Photobucket

Saturday, December 15, 2012

මාතලෙන් හමුවූ මළ සිරුරු 'අපරාධයක ප්‍රතිඵලයක් විය හැකියි'

මාතලේ රෝහල අසල භූමියෙන් 60 කට ආසන්න ඇට සැකිලි හමුවීම මගින් එය 'අපරාධයක ප්‍රතිඵලයක්' සේ සැක කිරීමට හේතු තිබෙන බව වෛද්‍යවරු පවසති.

පසුගිය මාසය අගදී මෙම ඇට සැකිලිවලින් කොටසක් මුලින්ම හමුවූ අතර, ඉන් අනතුරුව තවමත් හිස් කබල් සහ ඇට සැකිලි හමුවෙමින් තිබෙන බව මාතලේ රෝහලේ වෝහාරික වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් ට පැවසීය.
ඇට සැකිලි හමු වූ ස්ථානය සුසාන භූමියක් නොවන බැවින් එය අපරාධයක ප්‍රතිඵලයක් ලෙසින් සැක කිරීමට සිදුවන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
සිදුව තිබෙන දේ පිළිබඳව බොහෝ සැක මතුවන නමුත්, වෝහාරික පර්යේෂණ අවසන් වන තුරු කිසිදු නිගමනයකට එළැඹිය නොහැකි බව වෛද්‍යවරයා අවධාරණය කරයි.

'භීෂණ සමය'

රෝහල් අසල භූමියේ තවදුරටත් කැනීම් සිදුවේ.

මෙම සිරුරු කොටස් පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වා සිදුවූයේ කුමක්දැයි හෙළිකිරීම ආණ්ඩුවේ වගකීම බවයි, ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ.

මෙම මළ සිරුරු අසූව දශකයේ අග භාගයේදී අත් අඩංගුවට ගන්නා ලද ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ක්‍රියාකාරිකයන්ගේ බවට සැක කිරීමට බොහෝ හේතු තිබෙන බවයි, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක මීට කලින් බීබීසී සංදේශයට කියා සිටියේ.

හමුවී තිබෙන්නේ තරුණ කොටස්වල ඇට සැකිලි පමණක් වීම මෙම සැකය තහවුරු කරන්නක් බවද ඔහු පැවසීය.

අසූව දශකයේ අගභාගයේ 'භීෂණ සමයේදී' 60,000 කට අධික සිංහල තරුණයන් පිරිසක් දකුණේදී ඝාතනයට ලක් වූ අතර, එකල ශ්‍රී ලංකාවේ පාලනය හෙබවූයේ එක්සත් ජාතික පක්ෂයයි. මාතලේ ප්‍රදේශය එම ජවිපෙ කැරැල්ලේ ප්‍රධාන මධ්‍යස්ථානයක්.

කෙසේ නමුත් පොලිස් ප්‍රකාශකයා පවසන්නේ මාතලෙන් හමුවී තිබෙන්නේ 1940 දශකයේදී නාය යාමකින් මියගිය අයගේ සිරුරු කොටස් විය හැකි බවයි.

මේ පිළිබඳව බීබීසී සංදේශය කරුණු විමසූ අවස්ථාවේ එම ඇට සැකිලි අතර දරුවන්ගේ සිරුරු කොටස් හමු වී නැති බව වෛද්‍ය අජිත් ජයසේන පිළිගත්තේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all