Photobucket

Wednesday, December 19, 2012

වේග පන්දුවෙන් කැන්ගරුවෝ ජය ගනිති

පීටර් සිඩ්ල් සහ මිචෙල් ස්ටාක්ගේ වේගපන්දු හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ දෙපිල අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 137ක ජයග්‍රහණයක් අත්කර දෙමින් ඊයේ සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 255කට දැවීගියහ. 

හොබාර්ට් නුවර පැවැති මේ තරගයේ ලකුණු 393ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිල පස්වරු ‍තේ පානය වනවිට කඩුලු 4කට ලකුණු 186ක් ලබාසිටි අතර තේ පානයෙන් ඕවර ඕවර 26ක් ඇතුලත ඉතිරි කඩුලු 6ම බිඳ වැටිණි. 

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ස්ටාක් කඩුලු 5ක් සහ සිඩ්ල් කඩුලු 4ක් බිඳ දමමින් තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියාවට අවස්ථාව උදා කළහ. 

තරගයේ වීරයා සම්මානය හිමිවූයේ තරගය පුරා කඩුලු 9ක් දවාලූ පීටර් සිඩ්ල්ටය. ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ සාර්ථකම පිතිකරු වූ කුමාර් සංගක්කාර ලකුණු 63ක් ලබාගත් අතර තිලාන් සමරවීර අර්ධ ශතකයට එක් ලකුණක් අඩුවෙන් දැවී ගියේය. 

තරගයේ අවසන් භාගය තීරණාත්මක වූ බව ඔස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් තරගයෙන් අනතුරුව ප්‍රකාශ කළේය.' ඉවසීමෙන් කටයුතු කරන්න ඕනා කියලා අපි දැනගෙන හිටියා. 

නිවැරැදි ඉලක්කයට පන්දු යැවීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්න පුළුවන් බවට මට කිසිම සැකයක් තිබුණේ නෑ.' ක්ලාක් කීවේය.

තරගයෙන් පරාජය වීම කණගාටුදායක කරුණක් බව ශ්‍රී ලංකා පිලේ නායක මහේල ජයවර්ධන ප්‍රකාශ කළේය. 'අන්තිම දවසේ පළමු හා දෙවැනි භාගයේ දී සුපරික්ෂාකාරීව පිතිහරඹයේ නිරතවිය යුතුව තිබූ බව අපි දැනගෙන හිටියා.

තේ පානය වෙනතුරුම අපි නිවැරැදි ඉලක්කයේ හිටියා. නමුත් තේ පානයට පස්සේ ඉක්මනින් කඩුලු 2ක් බිඳ වැටුනාම තරග‍යේ වාසිය අනිත් පැත්තට ගියා' මහේල කීවේය.



Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all