Wednesday, September 23, 2015

මරණ දඬුවමට පෙර!

රට ම මහත් කම්පනයකට පත් කළ අතිශය දරුණු අපරාධයක් වූ කොටදෙණියාව දැරියගේ ඝාතනය, ශ්‍රී ලාංකික ජන සමාජය මුහුණ දී සිටින සැබෑ ඛේදවාචකය යළිත් ඇස් පනාපිට දිගහැරීමකි. ඉකුත් මැයි මාසයේ යාපනයේ කයිට්ස්හි දී සිදු වූ පාසල් සිසුවියගේ ඝාතනය ද මේ බව සිහිපත් කළත් දැන් ඒ සිද්ධිය අමතක ය. ජාති හෝ පළාත් හෝ භේදයක් නැති ව රට පුරා සිදු වන මේ ආකාරයේ අපරාධ මඟින් විදහා දැක්වෙන්නේ දරුණු සමාජීය පිරිහීමකි.

එය දැක දැක අමතක කිරීම ඛේදවාචකයේ කොටසකි. සිද්ධිය ආසන්නයේ ආවේගවාදී ව ඉදිරියට එන පිරිසක් අපරාධකරුවාට උපරිම දඬුවම් ලබා දීම, විශේෂයෙන් ම ඝාතකයා වෙනුවෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම විසඳුම ලෙස දක්වන නමුත් හැම දෙනාට ම, මුළු රටට ම මේ වෙනුවෙන් වගකීමක් හා වග වීමක් ඇතැයි නොසලකා හරිති.

සමාජයේ ආධ්‍යාත්මික සන්සුන් බව ආගමට, සංස්කෘතියට ඇති කරන්නට නොහැකි අවස්ථාවක දී විකල්පය වන්නේ නීතියට යටත් කිරීම යි. මේ පාරවල් දෙක ම අවසානයේ යහපත් සමාජය වෙතට ළඟා වීම පිණිස යි. එබැවින් නීතියේ සිදුරුවලින් රිංගා යන්නට ඉඩ නොතබා අපරාධකරුවාට උපරිම දඬුවම් දීම කොතරම් ශිෂ්ට සම්පන්න සමාජයක වුව ද සිදු විය යුතු යි.

එහෙත් ඝාතකයාට ඝාතනයෙන් පිළිතුරු දෙන මරණ දඬුවම ශිෂ්ට සම්පන්න ජන සමාජයකට අද කොතරම් ගැළපෙනවා ද? ශ්‍රී ලංකාවේ පොදු සංස්කෘතිය ගොඩනැඟුණේ බෞද්ධ මඟපෙන්වීම අනුව බවට දිගින් දිගට ම ප්‍රකාශ වන පසුබිමක ඝාතනයට ඝාතනයෙන් පිළිතුරු දීම තවත් ප්‍රශ්නකාරී වේ.

දිළිඳුකම නිසා සොරකම ද, සොරකම මැඬලීමට ආයුධ යොදාගැනීමට සිදුවීම ද, ආයුධ නිසා ප්‍රාණඝාතය ද සිදු වන බව කියැවෙන ‘චක්කවත්තී සීහනාද’ සූත්‍රයෙන් ප්‍රශ්නයට නියම විසඳුම ලෙස යෝජනා කරන්නේ දිළිඳු බව මැඬලීම මිස දඬුවම නො වේ. බෞද්ධ මඟපෙන්වීම එය යි. එවැනි වටපිටාවක ඝාතකයාට මරණ දඬුවම ඉල්ලා සිටීම ද නියම විසඳුම වෙතට යොමු නොවී, එනම් ප්‍රශ්නයට මුහුණ නොදී ඇඟ බේරාගැනීමකි; වගකීම, වග වීම බාර නොගැනීමකි.

රට මුහුණ දී සිටින ඇත්ත ප්‍රශ්නය නොහොත් ඛේදවාචකය ශ්‍රී ලාංකික ජන සමාජය ශිෂ්ට සම්පන්න භාවයෙන් වෙනත් දිසාවකට ඈත් ව යෑම යි. වසර තිහකට වැඩි කාලයක් රටේ යුද්ධයක් පැවතීම නිසා ම එසේ වී යැයි කීම ද එක්තරා විදියකට ඇඟ බේරාගැනීමකි.

යුද්ධය යනු ප්‍රශ්නය උග්‍ර කළ හේතුවක් පමණි. ඊට එහාට යන ඉතිහාසයක් මේ ඛේදවාචකයට තිබේ. ඝාතනය නමැති අපරාධයට මුල් වන කාරණ විමසා බැලුවොත් තමන් ළඟ ම අනෙකා, අනෙක් ජාතියක අනෙකා, අනෙක් ආගමක අනෙකා නොඉවසීම හේතු වන හැටි පැහැදිලි වනවා ඇත. අනෙකාට ගෞරව නොකිරීම, අනෙකාගේ අයිතිවාසිකම් නොපිළිගැනීම යන කාරණ මේ ඛේදවාචකයේ පදනම ශක්තිමත් කරයි. ඝාතකයාට ඝාතනයෙන් පිළිතුරු දීම හෙවත් ප්‍රශ්නයට විසඳුම ලෙස ඝාතනය ම දැකීම මඟින් සංකේතවත් වන්නේ ද ජන සමාජයේ එකී පිරිහීම ම ය. දිළිඳුකමට විසඳුම් සොයාගෙන ‘අම්මා’ මැදපෙරදිග රැකියාවකට යෑම මේ පිරිහීමට මඟ පෑදූ තවත් කතාවකි.

එක් අතකට එය යුද්ධයටත් වඩා දරුණු කතාවකි. දූදරු, මාපිය, පවුල් සබඳතා දරුණු අගාධයකට වැටීමට පමණක් නො ව, අපරාධවලට මුල පුරන මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වීමට ද පවුල අම්මාගෙන් ඈත් වීම බලපා ඇත. කුඩු මුදලාලිට වෙළෙඳපොළ හැර දුන්නේ මේ බිඳ වැටීම් ය. දරුවාගේ ආරක්ෂාව අහිමි වන්නේ ද මේ සබඳතා බිඳවැටීමත් සමඟ යි. එකී බිඳවැටීම් සමාජය විසින් ම බිහි කරනු ලබන අපරාධකරුවාට සිය සොරකම හෝ අපරාධය හෝ සඳහා දොරගුළු හැරදීමක් ද වේ.

මත්ද්‍රව්‍ය භාවිතයෙන් සමාජයට සිදු වන හානිය මෙන් ඍජු ව නොපෙනුණත් වගකීම, වග වීම යන කොටස අමතක කරන, මුදල් ලාභය ම මුලට ගන්නා වෙළෙඳාමකින් වුව ද සිදු වන්නේ ඒ හානිය ම ය. කොටදෙණියාව දැරියගේ ඝාතනය හා කයිට්ස්හි පාසල් සිසුවියගේ ඝාතනය ජනමාධ්‍ය මඟින් ඉදිරිපත් කළ සදාචාර විරෝධී ආකාරය ‍රටේ පිරිහීම දැකගන්නට හැකි තවත් පැතිකඩකි. අපරාධය චිත්‍රපටයක් මෙන් දිගහැර පෙන්වීම මාධ්‍ය, මාධ්‍ය වෙනුවෙන් මිස මාධ්‍ය ජන සමාජය වෙනුවෙන් නො වේ ය කියා ඔප්පු කරන අවස්ථාවකි. අනෙක් මාධ්‍ය ආයතනයක් අබිබවන්නට හෝ මූල්‍යමය ලාභය වැඩි කරගන්නට සදාචාර සීමාව බිඳින, වගකීමෙන් හා වග වීමෙන් තොර මාධ්‍ය, ජන සමාජයට ද ඒ සීමාව බිඳින්නට අනුබල දෙයි. ඊළඟට බි‍ඳෙන්නේ නීතියේ සීමාව යි.

ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ දී එතැන ම තුන්දහසකට ආසන්න පිරිසක් මිය ගිය බව කියැවුණත් ඒ එක දු මළ සිරුරක් වත් මාධ්‍ය මඟින් නොපෙන්වීම මාධ්‍ය සදාචාරය ආරක්ෂා කළ අවස්ථාවකට හොඳ නිදසුනකි. ඉන්දියාවේ සරසවි සිසුවියක සමූහ දූෂණයට ලක් වූ ඛේදවාචකය වාර්තා කළ එරට මාධ්‍ය අගතියට පත් සිසුවියගේ නම පවා ප්‍රසිද්ධ නොකිරීමට වගබලා ගත් සැටි ද මෙහි දී සිහිපත් කළ යුතු ය. ලජ්ජා විය යුත්තේ ඒ ආදර්ශ පාඩමක් කොට ගැනීමට සිදු වීම ගැන නො ව, අප වැටී සිටින අගාධයේ තරම දකින්නට මැළි වීම ගැන යි.

අපරාධකරුවාට මරණ දඬුවම පනවන්නට පෙර ඒ වෙනුවෙන් පෙරට එන සැම දෙනා ම තමන් පය ගසා සිටින සමාජය ගැන ස්වයං විවේචනයකින් හැරී බැලිය යුතු ම ය. සන්සුන් මනසින් මේ ගැන සිතන්නට මුළු මහත් සමාජය පෙලඹවිය යුතු ය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all