Photobucket

Monday, December 24, 2012

වේගයෙන් ආපු බෝට්ටුව එකවරම හැරවූවා-එවිට පෙරළුණා

තිස්ස වැවට බිලිවූ හත්දෙනාගෙන් සිවුදෙනෙක්ම ඉංගිරිය සාන්ත පීතර ජනපදයේ
 
මේ දිනවල දිවයිනේ සතරදික් භාගයෙන්ම අසන්නට, දකින්නට ලැබෙන්නේ ස්වභාවික අනතුරුවලින් සිදුවු හද කම්පාකරවන සිද්ධීන්ය. මේ ව්‍යසන අතරින් බොහොමයකට වගකිව යුත්තා බවට ජල රකුසා නිතරගයෙන්ම පත්ව සිටී. පසුගිය 22 වන සෙනසුරාදා ඉංගිරිය, ශාන්ත පීතර ජනපදයෙන්ද එලෙස හද කම්පාකරවන පුවතක් අසන්නට ලැබුණු අතර ඊට වගකිව යුත්තා බවටද පත්ව තිබුණේ ජල රකුසාමය. නමුත් වෙනස වූයේ ජල රකුසා පැමිණ ඔවුන් බිලිගත්තා නොව, ඔවුන් ජල රකුසා වෙත ගොස් ඊට බිලිවීමයි.

 මෙලෙස සිදුවු ව්‍යසනයෙන් මියගිය ගණන හතකි. විශේෂය වන්නේ ඉන් සිවු දෙනෙක්ම ඉංගිරිය, ශාන්ත පීතර ජනපදයේ අය වීමයි. පසුගිය සෙනසුරාදා උදෑසන කතරගම බලා විනෝද චාරිකාවක් යාමට පිටත් වූ මේ පිරිසට එම ගමන අතර මගින් නතර කිරීමට සිදුවූයේ තම කණ්ඩායමේ සත් දෙනෙකුගේ අනපේක්ෂිත සමුගැනීම නිසාවෙනි. තිස්සමහාරාමයේ, තිස්ස වැවේ, දූ කුට්ටිය දූපත වෙත ගොස් නැවත පැමිණීමේදී ඔවුන් පැමිණි බෝට්ටුව වැව මැද පෙරළීම නිසා සිදුවූ මේ ශෝචනීය සිද්ධිය හේතුවෙන් අද මුළු ශාන්ත පීතර ජනපදයම එකම මළගෙයකි. බැලූ බැලූ අත දිස්වන්නේ නිකටට අත තබාගෙන හූල්ලන පිරිස් ය. ගම්මානය පුරාම ඇත්තේ මූසල නිහැඬියාවකි. එම නිහැඬියාව බිඳගෙන වා තලයට මුසුවන සෝ සුසුම් හඬ පරයා මියගිය අයෙකුගේ නිවසකින් නැඟෙන ශෝකාලාපය උඩු ගුවනට මුසුවේ.

ශ්‍රියන්ත පීරිස් (32), සිරිදරන් මුතුකුමාර (18), රසික චන්ද්‍රලාල් (26) සහ කේ. පී. අසේල නිරෝෂන් (20) ලෙසින් මියගිය සිවුදෙනාගේ නිවෙස්වල සාමාජිකයින්ට තම ආදරණීයයන්ගේ වියෝව තවමත් සිහිනයක් වෙති. ඇතමෙක් අවසිහියෙන් මෙන් ඊයේ (ඉරිදා 23) උදෑසනම තිස්සමහාරාමය බලා පිටත්ව ඇත්තේ සිද්ධිය සියැසින් දැක, තම ආදරණීයයන්ගේ සිරුරු තමන් විසින්ම දැකගෙන මිස මෙය පිළිගැනීමට නොහැකි අකමැත්ත නිසාවෙනි.

මේ බිහිසුණු බෝට්ටු අනතුරට මුහුණ දුන් පිරිසේ සාමාජිකයින් අතුරින් දිවි ගළවා ගැනීමට වාසනාව තිබූ අයෙක් අපට මුණ ගැසුණි. හඳපාන්ගොඩ, වෙල ඉහළ පදිංචි ඔහු නමින් දිනේෂ් ප්‍රියන්ත දර්ශනයි. ඔහුගේ වචනයෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් දැක්වූ අදහස් මෙසේ ය.

අපි ඔක්කොම වැඩ කළේ ගොඩගම. හෝමාගම ප්‍රදේශයේ දැල් වර්ග නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ගැල්වනයිස් අංශයේ. අපි කට්ටිය සෙනසුරාදා පාන්දර 3 ට පිටත්වුණේ කතරගම යන්න. උදේ 8 වෙද්දි අපි තිස්සමහාරාමෙටත් ආවා. පස්සේ 9 ට තිබුණු පූජාවටත් සහභාගී වෙලා තිස්ස වැවේ තිබුණු දූකුට්ටිය දූපත බලන්න යන්න හිතුවා. අපි දූපතට ගිහින් කමින් බොමින් හොඳට විනෝද වුණා. 

වැවේ වතුර පිරිලා ඉතිරිලයි තිබුණේ. අපි ආපහු එන්න ආපු ගමනෙදි බෝට්ටුව ආවේ සෑහෙන වේගයකින්. ඒක ගොඩබිම පේන මානයටත් ආවට පස්සේ එකපාරටම වෙට්ටුවක් දාලා ආපස්සට වගේ හැරෙව්වා. තත්පරයක් යන්න කලින් බෝට්ටුව පෙරළුණා. අපි බලාගෙන ඉදිද්දී ඇස් පනාපිටම බෝට්ටුව වතුර යටට ගියා. හුඟක් අය ගොඩට පීනුවත්, පීනන්න බැරි අය එහෙමම වතුරේ ගිලුණා. 

මට පුලුවන් විදියට මම දෙන්නෙක්ව බේරා ගත්තා. ඒත් බෝට්ටුකාරයා නෙමෙයි අපි දිහා ඇහැක් ඇරලා බැලුවේ. එයා ගොඩට පීනුවේ පස්සවත් හැරිලා බලන්නේ නැතුවයි. ඉන්පස්සේ තමයි ගොඩ ඉඳන් වෙන බෝට්ටු දෙකක් ඇවිත් අපේ කට්ටිය බේරාගත්තේ. බෝට්ටුව අස්සේ ඒ වෙනකොටත් එක්කෙනෙක් හිරවෙලා ඉඳලා ගොඩට අරගෙන ඇවිත් රෝහලට යැව්වා. 

ඔන්න ඔහොමයි සිද්ධිය වුණේ. බෝට්ටුව මොන හේතුවකට ආපස්සට හැරෙව්වද මන්දා? බෝට්ටුව පෙරළුණේ හදිසියේ හරවන්න ගිය නිසයි’ යැයි පැවසුවේය.

මෙම අනතුරින් මියගිය සිවුදෙනාගෙන් දෙදෙනෙක්ම විවාහකයෝය. මියගිය 32 හැවිරිදි ශ්‍රියන්ත පීරිස්, වයස අවුරුදු 2 1/2 දරුවකුගේ පියෙකි. කිරිගල සාගර පළන්සුරිය විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු, මෙම කම්හලේ සේවයට ගොස් වසර 3කට ආසන්න බව ඔහුගේ පියා වන සිරිපාල පීරිස් මහතා පැවසුවේය.

මියගිය 26 හැවිරිදි රසික චන්ද්‍රලාල්ගේ බිරිය මේ වනවිට පසුවන්නේ ගර්භණී අවස්ථාවේය. අප එම ස්ථානයට යනවිටත් නිවසට විශාල පිරිසක් රැස්ව සිටි අතර, ඇය සිටින අවදානම් සහගත තත්ත්වය නිසා පැමිණ සිටි කිසිවෙකුත් ඇයගේ ආදරණීය සැමියාට හිමි වු අවාසනාවන්ත ඉරණම ගැන ඇයට කිසිවක් පවසා නොතිබුණි. අනතුරින් පසු රෝගීව තම සැමියා රෝහලට ඇතුළු කර ඇතැයි සිතා සිටින ඇය ඔහු සුවපත්ව නිවසට එන තෙක් පෙර මඟ බලා සිටින්නීය.

තම පුතුට සිදුවූ අකල් මරණය ගැන තවමත් සිහි එළවා ගැනීමට නොහැකිව සිටින රසිකගේ මව, රාසම්මා මහත්මිය තම ලේලිය අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, ඇය ඉදිරියේ තම දුක සඟවා ගැනීමට දරන වෙහෙස ඇත්තෙන්ම හදකම්පා කරවන සුළුය.

අවිවාහක තරුණයෙක් වූ 18 හැවිරිදි සිරිදරන් මුතුකුමාරගේ පදිංචිය රයිගම්පුර වූවද, ඔහු ශාන්ත පීතර ජනපදයේ පිහිටි තම පුංචි අම්මාගේ නිවසට පැමිණ ඇත්තේ පාන්දරින්ම ඒ දෛවෝපගත විනෝද චාරිකාව පිටත්වීමේ පහසුව තකාය. ඔහුගේ පදිංචිය රයිගම්වත්තේ වුවත්, ඔහුගේ දේහය ශාන්ත පීතර ජනපදයේ පදිංචි තමන්ගේ නිවසටම රැගෙන එන බව ඔහුගේ පුංචි අම්මා වන එස්. පද්මිණි මහත්මිය පැවසුවේ හැඬූ කඳුලිනි.

තවමත් 20 වැනි වියේ පසුවන අසේල නිරෝෂන් ද කිරිගල සාගර පලන්සුරිය විදුහලේ ආදි සිසුවෙකි. ඔහුට බාල සහෝදරයෙක් සහ වැඩිමල් සහෝදරයෙක් ලෙසින් සොහොයුරන් දෙදෙනෙකි. මීට වසර එකහමාරකට පමණ ඉහතදී අසේලගේ පියාද මෙලොව හැර ගොස් ඇති බව එහි ගිය අපට දැනගත හැකිවිය.

නොදැනුවත්කම නිසා හෝ, නොසැළකිල්ල නිසා හෝ නැතහොත් නාහෙට නාහෙන කොළු වයසේ දඩම්බරකම නිසා හෝ ශාන්ත පීතර ජනපදයේ ආදරණීයයන් සිවු දෙනෙක් මේ වනවිට ඔවුන්ගේ සමීපතමයින් සියල්ලන්ගෙන් සමුගෙන සදහටම දෙනෙත් පියාගෙන හමාරයි. රට පුරා ජලාශ වාන් දමද්දී මෙවන් අවදානම් ගමන් වල යෙදීම පිළිබඳ දෙවරක් තෙවරක් නොව කිහිපවරක්ම සිතා බැලීම වටින්නේ, තත්පරයක අතපසුවීම මාරයාට කරන අතවැනීමක් වන බව සඳහන් කිරීම වටී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all