Photobucket

Saturday, December 15, 2012

කොළඹ කොටුවට අද උද්වේගකර රැයක්

කොළඹ කොටුවට උද්වේගයෙන් පිරුණු රාත්‍රියක් උදාකරන ‘කලම්බු නයිට් රේසස්‘ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය අද (15) පස්වරු 6.00ට ආරම්භ වේ. මෙහි සමාරම්භක උත්සවය කොටුව බැංකු මාවතේ දී ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඊට ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වීමට නියමිතය.


කාල්ටන් මෝටර්ස් ස්පෝර්ට්ස් ක්‍රීඩා සමාජය සහ යතුරුපැදි ධාවන ක්‍රීඩා සමාජය ආසියානු මෝටර් රථ ධාවන ක්‍රීඩා සමාජය එක්ව දෙවැනි වරටත් සංවිධානය කරන ‘කලම්බු නයිට් රේසස්‘ තරගාවලියට මෙරට ප්‍රබලතම මෝටර් රථ සහ යතුරුපැදි ධාවන ශූරයන් සමග විදේශීය තරගකරුවන් රැසක් තරග වදිති.

SL-GT මෝටර් රථ තරග ඉසව්වට සුපිරි ක්‍රීඩකයන් වන ජනක ඩයස්, අෂාන් සිල්වා, මිස්සක නවීන්, රියාස් ෆාරුක්, ඩැරින් වීරසිංහ, ඉෂාක් වහාබ් සහ අරවින්ද ප්‍රේමදාස ඇතුලු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් තරග වදින අතර SL-H අශ්වබල 1600 මෝටර් රථ තරග ඉසව්වට රෝහිත රාජපක්ෂ, අෂාන් ද සිල්වා, මොහාන් පෙරේරා, ශෂික ලක්මාල් සහ අභීත් දංගල්ල ඇතුලු විශිෂ්ට ක්‍රීඩකයන් රැසක් තරග වැදීමට නියමිතය. 

විදේශීය තරග කරුවන් ද සහභාගි වන ත්‍රාසජනක අධිවේගී GT3 – GT4 තරගයට ආසියානු මෝටර් රථ ධාවන තරගබිමේ ප්‍රකට ඩිලන්ත මාලගමුව ද සහභාගි වන අතර GT3 – GT4 ඉසව්වේදී ලෝ පතල ලැම්බෝගිනි, ඇස්ටන් මාටින් වැනි නවීනතම මෝටර් රථ කීපයක් තරගබිමට එක්වෙයි.

සුපිරි යතුරුපැදි ධාවකයන් වන ගයාන් සඳරුවන්, ආනන්ද වෙඩිසිංහ, නෙඩ් ඩැනියෙල් සහ උදික ශ්‍රීමාල් ඇතුලු ප්‍රබල යතුරුපැදි ධාවකයන් තරග වදින සුපර් මෝටාර්ඩ් විවෘත තරගයක් ද මීට ඇතුලත්ය. මෙවර තරගාවලියට නව මුහුණුවරක් ලබාදෙමින් අන්තර් ජාතික නීතිරීතිවලට අනුව ගමන් මාර්ගය කිලෝමීටර් 4ක් දක්වා දීර්ඝ කර ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all