Photobucket

Sunday, December 16, 2012

හිතින් අංගවිකල මිනිසුන්ට ජීවිතේ කියාදෙන දුලාංජලී

සමනල තටු චිත්‍රපටයේ සුරංගනාවි චරිතයට පණදුන් දුලංජලි දැරිය නැවතත් කරලියට පැමිණියේ අත්දෙකම අහිමි වූ දැරියක්‌ අ. පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු ලියමින් සිටින ඡායාරූපයක්‌ "දිවයින" පුවත්පතේ ඉකුත් 13 වැනිදා පළමුවන පිටුවේ පළවීමත් සමඟය.

"අත් නැතුවට හිත හයියයි" සඳහන් පාඨය සමඟ පළ වූ එම වාර්තාව සමඟ දුලාංජලි ගැන නැවතත් කතාබහක්‌ ඇති වී තිබේ.

කළුතර කටුකුරුන්ද බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලයීය විභාග ශාලාවේදි විශේෂ ශාලාවක විභාගයට උත්තර ලියන ඇය කළුතර කටුකුරුන්ද රෝමානු කතෝලික මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දුලාංජලි ආරියතිලකයි.

දුලාංජලි මෙරට ජනතාවට නුහුරු අයෙකු නොවේ. එහෙත් ඇය පිළිබඳව කාගේත් මතකය අලුත්වූයේ ඇය කකුලෙන් විභාගයට පිළිතුරු ලියන ආකාරය මාධ්‍ය මගින් හෙළිදරව් වීමත් සමඟය.

දෑතම අහිමි වී දුලාංජලී මිට වසර පහළොවකට පමණ පෙර ඇගේ මාපියන් විසින් කළුතර කටුකුරුන්ද මාක්‌ ශ්‍රී සරණ සේවා ආයතනයට භාරදී තිබිණි. ඇයට පුංචි පා යුගලක්‌ තිබුණ ද ඒවා ඇවිද යැමට හැකි තරමේ ශක්‌තිමත් ඒවා නොවීය.

කුඩා කල සිටම ඇයට මව වූයේ මාක්‌ ශ්‍රී සරණ සේවාවේ නිර්මාතෘවරිය වන රීටා පෙරේරා මහත්මියයි. පියා වූයේ මාක්‌ ශ්‍රී සරණ සේවයේ ගරු ජුලියට්‌ තිසේරා පියතුමාය.

ඇය වැනිම තවත් දූ දරුවන් සිය ගණනක්‌ සමඟ හැදුණු වැඩුණු ඇය කුඩා කල සිටම සුවිශේෂ දස්‌කම් ප්‍රදර්ශනය කළාය.

දුර්වල තත්ත්වයේ පවතින පුංචි පා යුගලෙන් ඇය බොහෝ දේ කර ගත්තාය. ආහාරපාන ගැනීම, ලිවීම. චිත්‍ර ඇඳීම. මෙන්ම පරිගණකය භාවිත කිරීම හා ජංගම දුරකථනය භාවිත කිරීමද ඇය කළේ තමනට හිමිවූ පුංචි දෙකකුලෙනි.

කුඩා කල සිටම ස්‌වෝත්සාහයෙන් ඉගෙන ගත් දුලාංජලී පාසල් ගියේ පළමු වසරේ සිට නොව 6 වන වසරේ සිටය. එතැන් සිට ඇය සෑම වර්ෂාවසාන පරීක්‍ෂණයකදීම පංතියේ පළමුවැනියා විය. දෙවැනියා වූයේ ඉතාම කලාතුරකිනි.

ඊට අමතරව ඇය ගායනයට, වාදනයට මෙන්ම නර්තනයටද එකසේ දස්‌කම් දැක්‌වුවාය. දෙකකුලෙන් ඕගනය වාදනය කිරීමටද ඇය දක්‌ෂය.

"සමනල තටු" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක්‌ නිරූපණය කරමින් දුලාංජලී තම දස්‌කම් මැනවින් ප්‍රදර්ශනය කළාය. එම චිත්‍රපටයේ විශිෂ්ට රංගන හැකියාව වෙනුවෙන් ඇය සම්මානද දිනා ගත්තාය.

දුලාංජලි දිරිය දියණිය සොයා අප කටුකුරුන්ද මාක්‌ ශ්‍රී සරණ සේවා ආයතනයට යන විට ඇය පංතියේ සොයුරු සොයුරියන් කීප දෙනකු සමඟ පාඩම් කරමින් සිටියාය.

මාක්‌ ශ්‍රී ආයතනයේ මිදුලේ ඇය වැනිම තවත් දරු පැටව් කීප දෙනකුම සෙල්ලම් කරමින් සිටියහ. ඔවුන්ගෙන් ඇතැමුනට අත් නැත. ඇතැමුනට පාද නැත. එහෙත් ඔවුන් සිටියේ මහත් සතුටිනි.

දුලාංජලි දියණිය පිළිබඳව මාක්‌ ශ්‍රී සරණ සේවා ආයතනයේ නිර්මාතෘවරිය වන රීටා පෙරේරා මහත්මියගෙන් අප කරුණු විමසුවේ පාඩම් කරමින් සිටින දියණියට අවහිර නොකරමිනි.

රීටා පෙරේරා මහත්මිය අප සමඟ මෙසේ කීවාය.

දුලාංජලී කුඩා කල සිටම හුඟක්‌ දක්‌ෂ ළමයෙක්‌. ඇය හදා වඩාගත් දරුවන් සිය ගණනකගෙන් එක්‌ අයෙක්‌. ඇයගේ දස්‌කම් වැඩි දියුණු කර ගන්න අපි හැමවිටම උදව් කළා. දුලාංජලීගේ මාපියන් එයාව බලන්න ඇවිත් යනවා. විභාගයට ඉස්‌සෙල්ලත් ඇවිත් ගියා. දුලාංජලීත් ඉඳහිට අම්මා, තාත්තා බලලා එන්න යනවා.

දුලාංජලීගේ අනාගත බලාපොරොත්තුව පරිගණක උපාධිධාරිනියක්‌ වීමටයි. ඇය පරිගණක අංශයෙන් දැනටමත් හොඳ දස්‌කම් දක්‌වනවා. ඇයට ඉදිරියට යෑමට අවශ්‍ය ශක්‌තිය ලබා දෙන්න අප වගේම තවත් අය ඉදිරිපත් වී සිටිනවා.

අප මාක්‌ ශ්‍රී සරණ සේවා නිවාසයෙන් පිටත්වන විටත් දුලාංජලි තම පාසලේ මිතුරු මිතුරියන් සමඟ පාඩම් කරමින් සිටියාය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all