Photobucket

Friday, December 21, 2012

"හෝබාට්‌ තණතීරුව හරිම මුරණ්‌ඩුයි"

පළමු ඉනිමේදී ලකුණු පුවරුවට විශාල ලකුණු සංඛ්‍යාවක්‌ රැස්‌ කිරීම තරගයේ පාලනයට බෙහෙවින් වැදගත් බව පවසන ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ඔස්‌ටේ්‍රලියාව සමග පැවැති පළමු ටෙස්‌ට්‌ තරගය පරාජයට පත්වීමට මූලික වූයේ එලෙස ප්‍රමාණවත් තරම් ලකුණු සංඛ්‍යාවක්‌ රැස්‌ කර ගැනීමට නොහැකිවීම මත බව පැවැසීය.

ඔස්‌ටේ්‍රලියාව සමග හෝබාට්‌හි පැවැති තරගයෙන් ලකුණු 137 ක පරාජයක්‌ ලැබීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායකයා ඉහත අදහස්‌ පළ කර තිබේ.

"පළමු ඉනිමේදී විශාල ලකුණු සංඛ්‍යාවක්‌ රැස්‌ කිරීමටෙස්‌ට්‌ තරගයක්‌ පාලනය කිරීමට ඉතා වැදගත්. අපි පළමු ඉනිමේදී විශාල ලකුණු සංඛ්‍යාවක්‌ ලබාගත්තත් එය ඔස්‌ටේ්‍රලියානු ඉනිම හා සංසන්දනය කිරීමේදී ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක්‌ නොවේ. පළමු ඉනිමේදී මීට වඩා දෙයක්‌ කරන්න හැකියාව ලැබුණ නම් තරගය වෙනත් පැත්තකට හරවා ගන්න අවස්‌ථාව තිබුණා" යනුවෙන් මහේල පැවැසීය.

මෙම තරගයේදී ඔස්‌ටේ්‍රලියාව පළමු ඉනිම සඳහා කඩුලූ 5 ක්‌ දැවී ලකුණු 450 ක්‌ රැස්‌ කරන ලදුව ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්‌ඩායමට රැස්‌ කර ගත හැකි වූයේ ලකුණු 336 ක්‌ පමණි. ඒ අනුව ලකුණු 114 ක පළමු ඉනිමේ වාසියක්‌ ඔස්‌ටේ්‍රලියාව සතුවීම මත ශ්‍රී ලංකා ජයග්‍රාහී ඉලක්‌කය ලකුණු 393 ක තරම් අසීරු අගයක්‌ බවට පත්විය.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 87 ක්‌ වශයෙන් සටහන් වන විට දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර යන ප්‍රබල පිතිකරුවන් සිව්දෙනාම දැවී යැම ශ්‍රී ලංකාවට ප්‍රබල පාඩුවක්‌ විය. එහෙත් පස්‌වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තාගත සම්බන්ධතාවක්‌ පැවැත්වීමට ඩිල්ෂාන් මැතිව්ස්‌ දෙදෙනා සමත්වීම මත පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහරදීමේ අවදානමෙන් මිදීමට ශ්‍රී ලංකා පිලට අවස්‌ථාව උදාවිය.

"මේ තරගයේ සිදුවුණු දේවල් අතරින් ඩිල්ෂාන්ගේ පිතිහරඹය සුවිශේෂයි. ඔස්‌ටේ්‍රලියානු පන්දු යවන්නන් හමුවේ හොඳ පාලනයකින් යුතුව ඔහු පන්දුවට පහර දුන්නා. ඒ වගේමයි ඇන්ජලෝත්. අමාරු අවස්‌ථාවේදී ඔවුන් දෙදෙනා හොඳින් ක්‍රීඩා කරලා තරගය හොඳ පැත්තකට රැගෙන ගියා. දෙවැනි ඉනිමෙදීත් එහෙමයි. නමුත් තණතීරුව අපිට මුරණ්‌ඩු වුණා" වශයෙන් ජයවර්ධන අවධාරණය කර සිටියි. තේ පානයට තරගය නිමා කරන විට කඩුලූ 4 කට ලකුණු 184 ක්‌ වශයෙන් ජය පැරදුමෙන් තොර තරගයක ලක්‍ෂණ පහළව තිබූ නමුත් තේ පානයෙන් අනතුරුව මැතිව්ස්‌ව සහ සමරවීරව දවා ගැනීමට සිඩ්ල් සමත්වීම ශ්‍රී ලංකා පරාජයේ තවත් අතුරු සාධකයක්‌ බවට පත්වූවේය.

"තේ පානයෙන් පස්‌සේ අපේ කඩුලූ 2 ක්‌ ඉක්‌මනින් දැවී යැම විශාල පාඩුවක්‌ වුණා" යනුවෙන් ඒ සම්බන්ධව ශ්‍රී ලංකා නායකයා පැවැසීය. මේ අතර තරගය අතරතුරදී පන්දුව පළුදු කළේ යෑයි ඔස්‌ටේ්‍රලියානු වේග පන්දු යවන ක්‍රීඩක පීටර් සිඩ්ල්ට එල්ල වුණු චෝදනාව සම්බන්ධව අදහස්‌ දක්‌වා ඇති එම තරගයේ තීරක ක්‍රිස්‌ බ්‍රොaඩ්, සිඩ්ල් විසින් පන්දුව පළුදු කළේය යන්න ඔප්පු කිරීම සඳහා ප්‍රමාණවත් තරම් සාක්‍ෂි තමන්ට ලැබී නොමැති බව සඳහන් කර තිබේ.

පළමු ඉනිම අතරතුරදී සිඩ්ල් විසින් පන්දුව පළුදු කළේ යෑයි ශ්‍රී ලංකා කණ්‌ඩායමේ කළමනාකාරීත්වය විසින් කරන ලද පැමිණිල්ලට ප්‍රතිචාර දක්‌වමින් ක්‍රිස්‌ බ්‍රොaඩ් එසේ සඳහන් කර තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all