනය 20,869,000 ක්‌ බව 2011 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන්ව ඇත. මින් හරි අඩකට වැඩි ප්‍රමාණයක්‌ කානතාවන් වන අතර මින් ක්‍රියාකාරි ජනගහනය මිලියන 8.11 කි. ක්‍රියාකාරි ජනගහනයන් මිලියන 7.89 ක්‌ ශ්‍රම බළකාය වේ. ශ්‍රම බළකාය සමස්‌ත ජනගහනයෙන් 48.2% ක්‌ වේ. ශ්‍රම බළකායෙන් 31.2% ක්‌ 2010 වසරේදී කාන්තාවන් නියෝජනය කළ අතර 2011 වසරේදී එම ප්‍රමාණය 31.8% දක්‌වා වැඩි වී ඇත. ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වූ ආයතනවල සේවා නියුක්‌තිය 299,902 ක්‌ වන අතර මෙම ආයතන වලින් වැඩි ප්‍රමාණයක්‌ ඇඟලුම් ආශ්‍රිත කර්මාන්තයන්ය. ඇඟලුම් කර්මාන්තවල 75% කට වැඩි ප්‍රමාණයක්‌ සේවය කරන්නේ කාන්තාවන්ය. වැවිලි කර්මාන්තය ආශ්‍රිතව වතුකරයේ ජනගහනය මිලියනයක්‌ පමණ වේ. වතු ආශ්‍රිත වැවිලි කර්මාන්තයේ ශ්‍රම බළකායේ බහුතරය කාන්තාවන්ය. විදේශගත ශ්‍රමිකයන් සංඛ්‍යාව මිලියන 1.6 කට ආසන්නය. මින් හරි අඩක්‌ පමණ ගෘහ සේවිකාවන්ය.

පසුගිය යුද සමයේ පිරිමින් වැඩි වශයෙන් යුද්ධ සේවයට එක්‌ වීමත් සමගම සමහර රැකියා සඳහා ප්‍රවේශ වීමේ අවස්‌ථාව කාන්තාවන්ට උදාවිය. මින් ප්‍රධාන වන්නේ භාණ්‌ඩ හා සේවා සැපයුම් අංශයයි. තොරතුරු තාක්‍ෂණ අංශයේ හා පෞද්ගලික අංශයේ ආයතනවල විධායක හා කාර්යාලගත තනතුරුවල නියෑළෙන කාන්තා ශ්‍රමිකයන් සංඛ්‍යාත්මකව ඉහළ යමින් පවතී. විශේෂයෙන් කාන්තාවන් උසස්‌ අධ්‍යාපනයට වැඩි වශයෙන් යොමුවීමද උගත් ශ්‍රමිකයන් වශයෙන් පෞද්ගලික අංශයේ ශිල්පීය මට්‌ටමේ තනතුරු සඳහා යොමුවන ආකාරයද පෙනෙන්නට තිබේ. පුළුල්වන ආර්ථික හා සමාජ පසුතලය තුළ කාන්තාවන්ට වැඩි අවස්‌ථා හිමි වන මෙම නව ප්‍රවණතාවට සමගාමීව සමාජ ආකල්ප ධනාත්මකව වර්ධනය නොවීම නිසා මෙම යුගයේ කාන්තාවන් විවිධ හිංසාවන්ට ලක්‌වන බව පෙනෙන්නට තිබේ. මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව පරිදි පවුලක්‌ රකින්නේ කාන්තාවන්ය. මන්ද පෙරදිග සංස්‌කෘතික වටිනාකම්වලින් පෝෂිත අප රටේ කාන්තාවන්ට පවුලේ වැඩි වගකීම පැවරී ඇති බැවින් පවුලක්‌ සුරකින ඇය අප විසින් ආරක්‍ෂා කළ යුතුය.

කාන්තාවක වශයෙන් නිවස තුළදී, මහමග ගමන් කිරීමේදී හෝ ආයතනයක සේවය කිරීමකදී හෝ පමණක්‌ නොව ජීවන රටාව තුළ ගතකරනු ලබන සෑම අවස්‌ථාවකදීම තම සුරක්‍ෂිතතාව පිළිබඳ අවධානය යොමුකළ යුතුය. තම සුරක්‍ෂිතතාව පිළිබඳ හැඟීම ගිලිහෙන සෑම අවස්‌ථාවක දී ඕනෑම ආකාරයක හිංසනයට ලක්‌වීමේ හැකි වාතාවරණයක්‌ දකින්නට ඇත. කායික හා මානසික වශයෙන් දෙආකාරයටම කාන්තාවන් පීඩනයට පත්වන අන්දම මාධ්‍ය සහ පොලිස්‌ වාර්තා අනුව පෙනේ. 2012 වර්ෂයේ කාන්තාවනට එරෙහි සුළු අපරාධ 6015 ක්‌ ද, බරපතල ගණයේ අපරාධ 965 ක්‌ ද, වාර්තා වී ඇති බව පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයේ වාර්තා අනුව අනාවරණය වී ඇත. මෙයින් විසඳීමේ ප්‍රතිශතය සුළු අපරාධ සම්බන්ධයෙන් 74% ක්‌ ද, බරපතල අපරාධ සම්බන්ධයෙන් 49% ක්‌ ද වේ. මේ අනුව පෙනෙන්නේ අපරාධ ප්‍රමාණය මෙන්ම නොවිස» අපරාධ ප්‍රමාණයද අධික බවය. මෙම හිංසාකාරී තත්ත්වයෙන් මිදී නිදහස්‌ව ජීවත්වීමට තරම් වූ දියුණු සමාජ ලක්‍ෂණ තවමත් ඈතය. එබැවින් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තරම් වූ පෞරුෂත්ව ගුණාංගයන් කාන්තාවන් තුළ වර්ධනය කළ යුතුය.

පෞරුෂත්වය යනු කුමක්‌ දැයි සරලව හඳුනාගත යුතුය. ඕනෑම අයෙකුගේ පෞරුෂත්වය වර්ධනය ආරම්භ වන්නේ මවුකුස පිළිසිඳගත් දා සිටය. එතැන් සිට මව ලබන සියලු ආකාරයේ අත්දැකීම්, මුහුණ දෙන අභියෝගයන් කුස තුළ සිටින දරුවා ග්‍රහණය කරගන්නා බව සමාජ විද්‍යාඥයන්ගේ මතයකි. පවුල තුළ දී ද ආයතනය තුළදී ද මව ලබන පීඩනය කුස තුළ සිටින දරුවාට දැනේ. එබැවින් ගර්භණී කාන්තාවන් ක්‍රියාකළ යුත්තේ ද, අන්‍යයන් ඇය ගැන ක්‍රියා කළ යුත්තේ ද කුස තුළ සිටින දරුවා පිළිබඳ සිතේ තබා ගෙනය. මෙලෙස මවු කුසින් මෙලොව දකින දරුවා මවු ඇකයේ තුරුල් වී මවුකිරි උරාබීමෙන් ලබන සෙනෙහස ද, පියාගේ ආදරය හා පවුලේ අනෙකුත් අයගේ ආදරය මැද, ක්‍රමිකව වර්ධනය වේ. දරුවා උස මහතින් වැඩි වී අධ්‍යාපනය තුළින් සමාජ අවබෝධය ලබාගනී. රූප ලක්‍ෂණ වර්ධනයවී සමාජ ගත වේ. මෙවැනි දරුවකුගේ උස මහත හෝ රූප ස්‌වභාවය පෞරුෂය නොවේ. පවුල තුළ ආදරය හා සෙනෙහස තුළින් ද සමාජ අත්දැකීම් හා ලබන අධ්‍යාපනය තුළින් ක්‍රියාකාරී වන පුද්ගල චරිතය තුළ ඇති "හැසිරීම, ගති ස්‌වභාවය සහ මනසේ ක්‍රියාකාරිත්වය" පෞරුෂත්ව ගුණාංග වශයෙන් හඳුනාගත හැකිය.

ශරීර ශක්‌තියෙන් හොඳින් වර්ධනය වුවද යහපත් පෞරුෂයක්‌ දක්‌නට නොතිබිය හැකිය. පෞරුෂත්වය දෙආකාරය. එනම් යහපත් හා අයහපත් වශයෙනි. එය යහපත් වීමට නම් හොඳ සමාජ ඇසුරක්‌ මැද හොඳ මවකගේ පියකුගේ සෙනෙහස තුළින් යහපත් චරිතයක්‌ ගොඩනඟා ගත යුතුය. අයහපත් පරිසරයක අනාදරය මධ්‍යයේ වැඩෙන දරුවකු තුළින් යහපත් පෞරුෂයන් අපේක්‍ෂා කළ නොහැකිය. පෞරුෂය ගොඩනඟා ගත හැකි දෙයකි. යම් අයකු ලබන අධ්‍යාපනය ඊට ඉවහල් වේ. බෞද්ධයන් වශයෙන් පෞරුෂත්වයෙන් ඉහළම තැනැත්තා ලෙස පිළිගනු ලබන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේය. බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානශීලිත්වය, ඉවසීම, දේශනා විලාසය සහ පුද්ගලයන් දමනය කිරීම සඳහා යොදාගත් උපක්‍රම තුළින් එය මැනවින් පැහැදිලි වේ. යහපත් පෞරුෂයක්‌ ඇති පුද්ගලයකු කලහකාරී නොවේ. ඔහු තුළ පාපී සිතුවිලි, පළිගැනීම් හෝ බද්ධ වෛරයක්‌ දක්‌නට නැත. එසේම ක්‍රමානුකූලව අවබෝධයෙන් කටයුතු කරයි. මේවා කාන්තාවකට පමණක්‌ නොව ඕනෑම අයකු තුළ තිබිය යුතු ලක්‍ෂණයන්ය. එහෙත් මෙය කාන්තාවන් සම්බන්ධයෙන් සුවිශේෂී තත්ත්වයකි.

වැඩිහිටියන් හෝ අන් අය ඔබ ගැන කියන සිතන දේ ඔබගේ පෞරුෂත්වය මැනීමට ඇති උපකරණයකි. පවුල තුළ තරුණියක වශයෙන් ඔබට ඇති තත්ත්වය කුමක්‌ද? ඔබගේ පියා ඉදිරියේ... මව ඉදිරියේ.... පවුලේ අනෙකුත් අය ඉදිරියේ ඔබගේ පෞරුෂත්වය කුමක්‌ද? ඔබ පිළිබඳ ඔවුන් යහපත් අයුරින් සිතනවා නම් ඔබ යහපත් පෞරුෂයක්‌ ගොඩනඟාගෙන ඇත. ඔබ රැකියාව නිම වී නිවසට පැමිණෙනතුරු අම්මා ගෙයි උළුවස්‌සට පිටදී මඟ බලමින් සිටිනවාද? නැතිනම් පියා හෝ සහෝදරයකු ඔබ එන පෙරමඟට පැමිණ ඔබ සමඟ නිවසට එයිද?... ප්‍රමාද වූ විට බියවේද?.... ඒ ඔබ පවුල තුළ ගොඩනඟාගත් පෞරුෂමය වර්ධනීය තත්ත්වයකි. ඔබ මවට පියාට හොරෙන් සදාචාර විරෝධී ලෙස හැසිරේද... මවට පියාට මුහුණදිය නොහැකි ලෙස හැසිරේද?.... ඔබ යම් රැකියාවක නිරත වනවා නම් ඔබට ඔබගේ රැකියාව නිසි පරිදි ඉටු කිරීමට ඔබට ඔබගේ මූලික පවුල තුළ ඇති "තත්ත්වය" ඉතා වැදගත්ය. ඔබ ඔබගේ මූලික පවුල තුළ යහපත් පෞරුෂයක්‌ ගොඩනඟාගෙන ඇත්නම් එය ඔබගේ රැකියාව නිසි පරිදි ඉටු කිරීමට අවශ්‍ය වැදගත් ප්‍රථම සාධකයකි.

තරුණ වියට එළඹෙන තරුණියක්‌ වන ඔබ මුහුණ දෙන මීළඟ වැදගත් සාධකය ඔබගේ විවාහයයි. ආදරය, සෙනෙහස යන මානසික හැඟීම් ඕනෑම පුද්ගලයකු තුළ ස්‌වභාවයෙන්ම ඇතිවන දෙයකි. මෙම හැඟීම් ඔබ විසින් සන්තර්පනය කරගනු ලබන ආකාරය අනුව ඔබගේ මුළු ජීවිත කාලය කෙබඳු ආකාරදැයි තීරණය වේ. ඔබගේ ජීවිතයේ පාර්ශවකරුවකු වීමට ඔබට ආදරය, සෙනෙහස පුදන පුද්ගලයා සමහරවිට සොරකු, වංචාකාරයකු, සල්ලාලයකු හෝ විවාහකයකු විය හැකිය. ඔබ ඔබගේ නිර්මල ආදරය පිදීමට ප්‍රථම ඔහුගේ අනන්‍යතාව, පදිංචි ස්‌ථානය, ලිපිනය, රැකියාව, අධ්‍යාපන මට්‌ටම පිළිබඳ නිශ්චිත තොරතුරු දැනගත යුතුය. රූපයට, කඩවසම් බවට හෝ යාන වාහන වලට රැවටී ඔබ මුළා වුවහොත් සමහරවිට ඔබට ඔබම නැති වී යනු ඇත. ඔබ ඔහුගේ පෞරුෂ ලක්‍ෂණ හඳුනාගත යුතුය. කලහකාරි හෝ හිංසාකාරී ලක්‍ෂණ පවතීදැයි විමසිලිමත් විය යුතුය. කලහකාරී හෝ හිංසාකාරී ලක්‍ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ තව දුරටත් සිතා බැලිය යුතුය. ඔහුට අවශ්‍ය ඔබ සමඟ හුදෙකලා වීමට පමණක්‌ද? නැත්නම් නවාතැන් පොළකට හෝ පාළු නිවසකට යැමට ඔබට බල කරයිද? ඔබගෙන් මානසික බැඳීමකට වඩා කායික ඇසුරක්‌ ඔහු අපේක්‍ෂා කරයිද? ඔබ තේරුම් ගත යුතුය. ඔබට රැකියාවක්‌ කර ඔහුව නඩත්තු කිරීමට සිදුවේද?.... සේවා නියුක්‌ති කාන්තාවක වන ඔබ නිවැරැදිව තීරණය නොකළහොත් ඔබගේ රැකියාව ඔබට අහිමි විය හැකිය. නැතිනම් අවිවාහක ඔබව මවක්‌ කර පෙම්වතා අතුරුදන් වනු ඇත. ඔහුගේ ආදරය ඔබට අහිමි වුවහොත් එය දරාගත හැකි තත්ත්වයක ඔබ සිටීද?.... ඔබ එය තේරුම් ගත යුතුය. ඔබ ගන්නා තීරණය නිවැරදි නම් ඔබ යහපත් පෞරුෂයක්‌ ඇති කාන්තාවකි.

ඔබ විවාහක නම් ඔබගේ වගකීම සුළුපටු නොවේ. රැකියාවට ප්‍රථම ඔබට ඔබගේ ස්‌වාමියා සඳහා යුතුකම් ඉටුකිරීමට සිදු වනු ඇත. නිවස පිරිසිදුව තබා ගැනීමේ සිට සෑම කාර්යයක්‌ම ඔබ සතුය. ඒ සඳහා ඔබ නායකත්වය පවුල තුළ ඉසිලිය යුතුය. නිවසේ කටයුතු සඳහා ස්‌වාමියාගේ සහාය ලබා ගැනීමට ඔබට හැකියාව තිබිය යුතුමය. පවුලේ සියලුම කටයුතු නිවැරදිව හා ඉවසිලිවන්තව ඉටු කරන අතර රැකියාවද නිවැරැදිව හා ඉවසිලිවන්තව කළ යුතුමය. මේ සඳහා නිවසේ කටයුතු නිවැරැදිව කළමනාකරණය කළ යුතුමයි. ඔබගේ පෞරුෂත්ව ගුණාංග ඉස්‌මතු වන්නේ ඔබ රැකියාව හා පවුලේ කටයුතු කළමනාකරණය කරගන්නා ආකාරය අනුවය. ඔබට දරුවන් සිටීනම් හෝ දරුවකු අපේක්‍ෂා කරන්නේනම් පවුලේ කටයුතු හා වගකීම් තව තවත් වැඩිවේ. අපගේ සේවා නියුක්‌ති කාන්තාවන් වඩාත් අපහසුතාවට පත්වන්නේ මෙතැන් සිටය. දරුවන් රැකබලා ගැනීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ අප රටේ ස්‌ථාපිත වී නොමැත, ඔබගේ හෝ ස්‌වාමියාගේ මව පියා හෝ වැඩිහිටියකු සිටීනම් ඔබට පහසුය. නැතිනම් ඔබට දරුවා දිවා සුරැකුම් මධ්‍යස්‌ථානයක තබන්නට සිදු වේ. මෙම තත්ත්වය මත බොහෝ සේවා නියුක්‌ති කාන්තාවන් රැකියා වලින් ඉවත්ව යන අවස්‌ථා පවා දකින්නට ඇත. පවුලේ කටයුතු ද රැකියාවද එකවිට ආරක්‍ෂා කර ගත හැකිනම් එය ඔබගේ ජයග්‍රහණයකි.

ඔබගේ පවුල තුළ ගැටුම් පවතීද? එය ඔබ පසුගාමී බවට ගෙන යන ලක්‍ෂණයකි. ගැටුම් පවතී නම් එම ගැටුම් ඇතිවන හේතුව හඳුනාගෙන එම හේතුව නැතිකර දැමීමෙන් ගැටුම් අවසන් කර ගත යුතුය. බොහෝ විට ස්‌වාමියාගේ බීමත්කම හෝ වෙනත් හේතුවක්‌ මෙයට මුල්වනු ඇත. නැතිනම් ඔබ සිදු කළ වරදක්‌ හෝ ප්‍රමාද දොaෂයක්‌ නිසා ගැටුම් ඇතිවිය හැකිය. පවුල ආරක්‍ෂා කර ගැනීම මූලික කාරණයයි. එහෙත් ඔබ ගැටුම්වලට මුහුණ දී ඇත්නම් එය රැකියාවට නිතැතින්ම බාධාවකි. ගැටුමක්‌ පවතී නම් එය විස¹ ඉදිරියට යැම හොඳ ලක්‍ෂණයකි. පවුල් උපදේශකයකු හෝ වෙනත් සුදුසු අයෙකුගෙන් ඔබ උපදෙස්‌ පැතිය යුතුමය. මේ වනවිට ලංකාවේ දෛනිකව දික්‌කසාද 300 ක්‌ පමණ සිදු වන බවත් මෙම විවාහ ඉතා කෙටි කාලීන බවත් අනාවරණය වී ඇත.

අනියම් සබඳතා බොහෝ පවුල් ආරවුල්වලට මූලික හේතුවයි. කාන්තාවක වශයෙන් ඔබ වරදක්‌ කර ඇත්නම් එය සුළුපටු දෙයක්‌ නොවේ. ඔබ කළ එම වරද ඔබගේ ජීවිත කාලය පුරාම ඔබ පස්‌සෙන් පැමිණෙනු ඇත. ඔබගේ ස්‌වාමියා දුර ප්‍රදේශයක හෝ විදේශගතව රැකියා කරනවා විය හැකිය. ඔබ දෙදෙනාගේම අවශ්‍යතා ඉටුවන පරිදි තීරණ ගැනීම වැදගත්ය. ඔබ රැකියාවෙන් ඉවත් වී ස්‌වාමියා ළඟට ගොස්‌ එහි රැකියාවක්‌ සොයා ගැනීම හෝ ස්‌වාමියා ඉක්‌මනින් පැමිණෙන තෙක්‌ ඔබ ඉවසා සිටිය යුතුමය. ඔබ තාවකාලික හෝ ක්‍ෂණිකව ඇතිවන පෙළඹීමකට ගොදුරක්‌ වුවහොත් එය සැමදා ඔබට පීඩාවක්‌ මිස සතුටක්‌ නොවනු ඇත. ඔබට රහසිගතව යම් දෙයක්‌ සිතේ තබාගත හැකි වුවද ඒ නිසා ඇතිවන මානසික පීඩනය සැමදා ඔබ සමඟය.

අද සමාජය සාරධර්ම පිරිහෙමින් පවතින්නා වූ සමාජයකි. ඔබට උදවු කරන්නට නොව ඔබ බිලිගන්නට සිටින්නන් බොහෝය. සමහර විට ඔබට ඉතා ළබැඳිව උදව් කරන්නා ද ඔබව බිලිගෙන ඇත. සේවානියුක්‌ති කාන්තාවක වශයෙන් ඔබ රටට කරන්නේ ඉමහත් සේවයකි. ඔබ ආරක්‍ෂා විය යුතුය. අද ජංගම දුරකථනය අපට පහසුවක්‌ ගෙන දුන්නද එය මාරකයක්‌ බවටද පත්වී ඇත. ජංගම දුරකථන නිසා ඇති වී ඇති පවුල් ආරවුල්, දික්‌කසාද, අපරාධ විශාලය. එම නිසා ඔබගේ දුරකථන අංකය අත්‍යවශ්‍ය නොවන්නන්ට හා අවිශ්වාස පුද්ගලයන්ට ලබා දීමෙන් ඔබ වැළකිය යුතුය.

ඔබගේ රැකියාව ඔබව ඔසවා තබන්නක්‌ විය යුතුය. රැකියාව ඔබගේ ජීවිතයේම කොටසකි. එය කිසිවිටෙක බාහිර දෙයක්‌ නොවේ. ඔබගේ වගකීම ඔබ නිවැරදිව ඉටුකළ යුතුය. එය ඔබගේ යුතුකමකි. එවිට ආයතනය ඔබට යුතුකම් ඉටුකරනු ඇත. ඔබට ඉලක්‌කයක්‌ තිබිය යුතුය. ඔබ ඒ ඉලක්‌කය කරා යා යුත්තේ කෙටි මගකින් නොවේ. ඔබ නිවැරැදි මඟින්ම යා යුතුය. ඔබ ආයතනයේ අනිකුත් සහෝදර සේවක සේවිකාවන් සමඟ සුහදව කටයුතු කළ යුතුය. ඔවුන්ගේ ඊර්ෂ්‍යාවට ඔබ ලක්‌වුවද ඔබ ඔවුන්ගේ තරහකාරයකු නොවිය යුතුය. ආයතනය තළදී ඔබට යම් පීඩාවක්‌ විය හැකිය. ඒවා මනාව කළමනාකරණය කරගත යුතුව ඇත. යම් අය වැරැදි හා වැරැදි ක්‍රියා සඳහා ඔබව පෙළඹවීමට හැකිය. ඒවාට හසු නොවී චරිතවත්ව ඔබගේ පෞරුෂ ගුණාංග ඔබ පෙන්නුම් කළ යුතුය.

ඔබගේ ඇඳුම් ඉතා පිරිසිදු හා ක්‍රමානුකූල මෙන්ම තැනට සුදුසු පරිදි වීම වැදගත්ය. එහෙත් ඔබගේ ශරීරය වඩා නිරාවරණය වන ඇඳුමක්‌ ඇඳීම සුදුසු නොවන්නේ අප රට පෙරදිග සංස්‌කෘතියේ රටක්‌ වීම නිසාය. ඔබ පෞද්ගලික රථයක හෝ වෙනත් රථයකින් නිවස අසලටම යනවානම් එම ඇඳුම සුදුසු වුවත් ඔබ පොදු ප්‍රවාහන රථයක හෝ ඔබට පා ගමනින් යම් දුරක්‌ යැමට ඇත්නම් ඔබ ඔබගේ ශරීරය හොඳින් වැසෙන ඇඳුමක්‌ ඇඳීම වඩාත් සුදුසුය. අපරාධකරුවා ඔබ ළඟට කැන්දා නොගැනීම ඔබ සතු කාර්යයක්‌ හෙයිනි.

පෞරුෂත්වය යනු හැසිරීම, ගති ලක්‍ෂණ සහ මනසේ ක්‍රියාකාරිත්වය වශයෙන් හඳුන්වා දුන්නෙමු. ඔබ හැසිරිය යුත්තේ ඔබගේ පෞරුෂ ගුණාංග ඉස්‌මතු වන ආකාරයටය. ඔබගේ නිවසේදී, මඟ තොටදී, රැකියා ස්‌ථානයේදී ඔබ හැසිරෙන ආකාරය අභියෝග වලට මුහුණ දෙන ආකාරය, ඔබ සිතන පතන ආකාරය තුළින් ඔබගේ පෞරුෂත්වය පෙන්නුම් කෙරේ. පෞරුෂත්වය ගොඩනඟා ගත හැකි සෙයකි. එයට ඔබ ලබන අධ්‍යාපනය හා අත්දැකීම් ඉවහල් ගරගන්න. සේවා නියුක්‌ති කාන්තාවක වශයෙන් ඔබ නිසි පෞරුෂත්වයෙන් ක්‍රියාකළහොත් ඔබට රට වෙනුවෙන් ඉමහත් සේවයක්‌ සැලසීමට හැකිවනු ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all