Photobucket

Tuesday, December 25, 2012

පදවියේ ජනතාවට සහන සේවා දිගටම

පදවිය මොරඔය පිටාර ගැලීම නිසා කොටු වී අවතැන්ව සිටින පවුල්වල සාමාජිකයන්ට අවශ්‍ය සියලු සහන සේවා කටයුතු බෝට්ටු උපයෝගි කර ගනිමින් ලබාදීමට මේ වන විට කටයුතු යොදා ඇත. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා ගේ උපදෙස් මත පොලිසිය, නාවික හමුදාව සහයෝගිත්වයෙන් මේ සහන සේවා සිදු කෙරේ.

යුද්ධයෙන් අවතැන්ව නැවත පදිංචි කළ කම්බිලි වැව, කෝන්වැව, වෙහෙරවැව ප්‍රදේශවල පවුල් අසූහයකට (86) පමණ සාමාජිකයන් ජලය පිටාර ගැලීම නිසා ඊයේ (24) කොටුවී සිටියහ.

පදවිය ජලාශයේ වාන් දොරටුව දෙක (02) ද පෙරේදා (24) සවස විවෘත කෙරුණ අතර ඉන් තත්පරයට ඝන අඩි පන්දහසක් (5000) පමණ මොරඔයට මුදාහැරේ. මේ නිසා පහත් ප්‍රදේශවල පදිංචි ජනතාව සැළකිලිමත්ව සිටින ලෙස වාරිමාර්ග අංශ නිලධාරීහු දැනුම් දුන්හ.

පදවිය අලුත් හල්මිල්ලෑව වැව වාන් දැමීම නිසා අනුරාධපුර - පුල්මුඩේ මාර්ගය ද මොරඔය පිටාර ගැලීම නිසා පදවිය කැබතිගොල්ලෑව මාර්ගය ද ජලයෙන් යටව පවතින අතර එම මාර්ගවල ගමන් ගන්නා මගීන්ට අවශ්‍ය පහසුකම් පොලිසිය විසින් සපයනු ලැබේ.

ජල ගැල්ම නිසා පදවිය 621 බළ සේනා මූලස්ථානය ද ජලයෙන් යටවිණි. පදවිය ආයුර්වේද රෝහලේ පවුල් විසිහතරක (24) සාමාජිකයන් හැත්තෑ එක් (71) දෙනකු අවතැන්ව සිටින අතර අවතැන්ව සිටින අනෙක් පිරිස් වෙත අවශ්‍ය සහන සේවක කටයුතු ක්‍රියාත්මක කර තිබේ.

අධික වර්ෂා පතනයෙන් පිරී පවතින ඕමාරකට වැව් බැම්මද පෙරේදා (23) කැඩීයාමේ තර්ජනයකට ලක්ව තිබූ අතර ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා ඇතුළු නිලධාරීන් සහ ගම්වාසීන් එක්ව වැලිකොට්ට යොදා වැව්බැම්මට ආරක්ෂා කිරීමට කටයුතු යොදා ඇත.

ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත අවතැන්ව සිටින ජනතාව සඳහා අවශ්‍ය සියලු සහන සැලසීමට කුඩා දරුවන්ට අවශ්‍ය කිරිපිටි, ආහාර ද්‍රව්‍ය ලබාදීමට දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ සම්බන්ධිකරණයෙන් සිදුකරන බවද ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා සඳහන් කරයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all