Photobucket

Sunday, December 16, 2012

60 දශකයේ ජනප්‍රිය නිළියක්‌ වූ කරිෂ්මා හා කරීනා කපූර්ගේ මව බබීතා

හින්දි සිනමාව තුළ රැඳී සිටියේ දශක දෙකකටත් වඩා අඩු කාලසීමාවක්‌ වුවද ඇය රඟපෑ සෑම චිත්‍රපටයක්‌ම පාහේ එකල හින්දි සිනමා රසිකයන් අතර ජනප්‍රියත්වයට පත් විය. ඇය විසින් 60 හා 70 දශකවල චිත්‍රපට බොහොමයක්‌ ආදායම් වාර්තා තබමින් ප්‍රදර්ශනය කෙරිණි. 60 දශකයෙහි හින්දි සිනමාවේ සිටි දක්‌ෂ ජනප්‍රිය සිනමා ශිල්පිනියක වන සාධනා ශිව්දාසනීගේ ඥති සොයුරිය මෙන්ම වත්මන් හින්දි සිනමාවේ ජනප්‍රිය නිළියන් වන කරිෂ්මා කපූර් හා කරීනා කපූර්ගේ දයාබර මෑණියන්ද වන මෙම රංගන ශිල්පිනිය නමින් බබීතාය.

බබීතා ශිව්දාසනී නමින් පාකිස්‌තානයේ සිට ඉන්දියාවට සංක්‍රමණය වූ සින්දි ජාතික පවුලක 1948 වසරේ අප්‍රේල් 20 වැනිදා උපත ලැබූ ඇයගේ පියා වූයේ රංගන ශිල්පියකු වූ හරි ශිව්දාසනීය. බබීතාගේ පවුල සාම්ප්‍රදායික ක්‍රිස්‌තියානි පවුලක්‌ විය. තුරුණු වියේදීම ඇයට සිනමාවට පිවිසීමට අවස්‌ථාව ලැබුණේ ඇයගේ පියාගේ සහාය හේතුවෙනි.

බබීතාගේ පියා ඇයව සිනමාවට හඳුන්වාදීම සඳහා එකල ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකයකුව සිටි ජී. පී. සිප්පි වෙත යොමු කරනු ලැබීය. රංගන පරීක්‌ෂණයකින් අනතුරුව තම සිනමා නිර්මාණය සඳහා ඇයව තෝරා ගැනීමට සිප්පි තීරණය කළේය. ඒ අනුව ඇයගේ ප්‍රථම චිත්‍රපටය වූයේ "රාස්‌" (1967) නමැති සංගීතමය චිත්‍රපටයයි. ඒ අනුව තම රංගන දිවියෙහි මුල් කාලයේදී ජනප්‍රිය චිත්‍රපට රැසක බබීතා රඟපෑ අතර "දස්‌ ලාක්‌" (1966), "රාස්‌" (1967), "ෆාස්‌" (1967), "අවුලාද්" "1968), "හසීනා මාන් ජායේගී" (1969), "කබ් කයොන් ඕර් කහාන්" (1970) ඒ අතර ප්‍රධාන වේ. ඇය රඟපෑ චිත්‍රපට අතුරත් ඉහළම බොක්‌ස්‌ ඔෆිස්‌ වාර්තා තැබූ චිත්‍රපට වනුයේ තම මාමා කෙනෙකු වූ (සැමියාගේ පාර්ශ්වයෙන්) ශෂී කපූර් සමඟ රඟපෑ"හසිනා මාන් ජායේගී" ජීතේන්ද්‍ර සමග රඟපෑ "ෆාස්‌" හා බිස්‌වජීත් සමගින් රඟපෑ "කිස්‌මත්" යන චිත්‍රපටයි.

බබීතා 60 දශකයේ පාසල් සිසුවියන් විසින් දැඩි සේ අනුකරණය කරන ලද රංගන ශිල්පිනියක වූවාය. ඇය පැළඳ සිරුරට හිර වූ කුර්තාවන් විශාල අරුංගල් එසේ අනුකරණය කිරීමට සිසුවියන් පෙළඹී තිබිණි. සිනමාවේ ස්‌ථාවර තතත්වයකට පත්ව සිටියදී බබීතා රඟපෑ තවත් ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයක්‌ වූ "කල් ආඡ් ඕර් කල්" චිත්‍රපටය ඇයගේ ජීවිතයේ වැදගත් සන්ධිස්‌ථානයක්‌ වූයේ එම චිත්‍රපටයෙන් ඇයට තම අනාගත සැමියා වුණගැසීම හේතුවෙනි. ජනප්‍රිය නළු රාඡ් කපූර්ගේ වැඩිමහලු පුත්‍රයා වූ රන්දීර් කපූර් හා පෙමින් වෙළුණු බබීතා ජනප්‍රිය සිනමා නිළියකව සිටියදීම 1971 වසරේ නොවැම්බර් 6 වැනිදා ඔහු හා විවාහ විය.

රාඡ් කපූර් පවුලෙහි පිළිගත් සම්ප්‍රදායයට අනුව කාන්තාවක්‌ විවාහයෙන් පසු සිනමාවෙන් ඉවත් වීම අනිවාර්යය විය. ඒ අනුව යමින් රන්දීර් කපූර් හා විවාහ වීමෙන් පසු සිනමාවට සමුදීමට බබීතා පියවර ගත්තාය. ඒ වන විට ඇය චිත්‍රපට 78 කට පමණ සිය රංගන දායකත්වය ලබා දී තිබිණි.

බබීතාගේ සිනමා දිවිය තුළදී ඇය තම ජනප්‍රියත්වයට හානි වේ යෑයි සිතා අතිශයින් ජනප්‍රියත්වයට පත් රමේෂ් සිප්පිගේ "අන්දාස්‌" චිත්‍රපටයෙහි රඟපෑම ප්‍රතික්‌ෂේප කර තිබිණි. එහි ඇයට රඟපෑමට ලැබුණේ වැන්දඹුවකගේ චරිතය වීම එයට හේතුවයි. පසුව හේමමාලිනී එම චරිතය රඟපෑවාය.

සිනමාවෙන් සමුගත් පසු තම ස්‌වාමිපුරුෂයා සමග යහපත් පවුල් දිවියක්‌ ගත කළ බබීතා කරිෂ්මා හා කරීනා කපූර් යන දියණියන් දෙදෙනා බිහි කළාය. කෙසේ වුවද දියණියන් දෙදෙනා උපත ලැබීමෙන් පසු බබීතා හා රන්දීර් අතර පැවැති සමගිය පළුදුවන්නට වූ අතර ඉන් වසර කිහිපයකට පසු අඹුසැමියන් දෙදෙනා එකිනෙකාගෙන් වෙන් වූහ. බබීතා තම දියණියන් දෙදෙනා රැගෙන වෙනත් නිවසක පදිංචි විය. 
 
රාඡ් කපූර් පවුලෙහි පිළිගත් සාම්ප්‍රදාය කඩකරමින් තම දියණියන් දෙදෙනා වන කරිෂ්මා හා කරීනා සිනමාවට ගෙන ඒමට දැඩි සටනක්‌ ගෙන ගියේ බබීතාය. අවසානයේදී ඇයට ඒ සඳහා කපූර් පවුලෙහි අවසරය ලබා ගත හැකි විය. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් මුලින් කරිෂ්මාද, පසුව කරීනාද හින්දි සිනමාවට එක්‌වූ අතර ඔවුන් වර්තමානයේ නිළියන් වශයෙන් ඉමහත් ජනප්‍රියත්වයක්‌ අත් කරගෙන සිටිති.

බබීතා රඟපෑ කාලය තුළදී ඇය එවකට සිටි සෑම ජනප්‍රිය රංගන ශිල්පියකු සමගම එක්‌ චිත්‍රපටයක්‌ හෝ රඟපා තිබීම විශේෂත්වයකි. ඒ අනුව ඇය ශම්මි කපූර්, රාඡේන්ද්‍ර කුමාර්, මනොඡ් කුමාර්, ධර්මේන්ද්‍ර යන ශිල්පීන් සමග එකල රඟපෑවාය. දක්‌ෂතම නැටුම් ශිල්පිනියක්‌ නොවූවද බබීතා තමා රඟපෑ "තුම්සේ අච්චා කෝන් හේ" චිත්‍රපටයෙහි සහායක නැටුම් අධ්‍යක්‌ෂවරිය ලෙසද කටයුතු කිරීම විශේෂත්වයකි.

මේ වන විට මුණුපුරු මිණිපිරියන් දෙදෙනකුගේ (කරිෂ්මාගේ දියණිය හා පුත්‍රයා) මිත්තණියද වන බබීතා වර්තමානයේ අනාථ නිවාස ඇතුළු විවිධ පුණ්‍යායතනවලට ආධාර කරනු ලබන ප්‍රකට සමාජ සේවිකාවක්‌ වශයෙන් කටයුතු කරන්නීය. වසර 20 ක්‌ පමණ එකිනෙකාගෙන් වෙන්ව සිටියද ඇය තම සැමියා වූ රන්දීර් කපූර් සමඟ 2007 වසරේදී නැවත එක්‌වූ අතර ඔවුන් දෙපළ දැනට මුම්බායි හි නිවසක වාසය කරති.
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all