Photobucket

Monday, December 10, 2012

සරත් ෆොන්සේකා ‘කෝ?’

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝක ප්‍රජාවගේද සුවිශේෂී අවධානයට ලක් වූ චරිතයකි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය හරහා ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස පාලන තන්ත්‍රයට අභියෝගයක් එල්ල කළ මේ දැවැන්ත චරිතය මේ කාල පරාසය තුළ සක්‍රිය දේශපාලන ක්‍ෂේත්‍රය තුළ හිමිකරගෙන සිටින ස්ථානය සම්බන්ධයෙන් යළි  පසු විපරමක්  කර බැලිය යුතුව තිබේ. මන්ද යත් රටේ ඉහළම හිනි පෙත්තක සිට මේ මොහොත වන විට ඔහු ප්‍රධාන දේශපාලන ධාරාවේ අත්පත් කරගෙන සිටින ස්ථානය අතර දැවැන්ත පරතරයක් ඇති හෙයිනි. එකී පරතරය මෑත කාලීන දේශපාලනය තුළ වෙනත් දේශපාලනඥයකු අත්පත් කරගෙන ඇතැයි සිතිය නොහැකි හෙයින් මේ සම්බන්ධයෙන් විමසා බැලීම වැදගත් වනු ඇතැයි සිතේ.

රටේ පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය විනාශ කිරීමේදී පුරෝගාමී මෙහෙවරක් කළ සරත් ෆොන්සේකා චරිතය  මිලිටරි ක්‍රියාදාමය තුළ සිංහල බෞද්ධ සමාජයේ ඉතා ඉහළ ගෞරවයට පාත්‍රවිය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඔහුව සමාජයේ ඉහළට ඔසවා තබා ගෞරවනීය ස්ථානයක තබන ලද්දේ එම ගෞරවයේ පංගුකාරයන් ලෙසය.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ දේශපාලන ප්‍රවේශය මේ සමාජයට අහම්බයකි එය ඔහුගේ දීර්ඝ කාලීන සැලසුමක්ද නැද්ද යන්න වෙනම කාරණයකි. ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග හෝ ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමග ඇති වන පෞද්ගලික අමනාපයේ අමාත්‍ය අවසාන ප්‍රකාශනය වන්නේ සරත් ෆොන්සේකාගේ දේශපාලන ආගමනයයි. ඔහුගේ ආගමනයත් සමග ඔහු  වටා විශාල පිරිසක් ආකර්ෂණය විය. ඔහු වටා සමීප වූ මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවේ චරිත සහ ව්‍යාපාරික, මධ්‍ය ආදී වූ විවිධ ක්‍ෂේත්‍රවල චරිත වෙන වෙනම විමර්ශනය කිරීම මේ මොහොතේ කළ නොහැකි දෙයක් නමුත් ඉන් බහුතරයක් රාජපක්ෂ රෙජීමය සමග පෞද්ගලික අමනාපකම් ගොඩනගා ගත්ත වුන් ලෙස හැඳින්විය හැකිය. එහෙයින්ම මේ බොහොමයක් චරිතයන්ට සමාජයේ මුල් තිබුණේ නැත. එසේ තිබුණු යම් දේශපාලන සංවිධාන සරත් ෆොන්සේකා වටා ගොනුවුවද මිලිටරි ක්‍රියාදාමයේ ඔහුගේ කාර්යය එලෙසින්ම අනුමත නොකළ පාර්ශ්වයන්ද ඔහුගේ සමීපතමයන් බවට පත්විය. උදාහරණයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ හැඳින්වි හැකිය. එහි ඉහළ තලය “යකා” සමග එක්ව හෝ රාජපක්ෂ පාලනය පෙරළා දැමීමේ උත්සහයේ නිරත වුවද එහි  පාක්ෂිකයන් එතන සිටියේ යැයි උපකල්පනය කළ නොහැකිය. සරත් ෆොන්සේකාට එ.ජා.ප.යේ සහ ජ.වි.පෙ. න්ද ලැබුණ මුත් එම පාක්ෂිකයන් හෝ ඒවායේ දේශපාලනඥයන් තම පාක්ෂිකයන් නොවන කොටස් ආකර්ෂණය කර ගැනීමට අසමත්ව තිබිණ.

සරත් ෆොන්සේකා චරිතය තිස් වසරක යුද්ධය අවසන් කිරීමට දායක වීමත් සමග අත්පත් කරගත් සමාජයේ ජනප්‍රිය භාවය මේ රටේ දේශපාලනයේ ඉහළම තැනට සරත් ෆොන්සේකා ඔසවා තබනු ඇතැයි උපකල්පනය කළ ප්‍රාථමික දේශපාලන ඥානයෙන්ද හෙබි දේශපාලනඥයන්ද, අසංවර මාධ්‍ය භාවිතාවේ යෙදෙමින් තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් ප්‍රධාන දේශපාලන ධාරාවේ බලවේග හැසිරවීමට උත්සහ කළ කොටස්ද ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ පසුව සිය අපරිනත දේශපාලන සටන අතහ‍ලේ නැත.

සාමාන්‍ය ව්‍යවහාරයේ එන භාෂාවෙන් කියන්නේ නම් සරත් ෆොන්සේකා, “‍පොරකි”. ඒ දේශපාලනයේ නොව හමුදාවේය. එකම අරමුණක් වෙනුවෙන් දැඩි විනය නීති මාලාවක් ඔස්සේ පුරුදු කරන ලද පිරිසක් නිශ්චිත ඉලක්කයක් කරා මෙහෙයවීමේදී සරත් ෆොන්සේකා “‍පොරකි”. එසේ නමුත් විවිධ වූද විෂම වූද සංකීර්ණ මනෝභාවයන් ගෙන් හා අරමුණුවලින් යුත් මිනිසුන්ගෙන් සැදුම් ලත් සමහර බලවේග මෙහෙයවීම නොඑසේ නම් හැසිරවීම අතිශයින් දුෂ්කර වූ ව්‍යායාමයකි. සරත් ෆොන්සේකා එම ක්‍රියාදාමයේ අසමත් චරිතයක් බව ඔහු වටා ගොනු වූ දේශපාලන පක්ෂ සංවිධාන මුල් වටයේම ඔහු සමග අර්බුද නිර්මාණය කර ගැනීමෙන්ම පෙනී යයි.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගේ “ඩියුටිය” වූයේ “ෆුල් ටයිම්” යුද්ධ කිරීම සඳහා සැලසුම් කිරීමය. එය අමාරු කාර්යයකි. නමුත් සංකීර්ණ මනෝභාවයන් ගෙන් යුත් මිනිසුන්ගේ සහෘදයෙක් වීම සඳහා “ෆුල් ටයිම්” දේශපාලනය කළ යුතුය. ඒ සඳහා මනා පරිචයක් මනා ශික්ෂණයක් අවශ්‍යවේ. මහින්ද රාජපක්ෂ අවුරුදු හතළිහක් තිස්සේ ෆුල් ටයිම් දේශපාලනය කළේය.

ඒ කාලය තුළ සරත් ෆොන්සේකා කරනු ලැබුයේ නිශ්චිත අරමුණක් වෙනුවෙන් ඉතාම අවම සමාජ සංවේදිතාවක් යටතේ පුරුදු පුහුණු කරන ලද සමාජ ස්ථරයකට නායකත්වය දීමය. එහෙයින්ම එවැන්නකුට සංකීර්ණ දේශපාලන බලවේග කළමනාකරණය කිරීම සහ ජන විඳානයේ විවිධ වූ ස්වරූපයන් ස්පර්ශ කිරීම බෙහෙවින් දුෂ්කරය. රාජපක්ෂලා සමග ඇති වූ පෞද්ගලික විරසකයට දේශපාලන වටිනාකමක් ආරෝපණය කිරීමට ගත් උත්සහයට ජනප්‍රිය භාවයත් ආකර්ෂණය වුවද එය මධ්‍යම පන්තියේ සහ ඉහළ මධ්‍යම පන්තියේ ළදරු වලිප්පුවකට සීමාවිය.

තමන්ගේ ලොක්කාට කැමැති වේවා අකමැති වේවා හමුදාවේ නීතිය අනුව ලොක්කාට සැලියුට් කළ යුතුය. කොටි ත්‍රස්තවාදය මේ භූමියෙන් අතු ගා දැමීමේ උත්තරීතර ක්‍රියාදාමයට මේ රටේ සිංහල බෞද්ධ බලවේග සරත් ෆොන්සේකාට සැලියුට් කළේය. ඒ ඔහුගේ හමුදාවේ ඩියුටියටය. නමුත් ඒ බලවේග දේශපාලනයේදී කතිරය ගැසුවේ සිංහල බෞද්ධ බලවේගයේ වත්මන් දේශපාලන නායකයා වන මහින්ද රාජපක්ෂටය. සරත් ෆොන්සේකාට  සැලියුට්  නසා මහින්ද රාජපක්ෂට කතිරය ගැසුවේ තමන්ගේ දේශපාලන නායකයා මහින්ද බව ඔවුන් කාලයක් තිස්සේ දන්නා නිසාය. ඔහු කාලයක් තිස්සේ සිංහල බෞද්ධ බලවේග ස්පර්ශ කරමින් ඊට උචිත හා ගැළපෙන ලෙස සිය දේශපාලන හැඩය වෙනස් කරගත්තේ ඓතිහාසික දේශපාලන උරුමයක්ද සමගිනි. ඔහු දේශපාලනයේ ෆොන්සේකාට යමක් ඉතිරිකර නොමැත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ වටා මේ රටේ සිංහල බෞද්ධ බලවේග සමග බද්ධ වූ දේශපාලන  ව්‍යාපාරය එකට ගාල් වී සිටියදී ඒ සම්බන්ධයෙන් බරපතළ  තක්සේරුවක් නැතුව ඉහත බලවේග තමන් වටා ඕපපාතිකව ගොනුවේ යැයි සහ අපරිනත මානසිකත්වයකින් ෆොන්සේකා පාර්ශ්වය කටයුතු කළ බව පෙනෙන්නට තිබේ. එ.ජා.ප.ය. ෆොන්සේකාගෙන් ඉවත්වන අතර ඊළඟ වටයේ ජ.වි.පෙ. ඉවත් වේ. එමෙන්ම ඔහු සමග ඉතා සමීපතම දේශපාලන සහ පෞද්ගලික  ගනුදෙනුවක නියැලුණු අර්ජුන් රණතුංග, ටිරාන් අලස් යන අයද පසුගියදා ඔහුගෙන් ඉවත්ව ගියේය.

ඔහු සිරගත කර තිබූ වකවානුව තුළ ඔහුට යම් සමාජ ආකර්ෂණයක් හිමිවී තිබිණ. ඒ කෘතගුණ සැලකීමේ පුරුද්දක් ඇති සමාජයේ ඒ දඬුවම අනුමත නොකළ නිසාවෙනි. අවසානයේ සරත් ෆොන්සේකා එළියට පැමිණියේය. සමාජ බලවේග නමැති හමුදාවට නායකත්වය දෙන්නට සූදානම් වූ සරත් ෆොන්සේකා මේ මොහොතේ ජලැටුන් එකක පමණක් නායකයා වී සිටී. එය අහම්බයක් නොවේ. එහි ලාංකික ජන සමාජයේ දේශපාලන චිත්ත සන්තානය තේරුම් ගැනීමට හිටපු ජනාධිපතිනියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ ජනාධිපතිවරණය හොඳම උදාහරණයකි. ඇයට එරෙහිව සිටි බලවේග පවා ඊට පසු දින ඇයට පක්ෂ ඡන්දය ලබාදුන්නේය. එම සමාජ ගතිකයන් තේරුම් ගනිමින් මහින්ද රාජපක්ෂ ඊට උචිත ලෙස සිය  සළුපිළි වෙනස් කර ගනිද්දී බලවේග තමන් වටේ ගොනුවන තෙක් සරත් ෆොන්සේකා බලාසිටී. මාධ්‍ය සන්දර්ශනවලින් පමණක් දේශපාලනය කළ හැකි  නම් ශාඛා සමිති පිහිටුවමින්, ගමින් ගමට යමින් මිනිසුන් අතර වැඩකිරීම කළ යුතු නැත. ජන ඝෝෂා කරමින් පාගමන් යමින් පල නොකියා පලා බෙදද්දී ඉවසීමෙන් බලා සිටිය යුතු නැත.

සම්පත් දේශප්‍රිය 
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all