පාර්ලිමේන්තුවේ (11දා) පැවැති දෝෂාභියෝග විවාදයට
විරෝධය පාමින් කෑගල්ල අධිකරණ සංකීර්ණය අසල නීතිඥයන් විසින්
ඔසවා තිබූ කළු කොඩි ගැලවීමට ගිය කෑගල්ල මූලස්‌ථාන පොලිස්
පරීක්‌ෂක කමල් පෙරේරා මහතා හා නීතිඥයන් අතර 11 දා
පෙරවරුවේ උණුසුම් කතා බහක් ඇති විය.
පොලිසිය අධිකරණයට දැනුම් දීම මත අධිකරණයේද අවසරය පරිදි කොඩිවැල් ගලවන බව පොලිස් නිලධාරීන් පැවසූ අතර නීතිඥවරුන් පැවසුවේ එසේ අධිකරණයෙන් අවසරයක් ඇත්නම් එය ලිතව පෙන්වන ලෙසය. කොඩි වැල් ඇද ඇත්තේ පොදු පාරක බවත් පොදු පාරක කොඩි දැමීමේ අයිතියක් ඇති බවත් නීතිඥයෝ පැවසූහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ නීතිඥයෝ මෙසේ පැවසුහ. අද අධිකරණ ඉතිහාසයේ ශෝකජනක දිනයක්. අපි මේ දවස කළු සිකුරාදා ලෙස හඳුන්වනවා. ප්‍රජාතන්ත්‍රවාදීව ව්‍යවස්‌ථාදායකය, විධායකය හා අධිකරණය අතර එකිනෙකට තිබූ ගෞරවයට අද හානියක් වෙමින් පවතිනවා. සිදු වී ඇති ක්‍රියාදාමයන් නීති විරෝධී බව අභියාචනාධිකරණය හා ශ්‍රෝෂ්ඨාධිකරණයත් ප්‍රකාශ කර තිබියදී එයට ගරු නොකිරීම නිසා ජනතාව හිතනවා මීට පස්‌සේ කාවද විශ්වාස කරන්නේ කියලා.
අප කියන්නේ කරුණාකර දැන්වත් සාධාරණ පරීක්‌ෂණයක් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පවත්වන්න කියලා.
නීතිඥවරුන්ගේ සාමකාමී විරෝධතාවට බාධා නොකරන්නැයි ද අප ඉල්ලා සිටිනවා යෑයි ඔවුහු පැවසූහ.
ඉන්පසු කොඩිවැල් කැපීම නවතා මූලස්‌ථාන පොලිස් පරීක්‌ෂකවරයා එම ස්‌ථානයෙන් පිට වී ගිය අතර නීතිඥවරුන් නගරය දෙසට යැමට සූදානම් කර තිබූ විරෝධතා පා ගමන නවතා සාමකාමීව විසිර ගියහ.
0 comments:
Post a Comment