Photobucket

Tuesday, December 25, 2012

සිරිපා වන්දනාවට පුද සිරිත් ඇරඹේ

ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කිරීමේ පුද සිරිත් අද 25 වනදා සිට පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රාජමහා විහාරස්ථානයේ දී ඇරඹේ.

සිරිපා අවාරයේ තැන්පත් කර තිබෙන  සමන් දේව ප්‍රතිමා ගල්පොත්තාවෙල ශ්‍රීපාද රාජමහා විහාරයේ සමන් දේව මන්දිරයේ දී බැතිමතුන්ට දැක වැඳ පුදා පූජෝපහාර දැක්වීමේ අවස්ථාව අද 25 රාත්‍රී 7 සිට උදාවේ.

ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසුවේ හෙට 26 අලුයම පහ දක්වා සමන් දේව ප්‍රතිමා හා දේවාභරණවලට පූජෝපහාර දැක්වීමේ අවස්ථාව බැතිමතුන්ට උදාකර ඇති බවයි.

පූජෝපහාර දැක්වීමට පසු දින අලුයම දක්වා අවස්ථාව ලබාදීම තුළින් බැතිමතුන්ට අවහිරතාවයකින් තොරව පූජෝපහාර දැක්වීමට හැකිවෙනු ඇතැයි ශ්‍රීපාද වන්දනා සංවිධායක කමිටුව වෙනුවෙන් සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ සුනිල් ශාන්ත වීරසේකර මහතා පැවැසීය.

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙන් ඇරඹෙන මෙවර සිරිපා වන්දනා සමයේ පුද සිරිත් ගල්පොත්තාවෙල ශ්‍රීපාද රාජමහා විහාරස්ථානයේ දී ඊයේ 24 සිට ඇරඹුණි. තුන් තිස් පැයේ පිරිත් දේශනාව ඊයේ ඇරඹුණු අතර 26 අලුයම දක්වා පුද සිරිත් ඉටු කෙරෙති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all