Followers

සතියේ හොදම ලිපි

දවසේ හොදම ලිපි


Photobucket
Showing posts with label සමාජීය. Show all posts
Showing posts with label සමාජීය. Show all posts

පෞද්ගලික වෛද්‍ය විදුහල් ගැටලුවට විසඳුම් නැද්ද?

Monday, September 28, 2015

අපට ඇත්තේ තරගකාරී අධ්‍යාපන ක්‍රමයකි. ලෝකයේ ඕනෑම රටක්‌ මුහුණ දී ඇති තත්ත්වය ද එයයි. මේ තරගය නිසා අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වයන් ඇතිවන්නා සේම පරිහානියන් ද ඇති වන බව අපි අත්දැකීමෙන් ම දනිමු. තරගයේදී ඇතිවන හා ඇතිවිය හැකි හානි වළකා ගැනීම සඳහා රාජ්‍ය මට්‌ටමින් ප්‍රතිපත්ති සකස්‌ වීම අත්‍යවශ්‍යය.

අපේ රටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ තිබෙන තරගය පිළිබඳ විවිධ කථා බහ ඇති වුවද ඒවා නිසා සිසුන්ට හානියක්‌ නැත. නමුත් වෛද්‍ය විෂයයට අදාළව මෑත කාලීනව ඇති වූ තරගකාරී අධ්‍යාපනය මේ වන විට සමාජයේ විවිධ මට්‌ටම්වල කතාබහට ලක්‌ව ඇති කාරණයකි. වෛද්‍ය විෂය හදාරන්නන් සමාජගත වන්නේ වෛද්‍යවරුන් ලෙසය. ඒ නිසා ඔවුන්ගෙන් සමාජයට විය හැකි බලපෑම තක්‌සේරු කළ නොහැක.

ලෝකයේ බොහෝ රටවල වෛද්‍ය විෂයය සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති වූයේ අද ඊයේක නොවේය. අපේ රටේ වෛද්‍ය වෘත්තියේ නියෑලී සිටින අය අතර ද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් උගෙන උපාධිය දිනා ගත්තෝ සිටිති. යමක්‌ කමක්‌ ඇති අයගේ දරුවන්ට විදේශ පෞද්ගලික විශ්වවිද්‍යාලව අධ්‍යාපනය ලැබීම ගැටලුවක්‌ නොවේ. නමුත් අපේ රටේ බොහෝ දෙමාපියන්ට ඒ ශක්‌තිය නැත. පාසලේ උසස්‌ පෙළ විෂයධාරාව සමත් වී විශ්වවිද්‍යාලයන්ට ඇතුළුවීමට ලකුණු කීපයක්‌ අඩු වන සිසුන් ප්‍රමාණය කොතරම් ද? කලා විෂය ධාරාවන්ගෙන් උගත් දරුවන්ට ඒ සඳහා වෙනත් විකල්ප ක්‍රියාමාර්ග හා අධ්‍යාපන ආයතන ඇත. එහෙත් වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට එවන් අවස්‌ථා අපේ රටේ විරලය.

මේ පසුබිම තුළ විවිධ අභියෝග හා හැල හැප්පීම් සමඟ මෑතක පිහිටු වූ මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාලය වෛද්‍ය උපාධිය හදාරන සිසුන් සඳහා දොරගුළු විවිර කළේය. ඒ සඳහා රජයේ අනුමැතිය ද ලැබී ඇති අතර දැනටමත් සිසුන් 887 දෙනෙකු බඳවා ගෙන අධ්‍යයන කටයුතු කරගෙන යමින් සිටිති. එසේ වුවද මෙම වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය පිළිගත නොහැකි බව ඇතැම් පිරිස්‌ සඳහන් කිරීම නිසා මෙම පෞද්ගලික වෛද්‍ය විදුහලේ ඉගෙනුම ලබන සිසුන් හා ඔවුන්ගේ දෙමාපියන් ද ගැටලුවකට මුහුණ දී සිටිති.

මේ සම්බන්ධයෙන් මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය හා එහි ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන් ද විටින් විට මාධ්‍ය හරහා කරුණු ඉදිරිපත් කර තිබුණි. මීට අදාළව අධිකරණය ඉදිරියේ පැවැති නඩුවක්‌ රාජ්‍ය පාර්ශ්වයෙන් සමථයකට පත් කර ගෙන ඇත්තේ ද මෙම වෛද්‍ය විද්‍යාලයේම ඉගෙනුම ලබන සිසුන්ට අවශ්‍ය අදාළ පහසුකම් සලසන බවට එකඟ වීමෙනි.

එහෙත් ගැටලුව එකතැන පල්වෙමින් මෙම විද්‍යා පීඨයේ ඉගෙන ගන්නා සිසුන් මානසික කම්පනයකට පත් කර ඇති බව පෙනෙන්නට තිබේ.

සමාජය තුළ උද්ගත වන ඇතැම් ගැටලු තත්ත්වයන්හිදී මාධ්‍යයන්ට ද උඩුගම් බලා පීනන්නට සිදු වේ. මාලබේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳ තත්ත්වය ද එසේමය. ඒ කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් විරෝධතා දක්‌වන පාර්ශ්වයන් හා රජය ද රටේ මහජනතාව ද මෙම ප්‍රශ්නයට විසඳුම් සොයන මාර්ගයකට යොමුකරවීම වගකිවයුතු මාධ්‍ය ආයතනයක යුතුකම සේ අප සලකමු.

මේ නිසා අප මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සැබෑ තත්ත්වය සොයා ඔබට ඉදිරිපත් කරන්නට කල්පනා කළෙමු. 2009 ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ ලියාපදිංචි කර ඇති මෙම වෛද්‍ය විද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ද පිළිගෙන ඇති බව 2011.08.30 දිනැති අංක 1721/19 ගැසට්‌ නිවේදනයෙන් ද පැහැදිලිය. මෙම වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපන ලබන වෛද්‍ය සිසුන් සඳහා එම්. බී. බී. එස්‌. (MBBS) උපාධි ප්‍රදානය ද 2013.09.26 දිනැති අංක 1829/36 දරන ගැසට්‌ නිවේදනයෙන් පිළිගෙන ඇත.

මේ තත්ත්වය තුළ වුවද මෙම වෛද්‍ය විද්‍යාලයේ සිසුන් සඳහා සායනික පුහුණුව ලබා ගැනීම සම්බන්ධයෙන් මතු වූ දුෂ්කරතා මඟහරවා ගැනීමේ අපේක්‍ෂාවෙන් 2013 අප්‍රේල් මස වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්‍ෂණ රෝහල ද ආරම්භ කර තිබේ.

එහෙත් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය මෙම පෞද්ගලික වෛද්‍ය විදුහලින් ප්‍රදානය කරන උපාධිය පිළිගැනීමට හෝ එසේ උපාධි ලබා ගන්නා අයට වෛද්‍ය වෘත්තියේ නියෑලීමට ඉඩදීම සම්බන්ධයෙන් විටින් විට විවිධ ගැටලු මතුකර ඇත. අදත් ඔවුන් එම ස්‌ථාවරයේම සිට කටයුතු කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරුන් 60 - 70 ක්‌ පමණ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන් බව ද මෙහිදී සඳහන් කළ යුතුය. එමෙන්ම මෙරටේ මෙන්ම විදේශීයව ද විවිධ ක්‍ෂේත්‍රවල නියෑලී නිපුණතා ඇති විද්වතුන් බොහෝ දෙනකු මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දෙගුරුන්ය.

රජයේ අනුමත ක්‍රමවේදයන්ට හා ඒ සීමාවන් යටතේ මෙම වෛද්‍ය විදුහලට සිසුන් ඇතුළත් කර ගන්නා අතරම වසර පහක කාලයක්‌ සඳහා එක්‌ ශිෂ්‍යයකු වැය කළ යුතු මුදල රුපියල් මිලියන 9 ක්‌ පමණ වේ. මෙය මුදල්a ඉපයීමේ ජාවාරමක්‌ ලෙස චෝදනා කරන්නට අපට නොහැකි වී ඇත්තේ මේ වන විටත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 172 දෙනකුට මෙම විදුහලේ වෛද්‍ය උපාධිය හදාරන්නට ශිෂ්‍යත්ව ලබාදී ඇති බැවිනි.

පෞද්ගලික වෛද්‍ය විදුහලක අධ්‍යාපනය ලබන සිසුqන්ට ඒ සඳහා පහසුකම් තිබීම අත්‍යවශ්‍යයි. ඒ පිළිබඳව අප අවධානය යොමු කළ අතර මෙම විද්‍යාලයේ යටිතල පහසුකම් ද සෑහීමකට පත් විය හැකි මට්‌ටමක පවතින බව පෙනේ. දේශන ශාලා 23 ක්‌ පංති කාමර 21 ක්‌ රසායනාගාර 11 ක්‌ විභාග ශාලා 03 ක්‌ අධ්‍යයන ප්‍රදේශ 03 ක්‌ පරිගණකාගාර 2 ක්‌ ඇතුළු පහසුකම් ද මෙම වෛද්‍ය විද්‍යාලයට ස්‌ථිර මහාචාර්යවරු 15 ක්‌ ද වෙනත් මහාචාර්යවරු 7 ක්‌ ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු (ස්‌ථිර) 40 ක්‌ ද වෙනත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු 26 ක්‌ ද කථිකාචාර්යවරු (ස්‌ථිර) 41 ක්‌ හා වෙනත් තාවකාලික කථිකාචාර්යවරු 21 ක්‌ ද අධ්‍යයන කටයුතුවල නිරතව සිටිති. මේ අනුව සිසුන් 7.7 කට එක්‌ ගුරුවරයෙක්‌ බැගින් සිටීම ද හොඳ මට්‌ටමක්‌ සේ පිළිගැනේ.

අප දැන් අවධානය යොමු කළ යුත්තේ මේ පසුබිම තුළ වෛද්‍ය විදුහල පිළිගත නොහැකිද? එසේ පිළිගත නොහැකි නම් එය පිළිගත් තත්ත්වයට පත් කළ හැක්‌කේ කෙසේද යන්නය. අපේ රටේ විශ්වවිද්‍යාලයන්ට ඇතුළුවීමට නොහැකි වූ අය විදේශීය පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය විද්‍යාව හදාරා අපේ රෝහල්වල වෛද්‍යවරු ලෙස සේවය කරන බව අපි දනිමු. එසේ නම් අපේ රටේ මුදල් පිටරටට ඇදී යැම නවතා අපේ විශ්වවිද්‍යාලයන්ට ඇතුළුවීමට නොහැකි වූ දරුවන්ට මෙම වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනීමට අවස්‌ථාව සැලසීම අගය කළ යුතුය. නමුත් ඒ උගත් දේ සම්පූර්ණ වීමට අවශ්‍ය අනපනත් සකස්‌ කිරීම හා සහයෝගය ලබා දීම රජයේ වගකීමය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම ප්‍රතිපත්තියක්‌ ලෙස පිළිගන්නා බව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී ප්‍රකාශ කර ඇත. එසේ නම් මෙම විදුහලට බාධාවක්‌ ඇති විය නොහැක. කළ යුත්තේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මැදිහත් වී ඔවුන් අපේක්‍ෂා කරන වෛද්‍ය උපාධිධාරීන් මෙම පෞද්ගලික රෝහලින් බිහිකරවා ගැනීමට සහාය වීමය. රටට ආදරය කරන රටේ දියුණුවට කැමැති අපේ දරුවන්ගේ අනාගතය සරු කරන්නට අතහිත දීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාර්යයක්‌ වීම මෙම විද්‍යාලය ඉදිරියට ගෙන යැමට ඇති මඟය.

අඩුපාඩුකම් දුර්වලකම් පෙන්වා දී ඒවා සම්පූර්ණ කරන්නේ දැයි විමසීමෙන් බලා අංග සම්පූර්ණ වෛද්‍යවරයකු මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් බිහිකර ගැනීමෙන් සිදුවන්නේ අපද තරගකාරී ලෝකයේ ඉදිරියට ගමන් කිරීම නොවේද? දැනටමත් උපාධිය නිම කර ඇති මාලබේ පෞද්ගලික වෛද්‍ය විදුහලේ සිසුන්ට නේවාසික වෛද්‍ය පුහුණුව ලබා දීම සඳහා අවශ්‍ය මැදිහත්වීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මාර්ගයෙන් මේ උපාධිධාරී ශිෂ්‍යයෝ අපේක්‍ෂා කරති. ඒ පිළිබඳ අවධානය යොමු කර සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ මේ සඳහා විසඳුම් ලබා දීම ප්‍රමාද නොකළ යුතු කාර්යයක්‌ යෑයි අපි සිතමු.
Read Post | comments

Tele Actress Kaveesha Hemasiri's Birthday

 Kaveesha Hemasiri's Birthday











Read Post | comments

වානරයාගෙන් මිනිසා වෙනස් වූ හැටි සොයයි

Tuesday, September 22, 2015

චිම්පන්සියා මානව පරිනාමයේ දී වානරයන් අතරින් මිනිසාගේ ළගම ඥාතියකු යැයි පැවසුව ද මිනිසා සහ චිම්පන්සියා අතර පෙනුමෙන් විශාල වෙනස්කම් ඇතිවීම ගැටළු සහගත බව විද්‍යාඥයෝ කියති.

මේ මතය ඔස්සේ පර්යේෂණ සිදුකළ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විශේෂඥයන් කණ්ඩායමක් මිනිසුන්ගේ හා චිම්පන්සින්ගේ ව්‍යුහාත්මක වෙනස්කම් හා ජාන පසුබිම් විශ්ලේෂණය කරමින් එකම පූර්වජයකුගෙන් පැවත ආ මේ දෙකොටස මෙතරම් වෙනස්කම් දැක්වීමට හේතු අධ්‍යයනය කරමින් සිටියි.

පර්යේෂකයන් පවසන්නේ මුහුණේ සංවර්ධනය හා මානව මුහුණේ විවිධත්වය සම්බන්ධ ජාන නියාමනය කරන ආකාරයේ දී චිම්පන්සියා හා මිනිසා අතර පෙනුමේ විශේෂිත වෙනස්කම් ඇතිවී තිබෙන බවයි. 

චිම්පන්සින්ට හා මිනිසුන්ට හකු හා නාසය සම්බන්ධය හා සමේ පැල්ලම් ඇතුළු මුහුණේ වෙනස්කම් පාලනය කිරීමට අවශ්‍ය විවිධ ප්‍රෝටීන සංඝටක හේතුවන බව ද ඔවුහු පවසති.

“ පරිනාමයේ දී අපට විශාල මොළයක් ලැබී තිබෙනවා. එමෙන්ම සංකීර්ණ කතාව සදහා අපේ ස්වරාලය පහසුවෙන් භාවිතා කිරීමට අපට හැකියාව ලැබීමත් මේ පෙනුම වෙනස් වීමට හේතුවක් වන්නට ඇති. හිසේ හැඩය, ඇස් පිහිටි ස්ථානය ඇතුළු මුහුණේ ව්‍යුහය තුළ අනුවර්ථන ගණනාවක් සිදුව තිබෙනවා. “
පර්යේෂකයන් පවසන්නේ පරිනාමයේ දී මිනිසා සිය හැගීම් ප්‍ර‍කාශ කිරීමට මුහුණේ සෛල හා පේෂි භාවිතයට හුරු වීම හේතුවෙන් සිය ඥාති වානරයන්ට වඩා වෙනස් මුහුණක් මිනිසුන්ට ලැබී ඇති බවයි.
Read Post | comments

ලන්ඩනයේ දම්පල් සමරුව

ශ්‍රිමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 151 වැනි  ජන්ම සංවත්සරය සහ ලන්ඩන් බෞද්ධ විහාරයට වසර 89 ක් පිරිම නිමිත්තෙන් පින්කම් මාලාවක් පසුගිය සති අන්තයේදී ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි.
ලන්ඩන් බෞද්ධ විහාරස්ථානාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාර දායකාරකාදීන්ගේ පුර්ණ සහභාගිත්ග්වයෙන් පැවැත්වුණ වැඩසටහන් සඳහා ධර්මපාලතුමන් බටහිරට බුදුදහම හඳුන්වාදීමෙන් සිදුවූ සේවාව පිළිබඳ සාකච්ජා කෙරෙන දේශනයක්, පරිත්‍රාණ ධර්ම දේශනයක් සහ දානමය පින්කමක් ඇතුළත් විය. 

දම්පල් සමරු දේශනය පවත්වන ලද්දේ ලන්ඩන් නුවර ශාන්ත මේරි විශ්ව විද්‍යාලයේ දර්ශනවාදය පිළිබඳ මහාචාර්ය ජෙෆ්රි හන්ට් විසිනි.

බ්‍රිතාන්‍ය මිෂනාරි පාසලකින් අධ්‍යාපනය ලැබූ ඩේවිඩ් හේවාවිතාරණ ක්‍රිස්තියානි ආගම පිළිබඳ පුළුල් අවබෝධයක් තිබු දක්ෂ තරුණයෙකි. ඔහුට පරණ ඇස්තමේන්තුව ඇතුළු සම්පුර්ණ බයිබලය කටපාඩමින් කීමට තරම් හැකියාවක් තිබුණි. ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හැසිරවීමට ඔහුට හැකිවිය. එමෙන්ම එවකට සිටි බහුශ්‍රැත බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් බුදුදහම පිළිබඳ දැනගත හැකි සියලුම දේ සම්බන්ධයෙන් ද මේ තරුණයාට ඉගෙන ගැනීමට හැකිවිය.

තරුණ වයසේදීම බුදුදහම සහ කිතු දහම පිළිබඳව තර්කානුකුලව කරුණු ඉදිරිපත් කිරීම සඳහා අසීමිත දැනුම් සම්භාරයක් ඔහු සතුව තිබුණි. බටහිර රටවල මෙන්ම ජපානය වැනි ආසියානු රටවලද නිර්මල බුදුදහම හඳුන්වාදීම සඳහාත් ඉන්දියවේ පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන යළි ස්ථාපිත කරවීම සඳහාත්  අනගාරික ධර්මපාල තරුණ වයසේ සිට ක්‍රියා කළ අන්දම විශ්මයජනකය බව මහාචාර්ය හන්ට් පැවසුවේය.

ලන්ඩන් බෞද්ධ විහාරවාසී කළුගමුවේ කස්සප හිමියන් විසින් ගිලම්පස බුද්ධ පුජාව පවත්වනු ලැබිය. පිරිත් දේශනය සඳහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථාන බොහෝ ගණනක මහා සංඝ රත්නය විසිනමකට වඩා වැඩමකර සිටියහ.  

පිරිත් පුරනු ලැබුවේ නොටින්හැම් ශාන්ති විහාරාධිපති විචිත්‍ර පරිත්ථාන භාණක තෙල්දෙනියායේ අමිත  හිමියන් විසිනි.

පසුදින පිංකම සඳහා වැඩම කළ මහා සංඝ රත්නය උදෙසා හිල් දානය පුජා කරනු ලැබිය.

දැනට වසට 89කට පෙර නිර්මල බුදු දහමේ චිරස්ථිතිය උදෙසා දුරදක්නා නුවනින් යුතුව සිතා බලා අද වනවිට යුරෝපයේ ප්‍රමුඛ ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්ව ඇති ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය ස්ථාපිත කළ අනගාරික ධර්මපාල තුමන්ගේ 151 වෙනි ජන්මදින පිංකම උත්කර්ෂවත් අන්දමට සිදුකිරීම සඳහා නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාටම සීලවිමල හිමියෝ පුණ්‍යානුමෝදනා කළහ.








Read Post | comments

යාල ජාතික උද්‍යානයේ සංචාරක සේවා විධිමත් කෙරේ


යාල ජාතික වනෝද්‍යානයේ වන සතුන්ගේ සංරක්‍ෂණ තත්ත්වය ඉහළ නැංවීම හා සංචාරක පහසුකම් ක්‍රමවත් කිරීමේ අරමුණෙන් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සංචාරක සේවා කළමනාකරණ සැලැස්‌මක්‌ ක්‍රියාවට නැංවීමට කටයුතු කර ඇත. එම සැලසුම වාර්තාවක්‌ ලෙස සකස්‌ කර ඇති අතර සියලු පාර්ශ්වයන්ගේ දැනගැනීම පිණිස එකී වාර්තාව වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව මාධ්‍ය වෙතද නිකුත් කර තිබේ. පහත දැක්‌වෙන්නේ එම වාර්තාවේ සඳහන් කරුණුය.

රුහුණු (යාල) ජාතික උද්‍යානයේ සංචාරක සේවා කළමනාකරණ කටයුතු විධිමත් කිරීම වර්ෂ 1900 දී වනජීවී රක්‌ෂිතයක්‌ බවට පත් වූ යාල වනසත්ව හා වෘක්‌ෂලතා ආරක්‍ෂක ආඥපනත යටතේ 1938 වසරේදී රුහුණු ජාතික උද්‍යානය ලෙස ප්‍රකාශයට පත් වූයේ යාල රක්‌ෂිතය ආශ්‍රිතව සිදු කෙරෙන වනජීවී සංරක්‍ෂණ සහ සංචාරක කටයුතු වඩාත් විධිමත් කිරීමේ අරමුණ ඇතිවය. මේ වන විට දේශීය හා විදේශීය සංචාරකයින් අතර අතිශය ජනප්‍රිය වනජීවී රක්‌ෂිතයක්‌ බවට යාල පත්වී ඇත.

පවතින සාමකාමී වාතාවරණය තුළ මෑත කාලයේ රුහුණු ජාතික උද්‍යානය වෙත පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ප්‍රමාණාත්මකව සිදුවූ සීඝ්‍ර වර්ධනයට සමගාමීව, උද්‍යානයේ ස්‌වභාවික පරිසරය හා වනජීවීන්ගේ පැවැත්ම කෙරෙහි සංචාරක ක්‍රියාකාරකම්වල බලපෑමද ඉහළ යාමක්‌ නිරීක්‍ෂණය කරන ලදී. ඒ අනුව එම බලපෑම අවම කර ගැනීමේ පරමාර්ථය ඇතිව උග්‍ර නියං සමය තුළදී උද්‍යානය මාසයක කාලයක්‌ වසා තැබීම උද්‍යානය තුළ දුරකථන භාවිතය සීමා කිරීම සඳහා දුරකථන සංඥ කුලුණ අක්‍රීය කිරීම වැනි ක්‍රමවේදයන් භාවිතා කිරීම සිදුවිය.

වනජීවී සංරක්‍ෂණය සම්බන්ධයෙන් ඉකුත්ව ගිය දිනයන් තුළදී වැඩි වශයෙන් කථා බහට ලක්‌ වූ යාල ජාතික උද්‍යානයේ අංක 01 කොටස තුළදී වාහනයක ගැටී මිය ගිය කොටියා (2015.08.28 වන දින) පිළිබඳව වන මූලික පරීක්‍ෂණ කටයුතු වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන අතර එම සිදුවීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කර ඇත.

වන ජීවීන්ගේ ස්‌වභාවික පැවැත්ම කෙරෙහි සංචාරක ක්‍රියාකාරකම්වල බලපෑම තවදුරටත් සීමා කර ගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයක්‌ හඳුනා ගැනීමටත්, හඳුනාගන්නා ලද රුහුණු ජාතික උද්‍යානයේ සංචාරක කර්මාන්තය ආශ්‍රිත ගැටලු හා එම ගැටලු කළමනාකරණය කර ගැනීමට යෝජිත කළමනාකරණ ක්‍රමවේදයක්‌ සකස්‌ කිරීමටත් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

යාල ජාතික උද්‍යානය නැරැඹීම සඳහා පැමිණෙන සංචාරකයන්ගේ සීඝ්‍ර වර්ධනය හමුවේ මෙම වනජීවී රක්‌ෂිතය කළමනාකරණයේදී වනජීවී නිලධාරීන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු, සංචාරකයන් රැගෙන පැමිණෙන ජීප් රථ රියදුරන් විසින් සිදු කරනු ලබන වැරදි වළක්‌වා ගැනීමට සහ සංචාරක කණ්‌ඩායම සමග ගමන් ගන්නා මාර්ගෝපදේශකයන් දැනුවත් කිරීම සඳහා උපදෙස්‌වලින්ද සමන්විතව ක්‍රියාත්මක කළ යුතු උද්‍යාන නීති ලැයිස්‌තුවක්‌ සම්පාදනය කිරීමට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ අනුව පියවර ගෙන ඇත.

* රුහුණු ජාතික උද්‍යානය තුළ සංචාරක කටයුතු වැඩිදුරටත් විධිමත් කිරීම

(1) ජීප් රථ රියදුරන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා උද්‍යාන නීති රීති පිළිබඳව අවධානය යොමු කිරීම.

(2) වාහන කිහිපයකට හෝ එක්‌ මාර්ගෝපදේශකවරයෙකු ලබා දිය හැකි වන පරිදි මාර්ගෝපදේශකයන් සංඛ්‍යාව වැඩි කිරීම.

(3) කිරින්ද සිට පලටුපාන දක්‌වා මාර්ගය කාපට්‌ අතුරා වැඩිදියුණු කිරීමෙන් පසු නිතර සිදුවන වන සතුන් වාහනවල ගැටී මිය යාම පාලනය කර ගැනීමට වේග බාධක ඇති කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දීම හා වේග සීමා පනවා රථවාහන පොලිස්‌ නිලධාරීන් යෙදවීමට පොලිස්‌ දෙපාර්තමේන්තුවට දැන්වීම, එමෙන්ම මෙම මාර්ගයේ පොලිස්‌ මුර සංචාර වාර ගණන වැඩිකිරීම.

(4) උද්‍යානයේ නීතිරීති පිළිබඳව දැන්වීම් පුවරු යොදා සංචාරකයන්, ජීප් රථ රියදුරන් මාර්ගෝපදේශකයන් හා අනෙකුත් අදාළ පාර්ශ්වයන් දැනුවත් කිරීම.

(5) උද්‍යානය තුළ සෑම මාර්ගයකම මීටර් 300 ක පරතරයෙන් යුතුව වේග බාධක යෙදීම හා වංගුවකදී දුරසීමාව නොසලකා වේග බාධක යෙදීම.

(6) සෑම රියදුරෙකු වෙතම වලංගු රියදුරු බලපත්‍රයක්‌ තිබිය යුතුවන අතර වාහනය පහත දැක්‌වෙන අවශ්‍යතා සපුරා නිසි ධාවන තත්ත්වයේ පැවතිය යුතුය. (ලියාපදිංචි ජීප් රථ රියදුරන්ද ඇතුළුව)

I. නිසි ලියාපදිංචිය, වලංගු වාර්ෂික බලපත්‍රය හා රක්‌ෂණ ආවරණය ලබා තිබීම.

II. ධාවනයේදී අධික ශබ්දයක්‌ ඇති නොවන පරිදි එංජිම හා බඳ යහපත් තත්ත්වයෙන් පැවතිය යුතුය.

III. වාහනවලින් ඉන්ධන දහනයේදී පිටවන දුම මධ්‍යම පරිසර අධිකාරිය විසින් නියම කරන ලද ප්‍රමිතියට වඩා ඉහළ මට්‌ටමක විය යුතුය.

IV. වාහනයේ වහළය සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබිය යුතු අතර අනවශ්‍ය විදුලි පහන් හෝ අධි ආලෝක උපකරණ ආදිය සවි කර නොතිබිය යුතුය.

V. නොගෙවුණු ටයර් සහ අමතර රෝදයක්‌ තිබිය යුතු=ය. වාහනයේ රෝද හතරම එකවර බල ගැන්විය හැකි (4 ඌ) වනසේ සමන්විත විය යුතු අතරම වාහනයේ අළුත්වැඩියා උපකරණද රැගෙන යා යුතුය.

VI. උද්‍යානයට පැමිණෙන සංචාරකයන් සඳහා පනවා ඇති උද්‍යාන නීති ඒ ආකාරයෙන්ම පිළිපැදිය යුතුය.

VII. ස්‌වභාවික පරිසරයට ගැලපෙන තදපැහැති වර්ණයෙන් යුතු වාහන සංචාරකයින් ගෙන යාම සඳහා යොදාගත යුතු වන අතර කොටියන් වැනි විලෝපීය සතුන්ගේ රූප වාහන බඳෙහි ප්‍රදර්ශනය නොකළ යුතුය.එමෙන්ම උද්‍යානය තුළදී සංචාරකයන්ගේ හැසිරීම නිවැරදිව පවත්වා ගනිමින් ස්‌වභාවික පරිසරයට හා වනජීවීන්ට සිදුවන අනිසි බලපෑම අවම කිරීම සඳහා උද්‍යාන නීති රීති හඳුන්වා දීමටද නියමිතය. වාහන රියදුරන්ගේ හා මාර්ගෝපදේශකයන්ගේ කටයුතු විධිමත් කිරීම සඳහා ද කොන්දේසි පැනවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන අතර රුහුණු ජාතික උද්‍යානය වෙත නිරන්තරයෙන් සංචාරකයන් රැගෙන එන කුලී වාහන සුදුසු කොන්දේසි යටතේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ගැනීමටද නියමිතය.

දෛනිකව පැමිණෙන සහ සංචාරක නිවාසවල නේවාසික ලැගුම් ගන්නා සංචාරකයන් සඳහා උද්‍යාන නීති.

* උද්‍යානය තුළ සංචාරකයන් සඳහා වෙන්කර ඇති නියමිත ස්‌ථානවලදී හැර, වෙනත් ස්‌ථානවලදී වාහනයෙන් පිටතට නොබැසිය යුතුය.

* පිටතින් රැගෙන එන ආහාර කිසි විටෙක වන සතුන්ට ලබා දීම නොකළ යුතුය. උද්‍යානය තුළට මත්පැන් රැගෙන යැම හෝ මත් පැන් පානය කිරීම නොකළ යුතුය. වනසතුන්ට බාධා වන පරිදි ශබ්ද නැගීම, සංගීත භාණ්‌ඩ වාදනය, වාහන නලා ශබ්ද කිරීම හෝ වෙනත් යම් ක්‍රියාවක්‌ සිදු නොකළ යුතුය.

* පෙ. ව. 6.00 සිට පස්‌වරු 6.00 දක්‌වා කාලය තුළ හැර ඉන් බැහැරව උද්‍යානය තුළ රැඳී නොසිටිය යුතු අතර නියමිත වේලාවට උද්‍යානයෙන් පිටවීමට හැකිවන පරිදි පස්‌වරු 5.00 ට උද්‍යානය තුළ රැදී සිටින ස්‌ථානයෙන් ආපසු පැමිණීමට පිටත් විය යුතුය.

* උද්‍යානය තුළ රාජකාරියෙහි යෙදී සිටින වනජීවී නිලධාරියෙකු හෝ වෙනත් සේවකයෙකුගේ රාජකාරියට බාධාවන කිසිවක්‌ සිදු නොකළ යුතු වන අතර මාර්ගෝපදේශකවරයාගේ උපදෙස්‌ සෑම විටකම පිළිපැදිය යුතුය. මාර්ගෝපදේශකවරයාට තම රාජකාරිය නිසි පරිදි ඉටු කිරීමට හැකිවන පරිදි වාහනයේ සුදුසු ආසනයක්‌ වෙන්කර දිය යුතුය.

* උද්‍යානය තුළදී වාහන සඳහා නියමිත වේග සීමාව (පැ. කි. මී. 25) ඉක්‌මවා ධාවනය නොකළ යුතු වන අතර සාමාන්‍ය මාර්ග නීතිරීතිවලට අනුකූලව කටයුතු කළ යුතු වේ. එක්‌ පසෙකට පමණක්‌ වාහන ධාවනය කිරීමට නියමිත මාර්ගවල විරුද්ධ දෙසට වාහන ධාවනය නොකළ යුතුය. නියමිත මාර්ගවල හැර ඉන් බැහැරව වාහන ධාවනය නොකළ යුතුය.

* සංචාරකයන්ට බිමට බැසීමට අවසරදී ඇති ස්‌ථානවල නියමිත සීමාව තුළ රැඳී සිටිය යුතු වන අතර ගිනි දැල්වීම, ගස්‌වල අකුරු කෙටීම, හෝ වෙනත් යම් ස්‌වභාවික පරිසරයට හානි සිදුවන ක්‍රියාවක්‌ සිදු නොකළ යුතුය.

* ලබාගෙන ඇති උද්‍යාන පිවිසුම් බලපත්‍රයට අදාළ කොටස තුළ රැඳීසිටිය යුතුය. උද්‍යානයේ අනෙක්‌ කොටස්‌ තුළට අනවසරයෙන් ඇතුල් නොවිය යුතුය.

* කිසිදු සත්ව හෝ ශාක කොටසක්‌ හෝ ස්‌වභාවික පරිසරයෙන් ඉවත් කරගන්නා වෙනත් කිසිදු ද්‍රව්‍යයක්‌ උද්‍යානය තුළින් ඉවතට ගෙනයාමට උත්සාහ නොකළ යුතුය. අධික ශබ්දය නගන, නිසි ධාවන තත්ත්වයේ නොපවතින අබලන් වාහන කිසිවිටෙකත් උද්‍යානය තුළ සංචාරය සඳහා යොදා නොගත යුතුය.

* උද්‍යානය තුළ මාර්ගවල අනෙකුත් වාහන ගමනාගමනයට බාධාවන පරිදි වාහනය ධාවනය කිරීම හෝ නවතා තැබීම සිදු නොකළ යුතුය. උද්‍යානය තුළ වනසතුන්ගේ සංචරණයට බාධාවන පරිදි වාහන නවතා තැබීම, සතුන් ආසන්නයට වාහනය ධාවනය කිරීම හෝ වෙනත් යම් ක්‍රියාවක්‌ සිදු නොකළ යුතුය. සෑම වාහනයකම නියමිත ආසන සංඛ්‍යාව අනුව පමණක්‌ සංචාරකයන් ගමන් කළ යුතුවන අතර උද්‍යානය තුළදී කිසිවිටෙකත් ආසනයෙන් බැහැරව වහලය මත නැගීම, බඳෙයි එල්ලී සිටීම ආදිය නොකළ යුතුය.

* කණ්‌ඩායමට ඇතුලත් සෑම සංචාරකයෙකු සඳහාම අදාළ බලපත්‍ර ගාස්‌තු හා අනෙකුත් ගාස්‌තු ගෙවා බලපත්‍රය ලබාගෙන උද්‍යානය තුළ රැදී සිටින කාලය තුළ බලපත්‍ර කොන්දේසි හා උද්‍යාන නීතිරීති වලට අනුකූලව කටයුතු කළ යුතුය. වනසත්ව හා වෘක්‌ෂලතා ආරක්‍ෂක ආඥ පනතේ නීතිමය ප්‍රතිපාදන උල්ලංඝනය වන වෙනත් කිසිදු ක්‍රියාවක්‌ උද්‍යානය තුළදී සිදු නොකළ යුතුය.

යාල ජාතික උද්‍යානය තුළ සංචාරක කටයුතු නිසි පරිදි කළමනාකරණය කර ගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත උද්‍යාන නීති මාලාවට අමතරව සංචාරකයන්ගේ පහසුව සඳහා සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීම යටතේ පලටුපාන ප්‍රවේශපත් නිකුතුව කාර්යක්‍ෂම කිරීම, සංචාරකයන් සඳහා විවේකීව ආහාරපානාදිය ලබා ගත හැකි ආපනශාලා පහසුකම් පානීය ජල පහසුකම් වැසිකිලි පහසුකම් වැඩි දියුණු කිරීම, වනජීවී තොරතුරු මධ්‍යස්‌ථානය වැඩි දියුණු කිරීම වනජීවී ග්‍රන්ථ, ප්‍රකාශන, විස්‌තර පත්‍රිකා, අත්කම් නිර්මාණයන් මිලදී ගැනීමට පහසුකම් සලසා දීම ආදී වූ සංවර්ධන ක්‍රියාවලින් රාශියක්‌ම යාල ආශ්‍රිතව සිදු කිරීමට නියමිතව ඇත. එසේම පනවා ඇති නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන සංචාරකයන් සහ ජීප් රථ රියදුරන්ට එදිරිව වනසත්ව හා වෘක්‌ෂලතා ආරක්‍ෂක ආඥ පනත යටතේ නිසි ක්‍රියා මාර්ගයන් ගැනීමට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ගයන් ගන්නා බවද වැඩිදුරටත් දන්වා සිටිමි.

එච්. ඩී. රත්නායක
අධ්‍යක්‍ෂ ජනරාල්
වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව
Read Post | comments
 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all