Photobucket

Wednesday, December 19, 2012

මෝනාලිසා ගැන අද කාලයේ ඇත්තෝ කියන කතා

පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති විවිධ මතවාදවලට තුඩුදුන් ලෝක ප්‍රකට කාන්තා චිත්‍රයක් වෙයි. එය නම් “මෝනාලිසා” චිත්‍රයයි. මෙයින් දැක්වෙන කාන්තාව සත්‍ය වශයෙන්ම ජීවත්ව සිටි කෙනෙක්ද? නොඑසේ නම් එය චිත්‍ර ශිල්පියාගේ  මනෝ නිර්මාණයක්ද යන්න පිළිබඳ  විවිධ මත පළවේ. කෙසේ වුවද සුප්‍රකට බටහිර ශ්‍රේෂ්ඨ  චිත්‍ර ශිල්පියකු වන ලියනාඩෝ ඩාවින්චිගේ තෙළිතුඩින් මෙම මනහර චිත්‍රය 1518 දී නිර්මාණය වී ඇතැයි සැලකේ.
 
වසර දෙතුන් සියයක් තිස්සේම විචාරකයන්ගේ කතාබහට ලක්වූයේ මේ මෝනාලිසා චිත්‍රයෙන් දැක්වෙන්නේ කාගේ රූපයක්ද යන්න ගැනයි. මේ පිළිබඳ   විචාරකයන් ව්‍යාකූල තත්ත්වයකට පත්වූයේ මෙම රූපයේ ඇති අසාමාන්‍ය  සුවිශේෂී හැඩ රුව නිසාය. ඇයගේ මුහුණ මද සිනාවක ස්වරූපයක් දිස්වන අතර, එයින් පිටතට පෙන්වීමට තැත්කරන යම් අදහසක් සඟවන්නට තැත් කරන අයුරු දිස්වේ යැයි සමහරු පවසති. කාන්තාවකගේ රූසපුව ඔප කරන ඇහිබැමි නොමැතිව චිත්‍රණය කර ඇත්තේ එයින් යම් ගැඹුරු පෙනුමක් ඇති කිරීමට බවටද අදහසක් තිබේ.

තවද චිත්‍රයෙන් දැක්වෙන ඇයගේ අත්වල හෝ ඇඟිලිවල කිසිදු ස්වර්ණාභරණයක් පැළඳ ඇති බවක් පෙනෙන්නට නැත. ඇයගේ ඇඳුමද කුමක්ද යන්න හරිහැටි  වටහාගත නොහැකි අතර ඇතැමෙක් පවසන්නේ එය ගවුමක් බවය. තවත් විටෙක එය උතුරු සළුවක් සේ දිස්වෙන බවද කියති.

චිත්‍රශිල්පියා තමා සිතින් මවාගත් හැඩරුවක් ඒ තුලින් දිස්වීමට සැලැස්වීම නිසා එය ජීවමාන කෙනෙකුගේ රුවක් යැයි පැවසීම උගහට වන බවටද මතයක් පවතී. මෙය ඉතාලි  වංශාධිපතියකුගේ බිරියකගේ සිතුවමක් යැයි සැක පහළ කරන්නෝද සිටිති. වැඩි දෙනෙකු පවසා ඇත්තේ මෙය “ජියොකොණ්ඩෝ” නමැති ඉතාලි ජාතිකයකුගේ බිරියකගේ චිත්‍රයක් බවයි. මෙම චිත්‍රය  නිර්මාණය කළ ලියනාඩෝ ඩාවින්චි සමග රහසේ පෙම් බැඳි රූමත්  කතකගේ  චිත්‍රයක් බවද පවසන්නෝ සිටිති.  තම හද ඇඳි ඇයගේ රුව ඔහු විසින්  චිත්‍රයට නගනු ලැබ ඇත්තේ සදාකාලිකවම තමා ඉදිරියේ  ජීවත් කරවීමට බව කියනු ලැබේ. ඇමෙරිකාවේ බෙලි ටෙලිෆෝන් පර්යේෂණාගාරයේ විද්‍යාඥවරියක වන ආචාර්ය ලිලියන් ෂ්වායිස් පවසා ඇත්තේ ඇයගේ  මුහුණ පිරිමියකුගේ රුවක් වන අතර චිත්‍රය ඇන්ද  ඩාවින්චිගේ මුහුණේ හැඩරුව මෙයින් පිළිබිඹු වන බවයි. සිය මුළු ජීවිත කාලය තුළම චිත්‍රය තමා ළඟ තබා ගැනීමට ඔහු උනන්දු වී ඇත්තේ එය තම ජීවිතයට බොහෝ දුරට සම්බන්ධයැයි ඇදහූ නිසා බවට සමහරු තර්ක  ඉදිරිපත් කරති.

බල්ගේරියානු ජාතික මනෝ චිකිත්සකයකු වන පානි සවිලකෝවා සහ දොස්තර ජෝර්ජ් කොයිවෙවි යන දෙදෙනා මෝනාලිසා පිළිබඳ සියලුම මතවලට වඩා නවතම මතයක් ඉදිරිපත් කර ඇත්තාහ. ඔවුන් දෙදෙනා කියන්නේ මෝනාලිසා මානසික රෝගී ගැහැනියක බවයි. ඔවුන් මේ චිත්‍රය නිරීක්ෂණය කර අමුතු මතයක් ඉදිරිපත් කර සිටී. ඇයගේ නෙත්වල බැල්මෙන් හා මුහුණෙන් පැවසෙන අදහස් දෙආකාර බව ඔවුහු කියති. මෙය වටහාගැනීම සඳහා ඇයගේ චිත්‍රයේ ඇස් වසා එයට පහළ කොටස හා මුඛය වසා ඉහළ කොටස වෙන වෙනම ගෙන නිරීක්ෂණය කළ යුතු බව ඔවුන්ගේ අදහසය. ඇයගේ නෙත්වලින් දිස්වන්නේ ඉදිරියේ සිටින අයකු ලෙස තියුණු යටි බැල්මක් හෙලන අයුරුය. එහෙත් තොල්වලින් පෙනෙන්නේ මද සිනහවක් නංවන ආකාරයයි. සිනහ නංවන ස්වරූපයක් නෙත්වල දක්නට නොමැති අතර මෙලෙස  දෙආකාරයක් එකම මුහුණක දැක්වීම අස්වාභාවික බව ඔවුහු කියති.

මෙවැනි ලක්ෂණ ඇති මුහුණක් තුළින් හීන්නෝන්මාදය (schizophrenia) නමැති  මානසික රෝගය  ප්‍රකට වන බව ඔවුහු කියති.  මෙම රෝගයේ ප්‍රභේදයක් වන කැටටොනික් (catatonic) රෝගය  මෙතුළින් පෙන්වන බව අදහස වේ. මෙහි ලක්ෂණයක් වන්නේ කෙනෙකුගේ මුහුණ විවිධ ඉරියව් පෙන්නුම් කිරීමයි. මස්පිඩු අවධිමත් ලෙස චලනය වීම නිසා පරස්පර විරෝධී හැඟීිම් එකම අවස්ථාවක මුහුණෙන් දිස්වන බව ඔවුහු කියති. මෙම රෝගය නිසා රෝගී නිරෝගී ලක්ෂණ මාරුවෙන් මාරුවට පෙන්නුම් කරන බව කියයි.
මෙම බල්ගේරියානු වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ ඇයගේ චිත්‍රයේ ශෝකාකූල පෙනුමක් හෙළි නොවන බවයි. සිතෙන් එක් මනෝභාවයක් දක්වන අතර මුහුණෙන් වෙනත් හැඟීම් දැක්වීම මෙම කැට ටොනික් හීන්නෝන්මාදයේ ලක්ෂණයක් බවයි.

තවත් අදහසක් ලෙස දැක්වෙන්නේ මෝනාලිසා ඩාවින්චි ඉදිරියේ පෙනී සිටි විට ඇයගේ සිතේ තිබූ දුක්බර හැඟීිම් පහ කිරීම සඳහා තියුණු සංගීත රාවයක් ඇසෙන්නට සලස්වා ඇති බවයි. මුහුණේ මුලින් තිබූ ශෝකාකූල භාවය මෙම සංගීත රාවය නිසා කමෛන් වියැකී ගොස් සතුටක් මෝදුවන අන්දම මෙම චිත්‍රයට විෂය  වී ඇති බවද එයින් ප්‍රකාශ වේ.

ඩාවින්චි ඇයගේ මානසික රෝගය වටහා  ගැනීමට අ‍පොහොසත් වී ඇති අතර, ඇයගේ ගුප්ත පෙනුමට වශී වූ හේ සිය ජීවිත කාලය තුළම චිත්‍රය තමා ළඟ තබා  ගැනීමට උනන්දු වී ඇත්තේ එහි කලාත්මක බව සලකා ගෙන පමණක් බව කියති. චිත්‍රය නිම කළ පසු ශිල්පියා වසර කිහිපයක් යන තුරුම එයට යම් යම් වෙනස්කම් කර ඇත්තේ මුල් ලක්ෂණ තීව්‍ර කිරීමට බව අදහස් වේ.

මේ පිළිබඳ විශ්‍ලේෂණයක යෙදෙන විද්‍යාඥයන් පවසන්නේ මෙම චිත්‍රය මානසික රෝගී කාන්තාවකගේ මුහුණ ඉතා උසස් ලෙස සිතුවම් කළ අවස්ථාවක් ලෙස පමණක් අර්ථ දැක්වීමට වඩා සුවිශේෂ හැඟීිම් දනවන කාන්තා මුහුණක් සිත්තම් කළ ලොව විශිෂ්ටතම නිර්මාණයක් ලෙස අගය කිරීම වැදගත් බවයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all