Photobucket

Monday, December 17, 2012

කහටැල්ලගොඩ ගමට උල්කාශ්මියක්

වලස්මුල්ල දකුණ කණුමුල්දෙණිය කහටැල්ලගොඩ ගම්මානයට උල්කාශ්මියක් සිකුරාදා (14) රාත්‍රී කඩා වැටීමෙන් පැරැණි විශාල කොස් ගසක් ගිනිගෙන විනාශ වී තිබේ.

මේ දිනවල රාත්‍රී අහසේ උල්කාශ්මී වැසි සහිතවීම සම්බන්ධව දැනුවත් ව සිටින ගම්වාසීහු ගිනි පුපුරු විහිදුවමින් ආලෝකධාරාව ගිනිගෙන දැවෙන කොස්ගස සමීපයටම ආ බව කියති. ප්‍රදේශයට වැසි හෝ අකුණු සැර වැදීමක්ද සිදු වී නොමැත. කොස් ගහ පිහිටා තිබෙන්නේ පාලු ඉඩමකය. 

අඩි 15ක් තරම් උස් කොස් ගසේ දෙබලය අසලින් ගිනිගෙන විශාල අත්තක් බිමට ගැලවී ඇත. කොස් ගහේ ඉහළ අත්තක කොටසක් ගිනි වතුරකට හසුවූවා සේ කොළ වියළි ගොස් තිබිණි. කොස් ගසේ කඳ කොටසේ විශාල බෙනයක් තිබුණ අතර ඉහළ සිටම කොස් ගස ගිනි ඇවිලී තිබේ.

සුදු පාට අළු දූවිලි අවට විසිිරී තිබූ අතර කුඩා ප්‍රමාණයේ අගුරු කැබලිද තිබිණි. ඒවා කොස් ගසේ අඟුරු හෝ වෙනත් අඟුරු විය හැකියි. මේ දිනවල ජනතාව උල්කාපාත වර්ෂාව සම්බන්ධව දැඩි විමසිලිමත්ව සිටිති. එදින රාත්‍රියේදී මෙම ප්‍රදේශයේ ජනතාවද අහස නිරීක්ෂණය කරමින් සිටි බව පැවසේ.

සිද්ධිය ඇසින් දුටු කහටැල්ලගොඩ පී.ඒ. වසන්ති මහත්මිය

අපේ ගෙදර තියෙන්නේ කොස් ගහට උඩ පැත්තේ කොස් ගහ තියෙන්නේ පාළු ඉඩමක. මම එළියට එනවිට කොස් ගහේ මුදුණෙන් මහා ගිනි ජාලාවක් දැක්කා. පුපුරු ගහමින් ගින්දර විසිවුණා. හරියට මල්වෙඩි වගේ. මොකක්ද කියලා දන්නේ නැහැ. ගමේ අයත් එතනට දුවගෙන ගියා. අහසෙන් වැටෙනවා දැක්කේ නැහැ. ගහ උඩ ගිනිගන්නවා දැක්කා. අමුගහක් මෙහෙම ගිනිගන්නේ කොහොමද? විශාල ගින්දරක් තිබුණේ.

කභටැල්ලගොඩ බී.කේ.බියුටි‍්‍රයස් මහත්මිය 
 
මම රාත්‍රී 8.00ට ප්‍රවෘත්ති බැලුවා. ප්‍රවෘත්තිවලට කිව්වා රාත්‍රී කාලයේ උල්කාපාත වැටෙනවා කියලා. ඉතින් මම රෑට කාල බීලා එළියට ආවා. මෙන්න දෙවියනේ අපේ ගෙදරට පහළ තිබෙන මහ කොස් ගහ ප්‍රදේශයේ මහා එළියක් මම හොඳටම බියවුණා. ගෙදර අයටත් කථා කළා. එවිට පට පට ගාලා ගිනි පුපුරු විසිකරමින් ගිනි ගන්නවා එක්වරම කොස් අත්තක් කඩාගෙන බිමට වැටුණා. ගමේ බොහෝ අය එම ස්ථානයට ආවා. හෙණයක් ගැහුවෙත් නැහැ. වැස්ස තිබුණෙත් නැහැ. අමු කොස් ගහ කොහොමද ගිනිගත්තේ. අපිට මහා ගැටලුවක් උඩින් ගින්දර එනවා නම් දැක්කේ නැත. ගිනිගෙන උඩට විසිවෙනවා දැක්කා. සිද්ධිය වූ ස්ථානයට වලස්මුල්ල පොලිසියේ නිළධාරීහුද පැමිණ සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කළහ.

කොස් ගස දැවී ගිය කොටස් අවට දක්නට ලැබුණු අතර උල්කාපාතයක කොටස් හෝ එහි බර ලෝහකැබලි කිසිවක් අවටින් සොයා ගැනීමට නොහැකි විය.

කොස් ගස අඩි 15 ක් පමණ උස ප්‍රදේශයකින් මෙම ගින්න ඇතිවී තිබේ. ගසේ කොටස් කිහිපයක්ද කැඩී විසිවී තිබුණා. මෙම සිද්ධිය සැලවීමත් සමඟ ප්‍රදේශයේ ජනතාව මෙය දැකගැනීමට එම ස්ථානයට පැමිණ සිටියා.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all