Photobucket

Sunday, December 16, 2012

ලෝක විනාශයක් සිදුවෙන බවට විද්‍යාත්මක සාක්ෂි නැහැ

දැන් ටික කාලයක ඉඳල අපේ අයට අලුත්ම තාලේ ලෙඩක් හැදුණා.
‘ලෝක විනාශය’

‘කවදද?’

‘ලබන 21 වැනිදා තමයි ලෝකෙ විනාශ වෙන්නෙ’

දැන් අවුරුදු කීපයක ඉඳල මේ කතාව ලෝකෙ පුරාම පැතිරුණා.

ඔය කියන විදිහට ලෝක විනාශයට තවත් හරියටම දවස් 5 යි තියෙන්නෙ.
මොනව වෙයි ද?

අපේ රටේ අයටනං මේක තවමත් අප්‍රභ්‍රංසයක්.

ඉරණවිල, ඇඹිලිපිටිය පැත්තෙ දැකපු උඩු ගුවනේ ආකාශ වස්තු නිසා ලෝක විනාශ කතාව අපේ අයගෙ ඔළුවටත් තදින් දැනිල වගේ.

2012 ලෝක විනාශය ගැන හදපු ඉංගි‍්‍රසි චිත්‍රපටයකුත් පසුගිය කාලේ බොහොම ජනපි‍්‍රය වුණා.
මේ සියල්ලටම පාදක වී ඇත්තේ මායන්වරුගේ දින දර්ශනයක් 2012 දෙසැම්බර් 21 වැනිදා අවසන් වීමයි. එසේ අවසන් වූ පසුව ලෝකය විනාශ වී අලුතින් ලොවක් බිහිවන බවට මතයක් පවතිනවා.

මේ කතාන්දර සියල්ලම අපට කිසිදු සාක්ෂ්‍යයකින් තොරව ලැබුණු ඒවා මිස ඊට විද්‍යාත්මක පදනමක් නැහැ.

අප මේ ගැන කොළඹ විශ්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න හමුවුණා.

මහාචාර්ය චන්දන ජයරත්නයන් පවසන්නේ ලෝක විනාශය පිළිබඳ කතාව හුදෙක් මිථ්‍යා මතයක් පමණක්ම නොව ව්‍යාපාරික ප්‍රජාවගේ ප්‍රෝඩාවක් බවයි.

ලෝක විනාශයෙන් බේරීම සඳහා ඇමෙරිකාවේ පොළව යට නිවාස තනා විකිණීම ද මේ දිනවල සිදු කෙරෙනවා.

රතු වැස්ස වගේම මේ දවස්වල රාත්‍රී කාලයේ ඉහළ අහසෙ දක්නට ලැබෙන ආකාශ වස්තු හා ලෝත විනාශය අතර කිසිදු සම්බන්ධයක් නැහැ.

ලෝක විනාශ කතාව ආරම්භ වුණේ මායන්වරුන්ගේ දින දර්ශනය 2012. 12. 21 අවසන් වන නිසයි. එහෙත් මීට පෙරත් මේ වගේ දින දර්ශන අවසන් වී තිබෙනවා. එහිදී කිසිදු ගැටලුවක් ඇතිවූයේ නැහැ. එහෙත් වර්තමානයේ අන්තර්ජාලය හරහා සිදු කරනු ලබන ව්‍යාජ ප්‍රචාර නිසා මේ තත්ත්වය උග්‍ර වෙලා.

ලෝක විනාශය වන බව පවසන කිසිවකු ඒ සඳහා පිළිගත හැකි මතයක් තර්ක ඉදිරිපත් කරන්නේ නැහැ.

මායන්වරුන්ගේ පළමු දින දර්ශනය ක්‍රිස්තු පූර්ව 3114 අගෝස්තු මස 11 වැනිදා අවසන් වුණා. එහිදී ලෝක විනාශයක් සිදු වූයේ නැහැ. එමෙන්ම මායන්වරුන්ගේ ප්‍රකාශ මෙතරම්ම අප විශ්වාස කරන්නේ නම් ඔවුන් විසින් ලෝක විනාශය සිදුවෙතැයි දක්වා ඇති ක්‍රිස්තු වර්ෂ 4772 ඔක්තෝබර් 21 දිනය ගැන අද අවධානය යොමු නොකරන්නේ ඇයි.

මායන්වරුන් මේ වන විට ගොතමාලාවේ ඉතා සුළු ගෝත්‍රික පිරිසක් බවට පත්වෙලා. ඔවුන්ගේ වත්මන් නායකයාම පවසා සිටිනවා 2012 දී ලෝක විනාශයක් කිසිසේත්ම සිදු නොවන බවට.
එසේනම් මේ අසත්‍ය ප්‍රචාර ගෙනයන්නේ කවුද?

ගෝතමාලා රාජ්‍යයත් සංචාරක ව්‍යාපාරය දියුණු කර ගැනීමේ අරමුණින් මෙවන් ව්‍යාජ ප්‍රචාර ගෙනයනවා. මීට පෙර 2003 දී ලෝක විනාශය සිදුවන බවට මතයක් පැතිර ගියා. පසුව එය 2006 දී බව ප්‍රකාශ වුණා. දැන් එය 2012 දක්වා පැමිණ තිබෙනවා.
 
2000 වසරේදී ක 2 ම් වෛරසය මඟින් පරිගණක විනාශ කරනු ලබන බවට මතයක් ද පැතිර ගියා.
මේ තවත් එවන් අසත්‍ය ප්‍රචාරණයක් පමණයි. ඇතැමුන් පවසන්නේ දින 3 ක් සූර්යාලෝකය නොලැබී පෘථිවිය අඳුරු වන බවයි.

මේ සියල්ලටම දක්වන හේතු කිසිවක් පිළිගැනීමට බැහැ.
ලෝක විනාශයක් සිදුවන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒත් එවැනි විනාශයක් සිදුවන ලකුණු අහලකවත් නැහැ. තවත් වසර මිලියන 4500 ක් වත් ඒ සඳහා ගත වනු ඇති බව කිව යුතුයි.

ව්‍යාජ ප්‍රචාර ගෙනයන්නන් පවසන්නේ ප්ලුටෝ ග්‍රහයා තරම් විශාල ග්‍රහ වස්තුවක් පෘථිවියේ ගැටීම නිසා ලෝක විනාශය සිදුවන බවයි. එවන් කිසිවක් මේ වන විට පෘථිවිය ආසන්නයේවත් නොමැති බව ඉහළ අහසේ රඳවා ඇති අධෝරක්ත කිරණ දුරේක්ෂ මඟින් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම එවන් ග්‍රාහකයක් තිබුණේනම් සිකුරු සහ අඟහරු ග්‍රහයන්ගේ කක්ෂ වෙනස් විය යුතුයි. නමුත් එවැන්නක් සිදුවී නැහැ. සූර්ය කුණාටු මඟින් ලෝකය විනාශ විය හැකි බව ද තවත් මතයක් ගෙනවිත් තිබෙනවා. සූර්ය කුණාටු ඇතිවීම සාමාන්‍ය දෙයක්. සූර්යය කුණාටු මඟින් චන්ද්‍රිකාවන්ට යම් බලපෑමක් ඇති වී එමඟින් අපේ සන්නිවේදන පද්ධතියේ තාවකාලික දෝෂ ඇතිවන්න පුළුවන්.

තවත් මතයක් වන්නේ පෘථිවිය කැරකැවෙන උතුරු දකුණු අක්ෂ මාරු වන බවයි. පෘථිවියේ වයස දැන් අවුරුදු මිලියන 4500 ක්. මේ තාක් එවැන්නක් සිදුවී නැහැ. එසේනම් එකවරම එවැන්නක් සිදු වන්නේ කෙසේ ද?

එසේම පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රයේ උතුරු - දකුණු මාරු වන බවටත් මතයක් ගෙනවිත් තිබෙනවා.
සෑම අවුරුදු මිලියන 2500 කටම වරක් එසේ උතුරු දකුණු මාරුවීම් සිදුවනවා. එය ගැටලුවක් වන්නේ නැහැ. සෞර ග්‍රහ මණ්ඩලයේ පවතින සියලු ග්‍රහලෝක එක් පේළියකට පැමිණීමෙන් අපට හානිවන බවට ද මතයක් පවතී.

එහෙත් ග්‍රහලෝක 3 ක් එක් පෙළට තිබුණ අවස්ථා කොතෙකුත් තිබෙනවා. ඉන් සිදුවූ හානියක් නැහැ. සෞර ග්‍රහ මණ්ඩලයේ සියලු ග්‍රහලෝක එක්වුවද පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය ඒ සියල්ලටම වඩා වැඩියි.

ලෝක විනාශය සිදුවිය හැකි ක්‍රම කිහිපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න මීට පෙරත් අප කතා කළ පරිදි සූර්යයාගේ හයිඩ්‍රජන් ඉන්ධනය අවසන් වී සූර්යයා විශාල වී පෘථිවිය ඒ තුළ වැටී දැවී යාමයි. සූර්යයාගේ හයිඩ්‍රජන් ඉන්ධනය අවසන් වීමට තවත් වසර මිලියන 4500 ක කාලයක් තිබෙනවා.
එමෙන්ම කිලෝමීටර් 10 ක් පමණ විෂ්කම්භයක් ඇති ග්‍රාහකයක් පෘථිවියේ වැදීමෙන් ලෝක විනාශයක් සිදුවීමට පුළුවන්.

එවැන්නක් ආසන්නයේවත් නැහැ. එහෙත් මීටර් 250 ක පමණ විෂ්කම්භයක් ඇති ග්‍රාහකයක් දැනට සොයාගෙන තිබෙනවා. එය පෘථිවියට ආසන්න වන්නේ 2036 අපේ‍්‍රල් මාසයේදීය. එහෙත් එය පැමිණීමට පෙර එය ඉවත් කිරීමට විද්‍යාඥයන් කටයුතු සකස් කරනවා.

දින 3 ක් පෘථිවිය අඳුරේ තිබී එමඟින් ශාක විනාශ වී ශාක භක්ෂකයන් ද ඒ හරහා මාංශ භක්ෂකයන් ද ක්‍රමයෙන් විනාශ වී යාමට පුළුවන් බව ද මතයක් මතු වී තිබෙනවා. පෘථිවිය එසේ අඳුරු වීමට නම් විශාල න්‍යෂ්ටික බෝම්බ පුපුරා යා යුතුයි. එවන් තත්ත්වයක් දකින්නවත් නැහැ. මේ කරුණු සියල්ල එකට ගත් කළ අපට පෙනී යන්නේ ලෝක විනාශය ගැන කියන සියල්ලම මවාපෑම් බවයි. ඒ මවාපෑම් ඔස්සේ තම පටු අරමුණු ඉටු කර ගැනීමත් එමඟින් ආර්ථික වාසි ලබා ගැනීමට උත්සාහ දරන පිරිසක් බිහි වී ඇති බවයි.
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all