Photobucket

Friday, December 21, 2012

මන්ත්‍රී විජයදාසගේ නිවසට වෙඩි ප්‍රහාර

හිස්‌ පතරොම් කොපු රස පරීක්‍ෂකට

ජනපති, විපක්‍ෂ නායක සහ
ෆොන්සේකා විජයදාසගේ නිවසට එති

නාවල පිහිටි සිය නිවසට ඊයේ (20 වැනිදා) අලුයම 12.20 ට පමණ වෙඩි ප්‍රහාර තුනක්‌ එල්ල වූ බව එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතා 'දිවයින'ට පැවසීය.


තමන් නිවසේ කාමරයක සිටියදී මෙසේ වෙඩි ප්‍රහාරයක්‌ එල්ල වූ බව පැවසූ රාජපක්‍ෂ මහතා ශබ්දය ඇසුණු විට නිවෙස තුළටම වී සිටි බව ද කීවේය. එළිය වැටුණු පසුව ඒ පිළිබඳ සොයා බලද්දී හිස්‌ පතරොම් කොපු දෙකක්‌ නිවස ඉදිරිපිට වැටී තිබුණු බව ද හෙතෙම කීය.

මන්ත්‍රීවරයාගේ ආරක්‍ෂාවට අනුයුක්‌ත කර සිටි ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරියකු ඒ වන විට නිවසේ සිටි බව ද ඔහුට ද නිවසින් එළියට නොයන ලෙස එම අවස්‌ථාවේදී තමන් උපදෙස්‌ දුන් බව ද හෙතෙම සඳහන් කළේය.

මේ සිද්ධිය පිළිබඳ මිරිහාන පොලිසියට පැමිණිලි කළ බව ද පැවසූ රාජපක්‍ෂ මහතා පොලිසියෙන් තමාට සාධාරණයක්‌ ඉටුවනු ඇතැයි ද ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වත්මන් සභාපතිවරයා ද වේ.

එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතාගේ නිවස ඉදිරිපිට තිබී හමුවූ හිස්‌ පතරොම් කොපු රස පරීක්‍ෂකවරයා වෙත යොමු කළ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා 'දිවයින' ට සඳහන් කළේය.

රස පරීක්‍ෂක වාර්තාව අනුව එම පතරොම් නිකුත් වූ කාලය නිවැරැදිව නිර්ණය කිරීමට හැකි බවත් ඒ අනුව මෙය වෙඩි ප්‍රහාරයක්‌ ද නැතහොත් වෙන යම් සිදුවීමක්‌ ද යන්න තීරණය කළ හැකි බවත් ඒ මහතා පැවසීය.

නත්තල් සමය නිසා ඒ මහතාගේ නිවස ආශ්‍රිත ප්‍රදේශයන්හි නිරන්තරයෙන් රතිඤ්ඤා දැල්වීම් සිදුවන බවත් මෙම ශබ්දය රතිඤ්ඤා පිපිරීමේ ශබ්දයක්‌ ද එසේත් නැතහොත් වෙඩි ප්‍රහාරයක්‌ ද යන්න තවමත් තීරණය කළ නොහැකි බව ද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම වෙඩි ප්‍රහාරය පිළිබඳ ආරංචි වූ පසුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ද එම ස්‌ථානයට වෙන වෙනම ගොස්‌ කරුණු සොයා බලා ඇත.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, රවි කරුණානායක, ජයන්ත කැටගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක්‌ ද එහි ගොස්‌ තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all