Photobucket

Monday, December 24, 2012

විජේදාස රාජපක්ෂ නිවසට වෙඩි තැබීම ප්‍රකාශ 19ක් ලබා ගෙන

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ නිවස අසල සිදුවූවා යැයි කියන වෙඩි තැබීම සම්බන්ධව කරන ලද පරීක්ෂණවලදී මූලික ප්‍රකාශ 19ක් ලබා ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධ විශේ්ෂ පොලිස් කණ්ඩායම් 2ක් පරීක්ෂණ පවත්වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 

 ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්වේ.

මෙම සිද්ධියට අදාළව මේ වන විට ප්‍රකාශ 19ක් ලබා ගෙන ඇත. රජයේ රස පරීක්ෂකතුමා ස්ථානයට ගෙන්වා පරීක්ෂණ පැවැති අතර අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ නිලධාරීන් ගෙන්වා විශේෂ පරීක්ෂණ සිදු කර ඇත. ඇඟිලි සටහන් කිරීමේ පරීක්ෂණ නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ. මිරිහාන පොලිස් ස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායම් 02ක් දීර්ඝ වශයෙන් පරීක්ෂණ පවත්වමින් සිටී.

මේ පරීක්ෂණයේ ප්‍රකාශ සටහන් කිරීමේදී විජේදාස රාජපක්ෂ මහතාගේ පුතා විසින් මූලික ප්‍රකාශයේදී ඔහු පරිගණක කාමරයේ සිටින විට රාත්‍රී 12.30ට පමණ රතිඤ්ඤා ශබ්ද 03ක්් පමණ ඇසුනු බවත් එම අවස්ථාවේ මෝටර් රථයක් යන බව ඇසුණු බවත් මෙම සිද්ධිය ගැන තම පියාට දැනුම් දීමට ගිය අවස්ථාවේ ඔහු නිදාගෙන සිටි බැවින් දැනුම් දීමට නොහැකි වූ බවත් පසුව ඔහුද නිදාගෙන පසු දින උදේ පැය 6.30ට පමණ අවදි වී රියදුරු සේනකට මේ සම්බන්ධව දැනුම් දී පාරේ වැටී තිබූ හිස් පතරොම් කොපුවක් දැක තම පියාටද දැනුම් දුන් බව ප්‍රකාශ කර ඇත.

නමුත් පසුව දෙවන වරට ප්‍රකාශයක් ලබා දෙමින් රතිඤ්ඤාා පුපුරනවා ශබ්දය ඇසෙන වෙලාවේදී තමා ඒ බව පැවසීමට පියාගේ කාමරයට ගිය විට ඔවුන් නිදා ගෙන සිටිනවා දුටු බවත් මේ සම්බන්ධව පියාට දැනුම් දුන් විට තමාට නිදා ගන්නා ලෙස ප්‍රකාශ කළ නිසා නිදාගත් බවත් පවසා ඇත. එසේම මේ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා උදෑසන මූලික විමර්ශනයක් පැවැත්වීමට ගිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට මෙම වෙඩි තැබීමේ සිද්ධිය ඔහු දැන ගත්තේ උදෑසන තම පුතාගෙන් බව වාචිකව ප්‍රකාශ කර ඇති අතර කෙසේ වුවද පසුව ප්‍රකාශය ලබා දෙන අවස්ථාවේ ඔහුටද රාත්‍රි 12.30ට පමණ රතිඤ්ඤා පුපුරනවා වැනි වෙඩි ශබ්ද 03ක් ඇසුණු බවත් ඔහු ජනේලය විවෘත කර පාර දෙස බලා කිසිවෙක් නොදුටු හෙයින් නිදාගත් බවත් ඊට සුළු මොහොතකට පසු තම පුතා පැමිණ වෙඩි ශබ්ද ඇසුණු බවට පවසා සිටි බවත් පවසමින් ප්‍රකාශයක් ලබාදී ඇත.

කෙසේ වුවද මේ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගෙන් එදින රාත්‍රියේ එම සිද්ධිය පිළිබඳ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාට හෝ 119 හදිසි ඇමතුම් අංශයට දැනුම් නොදීම පිළිබඳ නැවත ප්‍රකාශයක් ලබා ගැනීමින් විමසන ලදී. මෙවැනි සිද්ධියක් වූ අවස්ථාවක 119 හදිසි ඇමතුම් අංශයට හෝ ආරක්ෂක නිලධාරියාට දැනුම් දුන්නේ නම් මෙම සිද්ධියට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හෝ ක්‍ෂණිකව ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ කඩ තිබුණි. මෙවැනි වෙඩි තැබීමක් සිදු වූවා යැයි කියන අවස්ථාවක ආරක්ෂාවට පොලිස් නිලධාරියෙකු සිටියදී ඔහුට දැනුම් නොදීම හා ඉතාමත් පහසුවෙන්119 හදිසි ඇමතුම් අංශයට දැනුම්දීමට අවස්ථාව තිබියදී දැනුවත් නොවීම පිළිබඳ ගැටලුකාරී තත්වයක් පැන නැගී ඇත.

කෙසේ වුවද සිද්ධිය පිළිබඳව දීර්ඝ පරීක්ෂණයක් ඉතා කඩිනමින් සිදු කරන බව දන්වා සිටී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all