Photobucket

Saturday, December 15, 2012

දෝෂාභියෝග පෙත්සම් පිළිබඳ අර්ථ නිරූපණය ඉදිරි දිනකදී

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට නියමිතයි

දෝෂාභියෝගය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අර්ථ නිරූපණයක් ලබාගැනීම සඳහා අභියාචනාධිකරණය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලද පෙත්සම් සම්බන්ධ අර්ථ නිරූපණය ඉදිරි දිනකදී අභියාචනාධිකරණය වෙත දන්වා යවන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ (14) දැනුම් දුන්නේය. අර්ථ නිරූපණයට සම්බන්ධ පෙත්සම් 14 වාචික දේශන 13, 14 දින දෙක තුළදී අවසන් කළ අතර ලිඛිත දේශන දෙසැ. 18 දින ගොනුකරන ලෙසට නියෝග කළේය.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි අංශුමාලා බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මගින් විමර්ශනය කරන දෝෂාභියෝගය මගින් විමර්ශනය කරන දෝෂාභියෝගය විභාග කරන තේරීම් කමිටුව අසාධාරණ බවත් එහි කටයුතු තහනම් කරන ලෙසත් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සම් 9ක් යොමුකරන ලදී. මෙහිදී විශේෂ කමිටුව සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබාගැනීම සඳහා පෙත්සම් 9ක් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර ඇත. එම පෙත්සම් විෂ්ප්‍රභා කරන ලෙසද පාර්ලිමේන්තු කටයුතුවලට මැදිහත්වීමට අධිකරණයට බලයක් නොමැති බවද පවසමින් මැදිහත් පෙත්සම් 5ක් එම පෙත්සම්වලට විරුද්ධව ගොනුකරන ලදී.

මෙම පෙත්සම් 14 ඊයේ 14 හා පෙරේදා (13) යන දෙදින උදෑසන සිට සවස දක්වාම ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග කෙරුණි. නිමල් ගාමිණී අමරතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් කේ. ශ්‍රීපාවන් ප්‍රියසාද් ඩෙප් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මීට සහභාගි වූහ.

මෙම පෙත්සම් 14න් පෙත්සම් 9ක් 13 දවස පුරාම විභාගයට ගත් අතර පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු දීර්ඝව කරුණු ඉදිරිපත් කළහ.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට එවැනි විමර්ශනයකට හෝ තීරණයක් ගැනීමට අයිතියක් නැතැයි පෙත්සම්කාර නීතිඥවරු පෙන්වා දුන්හ. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ  ස්ථාවර නියෝග 78ක් වගන්තිය ශ්‍රී ලංකා ව්‍යවස්ථාවට පටහැනි බවද මූලික අයිතිවාසිකම්වලට එරෙහි වන බවද ඔවුහු පෙන්වා දුන්හ. නීතිපතිවරයා සඳහන් කළේ පාර්ලිමේන්තුවට එරෙහිව කටයුතු කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි.

මැදිහත් පෙත්සම්කරුවන්ගේ පෙත්සම් සියල්ලටම (14) ඊයේ දින අවස්ථාව ලබාදීමට පෙරේදා (13) ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කරන ලදී. ඊයේ (14) දින මුලින්ම අධිකරණයට කරුණු දක්වන ලද්දේ නීතිපති පාලිත ප්‍රනාන්දු මහතාය.

නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දිගින් දිගටම කරුණු දැක්වීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ 125 වගන්තිය මගින් ව්‍යවස්ථාව අර්ථ නිරූපණය වන අතර ශ්‍රේෂ්ඨාධිකරණය මගින් එම අයිතීන් අහිමි නොකරන්නැයි ඉල්ලා සිටියේය.

විශේෂ තේරීම් කාරක සභාව යනු පාර්ලිමේන්තුවේම කොටසක් වන අතර පාර්ලිමේන්තුව යනු ව්‍යවස්ථාදායකයේම කොටසක් වන බවත් සඳහන් කළේය. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව යනු කමිටුවක් වන අතර එයින් සිදුකරන්නේ දෝෂාභියෝගය විමර්ශනය කිරීම මිසක් අපරාධ චෝදනා විමර්ශනය කිරීමක් නොවන බවත් පැහැදිලි කළේය. අධිකරණයක සිදුකරනු ලබන අපරාධ චෝදනා විමර්ශනය කිරීමකදී නම් විත්තිකරු, චෝදනා, සාක්ෂි කැඳවීම, පැමිණිලිකරු සිටින අතර එම පුද්ගලයා චෝදනා විමර්ශනය කොට තීන්දුවක් ලබාදෙනතුරු නිවැරදිකරු වන බවත් කීය.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මගින් සිදු කෙරෙන්නේ හුදු විමර්ශනය කිරීමක් පමණක් බවත් කීය. මෙම විමර්ශන ක්‍රියාදාමය පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායකයේම ක්‍රියාවලියක් බවද වැඩිදුරටත් සඳහන් කළේය. එම නිසා මෙහි වෙනත් ක්‍රියාවලියක් නොමැති බවත් අපරාධ උසාවියේ විභාග වන ආකාරයේ විමර්ශනයක් කිසිසේත්ම සිදුනොවන බවත් කීය.

එසේම අභියාචනාධිකරණය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම් යොමු කිරීමේදී නිසි පිළිවෙත් අනුගමනය කර නොමැති බවද අවධාරණය කළේය. සාමාන්‍යයෙන් අභියාචනාධිකරණය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් යැවීමේදී නීතිපති උපදෙස් පැතිය යුතු බවත් එය නීතියේ අවශ්‍යතාවයක් බවද අවධාරණය කළේය. ව්‍යවස්ථාවේ වගන්ති අර්ථ නිරූපණයට තරම් ශ්‍රේෂ්ඨාධිකරණයට අවශ්‍යතාවයක් නැතැයිද කීය. නීතිපතිවරයා පෙන්වා දුන්නේ මෙය අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගොනුකළ යුතු ඉල්ලීමක් බවයි. එම නිසා මෙම පෙත්සම් නිෂ්ප්‍රභා කරන ලෙසද ඉල්ලා සිටියේය.

නීතිඥ චන්දන ලියනපටබැඳි මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලියකට එරෙහිව මැදිහත් වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවයි. මෙම අර්ථ නිරූපණය පාර්ලිමේන්තු ක්‍රියාවලියේම කොටසක් බවත් අර්ථ නිරූපණය විමසා ඇත්තේ විශේෂ කාරක සභාව සම්බන්ධයෙන් බවත් සඳහන් කළේය. විශේෂ කාරක සභාව පාර්ලිමේන්තුවේම කොටසක් වන නිසා ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට එරෙහිව මැදිහත් වීමට අධිකරණයට බලයක් නොමැති බවත් පැහැදිලි කළේය.

මෙහිදී චන්දන ලියනපටබැඳි මහතා පෙරදින (13) නීතිඥ එස්.එල්. ගුණසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලද තර්කයටද එකඟවිය. මැදිහත් පෙත්සම්කරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ එස්.එල්. ගුණසේකර මහතා කියා සිටියේ ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණය 125 වගන්තියට අනුව ව්‍යවස්ථාදායක පිළිබඳ අරර්ථ නිරූපණයක් සඳහා පහළ උසාවිවලින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් යොමුකරන බව කීය. එහෙත් එසේ යොමු කරන්නේ කිසියම් ගැටලුවක් මතුවුවහොත් පමණක් බවත් සඳහන් කළේය.

එසේ ගැටලුවක් මතුවී ඒ සඳහා අර්ථ නිරූපණයක් සඳහා දෙපාර්ශ්වයේම එකඟතාවය මත නීතිපති උපදෙස් මත එසේ යොමුකරන නමුත් මෙය යවා ඇත්තේ නිවැරදි ක්‍රමයට නොවන බවත් සඳහන් කළේය. එසේම ගැටලුවක් නොමැතිව මෙම පෙත්සම් ශේ්‍රෂ්ඨාධිකරණයට යොමුකර තිබෙන බවද කීය. එම තර්කයට එකඟවෙමින් එම තර්කයම ඉස්මතු කරමින් ලියනපටබැඳි මහතා අදහස් දැක්වීය.

අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් අදහස් දැක්වූ මහාචාර්ය එච්.එම්. සෆ්රුල්ලා මහතාද අවධාරණය කරමින් කියා සිටියේ පාර්ලිමේන්තු ක්‍රියාදාමය සම්බන්ධයෙන් මැදිහත් වීමට අධිකරණයට බලයක් නොමැති බවයි.

මැදිහත් පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රසික් සරුක්, ඩී.පී. මෙන්ඩිස්, නයිගර් හැව්, එම්. සරූක්, එස්.එල්. ගුණසේකර, කනගීෂ්වරන් යන නීතිඥවරුන් දිගින් දිගටම අදහස් තර්ක විතර්ක ඉදිරිපත් කළහ.

ෂේක්ස්පියර්ගේ ජුලියස් සීසර් නාට්‍ය පිළිබඳවද දෝෂාභියෝගයට තර්ක ලෙස කරුණු කීහ. ශ්‍රී ලංකාවේ ඇමරිකාවේ හා වෙනත් රටවල මෙන්ම ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල නඩු තීන්දු ගෙනහැර පාමින් අදහස් ඉදිරිපත් කළහ.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයකින් පත්කරන ලද විශේෂ කමිටුවට දෝෂාභියෝගය විමර්ශනය කිරීමට හැකියාවක් ඇති බවද කථානායක විසින් ගෘහස්ථ විමර්ශනයක් සඳහා මෙම කමිටුව පත්කර ඇති බවත් සඳහන් කළේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all