Followers

සතියේ හොදම ලිපි

දවසේ හොදම ලිපි


Photobucket
Showing posts with label විනොදස්වද ලිපි. Show all posts
Showing posts with label විනොදස්වද ලිපි. Show all posts

වානරයාගෙන් මිනිසා වෙනස් වූ හැටි සොයයි

Tuesday, September 22, 2015

චිම්පන්සියා මානව පරිනාමයේ දී වානරයන් අතරින් මිනිසාගේ ළගම ඥාතියකු යැයි පැවසුව ද මිනිසා සහ චිම්පන්සියා අතර පෙනුමෙන් විශාල වෙනස්කම් ඇතිවීම ගැටළු සහගත බව විද්‍යාඥයෝ කියති.

මේ මතය ඔස්සේ පර්යේෂණ සිදුකළ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විශේෂඥයන් කණ්ඩායමක් මිනිසුන්ගේ හා චිම්පන්සින්ගේ ව්‍යුහාත්මක වෙනස්කම් හා ජාන පසුබිම් විශ්ලේෂණය කරමින් එකම පූර්වජයකුගෙන් පැවත ආ මේ දෙකොටස මෙතරම් වෙනස්කම් දැක්වීමට හේතු අධ්‍යයනය කරමින් සිටියි.

පර්යේෂකයන් පවසන්නේ මුහුණේ සංවර්ධනය හා මානව මුහුණේ විවිධත්වය සම්බන්ධ ජාන නියාමනය කරන ආකාරයේ දී චිම්පන්සියා හා මිනිසා අතර පෙනුමේ විශේෂිත වෙනස්කම් ඇතිවී තිබෙන බවයි. 

චිම්පන්සින්ට හා මිනිසුන්ට හකු හා නාසය සම්බන්ධය හා සමේ පැල්ලම් ඇතුළු මුහුණේ වෙනස්කම් පාලනය කිරීමට අවශ්‍ය විවිධ ප්‍රෝටීන සංඝටක හේතුවන බව ද ඔවුහු පවසති.

“ පරිනාමයේ දී අපට විශාල මොළයක් ලැබී තිබෙනවා. එමෙන්ම සංකීර්ණ කතාව සදහා අපේ ස්වරාලය පහසුවෙන් භාවිතා කිරීමට අපට හැකියාව ලැබීමත් මේ පෙනුම වෙනස් වීමට හේතුවක් වන්නට ඇති. හිසේ හැඩය, ඇස් පිහිටි ස්ථානය ඇතුළු මුහුණේ ව්‍යුහය තුළ අනුවර්ථන ගණනාවක් සිදුව තිබෙනවා. “
පර්යේෂකයන් පවසන්නේ පරිනාමයේ දී මිනිසා සිය හැගීම් ප්‍ර‍කාශ කිරීමට මුහුණේ සෛල හා පේෂි භාවිතයට හුරු වීම හේතුවෙන් සිය ඥාති වානරයන්ට වඩා වෙනස් මුහුණක් මිනිසුන්ට ලැබී ඇති බවයි.
Read Post | comments

විපක්ෂයේ වාඩිවන ශ්‍රීලනිපයේ මන්ත්‍රීන් කවුද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාව සම්බන්ධයෙන් මතුවන සාකච්ඡා මෙරට දේශපාලන කරළියේ පමණක් නොව විදේශීයවද දැඩි අවධානයකට ලක්ව තිබේ. මානව හිමිකම් කවුන්සිලයේ කටයුතු සම්බන්ධයෙන් කටයුතු කිරීමට විදේශ කටයුතු ඇමැති මංගල සමරවීරත් අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ඇතුළු තවත් නිලධාරීහු කිහිප දෙනෙක්ද ජිනීවා බලා ගොස් සිටිති. මෙවර නියෝජිත කණ්ඩායම නියෝජිතයින් සීමිත සංඛ්‍යාවකට සීමා කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ කල් ඇතිවම උපදෙස් දී තිබුණේය.

රනිල්ගේ අදහස වී තිබුණේ වැඩි පිරිසක් යැවීම මගින් පරස්පර අදහස් මතුවී ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවය. මානව හිමිකම් කවුන්සිලය සිය වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත එවා තිබුණි. ඒ මානව හිමිකම් කවුන්සිලයේදී ඉදිරිපත් වන වාර්තාවට පිළිතුරු ලබාදීමට අවශ්‍ය පහසුකම් සැපයීම ලෙසිනි. මෙවර මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වූ වාර්තාව මගින් යුද ගැටුම් පැවති සමයේදී සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට දෙමුහුන් උසාවියක් පත් කළ යුතු බවට යෝජනා කර තිබුණේය. 

මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ වාර්තාවේ සඳහන් වූ යෝජනා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයද ප්‍රසාදය පළකර තිබුණේය. යුද ගැටුම්වලට මැදිවූ ජනතාවට යුක්තිය ඉටු කළ හැක්කේ මෙවැනි කොමිසමක් මගින් බව දෙමළ ජාතික සන්ධානයේ අදහස වී තිබේ.

පසුගිය සතියේදී පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු විය. මානව හිමිකම් කවුන්සිලයේ තොරතුරු කැබිනට් මණ්ඩලයට වාර්තා කළේ විදේශ කටයුතු ඇමැති මංගල සමරවීරය.
“ඇමරිකා එක්සත් ජනපදයෙන් අපිට පක්ෂපාතී යෝජනාවක් 24 වැනිදා ගේනවා. ඒක අපිට වාසිදායක යෝජනාවක්. ඒ යෝජනාවෙන් මානව හිමිකම් ගැන පරීක්ෂණ පවත්වන්න වසර දෙකක කාලයක් ලංකාවට දෙනවා. එතකොට ජාත්‍යන්තරය බැලන්ස් වෙනවා” මංගල පැහැදිලි කළේය.

“මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වෙලා තිබෙන වාර්තාවෙන් ලංකාවට කිසිම බලපෑමක් නෑ. මේ වාර්තාවේ කාගේවත් නම් ඇතුළත් කරලා නෑ”රනිල් පැහැදිලි කළේය.

“ජාත්‍යන්තරයේ මතය දැන් වෙනස් වෙලා. ඒකට ප්‍රධානම හේතුව තමයි ඔබතුමා ජනාධිපතිධුරයට පැමිණීම. ගිය ජනාධිපතිවරණයෙන් පස්සේ ජාත්‍යන්තරය තමන්ගේ මතය වෙනස් කරගෙන තිබෙනවා” ඇමැති මහින්ද සමරසිංහද ජිනීවා වාර්තා ගැන පැහැදිලි කිරීමක් කළේය.

කැබිනට් රහස් ගැන ප්‍රතිඥාවක්

මේ සතියේ පැවැත්වුණේ නව ආණ්ඩුවේ දෙවැනි කැබිනට් මණ්ඩල රැස්වීමයි. කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවන කරුණු ප්‍රසිද්ධියේ සාකච්ඡා නොකළ යුතු බව මෛත්‍රීගේ අදහස වී තිබේ. මේ නිසා කැබිනට් මණ්ඩලයේ රහස්‍යභාවය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය පියවර ගත යුතු බව ඔහු තමන්ගේ හිතවතුන් සමග සාකච්ඡා කර තිබුණේය. 

“කැබිනට් මණ්ඩලයේදී අපි සාකච්ඡා කරන කරුණු විවෘතව සාකච්ඡා කරන්න ඕන. ඒක කැබිනට් හමුවේ රහස්‍යභාවය තියෙන්න ඕනෑ. ඒ නිසා කැබිනට් හමුවේ කතා කරන දේවල් මාධ්‍යයට දෙන්න එපා. ලෝකයේ හොඳ රටවල්වල කැබිනට් හමුවේ කතා කරන දේවල් එළියට යන්නේ නැහැ. එළියට දෙන්නෙත් නැහැ. ඕනෑ දෙයක් මෙතන විවේචනය කරන්න ඇමැතිවරුන්ට අයිතියක් තියෙනවා. අපි සාමූහිකව මේ සම්ප්‍රදාය දිගටම ගෙන යමු” මෛත්‍රී යෝජනා කළේය.

“කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවන කරුණු එළිපිට සාකච්ඡා කරන්න ගියොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා කැබිනට් මණ්ඩලයේ කතා කරන දේවල් රහසක් විදියට තියාගන්න හැමෝම වගබලාගන්න ඕන”රනිල්ද මෛත්‍රීගේ ස්ථාවරය අනුමත කළේය.

“කැබ්නට් මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කරනවා කියලා හැමෝම ප්‍රතිඥාවකට අත්සන් තියමු”මෛත්‍රී යෝජනා කළ විට සියල්ලෝම එයට අනුමැතිය දෙමින් එයට අත්සන් කළහ.

ආණ්ඩුව ඇතුළේ සිටින ගෝලයෝ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතියේදී හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙක් සමග සාකච්ඡා කර තිබුණේය. ඒ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව ගැන අවධානය යොමු කිරීමටය. ඒ ගැන කැබිනට් මණ්ඩලයේද කතාබහට ලක්විය. 
“මේ අය කරපු සාකච්ඡාව ගැන මට ආරංචියක් ආවා. මේ නිසා මම හමුදා නායකයන් සමග කතා කළා. ජිනීවා මානව හිමිකම් වාර්තාව ගැන කියමින් ඔවුන් හමුදා නායකයන් සමග කතා කර තිබෙනවා” මෛත්‍රී පැහැදිලි කළේය.

ආණ්ඩුවේ නිලධාරීන් ගැන කැබිනට් මණ්ඩලයේ සිටි ඇමැතිවරුන්ගෙන් වැඩි ප්‍රසාදයක් තිබුණේ නැත. ආණ්ඩුවේ නිලධාරීන් දිගින් දිගටම විවේචනය කරන්න ගත්තේ මුදල් ඇමැති රවි කරුණානායකයි.
“මට විරුද්ධව තිබිච්ච නඩුවේදී නීතිපතිවරයා ඒ චෝදනා වැරදියි කියලාවත් කිව්වේ නැහැ. නමුත් කේ. පී. සහ ඇවන්ඩ් ගාඩ් සිද්ධියේදී නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය ප්‍රශ්න සහගතයි. ඔවුන්ට නඩු දාන්න බැහැ කියලා නීතිපතිම කියලා තිබෙනවානේ” ඔහු පැවසීය. 

“ආණ්ඩුවේ නිලධාරින්ගෙන් සමහරු පසුගිය ආණ්ඩුව කාලයේ පත් කරපු අයමයි. ඒ අය හිටපු පාලකයින්ට ඕන විදියට වැඩ කරනවා. ඒත් යහ පාලනයට අවශ්‍ය විදියට ඔවුන් වැඩ කරන්නේ නෑ” ඇමැතිවරු චෝදනා කළහ.

මේ අතර ජාතික ආණ්ඩුව විවේචනය කළ මන්ත්‍රීවරු ගැනත් පසුගිය සතියේදී අවධානය යොමුව තිබුණි. එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා හා බස්නාහිර පළාත් විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල ජාතික ආණ්ඩුව විවේචනය කරමින් මාධ්‍යයට කළ ප්‍රකාශ ගැන මෛත්‍රී කතා කළේ ඔවුන් සම්බන්ධයෙන් පියවර ගත යුතු බව අගවමිනි.
“මම ඔය කතා කියපු අයට අවවාද කළා. ඔවුන් සම්බන්ධයෙන් ඉදිරියේදී පියවරක් ගන්නවා” රනිල් කීවේය.
“ශ්‍රීලනිපයේ අය කියන්නේ හොඳ ඇමැතිකම් යූ.එන්.පී. එක ගත්තා” කියලා. යූ.එන්.පී. එකේ අය කියන්නේ හොඳ ඇමතිකම් ශ්‍රීලනිපය ගත්තා කියලා. කොහොම වුණත් ජාතික ආණ්ඩුව විවේචනය නොකරන්න අපේ අය තදින් ඉන්න ඕනෑ.” යැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රිලනිපයේ පිරිසක් විපක්ෂයට
මේ අතරේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගිය සඳුදා ලිපියක් ලැබිණි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් ව විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් වන මන්ත්‍රීවරුන්ගෙනි. මන්ත්‍රීවරුන්ගේ නම් සහිතව ලියා තිබූ එම ලිපියේ ඔවුන් විපක්ෂයේ අසුන් ගැනීමට කැමැති බව දන්වා තිබිණි.
ජනාධිපතිවරයා එම මන්ත්‍රී කණ්ඩායමට තමන් හමුවීමට පැමිණෙන්නැයි අඟහරුවාදා සවස 5.00 ට වේලාව වෙන් කර තිබුණේ ඉන් අනතුරුවය. ඒ අනුව විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් වන ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම අඟහරුවාදා දහවල් කොළඹ, කුරුඳුවත්තේ පිහිටි මන්ත්‍රීවරයකුගේ නිවසේදී හමුවූහ. ඒ ජනාධිපතිවරයා හමුවීමට පෙර ඔහු සමග කතාබහ කරන්නේ කුමන කාරණාද යන්න ගැන සාකච්ඡා කිරීම සඳහාය. 

ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, මහින්දානන්ද අලුත්ගමගේ, රංජිත් ද සොයිසා, පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණතුංග, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර ඇතුළු මන්ත්‍රීවරු ඊට එක්ව සිටියහ. 

විපක්ෂයට ගියොත් ආසන සංවිධායක ධුරය අහෝසි වෙනවා යැයි කියන කතාව ගැන මන්ත්‍රීවරු පළමුවෙන්ම කතා කළහ.

“මම නම් විපක්ෂයේ ඉන්නවා. මට සංවිධායකම නැති වුණත් කමක් නෑ.” යැයි ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා කීවේය. 

“ඔව්. මේ ගැන අපි හැමෝගෙම එකඟතාවක් තියෙන්න ඕනෑ. අපිට ජනාධිපතිතුමා එක්ක ඒ ගැන කතා කරන්න පුළුවන්.” මහින්දානන්ද අලුත්ගමගේ  කියා සිටියේය. 

මෙම කතාබහ පැය දෙක තුනක් ඇදී ගිය අතර ජනාධිපතිවරයා හමුවීමට ඔවුන් ජනාධිපති නිල නිවසට ගියේ ඉන් අනතුරුවය.  ජනාධිපති නිල නිවසට යන මන්ත්‍රීවරු වෙනදා සිය වාහනයෙන්ම නිල නිවස ඇතුළටම ගියද එදින ආරක්ෂකයින් ඔවුන් කල් තබාම ගේට්ටුව ළඟ නවතා පයින් යෑමට සැලැස්විය. මන්ත්‍රීවරු සාකච්ඡාවට ගියේ ඒ ගැනද කතා කරමිනි. 

මෙම සාකච්ඡාවට මන්ත්‍රීවරු 24 දෙනෙක් පැමිණ සිටියහ. සවස 5.30ට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාකච්ඡා මේසයට පැමිණියේය. 

“මේ සාකච්ඡාවේ තොරතුරු මාධ්‍යයට යනවා. කරුණාකරලා මාධ්‍යයට මේ තොරතුරු දෙන්න එපා. අපි ඉතා වගකීමෙන් කටයුතු කරන්න ඕනෑ.” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාකච්ඡාව අරඹමින් කියා සිටියේය. ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා අදාළ තොරතුරු එළියට නොයන බවට සහ මන්ත්‍රී කණ්ඩායම ගැන විශ්වාසයෙන් කතා කළේය. 

“සර් අපි කොහොමද විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන්නේ?” යැයි ඩලස් අලහප්පෙරුම ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේය.

ඔහු එසේ අසමින් තවත් කරුණු කිහිපයක් ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළේය. 

“පාර්ලිමේන්තුවේ ආසන 201ක්ම වෙන් කරලා තියෙන්නේ ආණ්ඩු පක්ෂයේ කියලලු. සර් කරුණාකරලා අපට විපක්ෂයේ අසුන් පනවලා දෙන්න” යැයි ඩලස් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. 

“ඔයාලා කලින් කරා වගේ වැඩ මේ පාර කරන්න එපා. ශ්‍රීලනිපය විවේචනය කරන්නත් එපා. ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට ආපු අයට විවේචනත් එපා. එහෙම වෙලා විපක්ෂයේ හිටියට කමක් නෑ. හැබැයි විපක්ෂ නායකකම ඉල්ලන්නත් එපා.” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.

“සර් විපක්ෂයේ ඉඳගෙන ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති ධුරය දරන්න බැරිද? දෙමළ ජාතික සන්ධානයට උතුරේ දිස්ත්‍රික්ක තුනකම කමිටු සභාපතිකම් ලැබිලා. ඔවුන් විපක්ෂයේ.” යැයි මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියේය.

“ඒකට අවසර දෙන්න බැහැ. එක්කෝ ආණ්ඩුවේ. එක්කෝ විපක්ෂයේ.” යැයි ජනාධිපතිවරයා කියා සිටියේය. 
“අපි ජනාධිපතිවරණයේදී සර්ට වැඩ කළේ නෑ. පාර්ලිමේන්තු මැතිවරණයේදී පක්ෂයේ නියෝජිතයා දිනවන්න වැඩ කළා. නමුත් සර් එක්ක අගමැතිතුමා ජාතික ආණ්ඩුවකට එකඟ වුණා. අපිට එහෙම බැහැ. අපිට විපක්ෂයේ ඉන්න ඕනෑ.” ප්‍රසන්න රණතුංග කීවේය.

“ඕයගොල්ලො කැමති වුණත් නැති වුණත් මම තමයි පක්ෂයේ සභාපති. මම කියන දේ කරන්න වෙනවා.” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය. 

මෙතන එක එක පාර්ශ්ව නැතැයි කී ජනාධිපතිවරයා ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය සඳහා කටයුතු කරන්නැයි මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන්නේය. 

“සමහර සංවිධායකවරු ඉන්නේ කලකිරීමෙන්.” යැයි ප්‍රසන්න රණතුංග කීවේය.

“මම ඉදිරියේදී ආසන සංවිධායකවරුත් කැඳවනවා. එතකොට ඒ ගැන කතා කරන්න පුළුවන්.” යැයි ජනාධිපතිවරයා කියා සිටියේය. මෙම සාකච්ඡාව නිමා වූයේ රාත්‍රී 7.00 ට පමණය. අනතුරුව එහි සිටි මන්ත්‍රී කණ්ඩාම නැවතත් කුරුඳුවත්තේ පිහිටි නිවසේ හමුවූහ. එහිදී එක් මන්ත්‍රීවරයෙක් “මට නම් ෂුවර් නෑ ඔය කිව්ව විදියටම වෙයිද කියලා.” යැයි කියා සිටියේය.

රාජිත සිංදු කියයි
මේ අතර සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නැගෙනහිර ටිමෝරයේ පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු සමුළුව පසුගිය 07 වැනිදා ඇමතුවේය. මෙහිදී ඩෙංගු රෝග නිවාරණය ඉදිරි වර්ෂයේ  ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩපිළිවෙළට ඇතුළත් කිරීමට ඇමැතිවරයා කටයුතු කළේය. එමෙන්ම ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර ලබා ගැනීමට ද මෙම සමුළුවේදී ඇමැතිවරයාට හැකි විය. 

“ඡන්ද ප්‍රතිඵල එද්දී මම බලාගෙන හිටියා ඇමැතිතුමා ආපහු සෞඛ්‍ය ඇමැති වෙලා එනකම්.” ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියා කලාපයේ අධ්‍යක්ෂ ජනරාල් පුනාමි සිං කීවාය. 

වසර තිහක අරගලයකින් පසු නැගෙනහිර ටිමෝරයට නිදහස දිනා දුන්  ගරිල්ලා නායක සනාන ගුස්මාවෝ හමුවීමට ඇමැති රාජිත සේනාරත්න පණිවුඩ කිහිපයක්ම තබා තිබිණි. ඔහුගේ බලා‍පොරොත්තුව ඉටු කරමින් සමුළුව අතරවාරයේ පැවැති රාත්‍රී සාදයකට ගුස්මාවෝ ද පැමිණ සිටියේය. 

එහි සාදය අතරතුර රාජිත සේනාරත්න සිංහල ගීතයක් ගායනා කළේය. ඒ “පෘතුගීසි කාරයා - රටවල් අල්ලන්න ශූරයා” ගීතයයි. ටිමෝරයට එහි සම්බන්ධයක් තිබිණි. ඒ පෘතුගීසින් බොහෝ කාලයක් ටිමෝරය අල්ලාගෙන සිටීමයි. “පෘතුගීසි“ වචනයත් “ලිස්බන්” වචනයත් අල්ලා ගත් ගුස්මාවෝ රාජිත සමග ගීතයේ එම වචන කියමින් විනෝද වූයේය.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සඳුදා සවස ඉන්දියාවේ නවදිල්ලිය බලා පිටත් වූයේ සිය පළමු නිල සංචාරය සඳහාය. මෙවැනි නිල සංචාර වෙනදා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සංවිධානය වුවද මෙවර එය අගමැතිවරයාගේ අධීක්ෂණය යටතේ අඩු දූත පිරිසක් එක් කරමින් සංවිධානය වීම විශේෂත්වයකි.

රනිල් ඉන්දියාවට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග එම සංචාරය සඳහා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ‍ලේකම් සමන් ඒකනායක, අතිරේක ‍ලේකම් සමන් අතාවුදහෙට්ටි, ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත්කිරීමට නියමිත ඇසළ වීරකෝන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඔවුන් නවදිල්ලියේ ටාජ් පැලස් හෝටලයේ ලැගුම් ගත් අතර  එම දූත පිරිස හමුවීමට ප්‍රථමයෙන්ම පැමිණියේ ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ්ය.

එහිදී ඇය අග්‍රාමාත්‍යවරයා සමගත් ජිනීවා සිට එහි පැමිණි විදේශ ඇමැති මංගල මහතා සමගත් සාකච්ඡා කළාය. දූත පිරිස ටාජ් පැලස් හෝටලයේ සිටියදී අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමග කතා කළ යුතු යැයි සඳහන් කතාවක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විදේශ අමාත්‍යාංශයෙන් බාරදී තිබිණ.

“මංගලටත් උඩින් වැඩ කරන අය විදේශ අමාත්‍යාංශයේ ඉන්නවා. අමාත්‍යාංශය කියන දේවල් අපි කරන්න ඕන නෑ.” යැයි ඉන්දීය සංචාරය අතරවාරයේ අගමැතිවරයා ශ්‍රී ලංකා දූත පිරිස සමග කියා සිටියේය.

“මට කවුරුත් කතා ලියලා දෙන්න අවශ්‍ය නැහැ. ටෙලි‍පොම්ටර් ඕනත් නැහැ.” යැයි කී රනිල් වික්‍රමසිංහ එම කතාව විසිකර දැමුවේය.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට නවදිල්ලි නුවර හයිද්‍රාබාද් නුවරට ගියහ.

සාකච්ඡාව අතරතුරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කළේ ජිනීවා මානව හිමිකම් සමුළුව ඇතුළු ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පූර්ණ සහාය ලබාදීමට ඉන්දියාව සූදානම් බවය.

අනතුරුව දෙරටේ අග්‍රාමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැති අතර ඉන්පසුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා දූත පිරිසට දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනැමුවේය.

අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි, ඉන්දියාවේ හිටපු අගමැති මන්මෝහන් සිං, ආචාර්ය කරන් සිං සහ රාහුල් ගාන්ධි යන්නන් සමග පැවැති හමුව සිදුවූයේ අඟහරුවාදා සවසය. ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍යවරයා සෝනියා ගාන්ධි ඇතුළු පිරිසට ආරාධනා කළේය. ඔවුහු එම ආරාධනය පිළිගත්හ. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි අතර හමුව පැවැත්වුණේ බදාදා උදෑසන රාෂ්ට්‍රපතිභවන්හිදීය. ඒ අගමැතිවරයා ආපසු දිවයින බලා පැමිණීමට පෙරාතුවය. ඉන්දීය සංචාරයේ ගිවිසගත් කරුණු ඉදිරියටත් අධීක්ෂණය කරමින් පවත්වාගෙන යාම අගමැතිවරයා පවරා ඇත්තේ අමාත්‍ය මලික් සමරවික්‍රමටය.

මේ අතර බ්‍රහස්පතින්දා උදෑසන අගමැතිවරයා සුපුරුදු පරිදි අරලියගහ මන්දිරයට පැමිණියේය. එසේ පැමිණෙන විට මලික්, රවී, කිරිඇල්ල, වජිර ඇතුළු ඇමැතිවරු පිරිසක් එහි රැඳී සිටියහ. ඉන්දියානු සංචාරය ගැන ඇමැතිවරු අගමැතිවරයාට සුබ පැතූහ.

අගමැතිවරයා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් පළවූ ලිපි කිහිපයක් සම්බන්ධයෙන් ද කතා කළේය.

“සමහරු මේවා හොයනවාට කැමති නෑ. හොයන කොට ඒවාට බාධා වෙන්න ලිපි පළ කරනවා.” යැයි අගමැතිවරයා කියා සිටියේය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පවු‍ලේ සාමාජිකයෝ පසුගිය සති අන්තය පාසිකුඩා වෙරළේ විවේකයෙන් ගත කළහ. එහිදී හිටපු ජනාධිපතිවරයා පාසිකුඩා මුහුදු තීරයේ කොරල් නැරඹීමටද එක් වූයේය. හිටපු ජනාධිපතිවරයා පාසිකුඩා පැමිණ ඇති බවට ලැබුණු ආරංචිය අනුව ඔහු නවාතැන් ගෙන සිටි ස්ථානයට මෙන්ම වෙරළට පැමිණි ජනතාව ඔහුගේ සුව දුක් විමසමින් කතාබහ කර තිබිණි.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා සිය ඇමැති ධුරයේ වැඩභාර ගනු ලැබුවේ හිමිදිරියේම අමාත්‍යාංශයට පැමිණය.
ඉකුත් සඳුදා හිමිදිරි පාන්දර එනම් පෙරවරු 6.44ට යෙදුණු සුබ මොහොතින් ඔහු අමාත්‍යාංශයේ වැඩ භාර ගත්තේය.

වසර 2000දී සජිත් සමග එක්සත් ජාතික පක්ෂයෙන් මුල්වරට පාර්ලිමේන්තුවට ගිය ඉන්දික බණ්ඩාරනායක මන්ත්‍රීවරයා එදින සිය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩභාර ගැනීමේ අවස්ථාවටද සජිත් සහභාගී විය.

චන්ද්‍රාණි බණ්ඩාර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය සිය අමාත්‍යංශයේ වැඩ බාරගැනීමේ අවස්ථාවටද සජිත් සහභාගි විය.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මින් ඉදිරියට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය සමග එක්ව කටයුතු කිරීමට යෝජිතය. ඒ පිළිබඳව හැදෑරීමට අමාත්‍යාංශ දෙකෙහි ඉහළ පෙළේ නිලධාරීන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත් කර තිබේ.

පසුගියදා සජිත්ට විශේෂ ඉන්දීය අමුත්තෙකු හමුවූයේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදීය අමුත්තා වූයේ ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ මහ ‍ලේකම් රාම් මාධව්ය. මෙහිදී දෙරට අතර සබඳතා මෙන්ම දෙදෙනා අයත් පක්ෂ දෙක අතර සබඳතා නැංවීම පිළිබඳ සාකච්ඡා පැවැතියේ ඉතා සුහද වාතාවරණයක් යටතේය. මෙම හමුව සංවිධානය කරනු ලැබුවේ ඉන්දියාව සමග ඉහළ සම්බන්ධතා ඇතිව කටයුතු කරන ශ්‍රී ලංකා මහාබෝධි සංවිධානයේ සභාපති බානගල උපතිස්ස හිමියන් විසිනි.

කරුගෙන් හැඟුම්බර කතාවක් 
කථානායක කරු ජයසූරියගේ දේශපාලන ගමනේ දෙවන අදියර 1999දී ආරම්භ කෙරෙන්නේ ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායකයෙකු ලෙසය. 

එම ගමන් මගේ පුරෝගාමීන් ඉකුත් (12) සෙනසුරාදා දින ගම්පහ කාර්යාලයට රැස්වූයේ කථානායක ධුරයට පත් තම නායකයාට ආශිර්වාද කිරීම සඳහාය. මෙහිදී ඉතා හැඟුම්බර කතාවක් කළ කරු ජයසූරිය ‍පෝස්ටර්, කටවුට්, ‍පොලිතීන් නොමැතිව හා ස්ථීර ආසනයක්වත් නොමැතිව දිස්ත්‍රික් සංවිධායකයෙකු ලෙස දේශපාලන ගමන ඇරඹූ තමාව ඉහළටම ඔසවා තැබූ හිතවතුන් හට තම හෘදයාංගම කෘතඥතාවය පළකළේ කිසිදා එම බැඳීම් කඩ නොකරන බවට ප්‍රකාශ කරමිනි. 

පසුගිය 14වනදා පෙරවරුවේ කථානායකවරයා මැල්කම් රංජිත් කදිනල් අගරදගුරුතුමන් බැහැ දුටුවේ අගරදගුරු නිවස්නයේදීය.

ගෞරවනීය, විනයගරුක ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බිහි කිරීමට තමන් කැපවන බව නව කථානායකවරයා අගරදගුරුතුමන් හමුවේ පැහැදිලි කළේය. තමන් බැහැ දැකීමට පැමිණීම අගය කළ අගරදගුරුතුමන් කියා සිටියේ “ඔබතුමන් සෑම අතින්ම කථානායක ධුරයට සුදුසු පරිණත පුද්ගලයෙක්. කොයි දේ පිළිබඳවත් මධ්‍යස්ථව බලන ඔබට දේව ආශීර්වාදය පුද කරනවා” යනුවෙනි.
Read Post | comments

ඔස්කා තරුව සම්මානය දැක දැක ඇද වැටෙයි

Monday, March 11, 2013

මෙවර ඔස්කා සම්මාන උලෙළේ දී හොඳම නිළිය ලෙස සම්මාන දිනුවේ ජෙනිෆර් ලෝරන්ස්. ඒ ඇය ‘සිල්වර් ලයිනින්ස් ප්ලේ බුක්’ චිත්‍රපටයේ නිරූපණය කළ චරිතය වෙනුවෙන්.

ජෙනිෆර් තම සම්මානය ලබා ගැනීමට වේදිකාවේ පියගැට පෙළ මතින් ගමන් කරද්දී ඇද වැටුණා. නමුත් ඇයට කිසිදු තුවාලයක් සිදුවුණේ නැහැ. සම්මානය දෝතට ගත් ඇය පේ‍්‍රක්ෂකාගාරය අමතමින් පැවසූ වචන කිහිපයේ දී සැලකිය යුතු අත්වැරදීමක් සිද්ධ වුණා. ‘සිල්වර් ලයින් ප්ලේ බුක්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඩේවිඩ් ඕ. රසල්ට සහ එහි නිෂ්පාදක හාවේ වීන්ස්ටීන් හට තම ස්තුතිය පුද කරන්නට ඇයට අමතක වුණා.

කොහොම වෙනත් ඉන් පසුව ඇමරිකානු මාධ්‍ය ඇමතූ ඇය චිත්‍රපටයේ අධ්‍යක්ෂ වරයාට ස්තුතිය පළ කර සිටියා. තවමත් 22 වැනි වියෙහි පසුවන ජෙනිෆර් පැවසුවේ හොඳම නිළියට හිමිවන ඔස්කා සම්මාන දිනා ගත් මොහොතේ දී තමන්ට කිසිවක් සිතා ගන්නට නොහැකි වූ බවයි.
Read Post | comments

රණ්ඩු වෙවී යාළු වෙවී...

රොබට් පැටින්සන් සහ ක්‍රිස්ටීන් ස්ටුවර්ට් යුවළ ද විරසක වූ පෙම් යුවළක්. පසුගිය දා පැවැත්වුණු ඔස්කා සම්මාන උලෙළට දෙදෙනාම සහභාගි වුණා. නමුත් එකට සහභාගි වුණේ නැහැ. මේ සිනමා සම්මාන උලෙළේදී රොබට් නිවේදකයෙකු ලෙස ද කටයුතු කළා. ක්‍රිස්ටීන් ඔහු දෙස බලා සිටියා. සම්මාන උලෙළින් පසුව ක්‍රිස්ටීන් ඔහුව දුටුවේ නැහැ.

ඇයට අවශ්‍ය වුණේ කෙසේ හෝ රොබට් වෙත ඇමතුමක් දෙන්නයි. ඇයගේ උත්සාහය සඵල වුණා. ඇය අමතන විට ඔහු සිටියේ ඔස්ට්‍රේලියාවේ. ඒ ‘ද රෝවර්’ නම් වූ චිත්‍රපටයේ රූපගත කිරීම්වල යෙදී සිටිද්දීයි. ක්‍රිස්ටීන් ගෙන් ලද දයාබර ඇමතුම ඔහු මුළු හදවතින්ම පිළිගත්තා. ඇය සමඟ සෑහෙන වේලාවක් කතා කළා.

රොබට් ඒ මොහොතේ නුදුටු විශේෂ දෙයක් තිබුණා. ඒ තමයි ක්‍රිස්ටීන් ගේ ඇඳුම. ඇය ඔහුට දුරකථනයෙන් අමතද්දී ඇය හැඳී සිටියේ ඔහුගේ ටී ෂර්ට් එකක්. සමහරවිට පසුව මේ බව රොබට් දැනගන්න ඇති. ක්‍රිස්ටීන්ගේ ආදරයේ තරමත් තේරුම් ගන්න ඇති.
Read Post | comments

සජීවී සිංහල ක්‍රිකට් විචාරයේ පාලිත පෙරේරා නොදැවී 50යි

Sunday, March 10, 2013

ගුවන් විදුලි ක්‍රිකට් ඉතිහාසයේ සිංහල ක්‍රිකට් විස්තර ප්‍රචාරයේ   සුවිශේෂී අවස්ථාවක් සටහන් කරමින් පසුගියදා නිමාවූ ආනන්ද, නාලන්ද මහා ක්‍රිකට් තරගයට සැමගේ අවධානය යොමු විණ. හරියටම 1963 මාර්තු මස දී පළමුවෙන්ම දිනය පුරා පන්දුවෙන් පන්දුවට විස්තර රැගෙන ආ ප්‍රථම සිංහල ගුවන් විදුලි ක්‍රීඩා නිවේදක පාලිත පෙරේරා 84 වෙනි ආනන්ද, නාලන්ද මහා තරගයේදී සිය පනස් වසරක අඛණ්ඩ කාර්යභාරය සම්පූර්ණ කළේ විස්තර කථනයෙන් සජීවීව සම්බන්ධ වීමෙනි. සජීවී ඉංග්‍රීසි ක්‍රිකට් ක්‍රීඩා විචාරයට ලාංකික හඬ එකතු කරන්නට ඔහුට හැකි වීම අප සැම ලැබූ භාග්‍යයකි. ඒ දක්වා කරුණාරත්න අබේසේකරයන් විසින් ආනන්ද නාලන්ද මහා තරගයේ අවසන් දිනයේ විනාඩි 45ක කාලයක් සජීවී ප්‍රචාරය ලබා දී තිබුණි. 1960-1962 වර්ෂවල නාලන්ද පළමු ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ පාලිත පළමුවෙන්ම සජීවී ප්‍රචාරයක් ගෙන එන්නේ 1963 දී කොළඹ ඕවල් ක්‍රීඩාංගණයේ සිට ආනන්ද නාලන්ද තරගයකදීමය. ආනන්ද විදුහ‍ලේ ගණිත  ගුරුවරයෙකු වූ රගුනාත් වීරසිංහ මහත්මා ඔහුගේ අනෙක් සිංහල නිවේදකයා විය. එම තරගයේ ආනන්ද විදුහ‍ලේ නායකත්වය දැරුවේ අශෝක පෙරේරාය. නාලන්දයේ නායකයා වූයේ සරත් විමලරත්නය.

එතෙක් කල් ගුවන් විදුලියෙන් ඉංග්‍රීසියෙන් පමණක් ක්‍රිකට් ඇසූ ලාංකිකයන්ට නවමු සිංහල වදන් සමගින් ඔහු කළ වික්‍රමය මහත් සතුටක් ගෙන දුන්නේය.  1963 වසරේ එදා එම පළමු විස්තර ප්‍රචාරයට සවන් දුන් අය අතර “ලක්බිම” ප්‍රධාන කර්තෘ වන සුන්දර නිහතමානි ද මැල් මහතා වෙයි. එතුමා තම 8 වසරේ ඉගෙනුම ලබන අයියා සමග එය අසද්දී පුදුමයට පත් වූ බවත්, 5 වසරේ ඉගෙනුම් ලබමින් සිටි ඔහු එය ඇසුවේ පිලිප්ස් වර්ගයේ වෑල්ව් රේඩියෝවකින් බවත් පසුගිය සතියේ ඉරිදා ලක්බිම කතු වැකියේ සඳහන් කර තිබුණි.

එදා 1963 ඕවල් ක්‍රීඩාංගණයේ දර්ශන තිරය පසෙකින් පකිස් පෙට්ටියක් මත පුටුවක් තබාගෙන පාලිත විසින් කථනය කරද්දී අව් රශ්මියෙන් වැළකීමට කුඩය ඔසවාගෙන සිටියේ නිවේදක රගුනාත්ය. ඉන්පසු රගුනාත්ට සෙවණ දුන්නේ පාලිත ඔසවාගෙන සිටි කුඩයයි. දෙමළ හෝ ඉංග්‍රීසි නිවේදන නොතිබුණු අතර පුරා දෙදිනක් පැය 12ක කාලයක් ඔවුන් දෙදෙනා නොකඩවා තරගය පිළිබඳ සජීවි ප්‍රචාරය ගෙන ගියේ අද මෙන් විශේෂ වායුසමීකරණ කුටි හෝ වේදිකාවක් හෝ නොමැතිවය.

එම ක්‍රීඩා විචාරයට වසර 9ක් සම්පූර්ණ වෙද්දී ගුවන් විදුලි ක්‍රිකට් විස්තර විචාරයට ප්‍රේමසර ඈපාසිංහ යන වටිනා නිවේදකයා 1972 සම්බන්ධ වන්නේ රාජකීය, ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගයේදී පාලිත සමගිනි. මොවුන් දෙදෙනා යටතේ මේ වන විටදී බිහිවී ඇති දක්ෂ නිවේදකයින් බොහෝ දෙනෙක් අද ලාංකිකයන්ගේ සවනට නිරතුරුවම සජීවී ක්‍රිකට් ප්‍රචාරයන් ගෙන එති.

ගම්බද ප්‍රදේශයකදී පාලිත දකින වැට මායිමේ ඇති දර්ශනය සමගින් “කඩුල්ල” යන වචනය සිංහල ක්‍රිකට් විස්තර විචාරයට එකතු කරද්දී තවත් වචන ගණනාවක් සජීවී ප්‍රචාරයට ගෙන එන්නේ ලාංකික අනන්‍යතාවයක් ක්‍රිකට් භාෂාවට  එකතු කරමින්ය. එයින් ලද ජීවය දේශීය අසන්නන්ට ක්‍රිකට් ක්‍රීඩාව තව තවත් සමීප කරලීය. ගමෙන් නගරයට ක්‍රිකට් ගෙන යන්නට ඔවුන් කළ මෙහෙය වැදගත්ය.

කොළඹ ක්‍රිකට් ක්‍රීඩාංගණයක අට්ටාලයක හිඳ හේනේ අට්ටාලයට ක්‍රිකට් ක්‍රීඩාව රැගෙන යන්නට ගුවන් තරංගවලට තම හඬ මුසු කළේ හෙළ ජන සාහිත්‍යයේ අපූරු සුන්දර වැකි යොදා ගනිමිනි. අද මෙන් රූපවාහිනිය වටා රොක් වී අනවශ්‍ය ලෙස කාලය නොගෙවූ ක්‍රීඩාලෝලීන් විස්තර ප්‍රචාරද අසමින් තම ෙදෙනික කටයුතුවල නිරත වූහ.

කිසිදු දිනක ක්‍රිකට් ක්‍රීඩා පිටිය නොදුටු ඈත පිටිසර ගැමි ජනතාවගේ හදවත් තුළ “ක්‍රිකට් පිටියක් තැනීමට” ඔහුට හැකි වූයේ සරල සුගම වචන සමග දේශීයත්වයේ හඬ අව්‍යාජව, ගුවන් තරංග තුළ  මුසුකළ බැවිනි. ඔහුගේ භාෂා දැනුම, උගත්කම තුළ ඉංග්‍රීසි ක්‍රිකට් ක්‍රීඩා විචාරයකු ලෙස ගමන් කිරීමට තිබූ අවස්ථාවද ලාංකික අප වෙනුවෙන් කැප කළ බව සිතේ.

ක්‍රිකට්වලින් නොනැවතුන ගුවන් විදුලිය, එල්‍ලේ, වොලිබෝල්, මෙන්ම සෑම ක්‍රීඩා ඉසව්වකටම තම සජීවීකරණ හඬ එකතු කරන්නේ ක්‍රීඩා ලෝලීන්ගේ හදවතට සමීප වෙමින්ය. වෙල්යායක හෝ ක්‍රීඩාංගණයක අඩි 15 පමණ උසට තට්ටු 02කින් පමණ තැනූ ලී අට්ටාලයේ සිට ගුවන් විදුලි තරංග ඔබ නිවසට පා කර එවීමට ඔවුන් වෙහෙස විය.

විදේශීය තරග සංචාරයන් හිදී ද ශ්‍රී ලාංකික දස්කම් අප වෙතට ගෙන ඒමට කළ සේවයට අප සැමගේ කෘතගුණතාවය ඔවුනට හිමි විය යුතුය. 1980 දශකයට පෙර ගුවන් විදුලිය නොවන්නට එවන් දසුන් සජීවීව මවන්නට වෙනත් මාධ්‍යයක් නොමැති විය. ගුණාත්මක කථනයන් උදෙසා ඔවුන් දැරු වෙහෙස කතෛක්ද, යත් ආකර්ෂණීය ගුවන් විදුලි හඬ රූපවාහිනියේ දසුන් සමග නැරඹීමට ප්‍රේක්ෂකයින් අද ද පුරුදු වී සිටින්නෝය.

මා මේ වටිනා කාර්යභාරයේ නියමුවා වූ අදටත් ක්‍රිකට් සමග සජීවීව සම්බන්ධ පාලිත පෙරේරා සොයා එස්.එස්.සීයට පිය නැගුවේ ඔහුගේ සුවිශේෂී කාර්යභාරයේ සටහන් ඔබ වෙත රැගෙන ඒමටය. මියුසියස් විදුහ‍ලේ ගුරුතුමියක් වූ දයාබර බිරිඳ ලීලා පෙරේරා මහත්මිය සමග පිටියට පැමිණ සිටියදී පාලිත පෙරේරා හමුවීම සුවිශේෂී විය.

නාලන්දාවේ නලින් අ‍පොන්සුගේ ආරාධනයෙන්, පාලිතයන් සමග මා අට්ටාලයට පිය නැගුවෙමි. ආනන්ද, නාලන්ද මහා ක්‍රිකට් තරගයේ ආනන්දයේ පළමු ඉනිමේ ජයග්‍රහණය සටහන් කරමින් පන්දුවෙන්  පන්දුවට විස්තර සජීවීව ගෙන එමින් මේ ඔහු සටහන් කරන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ 50 වසරක සිංහල ක්‍රිකට් විස්තර විචාරයේ කඩඉමයි. වසර 70 වන ඔහුගේ දිවියේ 50 වසරක නොනිමි මෙහෙවර ක්‍රීඩාලෝලීන් සතුටින් ගුවනින් අසද්දී ඓතිහාසික අවස්ථාවට එකතු වන්නේ ගුවන් විදුලියේ කැලුම් විජේසිංහ, ඕවිරි කුරුප්පු මෙන්ම පාලිත පෙරේරාම බිහි කළ නාලන්දයේ නලින් අ‍පොන්සුය.

නිශ්චල ඡායාරූප ශිල්පියෙකු ලෙස මා ද අයි.ටී.එන්. හි වීඩියෝ ශිල්පියාද ලබාගත් දසුන් අද ඔබ අප සැමගේම වටිනා සිහිවටනයන්ය. වසර 08 පමණ කුඩා ශිෂ්‍යයකු ලෙස ඔහුගේ ක්‍රීඩා විචාරය ඇසූ පළමු කාලයේ සිට අද දක්වා නොනැවතී එක ලෙස ගලා යන අව්‍යාජ ස්වරය සහ ජීවය මැදි වයසේ දී ඔහු ළඟටම වී ඇසීමට මා පිං ලදිමි. මා 4 වසර ශිෂ්‍යයෙකුව සිටියදී පළමුවෙන් ක්‍රිකට් තරග ඇසුවේ රේඩියෝව සෙල්ලම් ගෙදර තුළ තබාගෙනය. ගසක අට්ටාලයක් තනා ඒ තුළට රේඩියෝව රැගෙන ගොස් ඇසුවේ අම්මාගෙන් බැණුම් අසමිනි.

නෙතඟ වෑහෙන සතුටු කඳුළු සමග ඔහුගේ වචන එක දිගට ආයාසයකින් තොරව ගලා යයි. පාලිතගේ ආරක්ෂණීය වදන් මාලාවේ හඬ ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවට සැමදා අවැසි විය. ඔහුට ක්‍රීඩකයන් මෙන්ම ප්‍රේක්ෂකයන්ද එක ලෙස  ඇළුම් කළහ.  පර්සි අබේසේකරත්, පාලිත පෙරේරාත් තරගයකදී මෑතකදී හමු වූ විටදී මා ඇසුයේ ඔබලා  මෙතරම් තරුණ ලෙස ජීවත් වන්නේ කෙලෙසද යන්නයි. “සිතිවිලි යහපත් නම් නිරෝගී නම් ජීවිතය ලස්සනයි” 
පාලිතගේ  පිළිතුර විය. සිතුණ දෙය අපට දුන් සැම විටම නොබියව පෑන හැසිරවූ ඔහුගෙන් විවිධ වූ ක්ෂේත්‍රයන් ‍පෝෂණය විය.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාපිටියේ 2013 මාර්තු 03 දින තේ පානයෙන් පසුව, අප ආදරය දිනූ පාලිත පෙරේරා සිය 50 වසරක ක්‍රිකට් මතක සටහන් අවදි කරමින් සාරාංශ ගත කරන ලද ගුවන් විදුලියේ සජීවී ප්‍රචාරක ඉතිහාසයට සවන් දුන් සැවොම, ගුවන් විදුලියේ සැම කළ සේවයට නිහඬව ගෞරවය පුද කරනු නොඅනුමානය. පාලිතයන්ගේ අඩසියවසක දැවැන්ත මාධ්‍ය මෙහෙවර අගය කරමින් ආනන්ද-නාලන්ද ඒකාබද්ධ කමිටුව සජීවී ක්‍රිකට් විස්තර ප්‍රචාරයක් සඳහා ඔහුට ආරාධනය කිරීම   පිළිබඳ සැමගේ ස්තූතිය ඔවුනට හිමිවිය යුතුය. නොසිතූ ලෙස තරගය තේ පානයෙන් පසු නතර කරනු ලැබූවත් එයට පෙර මාධ්‍ය දිවියේ  වඩාත් ආදරය කළ සජීවි ක්‍රිකට් ප්‍රචාරය අප වෙනුවෙන් ගෙන ඒමට ස්වභාවධර්මය ඔහුට ආශීර්වාද කළේය. පුරා වසර 50ක් අඛණ්ඩව ක්‍රිකට් සිංහලෙන් ගෙන එන්නට ඔහු කළ කැපවීම පිළිබඳ සමස්ත ක්‍රීඩාලෝලීන් තුළ ඇත්තේ අපමණ ගෞරවයකි. දරුවන් තිදෙනෙකුගේ දයාබර පියෙකු වන ඔහු අද ද මාධ්‍යකරණයේ උන්නතිය වෙනුවෙන් නිරතුරුව කැප වෙයි. සංවේදී හදවතක් හිමි මානව දයාවෙන් පිරිපුන්, නිහතමානී කලාකරුවෙකු ඔහු තුළින් බිහිවීමට ඉඩ හසර හෙළිකළ ලක් මවට ඔහු පෙරළා යුතුකම් ඉටුකර හමාරය. අද දින මාධ්‍යකරණයේ යෙදෙන අප සැමට ඔහු වැනි ගුරුවරයෙකුගෙන් ලබා ගත හැකි ආදර්ශයන් බොහෝය.

“මේ දක්වා මාගේ 50 වසරක සජීවි ක්‍රිකට් ප්‍රචාරයේදී මා හා එක්වුණු ශ්‍රී ලංකාවේ සතර  දිසාවේ ප්‍රේක්ෂක හිතවතුනි, ඔබ වෑල්ව් හෝ ට්‍රාන්සිස්ටර් රේඩියෝවක තුළින් මගේ හඬ ඇසුවා නම්, මට ආදරය කළා නම් එයට මා ණයගැතියි. ඔබ සියලුම දෙනාට ස්තූතියි” කියමින් එදා මෙදා තුර සහය දුන් සමස්ත ගුවන් විදුලි කාර්ය මණ්ඩලයට ද ස්තූති කරමින් සතුටු කඳුළු පිරි දෙනෙතින් පාලිත පෙරේරා ක්‍රීඩා අට්ටාලයෙන් නික්මිණි.

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ යුග මෙහෙවර අගය කරමින් පාලිත පෙරේරා ඇතුළු සමස්ත නිවේදකයින්ට ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රණාමය පුද කරමු. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ක්‍රීඩා ක්ෂේත්‍රයට පාලිත පෙරේරා කළ කැපවීම තුළින් ඔහු ලද ආදරය, ඉතිහාසයේ නොමැකී පවතින නිහඬ උපහාරයක් වනු ඇත.
Read Post | comments
 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all