Photobucket

Tuesday, December 25, 2012

විස්සයි-20 කුසලානයේ කෝටි 15ක් බෙදාගන්න බැරිව විශාල අවුලක්

විස්සයි – 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීම වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට හිමි වූ සියයට විසි පහක මුදල හෙවත් රුපියල් කෝටි 15කට ආසන්න මුදල බෙදා ගැනීම අරබයා උද්ගත වූ ගැටලුකාරී තත්ත්වය ක්‍රිකට් ක්‍ෂෙත්‍රයේ විශාල අර්බුදයක් බවට පත්ව ඇත.

මේ දිනවල ක්‍රියාත්මක වන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සංචාරයෙන් පසුව නායක මහේල ජයවර්ධනට හා කළමනාකරු චරිත් සේනානායකට විනය ක්‍රියා මාර්ග ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනිමින් සිටින අතර නායක මහේල පවසන්නේ ක්‍රිකට් ආයතනය ගැන විශ්වාසයක් නොමැති බවය.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ක්‍රිකට් ක්‍රීඩකයන් 15කට ජගත් ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබුණු කෝටි 15 කට ආසන්න මුදල ක්‍රීඩකයන්ට මෙන්ම නිලධාරීන්ට හා ක්‍රීඩාංගණ සේවකයන්ට බෙදී යා යුතු ආකාරය මහේල ජයවර්ධන ක්‍රිකට් ආයතනයට යෝජනා කළ අතර එය පසුගියදා ක්‍රිකට් විධායක සභාව ප්‍රතික්ෂේප කළේය. 

එම ලිපිය ප්‍රසිද්ධ වීමෙන් අනතුරුව මහේල හා චරිත් සේනානායක මාධ්‍ය ආයතනයකට කරුණු පැහැදිලි කිරීම, ක්‍රිකට් ආයතනය සමඟ ඇති ගිවිසුම උල්ලංඝනය කරන්නක් බැවින්,ඒ දෙදෙනාට විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට හේතු වී ඇත.

මේ විනය පරීක්‍ෂණය ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳ අවසන් තීරණය ජනවාරි මැද දී පැවැත්වෙන ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේ දී ගැනීමට නියමිත ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩකයන් අතර ඇති ගිවිසුම ප්‍රකාරව විස්සයි – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ලැබුණු රුපිවල් කෝටි 15 කට ආසන්න මුදල ක්‍රීඩකයන්ට පමණක් හිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයෙකු ‘දිනමිණ’ ට පැවැසීය. 

එම මුදල තවත් පාර්ශවයකට ලබාදීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විරෝධයක් නොමැති අතර මුදල ලබා ගැනීමෙන් අනතුරුව,එය ක්‍රීඩකයන් විසින් කළ යුත්තක් බව එම ප්‍රකාශකයා පැවැසීය.

“ක්‍රීඩකයන්ට ලැබෙන මුදලින් කොටසක් නිලධාරීන්ට බෙදන්න ඕනෑ නම් ඒක ක්‍රීඩකයන් සියලු දෙනාගේ කැමැත්ත මත සිදු කළ හැකියි. ඒකට ක්‍රිකට් ආයතනයේ සම්බන්ධයක් අවශ්‍ය නෑ. මෙයට පෙරත් එවැනි බෙදා ගැනීම් ක්‍රීඩකයන් එකතු වී සිදුකර තිබෙනවා. මේක අනවශ්‍ය ප්‍රශ්නයක් නිර්මාණය කිරීමක්” යැයි පැවැසීය.

විස්සයි – 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් ලැබුණු කෝටි 15 ක ආසන්න මුදලින් ලක්‍ෂ 125 බැගින් මහේල, සංගක්කාර, ඩිල්ෂාන්, මැතිව්ස්, මාලිංග හා කුලසේරට හිමිකර දීමටත්, ලක්‍ෂ 80 බැගින් අජන්ත මෙන්ඩිස්, රංගන හේරත්, හා තිසර පෙරේරාට හිමිකර දීමටත්, ලක්‍ෂ 50 බැගින් ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, ජීවන් මෙන්ඩිස්ට හා ලක්‍ෂ 30 බැගින් ෂාමින්ද එරංග, දිල්ෂාන් මුණවීර,අකිල ධනංජයට දීමටත් මහේල ගේ ලිපියෙන් යෝජනා වී තිබුණි. 

ඉතිරි මුදල් ක්‍රිකට් පුහුණුකරුවන් හා තරගාවලියට සම්බන්ධ වූ සේවකයන් අතරේ බෙදී යා යුතු බවට යෝජනා කොට තිබුණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all