Photobucket

Tuesday, December 25, 2012

ජාතික පාසල්වල වසර 10 කට වඩා සිටින ගුරුවරුන් 9600 කට ලබන වසරේ මාරුවීම්

එකම ජාතික පාසලක වසර දහයකට වැඩි කාලයක්‌ සේවය කරමින් සිටින නවදහස්‌ හයසීයක්‌ (9600) පමණ වන ගුරුවරුන් වෙනත් පාසල්වලට ලබන වසරේදී මාරු කර යවන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මේ අතරින් වසර විස්‌සකට වැඩි කාලයක්‌ එකම ජාතික පාසලේ සේවය කරමින් සිටින ගුරුවරුන් පළමුවෙන් මාරු කෙරෙන අතර එම සංඛ්‍යාව තුන්දහසකට අධික බව ද ඇමැතිවරයා කීවේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පසුගිය සිකුරාදා පැවැති මාධ්‍ය හමුවේදීය. මෙම සියලුම ගුරුවරුන් පිළිබඳ තොරතුරු මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාගෙන තිබේ.

එකම ජාතික පාසලේ වසර ගණනාවක්‌ සිටින ගුරුවරුන් මේ අයුරින් මාරු කර හැරීම සඳහා අධ්‍යාපන ඇමැතිවරයා කැබිනට්‌ මණ්‌ඩල අනුමැතිය ද ලබාගෙන තිබේ. මෙම ගුරුවරුන් මාරු කිරීමට මීට පෙර අධ්‍යාපන ඇමැතිවරුන් ගත් සියලු උත්සාහයන් සාර්ථක නොවූ බව ද මෙවර කුමන බලපෑම් එල්ල වුවත් ගුරුවරුන් මාරු කරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය සේවයේ වෙනත් සේවාවන්වල කාර්ය මණ්‌ඩලවලට නියමිත සේවා කාලයෙන් පසුව අනිවාර්යයෙන්ම ස්‌ථාන මාරු ලබාදෙන නමුත් ජාතික පාසල්වල ගුරුවරුන්ට පමණක්‌ එකම නීතිය මෙතෙක්‌ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව පැවසූ ඇමැතිවරයා ඔවුන් මාරු කිරීමේදී මෙවර ද විවිධ බලපෑම් එල්ලවීමට ඉඩ තිබෙන බව තමා දන්නා බව පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න, අතිරේක ලේකම්වරුන් වන හේමන්ත ප්‍රේමතිලක, එච්. එම්. ආර්. බී. හේරත්, විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර සහ අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්‌ ජනරාල් තිස්‌ස හේවාවිතාරණ යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all