Photobucket

Wednesday, December 19, 2012

ඉංගිරිය පරෙයිතොට තොටුපොළේ දී තරුණයෙක් දියේ ගිලී මරුට

ඉංගිරිය පරෙයිතොට තොටුපළේ දියනෑමට පැමිණි තරුණයන් පිරිසක් මත්පැන් පානය කර දියනෑමේ දී එක් තරුණයකු දියේ ගිලී මියගොස් ඇත. 

මෙසේ මියගොස් ඇත්තේ රත්මලාන, බොරුපන පාරේ පදිංචිව සිටි ගොඩපිටිය ලියනාරච්චිගේ ජනක මධුශංක (අවු. 19) නම් වූ අවිවාහක තරුණයෙකි.

මෙම හදිසි මරණය පිළිබඳ පශ්චාත් පරීක්ෂණය ඉංගිරිය දිසා රෝහලේ දිසා වෛද්‍ය නිලධාරිනි ඕ. ඒ. එම්. ඊ. ඒකනායක මහත්මිය විසින් පවත්වන ලද අතර, හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු උදයරත්න ලියනගේ මහතා ඉදිරියේ සාක්කි දුන් මියගිය තරුණයා සමඟ දියනෑමට ගිය රත්මලාන බොරුපන, එගොඩවත්ත පදිංචි සුන්නා දෙණියගේ ළහිරු උදයංග (අවු. 22) මෙසේ පැවැසීය.

මියගිය අය මගේ හොඳම යාළුවෙක්. එදින පෙරවරු 11.00ට විතර අපි ඉංගිරියේ පරෙයිතොට නාන්න යන්න පිටත්වුණා. යන ගමන් හොරණ පොකුණුවිට තවත් යාළුවෙක් සමඟයි ගියේ.

අපි ඔක්කොම හයදෙනෙක් ගියා. රත්මලානේ සිට ත්‍රිවීල් එකකින් හා මෝටර් සයිකලයකින් අපි ගියේ. යන ගමන් ඉංගිරියෙන් අරක්කු බෝතල් දෙකක් සමඟ බයිට් ආදිය ගත්තා. පරෙයිතොට නාන තැනට ගිහින අරක්කු බෝතල් එකහමාරක් විතර බිව්වා.

මධුශංක අරක්කු කාලකට වඩා බීවේ නැහැ. මුලින්ම දියට බැස්සේ මධුශංකයි, සුපුන් යන අයයි. කට්ටියම බැහැලා එගොඩ මෙගොඩ පීනුවා. මියගිය අයට ටික වෙලාවකින් පීනන්න අපහසු බව දැනුණා. මාව බේරා ගනිල්ලා කියල කෑගැහුවා.

පාත්වෙලා තිබුණු ගහක අත්තක් ඔහු හිටිය පැත්තට පාත් කළත් අත්ත අල්ල ගන්න බැරිවුණා. ඔහු යට ගියා. අපි ඔහු බේරාගන්න බැලුවත් බැරිවුණා. පොකුණුවිට යාළුවා බයිසිකලයෙන් ගොස් අවට කීපදෙනෙක් රැගෙන ආවා. ඒ වෙනකොට විනාඩි 15ක් විතර ගියා. ආපු ගමේ අය දියයට කිමිදිලා මධුශංක ගොඩ අරගෙන ප්‍රථමාධාර දී බැලුවා. ඔහු ඉංගිරිය රෝහලට රැගෙන ගියා. වෛද්‍යවරු පරීක්ෂා කර බලා ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බව ච්වා.

මියගිය ජනක මධුශංකගේ මව වන රත්මලාන බොරුපන අනුර මාවතේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ කමලා රත්නායක (අවු. 46) – අපට පුතුන් දෙදෙනකු හා දියණියන් දෙදෙනෙකු සිටිනවා. මියගොස් සිටින්නේ තුන්වෙනියා. 

එදා දවල් 11.00ට විතර කුස්සියේ කෑම හදමින් හිටියා. දුව ඇවිත් කීවා අය්යා කලිසම් වගයක් බෑග් එකක දාගෙන ගියා මුහුදෙ නාන්නද දන්නේ නෑ කියලා. මම ගේ ඉස්සරහ පාරට දුවගෙන ගිහින් බැලුවා. ඒත් පේන්න හිටියේ නැහැ. ඒ වෙනකොටත් ගිහින් තිබුණ.

සවස 5.30ට විතර නාන්න ගිය කෙනෙකුගේ අම්මා කෙනෙක් ගෙදරට ඇවිත් “අනේ නංගී ජනක” කියල කීවා. මම ඇහුවා ජනකට මොකක් වෙලාද කියලා. ජනකට කරදරයක් ඉංගිරියෙ ඉස්පිරිතාලෙ ඉන්නවා බලන්න යමු කියලා කීවා. 

අපි ඒ සමඟම රෝහලට ආවා. ඉංගිරිය රෝහලේ බාහිර අංශයේ ට්‍රොලියක දාලා සුදු රෙද්දක් දාලා වහලා කෙනෙක් පෙන්නුවා. මම රෙද්ද අයින් කර බැලුවා. අනේ මට අදහාගන්න බැරිව ගියා. මගේ දරුවාට මේ විපත වෙලා තියෙන්නේ නාන්න ගිහින් කියලා දැනගත්තා.”

තිලංක සුරංජිත් ප්‍රියදර්ශන යන අයද මෙහිදී සාක්කි දුන්නේය. ඉංගිරිය පොලිස් කොස්තාපල් රංජිත් (41148) මහතා සාක්කි මෙහෙයවීය. සියලු සාක්කි සහ මරණ පරීක්ෂණ වාර්තා සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂක උදයරත්න ලියනගේ මහතා දියේ ගිලී සිදුවූ මරණයක් බවට තීන්දු කෙළේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all