Photobucket

Wednesday, December 19, 2012

සැබෑම ජීවයෙන් පිරුණු සිතුවම් කලාව

චිත්‍ර ශිල්පිනී “ජෙසින් මාර්වෙඩෙල්ගේ” සිතුවම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජීවයෙන් පිරුණු සැබෑම ජීවමාන සිතුවම් බව කිසිවෙකුට ප්‍රතික්‍ෂේප කළ නොහැක. සිතුවම මගින් සප්‍රාණික ජීවියෙකු නිරූපණය කළද එසේත් නැතහොත් මනරම් පාරිසරික දර්ශනයක් නිරූපණය කළද ජෙසින්ගේ තෙලිතුඩින් පින්තාරු වන ඒ කවර අංගයක් වුවද ඔබ අප මෙන් පණ ගැහෙන සිතුවම්ය. මේ අරුමයට හේතුව වනුයේ ඇය සිය තෙලි තුඩින් සිත්තම් කරනුයේ සාමාන්‍ය කැන්වසයක් මත නොව සජීවී මිනිසුන්ගේ දේහ මත වීම නිසයි. තම නිරූපණ ශිල්පීන්ගේ අඟපසඟ විවිධ කෝණයන්ට පිහිටුවමින් සජීවී මිනිස් සිරුරු ආධාරයෙන් පාරිසරික දර්ශන හා සත්ව රූප නිරූපණය කිරීමට ජෙසින් හැබෑවටම දක්ෂය.

මිනිස් ආදර්ශ කොතරම් දක්ෂ ලෙස ඇය සිය නිර්මාණකරණය සඳහා යොදා ගන්නේද යත් එබඳු බොහෝ සිතුවම් මිනිස් සිරුරක් මත සිත්තම් කරන ලද ඒවා බව බැලූ බැල්මට සිතිය නොහැක. මිනිස් හංස ෙනුව එබඳු එක් නිර්මාණයකි. නාරි දේහයේ අඟපසඟ ආධාරයෙන් ඇය හංස ෙනුවකගේ සිරුරේ වක්‍රතාවන් නිරූපණය කොට ඇත්තේ එහි සැඟවුණු කාන්තා දේහයක් තිබේද කියා විශ්වාසයට ගැනීමට පවා නොහැකි වන පරිද්දෙනි. ඇගේ සෙසු සිතුවම් අතර කාන්තාරයක දර්ශනය, හිමෙන් වැසී ගිය කඳු වැටියක් හා රාත්‍රී නගර දර්ශනය ඒවායේ තාත්විකත්වය නිසාම කැපී පෙනෙන සිතුවම් කිහිපයකි. 

බ්‍රිතාන්‍ය “ඩොට්මන්ඩ්” ප්‍රදේශයේ පදිංචිකාරියක වන විසිපස් හැවිරිදි “ජෙසින් මාර්වෙඩෙල්” සිය සිතුවම් සඳහා භාවිතා කරනුයේ සාමාන්‍ය ජලය හා මඩ වැනි ස්වභාවික ද්‍රව්‍ය ආධාරයෙන් සකස් කරන ලද මිනිස් දේහයට අහිතකර නොවන වර්ණා‍ලේපනය. විසිපස් හැවිරිදි ජෙසින් පවසා සිටිනුයේ මිනිස් සිරුරු මත සිත්තම් කිරීමේ අදහස ඇය තුළ මුල්වරට පිළිසිඳ ගන්නා ලද්දේ සිය විශ්වවිද්‍යාල උපාධිය අවසන් කිරීමෙන් පසුව, ඉන්දියානු අනාථ දරු නිවාසයක ඇය සේවයේ නිරතව සිටි අවධියේ බවයි.

තාත්විකත්වයට හා අධියථාර්ථවාදී රීතියට නැඹුරුව සිතුවම් නිර්මාණය කරන ජෙසින් සිය සිතුවම් පෘෂ්ඨය සඳහා මිනිස් සිරුරු පමණක් නොව සාම්ප්‍රදායික කැන්වසයන්ද යොදා ගන්නීය.

කෙසේ නමුදු දේහ පින්තාරු කලාව යනු නූතන පරපුරට ආගන්තුක වූ විෂය පරිචයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. ගෝත්‍රීය කණ්ඩායම් අතර මෙම කලාව අදටද ප්‍රචලිත අතර ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ හා පැසිෆික් දූපත්වල වෙසෙන ස්වදේශික ජන කණ්ඩායම් මෙම දේහ පින්තාරු කලාවේ ප්‍රවීණයන්ය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all