Photobucket

Friday, December 21, 2012

හොබාර්ට් තණතීරුව පන්දු යවන්නන්ගේ පාරාදීසයක්

- ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ග්‍රෙහැම් ෆෝඩ්
ජයග්‍රහණය සඳහා ලකුණු 393ක ඉලක්කයක් ලැබුණු හොබාර්ට් ටෙස්ට් තරගයේ අවසන් දිනයේ තණතීරුව පිතිකරුවන්ට ඉතා අයහපත් එකක් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ග්‍රෙහැම් ෆෝඩ් ප්‍රකාශ කළේය.

'අපි තරගයේ අවසන් දිනය ගැන සලකා බැලුවොත්, අපේ ක්‍රීඩකයන් ක්‍රීඩාකළ විලාසය ගැන මම ආඩම්බරයට පත්වෙනවා. අවසන් දිනයේ තණතීරුව පිතිකරුවන්ට ඉතා අවාසි සහගත එකක් වුණා. එවැනි තණතීරුවක පිතිහරඹයේ යෙදීම ඉතා අසීරුයි. අපේ පිතිකරුවන්ගේ දැවීයාම් යළි නැරඹුවොත් ඒ සෑම දැවීයාමක්ම ඉතා විශිෂ්ට ඝනයේ පන්දුවලින් සිදුවූවක් බව පෙනේවි. පුහුණුකරු හැටියට මට ඊට වඩා දෙයක් අපේ කණ්ඩායමෙන් ඉල්ලා සිටින්නට බෑ. ඔවුන් එතරම් හොඳින් පිතිහරඹයේ යෙදුණා.' ෆෝඩ් සඳහන් කළේය.

'එය සිදුවීම් බහුල තරගයක් වුණා. පිතිකරුවන් සෑහෙන්න ලකුණු රැස්කළා. ඇතැම් පන්දු යවන්නන් කඩුලු 5ක් බැගින් දවාලුවා. තරගය අවසන් දිනයේ අවසන් පැය දක්වා ඇදීගියා. මේ තණතීරුව ඉතා හොඳ තණතීරුවක් කියා ඇතමුන් කියාවි. 

නමුත් අවසන් දිනයේ දී පන්දුව හැසිරුණු ආකාරය බැලුවොත් පන්දු යවන්නන්ට මිසක් පිතිකරුවන්ට කිසිම සාධාරණයක් ඉටුවුණේ නැති තණතීරුවක් කියා ඔවුන්ට වැටහේවි.' ෆෝඩ් වැඩිදුරටත් පැවැසීය. ඔස්ට්‍රේලියාවට ලකුණු 137ක ජයක් හිමිවූ මේ තරගයේ අවසන් දිනයේ තේ පානයෙන් පසුව යැවුණු ඕවර 26දී ශ්‍රී ලංකා පිලේ කඩුලු 6ක් බිඳ වැටිණි. ඒ අතරතුර ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 54ක් පමණි. ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ කඩුලු 9ක්ම ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් වන පීටර් සිඩ්ල් සහ මිචෙල් ස්ටාක් අතරේ බෙදී ගියේය.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all