Photobucket

Saturday, December 15, 2012

නීතියේ ආධිපත්‍යය නැති තැන ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ - විනිසුරු වීරමන්ත්‍රී

කිසියම් රටක සෑම පුරවැසියෙකුටම නීතියේ ආධිපත්‍යය බල නොපවත්වන්නේ නැත්නම් එහි ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිය නොහැකි බව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජේ සී වීරමන්ත්‍රී පවසයි.

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ටතම විශ්‍රාමික විනිශ්චයකාරවරයා ඒ බව පවසන්නේ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව පැවැත්වෙන දෝෂාභියෝග විමර්ශනය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින්.
කිසියම් රටක ජනතාවගේ මූලික ආරක්ෂාව සහතික නොවන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදයට පැවැත්මක් බැවින්, ස්වාධීන අධිකරණයක පැවැත්ම ප්‍රජාතන්ත්‍රවාදයකට අත්‍යවශ්‍ය සාධකයක් බව ද විනිසුරු ජේ සී වීරමන්ත්‍රී ප්‍රකාශ කරයි.

"අධිකරණයේ ස්වාධීනත්වය යනු එකම අතකට පමණක් රථ වාහන පදවිය හැකි මාවතක් ලෙසින් විනිශ්චයකාරවරුන් මත පමණක් රඳා පවතින්නක් නොවේ. ස්වාධීන විනිශ්චයකාරවරුන් මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන රාජ්‍යයක්ද ඒ සඳහා අවශ්‍ය වන," බව විනිසුරුවරයා ගේ ප්‍රකාශයේ සඳහන් වේ.

අගවිනිසුරුවරියට එරෙහිව කෙලින්ම සඳහනක් නැතත්, ශ්‍රී ලංකාවේ අධිකරණය මුහුණ දෙමින් සිටින වත්මන් "අර්බුදය" පිළිබඳව සඳහන් කරන වීරමන්ත්‍රී විනිසුරුවරයා, කිසියම් රටක සියලුම පුරවැසියන්ට සාධාරණ පරීක්ෂණයකට මුහුණ දීමේ අයිතිය නොමැත්තේ නම් එම රටේ නීතියේ ආධිපත්‍යයක් තිබිය නොහැකි බව අවධාරණය කරයි.

පරීක්ෂණය පවත්වන විනිශ්චය සභාව සම්පූර්ණයෙන්ම අපක්ෂපාතී වීම එවැනි සාධාරණ පරීක්ෂණයක් සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරවරයාගේ විග්‍රහයයි.

මේ තත්ත්වය යටතේ විනිශ්චය සභාවේ කිසියම්ම හෝ සාමාජිකයකු පරීක්ෂණයට පෙරාතුවම ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ සිය මතය පළ කොට තිබෙන්නේ නම්, ඒ සමගම එම පරීක්ෂණයේ අපක්ෂපාතීභාවය අහෝසි වන බවයි, ඔහු පවසන්නේ.

එමෙන්ම, "සියලුම චෝදනා සම්බන්ධයෙන් දැනුවත් වීම, තමන්ට එරෙහිව තිබෙන සාක්ෂි පිළිබඳව දන සිටීම, එම සාක්ෂි පූර්ණ සහ සාධාරණ වශයෙන් ප්‍රශ්න කිරීමේ අවස්තාව හිමිවීම," යන කරුණු තුන සියලුම චුදිතයන්ට හිමිවිය යුතු අනිවාර්ය අයිතීන් බවද විනිසුරු වීරමන්ත්‍රී සඳහන් කරයි.

එම අයිතීන් අතරින් කිසියම්ම හෝ අයිතියක් විත්තිකරුට හිමි නොවන්නේ නම් එවිට එම විනිශ්චය සභාවේ තීන්දුව බල රහිත කෙරෙන බවයි, වසර 65 ක් ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවද ඉහල අධිකරණවල සේවය කොට පළපුරුදු වීරමන්ත්‍රී විනිසුරුවරයා අවධාරණය කරන්නේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all