Photobucket

Wednesday, January 9, 2013

හාලිඇල පාසල් සිසුවිය සහ මව සැඩ පහරට බිලිවෙති

පාසලේ ශිෂ්‍යත්ව විභාග අමතර පන්තියකට සහභාගි වී සිය මව සමඟ නිවසට යන අතරතුර දිය කඳුරකින් එගොඩ වීමට ගිය 8 හැවිරිදි දැරියක්‌ සහ ඇගේ මව (7 දා) සවස සැඩපහරට හසුව ගසාගෙන ගොස්‌ ජීවිතක්‍ෂයට පත්වූහ.

මෙසේ මියගියේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ වැලිකේමුල්ල ගොරඬියවක අංක 32 හි පදිංචිව සිටි ජෙනිටා නිරෝෂනී (37) නම් දෙදරු මවක සහ ඇගේ වැඩිමහල් දියණිය වූ 8 හැවිරිදි රින්සි ඩියෝඩ්‍රා සිසුවියයි.

එදින සවස පැවැති අධික වර්ෂාව හේතුවෙන් ඔවුන් පදිංචි නිවස නුදුරින් ගලා යන දිය කඳුරෙහි සැඩ පහර අධික වී ඇති අතර සුපුරුදු ලෙස ඉන් එගොඩ වීමට ගිය මෙම දෙදෙනා එහි ගසාගෙන ගොස්‌ ඇත. එදින සවස 4.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එම ස්‌ථානයට කිලෝමීටරයක පමණ දුරින් තිබී එදින රාත්‍රි 7.30 ට පමණ ඔවුන්ගේ මළසිරුරු සොයාගෙන තිබේ.

මියගිය දියණිය බදුල්ල දෙමළ බාලිකා විදුහලේ 4 වසරෙහි ඉගෙනුම ලබමින් සිටි බව ද සිය බිරිඳ පෙර පාසල් ඩිප්ලෝමා පාඨමාලාවක්‌ හදාරා නුදුරු දිනකදී ප්‍රදේශයේ පෙර පාසලක්‌ ආරම්භ කිරීමට අදහස්‌ කරගෙන සිටි බව ද මියගිය කාන්තාවගේ සැමියා වන ආර්. ඒ. ඇන්ඩෲ මහතා පැවසීය.

බදුල්ල මහ රෝහලේ මෘතශරීරාගාරය වෙත ගෙන එන ලද අදාළ මළ සිරුරු පිළිබඳ හදිසි මරණ පරීක්‍ෂණය (8 දා) දහවල් සිදුකිරීමට නියමිතව තිබිණි. බදුල්ල පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all