Photobucket

Wednesday, January 2, 2013

නව අවුරුදු උදා වූ දා ජනපති ආගමික වතාවත්වල

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය පවුලේ සාමාජිකයන් සමඟ එක්ව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් දෙදහස් දහතුන නව වසර උදාව සැමරුවේය.

 නව වසර උදා වන සුබමොහොත වන විට ජනාධිපතිවරයා සිරිත් පරිදි රුහුණු කතරගම මහා දේවාලයේ ආගමික වතාවත්වල නියැලෙමින් සිටි අතර ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ මහත්වරු ද එම අවස්ථාවට එක් ව සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් සහ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සිහිපත් කරමින් රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන පිරිත් පින්කමට ද ජනාධිපතිවරයා එක්විය.

2012 වසරේ අවසන් දිනය වූ දෙසැම්බර් 31 වැනි දින ජනාධිපතිවරයා ඵෙතිහාසික ‍කිරිවෙහෙර වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය. 

 කිරිවෙහෙර විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන් බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ ආශිර්වාද ලබාගත්තේය.

කඩිගමුව පුෂ්පාරාමය වෙත ගිය ජනාධිපතිවරයා එහි දී ආගමික වතාවත්වල නියැලුණේය. ජනාධිපතිවරයා නයිගල රජමහා විහාරස්ථානය වෙත ගියේ දෙසැම්බර් මස 30 වනදාය.

කටුවන ප්‍රාදේශීය සභාවේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නියැළුණු ජනාධිපතිවරයා සභාවෙන් ජනතාවට වන සේවය පිළිබඳ සොයා බැලුවේ 31 වනදා පෙරවරුවේය.

මහජනතාවගේ ගැටලු ප්‍රථමයෙන් ඉදිරිපත් වන ප්‍රාදේශීය සභාව ඒ වෙනුවෙන් කැපවී කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය මෙන්ම සේවය ලබා ගැනීමට පැමිණ සිටි ජනතාව සමඟ සුහද කතාබහක නියැලීමටත් ජනාධිපතිවරයා අමතක කළේ නැත. කතානායක චමල් රාජපක්ෂ මහතා සහ එම මහත්මිය, ඌව පළාත් මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් ව සිටියහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all