Photobucket

Wednesday, December 19, 2012

බන්ධනාගාරයෙන් පැනගිය සැකකරුවකු තලංගම නිවාස එකොළහක් කොල්ලකාලා

ලක්ෂ අටක දේපළ සමඟ පුද්ගලයෙක් පොලිස් දැලේ

පල්ලේකැලේ බන්ධනාගාරයෙන් සති තුනකට ඉහත දී පැනගොස් කලවාන ප්‍රදේශයේ සැඟව ඉඳ රාත්‍රී කාලයට තලංගම ප්‍රදේශයට පැමිණ නිවාස එකොළහක් බිඳ රුපියල් ලක්ෂ අටකට අධික දේපළක් සොරා ගත් පුද්ගලයෙක් හලාවත වැද්දාගල සිටිය දී අත්අඩංගුවට ගැනීමට තලංගම පොලිසිය සමත් වී ඇත. 

බණ්ඩාරවෙල ඇටම්පිටිය ඇල්ලේපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහක පුද්ගලයකු වන සැකකරු විවිධ අපරාධ හා කොල්ලකෑම් සම්බන්ධයෙන් වසර නවයක සිර දඬුවමක් නියමවී වසර හයක කාලයක් බන්ධනාගාර ගතව සිටිය දී සති තුනකට පෙර ඉන් පැනගොස් කලවාන වැද්දාගල සැඟවී සිට ඇතැයි පොලිසිය පවසයි.

සැකකරු සතියකට දින කීපයක්ම කලවානේ සිට රාත්‍රී කාලයට කොළඹට පැමිණෙන බස්රථවලින් පැමිණ තලංගම ප්‍රදේශයේ නිවාසවලට සූක්ෂ්ම ලෙස ඇතුළුවී දේපළ සොරාගෙන ඇතැයි පොලිස් පරීක්ෂණවල දී හෙළිවී ඇත.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී රුපියල් ලක්ෂ තුනක රන් ආභරණ, පරිගණක යන්ත්‍ර, ලැප්ටොප්, පරිගණක, එල්.සී.ඩී. යන්ත්‍ර, ඩී.වී.ඩී. යන්ත්‍ර, අත්ඔරලෝසු, දේශීය හා විදේශීය මුදල් නෝට්ටු ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගැනීමට පොලිසිය සමත්ව සිටී.

තලංගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා මහතාගේ උපදෙස් මත, අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. හේමන්ත කුමාර, පො.සැ. 56750 පියල් යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙළේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all