Photobucket

Monday, September 28, 2015

පෞද්ගලික වෛද්‍ය විදුහල් ගැටලුවට විසඳුම් නැද්ද?

අපට ඇත්තේ තරගකාරී අධ්‍යාපන ක්‍රමයකි. ලෝකයේ ඕනෑම රටක්‌ මුහුණ දී ඇති තත්ත්වය ද එයයි. මේ තරගය නිසා අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වයන් ඇතිවන්නා සේම පරිහානියන් ද ඇති වන බව අපි අත්දැකීමෙන් ම දනිමු. තරගයේදී ඇතිවන හා ඇතිවිය හැකි හානි වළකා ගැනීම සඳහා රාජ්‍ය මට්‌ටමින් ප්‍රතිපත්ති සකස්‌ වීම අත්‍යවශ්‍යය.

අපේ රටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ තිබෙන තරගය පිළිබඳ විවිධ කථා බහ ඇති වුවද ඒවා නිසා සිසුන්ට හානියක්‌ නැත. නමුත් වෛද්‍ය විෂයයට අදාළව මෑත කාලීනව ඇති වූ තරගකාරී අධ්‍යාපනය මේ වන විට සමාජයේ විවිධ මට්‌ටම්වල කතාබහට ලක්‌ව ඇති කාරණයකි. වෛද්‍ය විෂය හදාරන්නන් සමාජගත වන්නේ වෛද්‍යවරුන් ලෙසය. ඒ නිසා ඔවුන්ගෙන් සමාජයට විය හැකි බලපෑම තක්‌සේරු කළ නොහැක.

ලෝකයේ බොහෝ රටවල වෛද්‍ය විෂයය සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති වූයේ අද ඊයේක නොවේය. අපේ රටේ වෛද්‍ය වෘත්තියේ නියෑලී සිටින අය අතර ද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් උගෙන උපාධිය දිනා ගත්තෝ සිටිති. යමක්‌ කමක්‌ ඇති අයගේ දරුවන්ට විදේශ පෞද්ගලික විශ්වවිද්‍යාලව අධ්‍යාපනය ලැබීම ගැටලුවක්‌ නොවේ. නමුත් අපේ රටේ බොහෝ දෙමාපියන්ට ඒ ශක්‌තිය නැත. පාසලේ උසස්‌ පෙළ විෂයධාරාව සමත් වී විශ්වවිද්‍යාලයන්ට ඇතුළුවීමට ලකුණු කීපයක්‌ අඩු වන සිසුන් ප්‍රමාණය කොතරම් ද? කලා විෂය ධාරාවන්ගෙන් උගත් දරුවන්ට ඒ සඳහා වෙනත් විකල්ප ක්‍රියාමාර්ග හා අධ්‍යාපන ආයතන ඇත. එහෙත් වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට එවන් අවස්‌ථා අපේ රටේ විරලය.

මේ පසුබිම තුළ විවිධ අභියෝග හා හැල හැප්පීම් සමඟ මෑතක පිහිටු වූ මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාලය වෛද්‍ය උපාධිය හදාරන සිසුන් සඳහා දොරගුළු විවිර කළේය. ඒ සඳහා රජයේ අනුමැතිය ද ලැබී ඇති අතර දැනටමත් සිසුන් 887 දෙනෙකු බඳවා ගෙන අධ්‍යයන කටයුතු කරගෙන යමින් සිටිති. එසේ වුවද මෙම වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය පිළිගත නොහැකි බව ඇතැම් පිරිස්‌ සඳහන් කිරීම නිසා මෙම පෞද්ගලික වෛද්‍ය විදුහලේ ඉගෙනුම ලබන සිසුන් හා ඔවුන්ගේ දෙමාපියන් ද ගැටලුවකට මුහුණ දී සිටිති.

මේ සම්බන්ධයෙන් මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය හා එහි ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන් ද විටින් විට මාධ්‍ය හරහා කරුණු ඉදිරිපත් කර තිබුණි. මීට අදාළව අධිකරණය ඉදිරියේ පැවැති නඩුවක්‌ රාජ්‍ය පාර්ශ්වයෙන් සමථයකට පත් කර ගෙන ඇත්තේ ද මෙම වෛද්‍ය විද්‍යාලයේම ඉගෙනුම ලබන සිසුන්ට අවශ්‍ය අදාළ පහසුකම් සලසන බවට එකඟ වීමෙනි.

එහෙත් ගැටලුව එකතැන පල්වෙමින් මෙම විද්‍යා පීඨයේ ඉගෙන ගන්නා සිසුන් මානසික කම්පනයකට පත් කර ඇති බව පෙනෙන්නට තිබේ.

සමාජය තුළ උද්ගත වන ඇතැම් ගැටලු තත්ත්වයන්හිදී මාධ්‍යයන්ට ද උඩුගම් බලා පීනන්නට සිදු වේ. මාලබේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳ තත්ත්වය ද එසේමය. ඒ කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් විරෝධතා දක්‌වන පාර්ශ්වයන් හා රජය ද රටේ මහජනතාව ද මෙම ප්‍රශ්නයට විසඳුම් සොයන මාර්ගයකට යොමුකරවීම වගකිවයුතු මාධ්‍ය ආයතනයක යුතුකම සේ අප සලකමු.

මේ නිසා අප මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සැබෑ තත්ත්වය සොයා ඔබට ඉදිරිපත් කරන්නට කල්පනා කළෙමු. 2009 ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ ලියාපදිංචි කර ඇති මෙම වෛද්‍ය විද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ද පිළිගෙන ඇති බව 2011.08.30 දිනැති අංක 1721/19 ගැසට්‌ නිවේදනයෙන් ද පැහැදිලිය. මෙම වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපන ලබන වෛද්‍ය සිසුන් සඳහා එම්. බී. බී. එස්‌. (MBBS) උපාධි ප්‍රදානය ද 2013.09.26 දිනැති අංක 1829/36 දරන ගැසට්‌ නිවේදනයෙන් පිළිගෙන ඇත.

මේ තත්ත්වය තුළ වුවද මෙම වෛද්‍ය විද්‍යාලයේ සිසුන් සඳහා සායනික පුහුණුව ලබා ගැනීම සම්බන්ධයෙන් මතු වූ දුෂ්කරතා මඟහරවා ගැනීමේ අපේක්‍ෂාවෙන් 2013 අප්‍රේල් මස වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්‍ෂණ රෝහල ද ආරම්භ කර තිබේ.

එහෙත් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය මෙම පෞද්ගලික වෛද්‍ය විදුහලින් ප්‍රදානය කරන උපාධිය පිළිගැනීමට හෝ එසේ උපාධි ලබා ගන්නා අයට වෛද්‍ය වෘත්තියේ නියෑලීමට ඉඩදීම සම්බන්ධයෙන් විටින් විට විවිධ ගැටලු මතුකර ඇත. අදත් ඔවුන් එම ස්‌ථාවරයේම සිට කටයුතු කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරුන් 60 - 70 ක්‌ පමණ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන් බව ද මෙහිදී සඳහන් කළ යුතුය. එමෙන්ම මෙරටේ මෙන්ම විදේශීයව ද විවිධ ක්‍ෂේත්‍රවල නියෑලී නිපුණතා ඇති විද්වතුන් බොහෝ දෙනකු මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දෙගුරුන්ය.

රජයේ අනුමත ක්‍රමවේදයන්ට හා ඒ සීමාවන් යටතේ මෙම වෛද්‍ය විදුහලට සිසුන් ඇතුළත් කර ගන්නා අතරම වසර පහක කාලයක්‌ සඳහා එක්‌ ශිෂ්‍යයකු වැය කළ යුතු මුදල රුපියල් මිලියන 9 ක්‌ පමණ වේ. මෙය මුදල්a ඉපයීමේ ජාවාරමක්‌ ලෙස චෝදනා කරන්නට අපට නොහැකි වී ඇත්තේ මේ වන විටත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 172 දෙනකුට මෙම විදුහලේ වෛද්‍ය උපාධිය හදාරන්නට ශිෂ්‍යත්ව ලබාදී ඇති බැවිනි.

පෞද්ගලික වෛද්‍ය විදුහලක අධ්‍යාපනය ලබන සිසුqන්ට ඒ සඳහා පහසුකම් තිබීම අත්‍යවශ්‍යයි. ඒ පිළිබඳව අප අවධානය යොමු කළ අතර මෙම විද්‍යාලයේ යටිතල පහසුකම් ද සෑහීමකට පත් විය හැකි මට්‌ටමක පවතින බව පෙනේ. දේශන ශාලා 23 ක්‌ පංති කාමර 21 ක්‌ රසායනාගාර 11 ක්‌ විභාග ශාලා 03 ක්‌ අධ්‍යයන ප්‍රදේශ 03 ක්‌ පරිගණකාගාර 2 ක්‌ ඇතුළු පහසුකම් ද මෙම වෛද්‍ය විද්‍යාලයට ස්‌ථිර මහාචාර්යවරු 15 ක්‌ ද වෙනත් මහාචාර්යවරු 7 ක්‌ ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු (ස්‌ථිර) 40 ක්‌ ද වෙනත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු 26 ක්‌ ද කථිකාචාර්යවරු (ස්‌ථිර) 41 ක්‌ හා වෙනත් තාවකාලික කථිකාචාර්යවරු 21 ක්‌ ද අධ්‍යයන කටයුතුවල නිරතව සිටිති. මේ අනුව සිසුන් 7.7 කට එක්‌ ගුරුවරයෙක්‌ බැගින් සිටීම ද හොඳ මට්‌ටමක්‌ සේ පිළිගැනේ.

අප දැන් අවධානය යොමු කළ යුත්තේ මේ පසුබිම තුළ වෛද්‍ය විදුහල පිළිගත නොහැකිද? එසේ පිළිගත නොහැකි නම් එය පිළිගත් තත්ත්වයට පත් කළ හැක්‌කේ කෙසේද යන්නය. අපේ රටේ විශ්වවිද්‍යාලයන්ට ඇතුළුවීමට නොහැකි වූ අය විදේශීය පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය විද්‍යාව හදාරා අපේ රෝහල්වල වෛද්‍යවරු ලෙස සේවය කරන බව අපි දනිමු. එසේ නම් අපේ රටේ මුදල් පිටරටට ඇදී යැම නවතා අපේ විශ්වවිද්‍යාලයන්ට ඇතුළුවීමට නොහැකි වූ දරුවන්ට මෙම වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනීමට අවස්‌ථාව සැලසීම අගය කළ යුතුය. නමුත් ඒ උගත් දේ සම්පූර්ණ වීමට අවශ්‍ය අනපනත් සකස්‌ කිරීම හා සහයෝගය ලබා දීම රජයේ වගකීමය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම ප්‍රතිපත්තියක්‌ ලෙස පිළිගන්නා බව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී ප්‍රකාශ කර ඇත. එසේ නම් මෙම විදුහලට බාධාවක්‌ ඇති විය නොහැක. කළ යුත්තේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මැදිහත් වී ඔවුන් අපේක්‍ෂා කරන වෛද්‍ය උපාධිධාරීන් මෙම පෞද්ගලික රෝහලින් බිහිකරවා ගැනීමට සහාය වීමය. රටට ආදරය කරන රටේ දියුණුවට කැමැති අපේ දරුවන්ගේ අනාගතය සරු කරන්නට අතහිත දීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාර්යයක්‌ වීම මෙම විද්‍යාලය ඉදිරියට ගෙන යැමට ඇති මඟය.

අඩුපාඩුකම් දුර්වලකම් පෙන්වා දී ඒවා සම්පූර්ණ කරන්නේ දැයි විමසීමෙන් බලා අංග සම්පූර්ණ වෛද්‍යවරයකු මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් බිහිකර ගැනීමෙන් සිදුවන්නේ අපද තරගකාරී ලෝකයේ ඉදිරියට ගමන් කිරීම නොවේද? දැනටමත් උපාධිය නිම කර ඇති මාලබේ පෞද්ගලික වෛද්‍ය විදුහලේ සිසුන්ට නේවාසික වෛද්‍ය පුහුණුව ලබා දීම සඳහා අවශ්‍ය මැදිහත්වීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මාර්ගයෙන් මේ උපාධිධාරී ශිෂ්‍යයෝ අපේක්‍ෂා කරති. ඒ පිළිබඳ අවධානය යොමු කර සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ මේ සඳහා විසඳුම් ලබා දීම ප්‍රමාද නොකළ යුතු කාර්යයක්‌ යෑයි අපි සිතමු.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all