Photobucket

Sunday, December 16, 2012

දිල්ෂානි දුවට හතරවටින් අත්

උඩුදුම්බර රඹුක්වැල්ල කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙන ගන්නා නිලූෂා දිල්ෂානි දුව ගේත් ඇයගේ කුඩා සහෝදරයන් දෙදෙනාගේත් සංවේදී කතාව පසුගිය සතියේ ‘සිළුමිණ’ පුවත්පතේ පළවිය. මවු සෙනෙහසත් අරන් අම්මා දුරු රට ගිය ද අසරණ වූ ඒ පුංචි දරුවන් ගේ ජීවිත කතාව කියවා දරු සෙනෙහස උතුරා ගිය මේ රටේ බොහෝ මවුපියවරු කඳුළු සැලූහ. 

ඒ දරුවන්ට උපකාර කරන බවට බොහෝ දෙනා ඒ දියණියට මෙන් ම සිළුමිණටත් පොරොන්දු වූහ. දුෂ්කර මං මාවත් පසු කරමින් දුර ඈත ප්‍රදේශ වලින් පවා පැමිණි පිරිස් සති ගණනකට සෑහෙන වියළි ආහාර ද්‍රව්‍ය, පොත්පත් පෑන් පැන්සල් ඒ දරුවන්ට තිළිණ කළහ.

මහා සංඝරත්නය, රාජ්‍ය හා පෞද්ගලික ආයතන නිලධාරීන්, ව්‍යාපාරිකයින් වගේ ම විශ්‍රාමිකයින් ද ඒ සද් කාර්යයෙහි ප්‍රමුඛත්වය ගත්හ. අම්මා දුරු රට යන්නට මත්තෙන් මේ පුංචි දුව ගේ හිතේ ඇඳුණු ලස්සන ගෙදරක් තැනීමේ සිහිනය සැබෑ කරගන්නට මේ වනවිට පිඹුරුපත් සැකසෙන බවත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ සාකච්ඡා කොට දරුවන් ගේ මව ආපසු ගෙන්වා දීමටත්, පියා ගේ රැකවරණය ලබා දීමටත් අවශ්‍ය කටයුතු යොදා ඇති බවත් දරුවන්ට පරිත්‍යාග ලබාදීම සම්බන්ධීකරණය කරන උඩුදුම්බර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල දිසානායක මහතා කීවේ ය.

මේ දරුවන්ට ලැබෙන පරිත්‍යාග රඹුක්වැල්ල ශ්‍රී පූර්වාරාම විහාරාධිපති පහළ මාර ගහවැව අමරමෝලි හිමියන් , උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම්තුමා මාධ්‍යවේදී චන්දන උඩුවාවල මහතාත් මේ කටයුතු අධීක්ෂණය කරති.

එම්.ජී.එන්.ඩී.කේ. සමරසිංහ දුවගේ නමින් උඩුදුම්බර ලංකා බැංකුවේ 074100544 අංකය යටතේ ගිණුමක් ආරම්භ කර ඇත. දරුවන් ගේ ඉදිරි අධ්‍යාපනයට වැය කෙරෙන්නේ ඉන් ලැබෙන පොළී මුදල ය. මේ සඳහා ඔබට ද ආධාර කළ හැකි ය.

ඔවුන්ට නිවෙසක් තනා දෙන්නට, ඒ සඳහා ඇවැසි ඉඩමක් මිලට ගන්නට ඉදිරියේ දීත් ඔබගේ පරිත්‍යාග බලාපොරොත්තු වෙමු.

පසුගිය සතිය පුරා මේ දරුවන් ගැන තොරතුරු විමසා ආදරය, සෙනෙහස, රැකවරණය ඉල්ලා හඬන දරු පැටවුන් ගේ දුකට පිහිට වන්නට ඉදිරිපත් වන සංවේදී හදවත් ඇති මිනිසුන් මේ රටේ අප්‍රමාණ බව අප කාර්යාලයට ලැබුණු දුරකථන ඇමතුම්වලින් ම පැහැදිලි විය. ඒ පිළිබඳ අපේ ස්තුතිය පළ කරමු.
081 - 5789778 අංකයෙන් මේ දියණිය හෝ ඇයගේ මිත්තණිය ඇමතිය හැකි ය. එසේ නැතිනම් 0112429263 - 265 ‘සිළුමිණ’ කර්තෘ මණ්ඩලය අමතන්න.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all